
දැරියගේ මව සහ තවත් කතක් රිමාන්ඩ්
සමන් දෙවිඳුන්ගේ අඩවියේදී සිදුවූ අනුවේදනීය සිදුවීමකින් ඒ බැති සිත් කම්පාවට පත්වූයේ පසුගියදාය. හත් හැවිරිදි අහිංසකාවියක් අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවා තිබුණේ නිවිතිගල දෙල්වල ගම ම හඬවමිනි.
මව සහ ඇගේ අනියම් සැමියා එක්ව පණ පිටින් මේ දැරිය වළ දමා තිබූ බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. හත් හැවිරිදි දැරියගේ සිරුර නිවිතිගල දෙල්වල ගඟපහළ ප්‍රදේශයේ අත්හැර දැමූ පතල් වළක දමා තිබියදී පසුගිය 11 වනදා රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා කොඩිතුවක්කු ඉදිරියේ ගොඩගනු ලැබීය.
අඩි අටක් ගැඹුරු අත් හැරදමා තිබූ මෙම මැණික් පතලේ ජලය, ජල ඉසින යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමෙන් පසු කම්කරුවන් පස්දෙනෙකු විසින් හත් හැවිරිදි දැරියගේ සිරුර මතුකර ගත්තේ ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මධ්‍යයේය. මේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්වල පොලිසිය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත දැරියගේ සිරුර ගොඩගනු ලැබීය.
කුරුණෑගල මැල්සිරිපුර පාසලක දෙවන වසරේ ඉගෙනුම ලබන හර්ෂිකා හර්ෂනී කුමාරි නමැති වයස අවුරුදු හතක දැරියක් මෙලෙස ඝාතනය කැර තිබිණි. හය මසකට පමණ පෙර දැරියගේ සිරුර මෙලෙස වළ දමන්නට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. එම සිරුර ගොඩ ගන්නා විට පොලිතින් උරයකින් ඔතා තිබූ අතර සිරුරේ බොහෝ කොටස් නරක් වී තිබිණි. දැරියගේ හිස්කබල ද පොලිතින් උරයේ තිබී හමු විය. මේ ඝාතනය සම්බන්ධව සැක පිට මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ විසිනම හැවිරිදි දැරියගේ මව සහ තිස් නව හැවිරිදි ගැබිනි කාන්තාවකි. එම කාන්තාවන් දෙදෙනාම සැකකරුගේ අනියම් බිරියෝය.
මේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ නිත්‍යානුකූල බිරිය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර ඇයත් ප්‍රධාන සැකකරුත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවේ පසුවන සැකකාරියන් දෙදෙනාත් පලා ගිය යුවළත් එකගෙයි පවුල් කෑ බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය. ඒ අනුව සැකකරුගේ අනියම් බිරියන් දෙදෙනා සහ නිත්‍යානුකූල බිරිය යන තිදෙනාම සැකකරු සමඟ එකට ජීවත්වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
ප්‍රදේශයෙන් පලා ගොස් සිටින ප්‍රධාන සැකකරු ද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකි. ඔහු ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, නීති විරෝධී මත්පැන් ජාවාරම් යන දරුණු අපරාධවලට චෝදනා ලද්දෙකි. මේ වන විටත් එම අපරාධ සම්බන්ධයෙන් අධිකරණ ගණනාවක සැකකරුට විරුද්ධව නඩු විභාග වෙමින් පවතී.
දැරියගේ මව මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම සැකකාරිය පසුගිය ජූලි මාසයේදී මැල්සිරිපුර පොලිසියට ගොස් තම දියණිය දෙල්වල ප්‍රදේශයේ සිටියදී අතුරුදන්ව ඇති බවත් කැලණියේ පුද්ගලයෙකු දියණිය රැගෙන යන්නට ඇති බවත් පවසමින් පැමිණිල්ලක් කළාය.
මැල්සිරිපුර පොලිසිය එම පැමිණිල්ල පිළිබඳව දෙල්වල පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව දෙල්වල පොලිසිය කළ පරීක්ෂණවලදී හත් හැවිරිදි දැරියගේ ඝාතනය පිළිබඳ සියලු තොරතුරු රැසක් අනාවරණය කරගැනිණි.
හත් හැවිරිදි දැරියගේ මවගේ අනියම් සැමියාගේ වගතුග දන්නා පොලිසිය දියණියගේ අතුරුදන් වීමට ඔහුගේ කිසියම් සම්බන්ධයක් ඇතැයි සැක කෙළේය. මුලදී දැරියගේ මව පොලිසිය හමුවේ කීවේ පරණ කතාවමය. එය අසත්‍යයකි. දිගින් දිගටම ඇගෙන් ප්‍රශ්න කරද්දි පොලිස් නිලධාරින්ට ඇත්තම කතාව කියන්නේ නීතියෙන් ගැලවීමක් නැති බව දැනගත් නිසාය.
