ත්‍රස්තවාදය පැරදවීම සහ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම | සිළුමිණ

ත්‍රස්තවාදය පැරදවීම සහ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම

 දරුණු වූද, ම්ලේච්ඡ වූද, ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සටන් කර ජයග්‍රහණය කිරීමට නම්, යුදමය දක්ෂතාව, කැපවීම, අධිෂ්ඨානය මෙන්ම සතුරා තුරන් කිරීමේ පරමාර්ථය ද තිබිය යුතු වේ. ශ්‍රී ලංකාව තුළ වසර තිහකට අධික වූ කාලයක් පුරා එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන් විසින් සිය සාහසික ක්‍රෑරත්වයට මොනවට පිළිබිඹු කරමින් තම ඉලක්කයන් වූ මිනිස් ජිවිත විනාශ කිරීම සඳහා එතෙක් ලොව කිසිම රටක භාවිත නොවුණු ආකාරයේ අවි ආයුධ ඔවුන් විසින් ම නිපදවා ගැනීමට පවා සමත් වූ අතර, එය සාමාන්‍ය පොදු මහජනතාවට ද අතිමහත් බියකුරු හිසරදයක් ද විය.

ගරිල්ලා සටන් උපක්‍රම භාවිත කරමින් සහ දේශීය වශයෙන් වැඩිදියුණු කරන ලද විවිධ වූ බෝම්බ වර්ග නිෂ්පාදනය කරමින් හමුදා ක්‍රියාන්විතයන් සහ එම බලවේගයන් මැඬලීමට ක්‍රියාකාරී ලෙස උපයෝගී කරගැනීමට ඇති හැකියාව ත්‍රස්තවාදීන්ට තිබිණි.

මෙම භයානක වූ අභියෝගයට යම් දුරකට හෝ මුහුණ දීමට විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබුණු අතර, ඒ සඳහා ඊශ්‍රායල් ජාතික යුද විශේෂඥයින්ගෙන් ලද සහයෝගයත්, බෝම්බ සහ පිපිරුම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහඟු වූ උසස් ප්‍රායෝගික පුහුණුව මඟින් ලද දැනුම මහෝපකාරී විය. එමඟින් ත්‍රස්තවාදීන් විසින් දේශීයව නිපදවන ලද පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමටත්, ඒවා සාර්ථකව නිශ්ක්‍රීය කිරීමටත් හැකියාව ලැබිණි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන්නේ සමාජීය හෝ පෞද්ගලිකව සංවිධානාත්මක නොවූ මනසක් සහිත පුද්ගලයන් ගණයන් තුනකට වෙන් කළ හැක.

අරමුණක් වෙනුවෙන් කැපවීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළමු ගණයට අයත් වේ.

සමාජයෙන් හෝ, සෙසු ජන කොටස්වලින් සිදුවන වෙනස්කම් මත සිය මානසික අභිමානය ගොඩනඟා ගැනීම සඳහා සමහරුන් දෙවන ගණයට අයත්ව මෙම මඟ උපයෝගී කරගනී.

අත්මාභිමානයට වඩා භක්තිය මත කැපවී සිටින්නන් තෙවැනි කණ්ඩායමට අයත් වන්නේ ය.

මේ සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ඉතා හොඳ පුහුණුවක් ලබාදිය යුතු වේ. ඔහුගේ මෙම ක්‍රියාවෙන් විශාල යහපතක් සිදුවන බවට, බෝම්බකරුවා බුද්ධි ශෝධනයට (brain wash) ලක්කර එමඟින් ඒත්තුකර දීම සිදු කරයි.

මිනිස් බෝම්බය

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළේ ද මිනිස් බෝම්බයක් ලෙස ක්‍රියා කළ මරාගෙන මැරෙන බෝම්බකාරියෙකි. ඇය හැඳපැලඳ සිටි පුපුරන ද්‍රව්‍ය පුරවා තිබූ ජැකට්ටුව එම කාර්යය සඳහාම නිපදවූ සුවිශේෂී එකක් විය.

