වෘත්ති­ක­යාත් මඟි­යාත් රකින්න රෝද තුනේ ගමන් සගයා නියා­ම­නය කර­මුද? | සිළුමිණ

වෘත්ති­ක­යාත් මඟි­යාත් රකින්න රෝද තුනේ ගමන් සගයා නියා­ම­නය කර­මුද?

සර ගණනාවක් තිස්සේ බොහෝදෙනා ත්‍රිරෝද රථවල ගමන් කළේ පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වීමට වඩා සාධාරණ මිලකට එහි ගමන් කිරීම පහසු නිසාය. නමුත් මේවනවිට මුදල් පසුම්බියට දරාගත නොහැකි ආකාරයට ගාස්තු අය කිරීම නිසාවෙන්, බොහෝ දෙනෙක් ත්‍රීවිල් රථයකට ගොඩවීමට පෙර දෙතුන්වරක් නොව දහ දොළොස්වතාවක් සිතති. වත්මන් ආර්ථික අර්බුදයෙන් බැටකන ජනතාවකට මේ ගාස්තු දරාගැනීම කොහොත්ම කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

එනිසා ඔවුන් ත්‍රීවිලයෙන් ගමන් කළ කිලෝමීටර් දෙක තුනේ ගමන පවා දැන් පයින්ම ගමන් කිරීමට පෙළඹී සිටිති. නමුත් මෙය ත්‍රීවිල් වෘත්තියෙන් පමණක් ජීවිතය ගැටගසාගන්නා අයට සුබදායී කාරනාවක් නොවේ. ත්‍රීරෝද රථ නියාමනය පිළිබඳ විදිමත් ක්‍රියාවලියක් කරලියට එන්නේ මෙවැනි පසුබිමකය.

ත්‍රීරෝද රථ නියාමනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනගැනීමට සිළුමිණ මුලින්ම කතා කළේ ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩාටය. හෙතෙම පවසා සිටියේ “ ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සියලු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බවයි. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්; ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කර ඇති බවත්; එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් පැවසූ හෙතෙම අනතුරුව එය නීති කෙටුම්පත් අංශයට යොමු කිරීමට කටයුතු කර ඇති බවද පැවසීය. මින් පෙර ඉදිරිපත් වූ අයවැය මඟින් ත්‍රිරෝද රථ නියාමනයට ජාතික අධිකාරියක් පිහිටුවීමට යෝජනා වූවත් විවිධ හේතූන් නිසා එය ප්‍රමාද වූ බවයි. කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් ත්‍රිරෝද රථ නියාමනයට අදාළ ගාස්තු නිර්ණය කිරීම, නියාමනය, උපදෙස් දීම, මාර්ගෝපදේශනය ඇතුළු කාරණා සිදුකරනු ලබන බවත්; අනතුරුව ඊට අදාළ නීති රෙගුලාසි සකස් කර එය ක්‍රියාත්මක කිරීමේ බලය පළාත් නවයට යොමු කිරීමට නියමිත බවත් පැවසීය. ඒ අනුව පළාත් සභා නවය හරහා සියලු ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම කළ යුතු බවත්; පළාත් සභා හරහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ත්‍රීවිලරය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 1978 න් පසුවය. ඒ ඩේවිඩ් පීරිස් සමාගම විසින් ඉන්දියාවේ බජාජ් සමාගමෙන් ත්‍රීරෝද රථ ගෙන්වීමත් සමඟය. හිට්ලර්ගේ වොක්ස් වැගන් කාර් රථය මෙන් මෙයට ද නාරි රූපයක හැඩය ලැබී ඇත. එකල මෙරට තුළ ප්‍රචලිතව පැවති මොරිස් මයිනර් කුලී රථවල මිල ගණන් වැඩිකමත්, වාහන සුළු ප්‍රමාණයක් වීමත් වැනි කාරණා මුල්කරගෙන ශ්‍රී ලංකාව තුළට රිංගාගත් මේ රෝද තුනේ ගමන් සගයා මයිනර් කුලී රථ කෙටි කලක් තුළ නැත්තට නැති කර දැම්මේය.

1956 පෙරලියෙන් බිහි වූ ග්‍රාමීය නගර 1978දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකයත් එක්ක නැවත සකස්වීමේදී ආදේශ කෙරුණු ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය බවට පත් වූයේ මේ ත්‍රීරෝද රථයයි. මෙහි තිබුණු පාරවල්වල තත්ත්වය සහ ජීවන රටාව අනුව මේ අලුත් වාහනය කදිමට ගැළපුණි. ඒත් රෝද හතරක් ගන්න බැරි අයට රෝද තුනක පහසුවක් කියල ප්‍රචාරය වුණාට මේවා මුලින්ම අයිති කර ගත්තේ කුලී රථ හිමියන්ය. ඒ අනුව අයිතිකාරයා විසින් තීරණය කරනු ලබන මුදලක් දවස ගානේ ගෙවීමේ කොන්දේසිය මත රියදුරකු ලෙස ත්‍රීරෝද රථයක් බද්දට ගැනීමට රියදුරාට සිදු විය.

