- ධනාගේ තාත්තාගේ ලොකුම බලාපොරොත්තුව වුණේ එයාගේ ක්‍රිකට් ජීවිතේ. මේ මෑතකදී තරගයකදී ශතකයක් ගත්ත වෙලාවේ එයා කිව්වේ මේ සෙන්චරිය මගේ තාත්තා වෙනුවෙන් කියලා
- මම තුන්සිය හැටපස් දවසෙම හිටියත් මාස දෙක තුනක්වත් ළඟ නැති තාත්තට තමයි දුවත් ආදරේ
- අපේ ජීවිතේ හරිම සරලයි ඒ නිසා සතුටින් ජීවත් වෙනවා
- අපි දෙන්නත් රණ්ඩු වෙනවා; ඒක සාමාන්‍ය දෙයක්
“ධනංජයගේ හා අපේ පවුල් දෙක මම පුංචි කාලේ ඉඳලා හිතවත් පවුල් දෙකක්. මම ගොඩක් චූටි කාලේ ඉදලා ධනංජයව දන්නවා පවුලේ යාළුවෝ නිසා. හැබැයි අපි හිනා වෙනවා, වචනයක් දෙකක් කතා කරනවා එච්චරයි. එයාට වඩා මම අවුරුදු පහක් බාලයි. එයා රිච්මන්ඩ් යද්දී මම ඒකේ ගර්ල්ස් කොලේජ් ගියේ. මම සාමාන්‍යපෙළ කරද්දී එයා ක්ලබ් ප්‍රැක්ටිස් යනවා. අපේ ඉස්කෝලෙට යන්න පොඩි කන්දක් තියෙනවා. ඒ කන්ද පාමුල එයා උදේට ඉන්නවා. මම එතනින් යද්දී හිනා වෙනවා. හැමදාම එයා ඉන්නවා. ටික දවසක් ගියාට පස්සේ මට එයාගේ වෙනසක් තේරුණා. ඒක ආදරයක් කියන එකම නෙමෙයි. නිකම් විශේෂත්වයක් වගේ දෙයක්. ඒත් එක්කම අපි දෙන්නා නිතරම කතාබහ කරන්න පටන් ගත්තා, කතා කළෙත් දවසේ වෙච්ච සිදුවීම් විතරයි.
එතකොට මම සාමාන්‍ය පෙළ කරන කාලේ. පස්සේ අපි දෙන්නගේ මවුපියන් අපේ විවාහය ගැන කතා කරලා කැමැත්ත දුන්නා, අපේ සම්බන්ධකමක් නැතුවම. ගෙදර කැමැත්ත දුන්නට පස්සේ තමයි අපි ආදරේ කරන්නේ. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු ඉවර වුණා ට පස්සේ 2008 වර්ෂයේ දෙසැම්බර් 03 වැනිදා. ඒකත් වෙන්නේ හදිසියේම. මොකද එයාට මාස තුනක නවසීලන්ත සංචාරයකට සම්බන්ධ වෙන්න තිබුණා. මම ධනාට කිව්වා “මට නම් ඔයා නැතුව එච්චර කල් ඉන්න බැහැ”කියලා. ඊට පස්සේ එයා මගෙන් ඇහුවා “අපි බඳිමුද” කියලා. මමත් කැමති වුණා. එයා යන්න සති දෙකක් තියෙද්දි වෙඩින් එක ගත්තා. උදේ බැඳලා රෑ එයා නවසීලන්තයට ගියා. මමත් සති දෙකක් ලංකාවේ ඉඳලා නවසීලන්තයට ගියා. ඒ තමයි මගෙත් මුල්ම සංචාරය වුණේ. එයත් එක්ක මේ වෙද්දී මම එංගලන්තයට හා ඕස්ට්‍රේලියානු සංචාරය කරලා තියෙනවා. ඒවා මගේ ජීවිතේට ලැබුණු අලුත් අත්දැකීම්. ඒ වගේම තරග සංචාරවලට ගිහාම අනෙක් රටවල්වල ක්‍රීඩකයන් දැකගන්න ලැබෙනවා. එයාලා කතා නොකළත් හිනා වෙලා හලෝ කියනවා. මම කැමතිම ක්‍රීඩකයා දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොක්. ඔහුව නම් මුණ ගැහිලා නැහැ .. ඒ වගේම කියන්න ඕන ධනා නිසා තමයි මම ක්‍රිකට් ගැන දන්නේ හා බලන්නේ කියන එක. ඉස්සර මම ක්‍රිකට් මැච් බැලුවට හතර හය සීමාවවත් දන්නේ නැහැ . දුව එක්ක දැන් මැච් බලන්න බැරි වුණත් ටීවී එක ඇහෙන්න හරි දාගෙන ඉන්නවා.“
සුන්දරම ආදර කතාවක මතක අවදි කරමින් එසේ අප හා කතාබහට එක්වූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධනංජය ද සිල්වාගේ ආදරණීය ප්‍රියම්භිකාව ය. ඇය නමින් සඳුනි නිසංසලාය. ධනංජය හා සඳුනිට මාස හතක් වයසැති ආන්යා අමේලී නමින් සුරතල් දියණියක් වේ.