එල්ටීටීඊ සන්නද්ධ හමුදා ජාලය විනාශ කිරීම වර්තමාන ශ්‍රී ලංකාව විසින් සපුරා ගත් ඉහළතම ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය සමඟම එතෙක් එල්ටීටීඊ පාලනය යටතේ පැවැති සියලුම ප්‍රදේශයන් රාජ්‍ය පානය යටතට ගැනීමට හැකිවීම තුළ එම ප්‍රදේශයන්හි වාසය කළ අහිංසක පුරවැසියන් සහ ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය වන පූර්වෝපායන් සැකසීමටත් මේ දක්වා රජය විසින් කටයුතු සිදු කරමින් සිටී.

පුරුත්ථාපනය

ආරක්ෂක ආයතන විසින් රඳවා තබාගෙන පුනරුත්ථාපනය කරනු ලබන සාමාජිකයන් වෙත අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, කවුරුන් හෝ ඔවුන් හට ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැරැදි අවබෝධයක් ලබා දී ඇති බවයි. මේ පිළිබඳව දමිළ ප්‍රජාවට සමීප සියල්ලන් දැනුම්වත් කර දීම මෙන්ම, අනාගතයේදී ඔවුන් මෙම රැඩිකල් මතවාදයන් හමුවේ ජීවිතක්ෂයට පත් නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඒ සඳහා වන පසුබිම අප විසින් සකස් කර දීමයි.

ඔවුන් එම මතවාදයන්ගෙන් මුදා ගැනීමේදී ඔවුන්ගේ මවුවරුන්, ඥාතින් හා භාර්යාවන් විසින් ප්‍රමුඛ කාර්යයක් සිදු කරන අතරම එමඟින් අතිශය සමීප බලපෑමක් ද සිදුකළ හැකිය. එලෙසින්ම ත්‍රස්තවාදය නිර්මාණය වීමට බලපෑ අතීත හේතුන් ගැඹුරින් අධ්‍යයනය කිරීම ද මෙහිදී සිදුකළ යුතු කාර්යයකි.

තාරුණ්‍යයේ කාර්යභාරය

“තරුණ පරපුර ජාතික සංවර්ධනයේ තීරණාත්මක සංධිස්ථානයක් වන්නේය. ඔවුන්ගේ දායකත්වය සහ සහභාගිත්වය මෙහිදී ඉතාමත් වැදගත් වන්නේය. ඔවුන් සමාජයේ පෙරගමන්කරුවන් වන්නා සේම ‘තරුණ පරපුර අනාගත නායකයන් පමණක්ම නොව, වර්තමානයේ කොටස්කරුවන් ද වන්නේ ය.”

අනාගත ත්‍රස්තවාදය පරාජය කිරීමෙහිලා ඵලදායි උපාය මාර්ගයක අභියෝගය වනුයේ ද, ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියා කළ මෙම පිරිසගේ සිත් දිනා ගනිමින් අනාගත ප්‍රජාතාන්ත්‍රික සමාජයක ඵලදායී පුරවැසියන් ලෙස සමාජගත කිරීමයි. එසේ ක්‍රියා කිරීමට ඔවුනට අවශ්‍ය අවස්ථාවන් මෙන්ම පහසුකම් සපයා දීම, දිරිගැන්වීම සහ මඟපෙන්වීම අනිවාර්ය වූ කරුණකි.

දේශපාලනමය දුක්ගැනවිලිවලට මතවාද අනුමැතියක් ලෙසින් ප්‍රචණ්ඩත්වය බලපා ඇති තත්ත්වයකට අප මුහුණපා ඇත්තා සේම, මෙම වසංගතයක් බඳු වූ තත්ත්වයට වඩා වෘත්තිමය සැලසුමක් ලෙස පුනරුත්ථාපන යාන්ත්‍රණය ඵලදායී ප්‍රතිකර්මයක් සපයනු ඇත.

මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාව හා එල්ටීටීඊ ඩයස්පෝරාව මෙම වාතාවරණය තේරුම්ගෙන ඒ සඳහා ක්‍රියා කිරීමට ඉදිරියට පැමිණීමට පැකිළෙන්නේ නම් දමිළ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන බරපතළ ප්‍රතිවිපාක ඔවුන්ට පැහැදිලි කළ යුතුය. රැඩිකල් මතවාදයන් භයානකය. සියල්ලන් පොදුවේ එක් අරමුණක් සහිතව පෙලඹවිය යුතුය. විශ්වාසය සහ අරමුණු මත පදනම් සමීකරණයක් තුළ පුනරුත්ථාපනයට යටත් රැඳවියන් ඇතුළුව සියල්ලන් එක්කළ හැකිනම්, ඔවුන් ද විශ්වාසය ඇතිව අරමුණ ඔස්සේ ක්‍රියා කරනු ඇත. ඔවුන් තවදුරටත් ඉදිරියට මෙතෙක් සිදුකළ වැරැදි ක්‍රියාවන් ඔස්සේ ක්‍රියා කරන්නේ නම් අනාගතයේදී අවාසනාවන්ත ඉරණමකට නතු වන්නේ ඔවුන් පමණක් නොව ඔවුන්ගේ ඥාතින් මෙන්ම සමස්ත ප්‍රජාවම බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.

කරුණු පහදාදීම

මාගේ අත්දැකීමට අනුව, මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුට ද මෙම තත්ත්වය ඒත්තු ගැන්වීම තුළින් මනුෂ්‍ය ජීවිතය යනු ලොව අගනාම වස්තුව බවට අවබෝධ කර දී, ත්‍රස්තවාදියකු ගේ ජීවිතය ද සමාජයට ගැළපෙන ආකාරයෙන් හැඩ ගැසීම පරිවර්තනය හැකි බවයි. එම අවබෝධය තුළින් සමාජ ඵලදායිතාවක් ලබාගත හැකි වනු ඇත.

ත්‍රස්තවාදය ඇතිවීමට බලපෑ මූලබීජයන් හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වේ. ආර්ථිකය කඩා වැටීම, තාරුණ්‍යයට අනාගතයක් නොමැති වීම, අනාගතයට බලාපොරොත්තුවක් නොමැති වීම මෙන්ම ඔවුනට බලයක් නොමැති වීම යනාදී කරුණු ද, සමාජ අසාධාරණයන් මෙන්ම අසමතුලිත අධ්‍යාපන ක්‍රමවේදය, ප්‍රමිතිකරණය ආදි හේතුන් මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

ඉහතින් දක්වන ලද එම හේතු ත්‍රස්තවාදීන් හට පිරිස බඳවා ගැනීමට වාසි සහගත විය. මෙකී තත්ත්වය උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීම නිසා මිනිසුන් පීඩාවට පත්වනවා හැර අන් විකල්පයක් නැති තත්ත්වයක් උදා විය. එම වැරැදි නිවැරැදි කිරීම සඳහා බුද්ධිමත් නිලධාරීන්ගෙන් සමන්විත සභාවක් පිහිටුවා වැරැදි චින්තනයකට නතුව සිටි මෙම පිරිසේ විකෘති මානසිකත්වය තුරන් කළ යුතුය. ‍

එදා ප්‍රභාකරන් විසින් මෙම පද්ධතිය පාලනය කරන්නට විය. අද වන විට එම තත්ත්වය අවසන් වී ඇත. එහෙත් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් මෙන් නැවත එල්ටීටීඊ හිටපු සාමාජිකයන් නැවත එක්වී සංවිධානය වීම වළක්වාලීමටත්, ඔවුනට ඒකාබද්ධ වීමට ඇති හැකියාව වළක්වාලීමටත්, ඒ සඳහා මෙම තත්ත්වය වඩා හොඳින් අධීක්ෂණය කිරීම වැදගත් වේ. මෙහිදී විශේෂයෙන් වැන්දඹු කාන්තාවන්ගේ අනාගතය සහ එම පවුල් නැවත ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය සඳහා ශක්තිමත් පදනමක් පැවතිය යුතු අතර මෙම සන්ධිස්ථානයේදී එය වැදගත්ම අවශ්‍යතාවක් ද වන්නේ ය. රජය සහ අනෙකුත් සංවිධාන විසින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී, සහයෝගයෙන් ක්‍රියා කිරීම නැවතත් ත්‍රස්තවාදය බිහිවීමට හෝ පැතිරී යාමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා ගත හැකි සාර්ථක වූ පියවරක් වේ. අතීතයේදී පල්ලි සහ කෝවිල් මෙම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් තුළදී වැදගත් භූමිකාවන් ඉසිලූ අතරම පූජ්‍ය පක්ෂය, පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරු, ප්‍රාදේශීය නායකයින්, තරුණ නායකයින්, මෙන්ම විශේෂයෙන්ම හිටපු සටන්කාමී නායකයන් වන වත්මන් ප්‍රධාන දේශපාලන ධාරාවට ප්‍රවිෂ්ට පිරිස් හඳුනා ගැනීම මෙහිදී වැදගත් වනු ඇත. හේතුව මෙම පිරිස් අතීත වාතාවරණය නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූ පිරිස් බැවින් මේ අවස්ථාවේදී ඔවුන්ව භාවිත කරමින් ඔවුන් ගිය මඟ වැරැදි මාර්ගයක් බව, ඉදිරි සමාජයට ඒත්තු ගැන්විය යුතුය.

