කඳු‍‍ෙළන් නිම වූ උපන්දින සාදය | සිළුමිණ

කඳු‍‍ෙළන් නිම වූ උපන්දින සාදය

 

සාදයකට ආරාධනාකොට එහිදී ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් වයස අවුරුදු 24ක අයෙකුට නිවැසියා විසින් එල්ල කළ යකඩ පොලු පහරක් හේතුවෙන් පොලු පහර කෑ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ කුලියාපිටිය පොලිස් ස්ථානයෙනි. මෙසේ ඝාතනය කැරුණේ කුලියාපිටිය මාදරවත්ත පදිංචිකරුවෙකු බව කියන ජනුෂ්ක දිල්ෂාන් නැමැත්තෙකි. මේ සිද්ධිය ගැන කුලියාපිටිය මාදරවත්ත ප්‍රදේශවාසින්ගේ දැඩි අවධානය ද යොමුවී තිබුණු අතර එම පුවත ඇසූ බොහෝ දෙනෙකු සංවේගයට පත්වූහ.

තම ආරාධනයෙන් උපන්දින සාදයකට කුලියාපාටිය ප්‍රදේශයේ නිවසකට කැඳවූ ජනුෂ්ක දිල්ෂාන් තරුණයා සමඟ පැරණි කෝන්තරයක් නිසා නිවැසියා ඇතිකර ගත් ආරවුලක් මේ ඝාතනයට හේතුවිය.

එමෙන්ම බහින්බස්වීමේදී ඝාතකයායැයි කියන පුද්ගලයාගේ බිරිය සමඟින් ද ජනුෂ්ක බහින්බස් වී ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මේ ඝාතනයට සැක පුද්ගලයාගේ උපන්දින සාදය පැවැත්වී ඇති අතර එහිදී ආරාධිත සමහරුන් සඳහා මත්පැන් ද සපයා තිබී ඇත. මේ සාදය සඳහා ජනුෂ්කට ද ආරාධනාවක් ලැබී තිබිණි. සාදය අතරතුරදි සැකකරුගේ බිරිය සමඟ ජනුෂ්ක බහින්බස්වී ඇති අතර ඊට සාදය පැවැත්වූ පුද්ගලයා ද මැදිහත් වී ඇත.

මේ ආරවුල දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් ද සිදුවී ඇති බව පොලිසිය කියයි. ජනුෂ්ක ඝාතනය වී ඇත්තේ ඉන් අනතුරුවය.

ජනුෂ්කට පහර දෙමින් බිම දිගේ ඇදගෙන ගොස් ඒ අසල වූ කණුවක ගැට ගසා එම අවස්ථාවේ සාදයට සහභාගී වෙමින් සිටි ඔහුගේ තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟින් ජනුෂ්කට පහරදී ඇති බව හෙළිවී ඇති අතර ප්‍රධාන සැකකරු අත තිබූ යකඩ පොල්ලකින් ජනුෂ්කගේ හිසට පහරක් එල්ල කර ඇති අතර එම පහරින් ජනුෂ්ක සිහිසුන්වී ඇති බවද පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි විය.

එහිදී ප්‍රධාන සැකකරු ජනුෂ්කට යකඩ පොල්ලකින් හිසට කළ පහරදීම හේතුවෙන් සිහිසුන් වූ ජනුෂ්ක ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව 1990 ගිලන් රථයකින් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් බරපතළ තත්ත්වයේ සිට ඇත.

මරණාසන්න තුවාල සහිතව සිටි ජනුෂ්ක පොලිසියට ප්‍රකාශයක් කර තිබීම ද විශේෂත්වයකි. එහිදී තමන් එම සාදයට පැමිණීමෙන් පසු ඇතිවූ තත්ත්වය පිළිබඳව ඔහු සාරාංශ ප්‍රකාශයක් පොලිසියට ලබාදී තිබෙන බවත් ඒ පිළිබඳව මේ වනවිටත් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වා ඇතැයි ද කුලියාපටිය පොලිසිය කියයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව වැඩි වේලාවක් ජනුෂ්ක ජීවතුන් අතර සිටියේ නැත.

ජනුෂ්කගේ මරණයත් සමඟම වහාම ක්‍රියාත්මක වූ කුලියාපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අශයේ නිලධාරින් ඝාතනය සිදුවූ නිවසට ගොස් සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව සැකකරු සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇතත් ඊට සම්බන්ධිත සෙසු පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් සිටි නිසා කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරීගෙන් ලද උපදෙස් අනුව කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

ඒ අතර මේ සිද්ධිය වූ බව කියන ස්ථානය කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ විසින් පරික්ෂාවට ලක්කළ අතර ඝාතනයට ලක්වූ ජනුෂ්කගේ මෘත ශරීරය නිරීක්ෂණය කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ද ගියේය.

සැකකරුවන් කුලියාපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රක්ෂිත බන්ධනගාර ගත කොට ඇත.

සාදය පැවැත්වුණු නිවසේ ප්‍රධානියා වන චාමර නමැති පුද්ගලයා මුලින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් වන ශෂික, සජිත් සමඟින් එම සාදයේම සිටි තවත් අයෙකු ඇතුළු සිවු දෙනෙකු මේ වනවිටත් රක්ෂිත බාරයට පත්කර ඇත.

ජනුෂ්ක ගමේ හැම දෙනාගේ මිතුරකු බව කොයි කාගේත් අදහසයි. තරාතිරම නොබලා හැමදෙනාටම උදවු උපකාර කරමින් කටයුතු කළ ජනුෂ්ක සමාජ විරෝධී කටයුතුවල නිරත නොවුණේ නම් ජනුෂ්කට සමකළ හැක්කෙක් නොමැති බවද ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

ජනුෂ්ක ඇසුරු කර ඇති ඇතැම් පුද්ගලයින් නිසා ඔහු යම් දුරාචාරවල නිරතව සිට ඇති බව ද ප්‍රදේශවාසීහු සඳහන් කරති. ජනුෂ්ක ඝාතනයට ලක්වන විට ඔහුගේ බිරිය ගැබිනියකි.

කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායකගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සිල්වා, උප පොලිස් පරීක්ෂක සුදේශ් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Comments