
“ඒ යි! උඹ දන්නව නේද හල්පිට කොන්ත්රාත්කාරයා? ඌගෙ කරේ හැම තිස්සෙම බරට රත්තරං. සල්ලිත් ඒ වගෙම උතුරන්න ඇති. වැඩක් දුන්නොත් අපිට වාසියි." 'මිරිස්වත්තේ බුවා', 14 කණුවේ අජිත් සමඟ එකතු වී මෙලෙස කතිකා කර ගත්තේ මත්කුඩු පාරක රස විඳින අතරතුරය.
"වාසි නෙමෙයි, එහෙනං අපිටත් කිරි උතුරයි, බලා ඉන්නෙ මොකටද? 'ගේමට' සෙට් වෙමු." තමන්ට අජිත්ගෙන් විශාල අනුබලයක් ලැබීම අත ගසන කාර්යයේ සාර්ථකත්වය කියා පෑමක් බවට බුවා දන්නේ අත්දැකීමෙනි. "අපි දෙන්න විතරක් මේකට මදි. මගෙ යාළුවෙක් ඉන්නවා ඒ ගේ ළඟ. ඌට කියල වැඩි විස්තර හොයා ගමු."
'බුවා' තවදුරටත් අජිත්ට කරුණු පැහැදිලි කෙළේ නොවරදින ලෙස මෙම කාර්ය සිදු කළ යුතු නිසාය. "මගෙත් යාළුවෙක් ඉන්නවා බදුල්ල පැත්තෙ. මිනිහා හමුදාවේ හිටපු පොරක්. අපිට උගෙන් මේකට නියම සපෝර්ට් එකක් ගන්න බැරිවෙන එකක් නෑ."
අජිත් ද පෙරළා 'කුඩු මිතුරාට' එලෙස පැවසුවේ මෙවැනි භාරදූර කටයුත්තක් සිදු කිරීමට හිටපු හමුදා සෙබළෙකු සම්බන්ධ කර ගැනීමේ වාසිය ගැන උදම් අනන අතරතුරය. මිතුරන් දෙදෙනා කතා කර ගත් පරිදි පිළියන්දල, හල්පිට, පාසල් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තොරතුරු සොයන්නට බාර දුන්නේ ව්‍යාපාරික නිවස අසලම පදිංචි මිතුරාටය. කොන්ත්‍රාත් ගෙන නිවාස ඉදිකර විකුණන මේ ව්‍යාපාරිකයා ළඟ නිතරම විශාල මුදලක් ඇතැයි සැක කළ ‘කුඩ්ඩන්‘ සැලසුම් කරන්නේ ඔහුගෙන් මුදල් කොල්ලකෑම සඳහාය.
"පොර එහෙ මෙහෙ යන එන වෙලාවල් ලයිට් කපන වෙලාවල් මේ සේරම ගැන ඇහැ ගහගෙන ඉඳලා අපිට නිවුස් එක දීපං."
බුවා උපදෙස් දුන්නේ ව්‍යාපාරික නිවෙස අසල සිටින මිතුරාටය. හිටපු හමුදා සෙබළ මිතුරා ද වැඩේට ගෙන්වා ගත්තේ බදුල්ලේ සිටය. අවි ආයුධ ගැන මනා පුහුණුවක් ඇති 'බදුලු මිතුරා' අලුත්ම දැති පිහි දෙකක් සාදා ගැනීමට ද කටයුතු කළේ යකඩ තහඩු කෑල්ලක් ගෙන ග්‍රයින්ඩරය ප්‍රයෝජනයට ගනිමිනි.
කතිකා කරගත් පරිදි බරපතළම 'හෝරාව' උදා වෙමින් තිබුණේ සියලු සැලසුම් සඵල කරමිනි. පිරිස මුලින්ම යන්නේ අදාළ නිවෙස අසල ඔත්තු බැලූ මිතුරාගේ නිවෙසටය. ඒ පිහිටා ඇත්තේ මේ ව්‍යාපාරිකයාගේ නිවෙසට වම්පසිනි. 'බුවා' සමඟ නිවැසි 'කුඩ්ඩා' ඔත්තු බැලූ අතර කොල්ලයට යන්නේ අජිත් සමඟ හිටපු සෙබළා පමණි.
