තොරණක් තනියම හැදූ 13 හැවිරිදි සෙනුර | සිළුමිණ

තොරණක් තනියම හැදූ 13 හැවිරිදි සෙනුර

 උත්සාහයක් ඇති කෙනාට කරන්න බැරි දෙයක් නැහැ කියලයි අපි අහල තියෙන්නේ. පහුගිය දවස්වල ලංකාවෙ හැම නගරයකම තොරණ දැක ගන්න පුළුවන් වුණා. මාස ගාණක් තිස්සේ සංවිධානය කරල චිත්‍ර නිර්මාණය කරල දරපු උත්සාහයේ ප්‍රතිඵල තමයි ඒ විදිහට අපේ සිත් සතන් පහන් කරන්නේ. මේ තොරණ ඉඳි කරන්න කණ්ඩායම් ගණනාවක්ම සම්බන්ධ වෙනවා. චිත්‍ර අඳින්න වෙනම කට්ටියක්. විදුලි බලයට වෙනම කණ්ඩායමක් තොරණේ සැකිල්ලට තවත් කණ්ඩායමක් මේ විදිහට තොරණක් ඉඳි කරන්න සම්බන්ධ වෙන කණ්ඩායම් වලට අමතරව තොරණට වැය වෙන මුදල් සොයා ගන්නත් කට්ටියක් සම්බන්ධ වෙනවා. තොරණ ඉඳි කිරීමෙන පසුව ඒ ගැන විස්තර කරන්නත් තවත් පිරිසක් ඉන්නවා.

කො‍ෙහාම වුණත් ඒ වැඩේට හොඳින් අත්දැකීම් තියෙන අය ඉන්න ඕන. තොරණක් කියන්නේ සාමාන්‍යයෙන් ලෙහෙසි පහසුවෙන් ඉඳි කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. වෙසක් පහුවුණත් තාමත් දවස් ගාණක් තොරණ ප්‍රදර්ශනය කරන්නේ ඒ නිසයි. මේ තරම් බාරදුර කාර්යයක් වෙන තොරණක් ඉඳි කරන්න අවුරුදු 12ක 13ක කොලු ගැටයෙක් හිතුවොත් ඒක හිනයක් වගේ. ඒත් ඒ හීනය සැබෑ කරගන්න පුංචි පුතෙකුට හැකි වුණා. ඒ හීනයත් එයා අවුරුදු 5දි ඉඳලම හිතේ මවාගෙන ඉඳල තියෙනවා.

තමන්ගේ ශක්තිය උපරිම වශයෙන් යොදල තොරණක් නිර්මාණය කරන එක තමයි මේ පුංචි පුතාගේ උත්සාහය වෙලා තියෙන්නේ.

කඩවත පහළ කරගහමුණ ආයුර්වේද හන්දියේ (බෙලිගොල්ල) පදිංචි උපාලි ජයරත්නගේ වැඩිමහල් පුතා තමයි මේ හපන්කමට ඉදිරිපත් වුණේ. තාමත් අවුරුදු 13ක් වුණු සෙනුර සේනාත් ජයරත්න පුංචි පුතා තමයි තොරණේ නිර්මාණකරුවා වෙන්නේ.

ලොකු අය කරන ලොකු ලොකු හපන්කම් වලට වඩා තමන්ගේ ශක්තියෙන් තමන්ට පුළුවන් විදිහට බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන ආකාරයට තනියම මේ තොරණ ඉඳි කරන්න තමයි සෙනුරට ඕනැ වෙලා තිබුණේ. පාසල් වැඩ කටයුතු නිසා මාසයකට විතර කලින් ඉඳල තමයි එයා මේ වැඩේට සූදානම් වෙලා තියෙන්නේ. ලොකු අය කණ්ඩායම් පිටින් එකතු වෙලා කරන තොරණ තරම් ඉහළ මට්ටමකින් ඉඳි කරන්න නොහැකි වුණත් අවුරුදු 13ක දරුවකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක් තමයි සෙනුර කරල තියෙන්නේ.

අම්මයි තාත්තටයි අමතරව මල්ලි විතරයි සෙනුරට ඉන්නේ මේ අයගේ සහායත් පුළු පුළුවන් විදිහට සෙනුරට ලැබුණත් සෙනුර පුළුවන් තරම් තමන්ගේ ශක්තියෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ.

සෙනුර නිර්මාණය කරපු මේ තොරණට පාදක කරගෙන තියෙන්නේ අනුවණ ක්‍රියා කිරීමෙන් තමන්ද විපතට පත්වෙන බව දැක්වෙන ‘සන්ථ ජාතකය‘ යි. නිෂ්ඵල ක්‍රියාවන් නිසා විපතට පත් වන ආකාරය මේ ජාතකයෙන් විදහා දක්වන්නට සෙනුර කටයුතු කර තිබෙනවා.

