සාංඝික දානයට එකතු කළ මුදලෙන් ඇල්පිටිය පොලිසියේ පිපාසය නිවූ රටක් වටින සැරයන් | සිළුමිණ

සාංඝික දානයට එකතු කළ මුදලෙන් ඇල්පිටිය පොලිසියේ පිපාසය නිවූ රටක් වටින සැරයන්

 

අම්පාර දිසාවේ මධ්‍යම කඳවුර පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස තනතුරු ලබා ස්ථාන මාරුවී පැමිණියේ සන්ධ්‍යා යාමයේය. ගමන් වෙහෙස නිසාම ඇඟපත සෝදා ගැනීමට සූදානම් වුවද පොලිසියේ ‘වතුර ටැප්‘ සියල්ලේ වතුර නැත. තැනින් තැන ප්ලාස්ටික් භාජනවල වතුර පුරවා තිබූ අතර නාන කාමරයේද වතුර බේසමක් විය. ඇඟපත සෝදා ගැනීමට තබා එය මුහුණ තෙමා ගැනීමටව ප්‍රමාණවත් නොවීය.

කෙසේ වුවද තමා මීට පෙර දන්නා හඳුනන සැරයන්වරයෙකු වන දිනේෂ් කැඳවා මේ ගැන විමසූ විට ඔහු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතා කීවේ මෙවැන්නකි.

“සර්... ටැප් ලයින් එකේ වතුර මෙහෙට එන්නෙ නෑ. මේ හරිය උසයි. ඉතින් අපි ‍ප්‍රදේශීය සභාවෙන් හරි ජල සම්පාදනයෙන් හරි වතුර බවුසරයක් ගෙන්න ගන්නවා. පොලිසියේ අයට ඒක දවසටත් මදි. ඉතින් වැසිකිළියට යන එකත් අපිට අපිට ප්‍රශ්නයක්. අපේ කාන්තා නිලධාරිනියන් වතුර බාස්කට් උස්සගෙන යන අවස්ථාත් තිබෙනවා“යි පැවැසූ විට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුදුමයට පත් විය.

ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ සියලුම නිලධාරීන් පසු දිනම තමා වෙත කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැන ගැනීමට ලැබුණේ පොලිසියේ සියලු තරාතිරම්වල නිලධාරින් මේ ජල ප්‍රශ්නයෙන් පීඩා විඳින බවය. මාසයක් තුළ මෙය විසඳන බවට එච්කිව්අයි මහතා නිලධාරීන්ට පොරොන්දු විය.

කෙසේ වුවද පසුදාම ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශට මේ තත්ත්වය ගැන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් දැන්වූ විට ඔහු පැවසුවේ කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳිය යුතු බවයි. රජයෙන් ලැබෙන තෙක් නොසිට මෙය කළ හැකි නම් ඉක්මනින් සහ පලදායී ලෙස කරගත යුතු බවද යම් උපකාරයක් වේනම් තමන්ට ලබා දිය හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කෙළේය.

මීට ඉහත තමා සමඟ පොලිස් සොකෝ අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරිවරියක වන රුවනි කන්නන්ගරටද මේ ගැන දැනුම් දුන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇගේ අවධානයට මෙය යොමු කරවූයේ යම් උපකාරයක් බලාපොරොත්තුවෙනි. කෙසේ වුවද ඇය කීවේ ඇල්පිටිය පොලිසියේ ජල ප්‍රශ්නය නිසා කාන්තා නිලධාරිනියන්ද දැඩි අසීරුතාවකට පත් වීම කනගාටුවට කරුණක් බැවින් මේ කටයුත්ත කෙසේ හෝ ඉටු කළ යුතු බවයි. ඇය වැඩිදුරටත් පැවසුවේ මෙය සිදුකරන්නේ නම් තමාගේ පෞද්ගලික මුදලින් හෝ යම් සහනයක් ලබා දිය හැකි බවයි.

කෙසේ වුවද එදා රැස්වීමෙන් පසු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයකු වන දිනේෂ් අනුර කුමාර (47473) රැය පහන් කළේ දසඅතේ කල්පනා කරමිනි. ඇල්පිටිය පොලිසියේ ජල ප්‍රශ්නය නිසා නිලධාරින් කලක සිට පීඩා විඳීම ගැනද සැරයන් දිනේෂ්ට දැනුණේ මහත් කනගාටුවකි. ඒ නිසා මේ ජල ප්‍රශ්නය විසඳන්නට සැරයන් දිනේෂ් දිගින් දිගටම කල්පනා කෙළේ ඔහුටත් මෙය ගැටලුවක්ව පැවැති නිසාය.