සැකකාරියන් දෙදෙනා අනියම් සැමියා සමඟ එකතු වී අවුරුදු 7ක දැරිය 'පණ පිටින්' වළලා ඇතැයි ඒ අනුව හෙළිදරව් විය.
සැකකාරිය මැල්සිරිපුර පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් දැරිය රැගෙන ගිය බව කියන පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇතත් දැරිය එම පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් නැති බවට එහිදී තොරතුරු අනාවරණය විය.
ඒ අනුව, දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමල් කීර්තිට ඇති වූ සැකය මත එම කාන්තාවගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට හැකිවිය.
ප්‍රධාන සැකකරුගේ බිරිය දිනක් නිවසට රැගෙන ආ පැණි වළලුවලින් එකක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේ සැකකරු දැරියට පහර දී ඇත. පසුව සැකකරුගේ හය හැවිරිදි පුතු දිලිසෙන ගලක් වැනි දෙයක් සඟවා තැබීමට උත්සහ කර ඇත. එවිට එම දැරිය ගල ඉවතට ගෙන වීසි කළ බව පවසමින් පසුගිය හය මසකට පමණ පෙර දැරියට සැකකරු විසින් වධ හිංසා කරමින් අමානුෂිකව පහරදුන් බවට සැකකාරියගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි. එම 'දිලිසෙන ගල' මැණිකක් බව සැකකරු ඔහුගේ අනියම් බිරියට පවසා ඇතැයි ඇය පොලිසියට පවසා තිබේ.
පහර දීමෙන් අනතුරුව දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් එම අවස්ථාවේ තම අනියම් සැමියා තමාගේ කසිප්පු ඇල්ලීමට පොලිසිය පැමිණෙන නිසා වහා දියණිය රැගෙන කැලයට යන ලෙස තමාට උපදෙස් දුන් නිසා පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දියණිය රැගෙන තමා කැලයට රිංගා සිටියදී තම ඔඩොක්කුවේදීම දියණිය මියගිය බවට සැකකාරිය පොලිසියට කළ පාපොච්චාණරයෙන් හෙළි විය.
පසුව දැරියගේ සිරුර පෝර කවරයකට දමා මීටර් තුන්සියයක් පමණ දුරක තිබූ අතහැර දැමූ මැණික් පතලක් අසලට සැකකරු විසින් ඔසවා ගෙන රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සිරුර දැමූ කවරයට ගල් දමා පතල් වළට දමා වසා දැමූ බවත් එම අවස්ථාවට සැකකරුගේ නිත්‍යානුකූල බිරියත් තමනුත් සම්බන්ධ වූ බවත් සැකකාරිය (මියගිය දැරියගේ මව) පොලිසියට ප්‍රකාශ කළාය.
ඇයගේ එම ප්‍රකාශය සත්‍යයක් බවට පසුගිය 11 වැනිදා සිරුර ගොඩගන්නා අවස්ථාවේදී තහවුරු වූයේ සිරුර දැමූ උරය ඇතුළත ගල් තුනක්ද තිබීම නිසාය.
සිරුර වළ දැමීමට රැගෙන යද්දි සැකකරුගේ අනියම් ගැබිනි බිරියත් නිවසේ සිට අපරාධය සිදුවන ස්ථානයට කිසිවෙකු ඇතුළු වනවාදැයි කියා ඔත්තු බලා ඇති බව සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටි බවත් දැරිය සිහිසුන්ව සිටියදී එසේ වළ දමා ඇත්දැයි සැකයට තුඩුදෙන කරුණක් බවත් පොලිසිය පවසයි. දැරිය මිය යන්නට පෙර සිහිසුන්ව සිටියදී ඇය වළ දමන්නට ඇතැයි පොලිසිය සැකයයි.
දැරියගේ සිරුර ගොඩගන්නා අවස්ථාවේදී රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාරියගෙන් යමක් පැවසීමට ඇතිදැයි විමසුවාය. තම දියණියගේ සිරුර එම ස්ථානයේ වළ දමා ඇතැයි හඬමින් පැවසුවාය. දැරිය වළ දැමූ පොහොර උරය ද ඇය හඳුනා ගත්තාය.
පලාගොස් සිටින සැකකරු දෙල්වල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් කීපදෙනෙකුට මරණීය තර්ජන කර ඇතැයි පොලිසිය පවසයි. දෙල්වල විහාරාධිපති මෝදරවානේ පේමරතන හිමියන් මෙසේ පැවසූහ.
“මේ අපරාධකරු මීට පෙර පාසල් ගොස් එමින් සිටි දැරියක් පැහැර ගෙන යෑම ගැන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළා.
එහිදී ඔහු පලා ඇවිත් සැඟවී සිටියා. මෙම දියණියගේ මරණය ගැන තොරතුරු අනාවරණය කරගත් දෙල්වල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ සබරගමුව පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්තුතිය පිරිනමනවා. සැකකරු මටත් පොලිස් ස්ථානාධිපතිවරයාටත් මරණීය තර්ජන කරනවා. මෙවැනි අපරාධ නැවැත්විය යුතුයි.“