වේලාව රාත්‍රී 7.30ට පමණ වී තිබුණි. ව්‍යාපාරික නිවෙස වටේ පොඩි තාප්ප කෑල්ලක් ඇතත් එය ප්‍රශ්නයක් වන්නේ නැත. එහා පැත්තට විදුලිය නැතත් අදාළ නිවෙසට ආලෝකයේ අඩුවක් තිබුණේ නැත. ඉදිරිපස දොර විවෘතව තිබූ බැවින් දෙදෙනා නිවෙසට ඇතුළු වූයේ කිසිම අපහසුතාවකින් තොරවය. ව්‍යාපාරික බිරිය සහ කුඩා දියණිය සිටියේ සාලයේ රූපවාහිනිය නරඹමිනි. ව්‍යාපාරිකයා නාන කාමරයේය. නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනා දුටු බිරිය කෑගසද්දී දියණිය සහ බිරිය අල්ලා ගත් කොල්ලකරුවෝ ඔවුන් පුටු සැටියේ වාඩි කර වූවේ දරුවාගේ බෙල්ලට පිහිය තබාගෙනය. සාලයෙන් ඇසුණු කෑගැහිල්ලට කලබල වූ සැමියා සාලයට දුවගෙන ආවේ බිරියට උස් හඬින් කතා කරගෙනය.
"වැඩිය දඟලන්න එපා. එහෙම වුණොත් තොපි සේරම බාවනවා." බිරියගේ කර බැඳි රන් මාලය ගලවා ගත් කොල්ලකරුවන් ඊළඟට හැරුණේ සැමියා වෙතය. දියණිය සහ බිරිය ඔහුගෙන් ජීවිතය ඉල්ලා බලා සිටින අයුරු දුටු ව්‍යාපාරිකයාට කර කියාගත හැකි දෙයක් නොවුණේ මොවුන්ගෙන් කරදරයක් සිදුවීමේ අවදානම කොයි මොහොතේදැයි නිශ්චිත නොවන බැවිනි. අජිත් ව්‍යාපාරිකයා රැගෙන කාමරයට ගියේ රන් බඩු සහ මුදල් ඇත්තේ කොහේදැයි විමසමිනි. ඒ අතර බදුල්ලෙන් පැමිණි හිටපු සෙබළා කරන්නේ අනෙකාට හොරෙන් ව්‍යාපාරිකයාගේ බිරියගේ බේස්ලට් එක ගලවා ගැනීමය.
අල්මාරියේ තිබූ රන් මාල තුනක්, කරාබු ජෝඩු තුනක්, පෙන්ඩන් තුනක්, ෙබ්ර්ස්ලට් තුනක්, පවුමක රන් කාසියක් සහ රිදී කාසියක් කොල්ල කන මොවුන් රුපියල් පනස්තුන් දාස් දෙසීයක මුදල් ද රැගෙන පලා යන්නේ මේ ගැන පොලිසියට පැමිණිලි කළහොත් මරා දමන බවට තර්ජනය කරමිනි.
"මේ ගැන කට හොල්ලල තිබුණොත් තොපි විතරක් නෙමෙයි. තොපේ කොල්ලවත් මරනවා. අපි ඌවත් හොයා ගෙන ඉන්න තැනකට යනවා. හොඳට මතක තියා ගනිල්ල ඒක." කොල්ලකරුවන් එලෙස පිටව ගියේ වෙනත් ප්‍රදේශයක සිටින මේ ව්‍යාපාරික යුවළගේ පුතාව ද මරා දමන බවට තර්ජනය කරමිනි. සිදු වූ පාඩුව කෙසේ වුවත් ජීවිත ආරක්ෂා කර ගැනීම ප්‍රධාන කාරණය වන නිසා මේ ගැන කටක් හෙලවීමට ඔවුන් කටයුතු නොකළේ කොල්ලකරුවන්ට තිබූ බය නිසාමය.
කොල්ලයෙන් පසු මේ කල්ලිය රන් බඩු ටික දෙන්නේ කැස්බෑව ප්‍රදේශයේ පදිංචි තවත් මිතුරෙකුටය. ඔහු මහරගම ප්‍රදේශයේ රන් බඩු කඩයකට ඒවා රැගෙන ගොස් විකුණා දමන්නේ ලක්ෂ හතහමාරක් වැනි සුළු මුදලකටය.
