
මත්පැන් අාරවුලේදී ජයකුමාර්ට වෙච්චි දේ
ප්‍රධාන සැකකරු ඇල්ලුවේ රාගමදී
තිදෙනාම රිමාන්ඩ්
මහනුවර දිසාවේ කඳු ගැට වලින් වට වූ ශීත දේශගුණයකින් සමන්විත බෙල්වුඩ් ජනපදයේ කුඩා නිවසක පොන්නයියා ජයකුමාර් තම බිරිය සහ දියණියන් තිදෙනා සමඟ ජීවත් වූයේ බොහෝ අග හිඟතා මතය. මේ නිසාම ඔහුගේ බිරිය විදේශ රැකියාවකට යාමට තිරණය කළ අතර එක් දියණියක් විවාහ වී මාඋස්සාව ප්‍රදේශයේ පදිංචි වී සිටි බැවින් අනෙක් දියණියන් දෙදෙනා ඇය ළඟ නවත්වා ඇය විදේශ ගත විය.
බිරිය සහ දරුවන් නොමැතිව තනිව නිවසේ ජීවත් වූ ජයකුමාර්ගේ තනිකම සහ හුදෙකලාව මකා ගැනීමට යොදා ගත්තේ මත්පැන් ය.
අසල නිවසක ජීවත් වූ වයස අවුරුදු දහනවයක පමණ තරුණයෙකු කලකදී ඔහුගේ මිතුරකු වූ අතර දෙදෙනාම මත්පැන් පානය කොට ඔහුගේ නිවසේම කල්ගත කළ අතර ටික කලක් යන විට දෙදෙනා විරසක වූහ. එම විරසකයෙන් පසු අවුරුදු දහනවයේ තරුණයා ඒ අසලම සිටි වෙනත් තරුණයෙකු සමඟ මිත්‍ර වී ඔහු සමඟ මත්පැන් පානය කරමින් කාලය ගත කළේ ජයකුමාර්ට ද පෙනෙන ලෙසය.
එම අතරතුර ජයකුමාර් අවුරුදු දහනවයේ සැකකරුගේ පියා සමඟ මිත්‍රවී ඔහූ සමඟ දිනපතාම පාහේ මත්පැන් පානය කොට තම නිවසේම කල් ගත කිරීමට පුරුදු විය. මන්පැන් පානය කොට සෑම දිනකම රාත්‍රියේ අසල නිවසේ පුද්ගලයාට බැණ වැදී රණ්ඩු කිරීම ජයකුමාර්ගේ පුරුද්දක් විය.
පසුගිය විසි තුන්වන දින රාත්‍රියේද එවැනි රණ්ඩුවක් ඇතිවී ඇති අතර දෙදෙනාගේ මෙම රණ්ඩුවට අසල්වැසි පුද්ගලයාගේ මිතුරා ද පැටලෙන්නේ ඒ මොහොතේය. වයස අවුරුදු දහනවයක් වන මේ මිතුරා පිහියක් ගෙන ජයකුමාර්ට ඒල්ල කළ පහරකින් ඔහුගේ ගෙල පෙදෙසේ කැපුම් තුවාල සිදුවිය. එම පහරවල් සමඟ නිවස අසලම ඔහු බිම වැටී ඇති අතර සැකකරුවන් දෙදෙනා එතැනින් ඉවත්ව ගියහ. පිහි පහර එල්ල කළ පුද්ගලයාගේ පියා පැමිණ බිම වැටී ලේ ගලමින් සිටි තම මිතුරා ඇඳට දමා ඔහු අනෙක් කාමරයේ නිදාගෙන ඇත.
පසුදින අලුයම නැගිට බලන විට ජයකුමාර් මියගොස් සිටි බව ඔහුට වැටහී ඇති අතර නිවස තුළ තිබූ ලේ පැල්ලම් සෝදා හැර ඔහු නිවෙසින් පිට වන්නේ මේ ගැන කිසිවකුට නොපවසමිනි.
උදෑසන අසල්වැසියකු පැමිණ බලද්දි ජයකුමාර් මිය ගොසිනි. ඔහු ඒ බව පොලිස් හදිසි ඇමැතුම් අංශයේ 119 ට දුරකතන ඇමතුමක් ගෙන දැනුම් දී තිබුණේ නිවෙසක් තුළ පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන් කරමිනි.
ගලහ පොලීසියේ නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ජයකුමාර්ගේ අසල්වැසියා සහ ප්‍රධාන සැකකරු වන වයස අවුරුදු දහනවයක් වන පුද්ගලයාගේ පියා මේ සම්බන්ධයෙන් එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි.
එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වයස අවුරුදු දහනවයේ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ගලහ බුද්ධි අංශ නිලධාරින්ගේ දක්ෂතාව මත ප්‍රදේශයෙන් පලා ගොස් සිටි ප්‍රධාන සැකකරු රාගම ප්‍රදේශයේ සැඟව සිටියදී පසු දින සවසම රාගම පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
ජයකුමාර්ගේ මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් සිදු කරන ලදී. පේරාදෙණිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලදී.
මහනුවර පොලීසියේ අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් සහ ඇඟිලි සලකුණු නිලධාරින් විසින් අපරාධ ස්ථානය පරීක්ෂාවට ලක්කරන ලදි. ප්‍රධාන සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගලහ පොලිසියට රැගෙන ආ අතර තිදෙනාම මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස අටවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගම්පොළ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති සමන් ගුණසේකර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක විජේසිංහ සැරයන් 47224 රණසිංහ, 52299 ගුණවර්ධන ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.