තමා ගමේ සිටියදී ශ්‍රමදාන මඟින් මෙවැනි දේ ඉටු කළ ආකාරය ගැන ඔහු මෙනෙහි කළේය. පාලම්, ඒදඬු සකස් කළ ආකාරය ගැනද සැරයන්ගේ මතකයට ආවේය. එසේ කිරීමට තමන්ට මේ ප්‍රදේශය තවමත් හුරු නැත. එහෙත් තම විවාහ උත්සවය නොගෙන ඒ මුදලින් දුප්පත් පවුල්වලට නිවාස තනා දුන් පුද්ගලයන් ගැන ඔහු පුවත්පත්වල දැක තිබුණේය. එවැනි සිද්ධි ඔහුට මැවී පෙනිණි. ඒ මොහොතේම ඔහුට කදිම අදහසක් පහළ විය. තම නිවසේ ඒ වන විට යොදාගෙන ඇති සාංඝික දානය ඔහුට සිහි විය.

පසුදාම තම මව්පියන්ට මේ සිද්ධිය සැල කළ සැරයන් දානය නතර කරමුදැයි විමසූයේ ඔවුන්ද හොඳ හදවතක් ඇති මව්පියන් බව දන්නා නිසාය. ඒත් ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ කැමැත්ත ගත යුතු බව ඔවුන් පැවසූහ. ඒ අනුව ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට මේ සිද්ධිය සැල කැරිණි. උන්වහන්සේ එක පයින්ම එයට ආශිර්වාද කළහ.

පසුදා උදේම ඔහු ගියේ තම ‘ප්‍රධානියාගේ‘ නිල මැදිරියටය.

“සර්... මම මාසයක් ඇතුළත ළිඳක් හදනවා. පොලිසියටම වතුර දෙනවා“යි සැරයන් දිනේෂ් පැවසූයේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුවය.

“සර්... මගේ අතේ නම් සතයක්වත් නෑ. අපේ ගෙදර සාංඝික දානයක් දෙන්න කියලා රුපියල් ලක්ෂ දෙකක් විතර එකතු කරගෙන තියෙනවා. ලබන මාසෙ ‘දානෙ‘ දෙන්නෙ. අම්මලත් කැමති වුණා පොලිසියට ළිඳක් කපාගන්න ඒ සල්ලි ටික දෙන්නම් කියලා“ යැයි සැරයන් දිනේෂ් කියද්දී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාටත් සතුටක් දැනිණි.

කෙසේ වුවද අවම පිරිවැයකින් මෙය ඉටු කිරීමට සිතූ එච්කිව්අයි මහතා පළුදු වී තැන තැන දමා තිබූ ලීටර් 1000 වතුර ටැංකි fiber glass යොදා පිළියම්කර ඊට වැය වූ රුපියල් 2500 ක මුදලද තම ‘සාක්කුවෙන්‘ම වැය කළේ නිලධාරියාට ටැංකි සඳහා යන වියදම අවම කිරීමටය.

සැරයන් දිනේෂ් ගමේ ක්‍රමයට නැකතක් බලාගෙන පැමිණ ළිඳ කපන්නට සූදානම් කළේ වතුර නොලැබේදැයි ඇතිවූ කුකුස නිසාය. කෙසේ වුවද දින කිහිපයක් යන විට ළිං පතුළෙන් වතුර උල්පත් ගලා එන්නට විය.

පොලිස් කාන්තා නිලධාරිනියන්ද ක්‍රියාත්මක වූහ. තම නිවෙස්වල තිබුණු මල් පෝච්චි කිහිපයක් ළිඳ වටේ තැන්පත් කිරීමටත් දාස්පෙතියා මල් ළිඳ වටේ පැළ කිරීමටත් කටයුතු කළේ තම නිවෙස්වල ළිංවලට කරන සාත්තු පරිද්දෙනි.

ඉහළින් වතුර ටැංකි තැන්පත් කෙරිණි. මෝටරය ක්‍රියාත්මක කැරිණි. ක්‍රමයෙන් වතුර ටැංකි පිරී ඉතිරී ගියේය. මෙය දුටු ස්ථානාධිපතිවරයා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශටත් සහකාර පොලිස් අධිකාරිණී රුවනී කන්නන්ගරටත් දුරකථනයෙන් දැනුම් දුන්නේය.

පසුදා දහවල පොලිස් අධිකාරිවරයා හා ඇල්පිටිය සොකෝ අංශයේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල ඇතුළු නිලධාරීන් පිරිසක් කැටුව පැමිණෙන විටත් පොලිස් කාන්තාවන් විසින් සමන්පිච්ච මල් වට්ටි සූදානම් කර තිබුණේ ළිඳට ඉස එය විවෘත කර පූජා කිරීමටය.

පොලිස් අධිකාරිවරයා නිලධාරීන් පිරිස සමඟ ගොස් පිච්ච මල් පූජා කර ළිඳට ඉස මෝටරය පණගැන්වූ අතර ටික වේලාවකින් එහි ජලනළවලින් ජලය ගලාගෙන යද්දි එම ජලය පොලිස් නිලධාරීන් පානය කරන අයුරු සැරයන් දිනේෂ් බලා සිටියේ මහත් සතුටිනි.

Comments