දේශපාලන නායකත්වය

ඉතාම පැහැදිලි සාක්ෂියක් ලෙස දිස්වන්නේ පසුගිය කාලය පුරා සමහර ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයින් විසින් ක්‍රියා කළ අකාර්යක්ෂම බවයි. ඔවුන් අතරින් සමහරෙක් ස්වකීය පැවැත්ම සහ වාසි අත්පත් කරගැනීම සඳහා තරුණ පිරිස් නොමඟ යවා ඇත. එලෙසින්ම වත්මන් උතුරු හා නැ‍ඟෙනහිර දේශපාලන නායකයින් වත්මන් පරම්පරාව නියෝජනය කිරීමට සුදුසු වන්නේ ද යන ගැටලුව පැනනඟිනු ඇත. එනම් වර්තමාන සමාජය නියෝජනය කිරීම සඳහා ඒ ඔස්සේම බිහිවන දේශපාලන නායකයින් වත්මන් පරම්පරාව නියෝජනය කිරීමට සුදුසු වන්නේ ද යන ගැටලුව පැනනඟිනු ඇත. එනම් වර්තමාන සමාජය නියෝජනය කිරීම සඳහා ඒ ඔස්සේම බිහිවන දේශපාලන නායකයින් ඉදිරියට ආ යුතු අතරම ඔවුන් විසින් විශේෂයෙන්ම තරුණ පිරිස් ප්‍රමුඛ සමස්ත මහජනතාවගේම විශ්වාසය දිනා ගැනීම ද මෙහිදී වැදගත් කාරණයකි. 2009 උතුරු නැ‍ඟෙනහිර විමුක්ති අරගලයත් සමඟ අප විසින් වටිනා අවස්ථාවක් මඟහැර ගත්තේ ද? යන්න දැන් පැනනඟින එක් ප්‍රශ්නයකි. බලය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම එවකට මූලික අවශ්‍යතාවක් විය. තවදුරටත් ඔවුන් දැඩි මතධාරී හිටපු ත්‍රස්තවාදී නායකයෙකු ප්‍රමුඛ පෙළේ සිංහල දේශපාලන පක්ෂයක උප ප්‍රධාන නායක ධුරයට තෝරා පත්කර ගත් අතරම උතුරු පළාතේ මහ ඇමැති ධුරයට තවත් හිටපු ත්‍රස්ත නායකයෙක් පත් කළහ. කිසිදු කෙනෙකු එයට එම අවස්ථාවේදී විරුද්ධ නොවීය. මෙය බල බෙදා ගැනීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට කදිම අවස්ථාවක් වූයේ ද? නැවත එවැනි අවස්ථාවක් නොලැබෙනු ඇත.

එහෙත් එවන් වූ අවස්ථාවක් අපට නැවත හිමි නොවනු ඇත. බලය බෙදීම පිළිබඳ සංකල්පය කුමක් වුවද, බහුතර සමාජය විසින් මේ සඳහා සහාය නොදක්වනු ඇති අතරම තවදුරටත් මෙම අභියෝගාත්මක කාර්යය දේශපාලනඥයින් ඉදිරියේ දිස්වනු ඇත.