කතාංග කොටස් පමණක් 17කින් සමන්විත මේ තොරණ උසින් අඩි 25කටත් වැඩියි. පළලින් අඩි 15කටත් වැඩියි. ඊට අමතරව දෙපසින් විශාල හංසයින් දෙන්නෙක් නිර්මාණය කරන්නත් කටයුතු කරල තියෙනවා.

තොරණ ප්‍රදර්ශනයට තබල තිබුණේ රාගම - කඩවත මහා මාර්ගයේයි. විදුලි බලය ලබා දී තිබුණේ සෙනුරගේ වයස අවුරුදු 13 අත්දැකීම් අනුව කුඩා විදුලි බල්බ වැල් මඟින්. ඒ වුණත් ඒ තොරණ දරුවකු විසින් කළ නිර්මාණයක් කියලා හිතන්න බැහැ.

සෙනුර අවුරුදු 5ක කාලයේ ඉඳලම තොරණක් ඉඳි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි බවයි සෙනුරගේ මව වන දීපා නන්දනී පවසන්නේ. නිවසේ සෑම තැනකම බුදුරජාණන් වහන්සේගේ චිත්‍ර ඇදීමට සෙනුර කුඩා කල සිටම දස්කම් දැක්වූ බවත් ඇය පවසනවා. සෙනුරගේ ආසාව මුදුන් පත් කර ගන්නට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් ඇය අපට පැවසුවා.

සෙනුර කළුලෑල්ලක කුඩා තොරණක් මීට පෙර සෑදු බවත් එයට විදුලිය බලය ලබා දී සතුටු වූ බවත් ඇය අපට පවසා සිටියා.

වෙසක් මාසය ආරම්භ වන විට සෙනුරගේ ගේ පුරාම සෙනුර නිර්මාණය කරන ලද සිතුවම් ගොඩ ගසා තිබුණු නිසා ගෙදර දොරේ වැඩ කටයුතු කර ගන්නටත් සෙනුරගේ අම්මටත් තාත්තටත් අමාරු වුණා. ඒ වුණත් අම්මත් තාත්තත් සෙනුරගේ පවුලේ සිටින අනෙක් සාමාජිකයා වන සෙනුරගේ මල්ලීත් ඒ සඳහා හැකි උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඒ දායකත්වයත් සෙනුරගේ මේ උත්සාහයේ ප්‍රතිඵල ලබන්නට හැකි වූ බවයි උපාලි මහතා පවසන්නේ.

චිත්‍ර ඇඳීමට උපන් හපන්කම් ඇති සෙනුර තමන් අධ්‍යාපනය ලබන කඩවත - කිරිල්ලවල මහා විද්‍යාලයේත් චිත්‍රවලින් දස්කම් දක්වා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කඩවත පහළ කරගහමුණ, ගල්ඒදණ්ඩ රජ මහා විහාරයේ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සෙනුර දහම් පාසලේ සමස්ත ලංකා සිසු නිපුණතා ඇගැයීම් තරගවලින් ප්‍රාදේශීය මණ්ඩල තරගද ජයග්‍රහණය කර තිබෙනවා.

කෙහොම වුණත් සෙනුරට හොඳ මඟ පෙන්වීමක් ලබා දෙන්න පුළුවන්නම් හොඳ අනාගතයක් ගොඩ නඟා ගන්න පුළුවවන් වෙයි කියලයි අපට නම් පෙනෙන්නේ.

තවමත් 8 වැනි ශ්‍රේණියේ ඉගෙනම ලබන සෙනුර ගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගෘහ නිර්මාණ කලාවට සම්බන්ධ රැකියාවක් කරා ඉදිරිය සකස් කර ගන්නයි. ඒ වුණත් තමන්ගේ චිත්‍ර නිර්මාණය අත් නොහරින බවත් ඔහු පවසනවා. කවදා හරි ලස්සනට බල්බ් වටකරපු තොරණක් ඉඳි කරන එක තමයි සෙනුරගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. සමහර විට එළැඹෙන පොසොන් පොහොයට එහෙමත් නැත්නම් ඇසළ පොහෝ දිනවලදී හරි මේ තොරණ අලුත් විදිහකට නිර්මාණය කරන්නත් සෙනුරට පුළුවන් වෙයි.‍ කොහොම වුණත් ඒ දිනය වැඩි ඈතක නොවන බව සෙනුරගේ මේ නිර්මාණය අපට පසක් කළා. සෙනුරගේ ඒ බලාපොරොත්තුවට අපිත් සුබ පතනවා.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රංජිත් අසංක

 

Comments