ධනංජය ද සිල්වා යනු ජාතික ක්‍රිකට් කණ්ඩායම අමාරුවේ වැටුණු අවස්ථාවල පන්දුවෙන් ප්‍රතිවාදි පිතිකරුවන් දෙතුන් දෙනකුගේ කඩුලු දවාගෙන සිය කණ්ඩායමට ශක්තියක් වූ දක්ෂ පන්දු යවන්නෙකි. එමෙන්ම පිතිකරුවකු ලෙස ඔහුට ආරම්භක, මැද පෙළ හෝ කුමන ස්ථානයක් හිමි වුවත් ප්‍රතිවාදීයාට ඔහුගේ පිත්තේ වේගය පෙන්නුවේය.a
රත්මලාන ගම වුවත් හම්බන්තොට දී උපත ලබන ඔහු රැගෙන මවුපියන් සිය පවුල පිටින් දෙබරවැවට යන්නේ තම දරුවා කෙසේ හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිරීමේ අරමුණ ඇතිව නොව අහම්බයෙනි. එහෙත් එය ධනංජයට ක්‍රිකට් සඳහා අත්පොත් තබන්නට ලැබුණු අවස්ථාවක් වන්නේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබීමෙනි.
ධනංජයගේ ආදරණීය පියා කවුරුත් දන්නා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී වරයකු වූ රංජන් ද සිල්වා ය. ආදරණීය මව රම්‍යලතා ය. ධනංජයගේ වැඩිමහල් සහෝදරයා සාවිත්‍ර ද සිල්වා ක්‍රිකට් ක්ලබ් සමාජයක පුහුණුකරුවෙකි. බාල සහෝදරයා අයෙෂ්මන්ත ද සිල්වා ය. ධනංජයගේ පියාගේ උපන් ගම වූයේ තිස්සමහාරාමයයි. ඔහු ජීවිකාව කරගත්තේ ධීවර රැකියාවයි. පසු කලෙක ඔහු ඉන් ඉවත් වී හමුදාවට බැදුණේය. කෙටි කලක් එහි සේවය කළ හෙතෙම පසුව එයින් ද ඉවත් වී කොළඹ නගර සභාවේ සේවයට බැඳෙන අතර, විශ්‍රාම ලබන විට ඔහු එහි වැඩ බලන පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. ඒ අතරුතුර දේශපාලනයට ද සම්බන්ධ වූ හෙතෙම හමුදා සේවයේ යෙදී සිටියකු නිසා ඔහු බොහෝ දෙනකු අතර ඔහු ප්රකටව සිටියේ “ආමි රංජිත්” ලෙසිනි. 2018 වර්ෂයේ මැයි මස 24 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් සිදුවූ ඔහුගේ වියෝව තවමත් ධනංජයගේ හදවත කම්පා කරවන සිදුවීමකි.