හොරුන්ගෙත් හොරු කම්බ හොරු බව පෙන්වා දෙමින් හිටපු සෙබළා බේස්ලට් එක රැගෙන යන්නේ අලුත්ගම නගරයේ රන් බඩු අලෙවිසලකටය. ඔහු ඊට රුපියල් දෙලක්ෂ විසිපන්දාහක මුදල් ලබා ගන්නේ කල්ලියේ අනෙක් තිදෙනාට හොර රහසේය. රන්බඩු සහ කොල්ල කන ලද මුදල්වලින් මේ සැලසුම ක්‍රියාත්මක කළ 'බුවාට' රුපියල් තිස්පන්දාහකුත් ඔහු සමඟ ඔත්තු බැලූ අනෙකාට රුපියල් පහළොස් දහසකුත් දුන් අතර සෙසු දෙදෙනා අතර ඉතිරිය බෙදා ගත්තේ මහන්සියේ තරමට ප්‍රතිඵල ලබාගත යුතු බැවිනි. ඉන්පසුව සියලු දෙනාම එකතුව ලක්ෂ තුන හතරක්ම වියදම් කර කුඩු සාද පැවැත්වූවේ අපහසුවක් නොමැතිව ලැබුණ මුදල් හිතුමතේ වියදම් කරමින් කා බී විනෝද වෙමිනි.
මේ කොල්ලය ගැන හල්පිට ප්‍රදේශය පුරා ආරංචිය පැතිරී ගියේ ක්ෂණයකිනි. විවිධ පුද්ගලයින් විවිධ කතා කියමින් මේ ගැන 'පුවත් මවන' විට ව්‍යාපාරිකයාට හෝඩුවාවක් ලැබෙන්නේ මෙය 14 කණුවේ අජිත්ලා සිදු කළ එකක් බවටය. ඒ කොල්ලයට මාසයක් පමණ ගත වෙන අවස්ථාවේය. ව්‍යාපාරිකයා කැස්බෑව පොලිසියට මේ ගැන පැමිණිලි කරන්නේ ඒ අනුවය.
කෑස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද අබේරත්න ප්රමුඛ පොලිස් පරීක්ෂක වීරවර්ධන ඇතුළු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කළේ ඒ අනුවය. මුලින්ම නිලධාරීන් සොයා බැලුවේ අජිත් සමඟ සමීපයෙන් සිටින පිරිස පිළිබඳවය. එවිට දැන ගැනීමට ලැබෙන්නේ මොහු 'මිරිස්වත්තේ බුවා' සමඟ සම්බන්ධකම් පවත්වන බවත් 'බුවා' ළඟ ව්‍යාපාරිකයා විස්තර කළ ආකාරයේ දැති පිහියක් තිබෙන බව දැක ඇති බවත්ය.
මේ අනුව කොස්තාපල් 75769 ජයතුංග විසින් මුලින්ම අත්අඩංගුට ගත්තේ මිරිස්වත්තේ බුවාවය. ඒ ඔහුගේ නිවෙසේදීය. ඔහු විසින් නිවෙසේ සඟවා තිබූ පිහිය ද සොයා ගැනීමට අපහසු වූයේ නැත. ඉන්පසුව අජිත්ගේ දෑතට මාංචු වැටුණු අතර තවත් කොල්ලයකට පැමිණෙන ලෙස බදුල්ලේ පුද්ගලයාට අජිත් විසින් පවසා ගෙන්වා ගත්තේ පොලිසියේ උපදෙස් අනුවය. මේ අනුව ව්‍යාපාරිකයාගෙන් රන්, මුදල් කොල්ලකෑ මත්ලෝලී පස්දෙනාගේ කල්ලියට සිදු වෙන්නේ එකටම කූඩු වී කළ පව් ගෙවීමටය. කොල්ල කන ලද රන් බඩු ද සොයා ගැනීමට හැකි වූයේ සැකකරුවන්ගේ ප්‍රකාශ මතය. ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය හා සහකාර පොලිස් අධිකාරී සාරානාත් සමරකෝන්ගේ උපදෙස් සහ අධීක්ෂණයෙන් විමර්ශන සිදු විය.