ෆෙඩරල් ක්‍රමය ඒකීය යෝජනාවන් පසෙක තබන්න. මෙම ප්‍රදේශයන්හි සංවර්ධනයට මූලිකත්වය දෙමින් මෙහි ජීවත්වන ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට බලාපොරොත්තු ලබා දෙන්න. ඔවුන් මෙන්ම ඔවුන්ගේ දරුවන්ට ද අනාගතයක් ඇත. මෙම සැලැස්ම ඉලක්ක සහගතව ගැඹුරින් ක්‍රියාත්මක වන්නේනම් නිසැක වශයෙන්ම මේ සඳහා නිවැරැදි පුද්ගලයන් නිවැරැදි කාලයට අනුව යෙදවිය යුතුය. (අපට මේ පිළිබඳව හමුදා ජයග්‍රහණයෙන් පාඩම් උගත හැකිය.) උතුර හා නැගෙනහිර යනු රටේ තිබෙන වඩාත් ඵලදායී ආර්ථික මධ්‍යස්ථාන දෙකකි. එය ජාතියේ ආර්ථික ප්‍රගතියට දායක වනු නොඅනුමානය.

ආර්ථික සංවර්ධනය

පශ්චාත් ත්‍රස්තවාදය පිළිබඳව න්‍යායපත්‍ර ගොඩනැඟීමේදී ඉතාමත් වැදගත් වැඩසටහනක් ලෙස ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපාරය හඳුන්වාදිය හැකිය. මෙම ක්ෂේත්‍රය තුළ කරනු ලබන සෑම සංවර්ධන ක්‍රියාවක්ම ජනතාවට දිරියක් වීමට සමත්ය. මෙම සංවර්ධන ක්‍රියාවන්හි ජනතාව ද කොටස්කරුවන් කරගත යුතුය. ඔවුන් මෙම සංවර්ධන ක්‍රියාදාමය තුළින් ප්‍රතිලාභ ලබන අතර එමඟින් රටේ සංවර්ධන ක්‍රියාවලිය තුළ තමන්ට නිසි ස්ථානයක් ලැබෙන බව ද ඔවුන් විශ්වාස කළ යුතුය.

මෙම සැලැස්ම පාරදෘශ්‍ය විය යුතු අතර එය පිටුපස අවංක නිලධාරින් සිටීම විශාල ශක්තියකි. විශේෂයෙන්ම දිසාපතිවරුන් හා මෙම දිස්ත්‍රික්කවල සිටින ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔවුන්ගේ අතීත හා වර්තමාන සේවා වාර්තාවන් තක්සේරු කිරීමට අත්‍යවශ්‍යය. මෙහිදී පුළුල් දැක්මක් සහිත නිලධාරීන් පත්කිරීමෙන් නියමිත කාලවලදී නිවැරැදි සංවර්ධන ප්‍රතිලාභයන් ලබාදිය හැකි බව මම විශ්වාස කරමි.

මෙහි දී අධ්‍යාපනයට විශේෂ තැනක් හිමි විය යුතුය. විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමිතිගත කිරීම මෙහිදී මූලික ගැටලුවකි. ප්‍රායෝගික වශයෙන් මෙම ගැටලු දෙස බලන විට සෑම ශිෂ්‍යයකුටම එක හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව පැහැදිලිය. අතීතයේ සිදුවූ අඩුපාඩුකම් නිවැරැදිව හඳුනා ගැනීමට අවශ්‍ය දොරගුළු වර්තමානයේ විවර වී ඇති බව පැහැදිලි ය.

ජාත්‍යන්තර

සහයෝගය

ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සංවර්ධනය වෙමින් පවතින රටක ප්‍රධාන සාධකයකි. සංවර්ධිත රටවල්වලින් සහයෝගයක් නැතිනම් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පෝෂණය වන්නේ නැත. ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය හා සහයෝගය දිනා ගැනීමට රජය සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මඟින් විශාල ප්‍රතිලාභයන් අප රටට ලැබී ඇත.

එපමණක් නොවේ උතුරු ප්‍රදේශයන්හි සිය ආධිපත්‍යය ඇතිකර ගැනීමට අන්තවාදීන් සමත් වූයේ වසර ගණනාවක් පුරාවටම දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර සංවිධාන තුළින් ලැබුණු සහයෝගය නිසාය. දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ වැදගත් භූමිකාවක් නියෝජනය කරන අතර, පසුගිය කාල වකවානුව තුළ උතුරු හා නැ‍ඟෙනහිර ත්‍රස්ත සංවිධාන සඳහා මූල්‍ය ආධාර, අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය හා උණ්ඩ මිලදී ගැනීම සඳහා විශාල මුදල් සම්භාරයක් සැපයීම සිදුකළත්, එමඟින් මෙම ප්‍රදේශවල ජනතාවගේ ජීවිත හානියන් මෙන්ම ජන ජීවිතයට බාධා වීමට හේතු වූවා මිස සහනයක් නොලැබිණ. එම මුදල් සංවර්ධන ක්‍රියාවන් සඳහා යෙද වූයේ නම් ජනතාවට විශාල යහපතක් සිදුවන බව ඩයස්පෝරාව තේරුම් ගත යුතුය.