“එයාගේ තාත්තා නැති වුණු දවසේ එයා හිටියේ ගාල්ල අපේ ගෙදර ඇවිත්. මම ගාල්ලේ හිටපු නිසා මාව බලන්න ඇවිත් හිටියා. ඊට පහුවදා එයාට කොදෙව් සංචාරයකට යන්න තිබ්බා.තාත්තා නැති වුණා කියන ආරංචි ආවම එයා ලොකු කම්පනයකට පත්වුණා. ගොඩක් වෙලා යනකල් එයා කාත් එක්කවත් කතා කළේ නැහැ, අඩු තරමින් මාත් එක්කවත්. මම එයා එහෙම ඉන්නවා ඊට කලින් දැකලා තිබ්බෙත් නැති නිසා මමත් බය වුණා. එහෙමම එයා බිම හාන්සිවෙලා හිටියා පොඩි ළමයෙක් වගේ. ඊට පස්සේ මම යනවා කියලා එයා කොළඹ ආවා. එදා එයාව සනසන්න මම මොනවා කිව්වත් වැඩක් වුණේ නැහැ. එයා ලොකු කම්පනයකින් ගිය නිසා මමත් බයෙන් හිටියේ ධනාට කරදරයක් වෙයිද කියලා. ඒ මොහොතේ මම කිව්වේ “තාත්තාගේ ලොකුම බලාපොරොත්තුව ඔයා, ඔයාගේ ක්‍රිකට් ජීවිතේ. එයා නැති වුණත් එයාගේ බලාපොරොත්තු කඩන්න එපා. ඒ ගමන යන්න ඔයා දිහා තාත්තා බලගෙන ඉඳීවී” කියලා. මම හිතනවා එයාට ඒ වෙලාවේ කිසි දෙයක් ඔළුවට ගියේ නැහැ කියලා . නමුත් තාත්තා වෙනුවෙන් එයා ශක්තිමත්ව ඉන්න ඕන කියන එක එයත් හිතුවා. තාත්තා නැති වුණාට පස්සේ එයා තාත්තා වෙනුවෙන් ක්‍රීඩා කළා. මේ මෑතකදී තරගයකදී ශතකයක් අරගෙන එයා කිව්වේ මේ සෙන්චරිය මගේ තාත්තා වෙනුවෙන් කියල. ඒ තරම් එයා තාත්තාට ආදරෙයි. ගෙදර ඉද්දි එයා දුව එක්කමයි ඉන්නේ. එයාව වඩාගෙන කියනවා සීයා තාත්තා හිටියා නම් ඔයාව බිමින් තියන්නේ නැතුව අද ඔයාව බලාගයි කියලා.
ධනාගේ තාත්තා ධනාව ක්‍රිකට්වලට මුලින් යොමු කළාට ටික කාලයක් යද්දි තමයි එයා දක්ෂයෙක් දැකලා එයාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්නම ඕන කියලා හිතලා තියෙන්නේ. ඒ නිසා තමයි උසස් පෙළ කරද්දි එයාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට දාන්නේ. එයාගේ පුහුණුකරු රිච්මන්ඩ් ගිය නිසා ධනාවත් ඒ පාසලට අරගෙන තියෙනවා. ඊට පස්සේ එයා දිගටම එයාගේ දක්ෂතා පවත්වාගෙන ගියා. නමුත් ධනා මට කියලා තියෙනවා එයා ජාතික කණ්ඩායමට තේරුණේ එයා බලාපොරොත්තු වුණු කාල වකවානුවේ නෙමෙයි කියලා. එයා හිතපු විදිහට එයාට අවුරුදු 22ක් 23ක් තියෙද්දි ජාතික කණ්ඩායමට එන්න පුළුවන් කියලා හිතලා තියෙනවා. නමුත් අවස්ථාව නොලැබුණා කියලා එයා උත්සාහය අත ඇරලා නැහැ. ඒ උත්සාහය නිසාම එයාට අවස්ථාව ලැබුණා...“
ධනංජයගේ ආදරණිය බිරිය සඳුනි එලෙසින් පැවසුවාය. ධනංජය පිටියට පිවිසෙන විටදී මෙන්ම ප්‍රතිවාදි පන්දු යවන්නන්ගේ පීඩාකාරී පන්දු හමුවේ පවා ඔවුන් සමඟ කටයුතු කරන්නේ සිනහා මුවෙනි. ඒ අහිංසක සිනහව නිවෙසේදීත් එසේම දැයි අප සඳුනිගෙන් ඇසුවෙමු.
“අපි දෙන්නත් රණ්ඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. පුංචි පුංචි රණ්ඩු හැම ගෙදරකම ඇති. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. අපි දෙන්නා රණ්ඩු වෙන්නේ කෑම බීමට තමයි වැඩියෙන්ම. මොකද එයා ශරීර සෞඛ්‍ය ගැන හරියට හිතන කෙනෙක් . මම තෙල්, සීනී,පිටි කෑම වැඩිපුර කද්දි එයා මට බනිනවා. එයා පරෙස්සම් වුණාට මම ඔහේ කනවා බොනවා කියලා. පුංචි පුංචි කතාබහ ඇති වුණත් ඒවා එයා ලොකු කරගන්නේ නැහැ. පිටින් පේන අහිංසකකම ගෙදරදිත් එහෙමයි. හිනා වෙලා ජීවත් වෙන්න කැමති කෙනෙක් . මම කිව්වොත් අනේ ධනා මේක අමාරු වැඩක් මේක නම් කරන්න බැහැ , අපිට මේක කරන්න බැහැ වගේ ඍණාත්මක දේවල් එයා කියන්නේ නැහැ ඔයාට පුළුවන් අපිට පුළුවන් අපි මේක කරලා බලමු කියලා. කිසිම කඩා වැටීමකදී එයා පසුතැවෙන්නේ නැහැ. ආයෙමත් නැඟිටින එක ගැනයි හිතන්නේ. ගෙදර නිවාඩු පාඩුවේ ඉන්නකොට මායි, බබයි, ගේම් එකයි තමයි එයාගේ ලොකුම දේ. එයා ගේම් ගහන්න ආසයි. ඒ වගේම ගෙදර වැඩවලට උදව් කරනවා. පැත්තකට වෙලා එයාගේ වැඩක් බලාගන්නේ නැහැ.කාට වුණත් උදව් උපකාර කරලා සතුටින් ඉන්න තමයි බලන්නේ. දුවට හරිම ආදරෙයි. රෑට බබා ඇහැරුණාම මට කලින් බබාව අරගෙන නළවනවා. බබාට සැර කරන්නවත් දෙන්නේ නැහැ.