ඒ කෙසේ වූවත් ඉහතින් දැක්වූ මෙම කාරණයේදී ත්‍රස්තවාදය මේ සඳහා විසඳුමක් නොවන අතර, එමඟින් කිසි දෙයක් ලබා ගැනීමට නොහැකි බවත්, එයින් සිදුවන්නේ අසරණ ජීවිත අකාලයේ අහිමි වීමත්, ගොඩනැඟූ දේපළ අහිමි වී යාම බවත් අත්දැකීමෙන් තේරුම්ගත යුතුය.

එක්සත් ජාතීන්ගේ භූමිකාව

අවසාන වශයෙන් සංවර්ධිත රටවල් මෙන්ම එක්සත් ජාතික සංවිධානයේ සාමාජික රටවල් ද අත්‍යවශ්‍යයෙන් ම අවබෝධ කරගත යුතු වන්නේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තුන්වන ලෝකයේ රටවලට ආර්ථික දියුණුව පිණිස තමන්ගේ සහ‍යෝගය ඔවුනට ලබාදිය යුතු බවය. සංවර්ධිත රටවල් ඉතා පහසුවෙන් ඉදිරියට පැමිණ වෙ‍ළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම මෙන්ම සංවර්ධනය සඳහා තවත් බොහෝ උපකාර කළ හැකිය.

එමෙන්ම ශ්‍රී ලංකාව වැනි ත්‍රස්තවාදයට ගොදුරු වූ රටවල් මෙම ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට සිය අවංක කැපවීම ප්‍රදර්ශනය කර තිබේ.

පශ්චාත් යුද සමයේදී පොලීසියේ කාර්යභාරය

උතුරු හා නැ‍ඟෙනහිර යන පළාත්වල අතීතය හා වර්තමාන තත්ත්වය පිළිබඳව විශ්ලේෂණය කර බලන විට පොලීසිය ඉතා භාරදූර කර්තව්‍යයක් ඉටුකරන්නට ඇති බව වටහාගත යුතුය. පොදු ජනයා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කිරීමට ජනතාව අතරට යමින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන්ව තේරුම් ගනිමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න සහ ගැටලුකාරී අවස්ථාවන්වලදී උපකාර කරමින් ඔවුනට අවශ්‍ය සහයෝගය හා ආරක්ෂාව සලසමින් බහුතරය දෙමළ කතා කරන ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට ද පොලීසිය සමත් විය යුතුය.

මෙම පොලිස් සේවාව මඟින් නිසැකයෙන්ම මහජනතාව වසර ගණනාවක් පුරාවටම තැබූ ඔවුන්ගේ විශ්වාසය කෙරෙහි තිබූ අනුමානය යටපත් වන නොවන ආකාරයට ඉතා කැපවීමකින් මහජනයාට සහයෝගය දෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගත යුතු අතර එය ජාතීන් අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කර එම සහයෝගය රටේ දියුණුව සඳහා යොදාගත යුතුය.

මෙම වකවානුව තුළ සෑම පොලිස් නිලධාරියෙකුටම දෙමළ භාෂාවෙන් සන්නිවේදන කිරීමට හැකි විය යුතුය. ඔවුන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැංවීම සඳහා මෙම හැකියාව විශාල පිටිවහලක් වනු ඇත. සෑම පොලිස් ස්ථානයකම බුද්ධි අංශ හා ක්‍රියාශීලි මෙහෙයුම් පද්ධතීන් ප්‍රාදේශීය වශයෙන් ද ක්‍රියාත්මක විය යුතුය. අතිසාර්ථක ආරක්ෂක පද්ධතීන් හා බුද්ධි අංශ ඕනෑම රටක රාජ්‍ය පාලන තන්ත්‍රයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වෙති. රාජකාරියේ යෙදී සිටින පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට අනෙක් පොලිස් නිලධාරීන්ට වඩා පුළුල් පුහුණු වැඩසටහන් දියත් කළ යුතු අතර එයට නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමෝපායන්ද ඇතුළත් විය යුතුය. පශ්චාත් අරගල සමය සංක්‍රාන්ති අවදියක් ලෙස සලකා ක්‍රියා කළ යුතුය. පැහැබර අනාගත ශ්‍රී ලංකාවක් උදෙසා මෙය ඉතා අත්‍යවශ්‍ය වන බව මම අවධාරණය කරමි. ජනාධිපතිතුමා ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම

අවසාන වශයෙන් කිව යුත්තේ මෙම අරගලයේ ප්‍රධානතම භූමිකාවන් වන එල්ටීටීඊ සන්නද්ධ කණ්ඩායම් පරාජය කොට මහජනයාගේ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට හැකිවීම මහත් ජීවිත පරිත්‍යාගයකින් කළ හැකි වුවද, ඉතා විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයක් වන ජාත්‍යන්තර ත්‍රස්තවාදයට ජීවනාලිය වන ජාත්‍යන්තර සහයෝගය බිඳ දැමීමට ජනාධිපතිතුමාට හැකිවීම අප ලද අනෙක් විශේෂතම කාරණාවයි. ජාත්‍යන්තර සහයෝගය නොමැතිව තුන්වන ලෝකයේ රටවල ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට නොහැකිය. ජනාධිපතිතුමා ජාත්‍යන්තරව ලබා ඇති පිළිගැනීම මේ රටේ ඉදිරි ගමන සඳහා භාවිත කිරීම අපේ වගකීම වේ. මෙම අරගල ඉතිහාසයේ කිසිදු දිනෙක නොලද මෙම අවස්ථා ලෙස මා දකින්නේ අපට අප රට නැවත සාමකාමීව මිනිසුන් හට ජීවත්වීමට හැකි ස්ථානයක් බවට පත්කර ගැනීමට අවස්ථාව එළැඹ ඇති බවයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තරය තුළින් ලැබෙන සහයෝගය සැලසුම් කිරීම සඳහා විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත විශේෂිත කණ්ඩායමක් නිර්මාණය කර එයට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර තානාපතිවරුන්ගේ ද සහාය ඇතිව අප බලාපොරොත්තු වන සාර්ථක සැලසුම් දියත් කළ යුතුය. මීට හොඳම නිදසුන ලෙස වියට්නාමය ගත හැක. එදා යුද වැදුණු ඇමෙරිකාව අද වියට්නාමය පිටුපස සිටගෙන ඔවුන් ශක්තිමත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයන් ඊට නිදසුන් වේ. එමෙන්ම අපට සමීප බලගතු රටවල්වල මැදිහත්වීම සහ ඔවුන් අපගේ දියුණුවේ කොටස්කරුවන් කරගැනීම අපගේ වගකීමක් මෙන්ම විශාලතම අභියෝගය වන අතර, ජනාධිපතිතුමාට ඇති ජාත්‍යන්තර පිළිගැනීම තුළ නිසි සැලසුමකට දක්ෂ වෘත්තිකයන් යොදා ගනිමින් සැලසුම් දියත් කරන්නේ නම් අපගේ ඉලක්කය කරා යාමට අපහසු නොවනු ඇත.

අවුරුදු තිහක කුරිරු යුද්ධයකට උර දුන් එම සටන්කාමී විරුවන් ඔවුන්ට පැවරුණ වගකීම ඉතා කැපවීමකින් කළ බැවින් එය දෙස බලා අප රටේ ඉදිරි ගමන සැලසුම් කිරීම සඳහා ප්‍රතිඵල ගෙනදිය හැකි නායකයින් (වෘත්තිකයින්) නිසි ස්ථානයන්වලට යොදා ගැනීමෙන් අපගේ ඉලක්කය සපුරාගත හැකි වන බව මා අත්දැකීමෙන් ලද කාරණයක් ලෙස සටහන් කරමි.

නිමල් ලෙව්කේ
(හිටපු අණදෙන නිලධාරී - විශේෂ කාර්ය බළකාය) 

Comments