දුව ඉපදෙන්න ඉන්නකොට එයා මගේ ළඟ හිටියේ සති දෙකක් වගේ පොඩි කාලයක්. ඉතුරු මාස නමයම එයා මගේ ළඟ නැති නිසා මම හිතුවා බබා ලැබුණට පස්සේ බබාට තාත්තව අඳුනගන්නත් බැරි වෙයි, එයාට තාත්තා කියන එකකුත් නැහැ කියලා. නමුත් ලැබෙන කෙටි විවේකයේදිත් එයා අපි ළඟින් ඉන්නවා. මම තුන්සිය හැටපස් දවසෙම ළඟ ඉඳලත් මාස දෙක තුනක් ළඟ නැති තාත්තාට තමයි දුවත් වැඩිපුර ආදරේ. ධනා දන්නවා පවුල් ජීවිතේ කොහොමද සතුටින් ගතකරන්නේ කියලා. එයාගේ නිහතමානී ගති එක්ක අපි සතුටින් ජීවත් වෙනවා."
මුදල් හා ජනප්‍රියත්වය නිසා ඇතැම් පුද්ගලයන් වෙනස් වුවද ක්‍රිකට් නිසා යහමින් මුදල් උපයන සිය ආදරණීය සැමියා එසේ වෙනස් නොවනු ඇතැයි ඇය පැවසුවේ විශ්වාසයෙනි.
“එයා වෙනස් වෙනවා නම් වෙනස් වෙලා ගොඩක් කල්. එයාට සල්ලි ලොකු නැහැ වගේම තමා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ඔළුවට අරගෙනත් නැහැ. ගෙදරට බඩු ගෙන්න සුපර්මාකට් විතරක් නෙවෙයි අපි දෙන්නා පොළටත් යනවා. මොනා හරි කන්න ආස හිතුණොත් තැන නොතැන බලන්නේ නැහැ පෙට්ටි කඩයකින් වුණත් කනවා. අපි බඩු ගන්නේ ළඟම තියෙන කඩෙන්. ජීවිතේ හරි සරලයි. ඒ නිසා වෙන්න ඇති අපි සතුටින් ජීවත් වෙන්නේ. ඒ වගේම මම හිතන්නේ නැහැ ධනා වෙනස් වෙයි කියලා .“
මේ වන විට ධනංජය සිටින්නේ එක්සත් අරාබි එමිල් රාජ්‍යයේය. ඒ ආසියානු කුසලානයට සම්බන්ධ වෙමිනි. තරග සඳහා වැඩිපුර කාලයක් නිවෙසින් පිටත සිටින ඔහුට ක්‍රීඩා ලෝලින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ද ඇය සිහිකළේ කෘතවේදීවය.
“ජනතාවගේ ආකර්ෂණය හැම කෙනෙකුටම හම්බෙන්නේ නැහැ. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු නිසයි එයාව බොහෝ දෙනෙක් හඳුනන්නේ. බොහෝ දෙනෙක් ආදරේ කරන්නෙ. එයා යන එන තැන්වලදි මුණගැහෙන පිරිස් ඇවිත් කතා කරනවා. එයාව දැකලා අනේ අර ධනංජය නේද කියලා සතුටින් ළඟට ඇවිත් කතා කරනවා දකිද්දි මට නම් හිතෙන්නේ ඒවා ආශිර්වාද කියලයි. එයාගේ බිරිය වීම ගැන නිහතමානීව සතුටු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් නැතත් එයා මගේ සැමියා. මම වැඩිපුරම ආදරේ කරන කෙනා. මම ආදරේ කරන්නේ එයාගේ ගතිගුණවලට. අපේ දුවට එයා හොඳ තාත්තා කෙනෙක්. මට හැමදේටම වටින්නේ ඒ සතුට තමයි..“