වර්ෂ 1979 මුල් කාලය වනවිට එවක සුප්‍රසිද්ධ සමාගමක් වන හෙබ්තුල්ලා බෝයි සමාගම යටතේ ගාස්තු මීටරය සහිත ත්‍රීවිල් කුලීරථ හඳුන්වා දුන්නේය. මෙහිදී දිනකට ආයතනයට රුපියල් 40ක මුදලක් ගෙවිය යුතු විය. මෙම දෛනික ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට ආයතනය විසින් තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව ජාතික සේවක සංගමයේ නායක සිරිල් මැතිව්ගේ පූර්ණ ආශිර්වාද ඇතිව ත්‍රිරෝද රථ රියදුරෝ පාරට බැස්සෝය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ මැදිහත්වීම මත දිනකට රුපියල් 60ක ගාස්තු අයකිරීම මත (වාහන හිමියාට රුපියල් 50යි, රියදුරන්ගේ සුබසාධනය සඳහා රුපියල් 10යි වශයෙන්) වසර තුනකින් වාහනයේ හිමිකාරිත්වය රියදුරන්ට පැවරෙන ආකාරයට පෞද්ගලික අයිතිකරුවන් අතට කුලී රථ සේවාව මාරු විය. එසේ පහළ මධ්‍යම පංතිකයන් ද ත්‍රීවිල් හිමිකරුවන් බවට පත් වුවද, ඒ් සමඟ සංයෝග වුණ ෆිනෑන්ස් ලිසිං ගෙවීම් හරහා ඔවුන් ධනවාදී ආර්ථික යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්විය. නිසි නියාමනයකින් තොරව අයාලේ ත්‍රීවිල් ටැක්සි සේවාව ක්‍රියාත්මක වීමට පටන් ගත් නිසා මේ තත්ත්වය තවත් සංකීරණ විය. එනිසා නිසි නියාමන ක්‍රමවේදයක අවශ්‍යතාව තදින් දැනෙන්නට පටන් ගත්තේය.

1999 වසරේ එවක මන්ත්‍රීවරයකුව සිටි රේණුක පෙරේරා විසින් ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සකස් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආවේය. ඒ පිළිබඳව සිළුමිණ ඔහුගෙන් කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ “ 2000 වසරේදී බස්නාහිර පළාත් සභා තීරෝද රථ නියාමන ප්‍රඥප්තිය නමින් බස්නාහිර පළාත් සභාව තුළ එය ඒකමතිකව සම්මත වූ බවත්; එය බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය යටතේ පිහිටුවන ලද බවත්ය. ඊට එවකට ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි ලසන්ත අලගියවන්න පුර්ණ සහයෝගය ලබා දුන් බවද හෙතෙම සිහිපත් කළේය.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස එවක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වූ ගාමිණි සෙනරත්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පෙරිප්ප නායගම්, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රේණුක පෙරේරාද ඇතුළත් විය. ඒ තුළ ප්‍රමිතියෙන් යුතු මීටර් සවි කිරීම, රථ ගාල් කිරීම, පළාත් අනුව කටයුතු කිරීම ආදිය දක්වා තිබිණි. එසේ සකස් කළ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඒ පිළිබඳ නිසි ඇගයීමක් හෝ තේරුම් ගැනීමක් නොමැතිව ත්‍රීවිල් රථ රියදුරු සංගම් ඊට දැඩි විරෝධයක් දැක්වීය. ඒ අනුව එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ආණ්ඩුකාරවරයාව සිටි අලෙවි මවුලානා ලවා අමාත්‍යංශයට උපදෙස් ලබාදී එම කටයුතු අත්හිටුවා දැමීය. මෙම නියාමන ප්‍රඥප්තිය හඳුන්වාදීමට විරුද්ධ වූ ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන් ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතියේ ලේකම් සහ වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ ‘සත්‍ය වු හඬ’ සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරාගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පෙන්වා දුන්නේ “2002 වර්ෂයේ ඒකමතිකව සම්මත වු ත්‍රිරෝද රථ සේවා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට එවකට එක් ත්‍රිරෝද රථ සංගමයක් හා ඊට හවුල් වු දේශපාලන අධිකාරිය කටයුතු කළත්; එවකට ආණ්ඩුකාර අලවි මවුලානා සමඟ සාකච්ඡා කර ප්‍රඥප්තිය තුළ තිබෙන අපැහැදිලි තැන් පෙන්නවා දෙමින්; වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන් හා සේවාව සම්බන්ධ පැහැදිලිතාවක් නැති වීම හේතු කොටගෙන අදාළ ප්‍රඥප්තිය අත්හිටුවීම වෙනුවෙන් කටයුතු කළ බවයි. එහිදී ඔවුන් අවධානය යොමු කර තිබුණේ එම ප්‍රඥප්තියේ තිබූ සමහර වගන්ති පිළිබඳවය. උදාහරණයක් ලෙස; චංචල දේපළ අත්පත් කරගැනීම, බැහැර කරගැනීම පළාත් සභාවේ කාර්යයක් බව එහි සඳහන්ව තිබුණි. ඔවුන් එය තේරුම්ගෙන තිබුණේ; චංචල දේපළ යනු ඔවුන්ගේ ත්‍රිරෝද රථ බවය.

නිශ්චල දේපළ යනු ඔවුන්ගේ රථ ගාල බවය. එසේ නම් ඒවා සභාව විසින් අත්පත් කරගන්නේ කෙසේද කියන ප්‍රශ්නය ඔවුන් තුළ විය.

එමෙන් ම විෂය භාර ඇමත්‍යවරයාට අවශ්‍ය ඕනම මොහොතක ප්‍රඥප්තියේ වගන්ති වෙනස් කර කටයුතු කිරීමට ඉන් බලය පවරාදී තිබුණි. ඒ සියල්ලටමත් වැඩියෙන් ඔවුන්ගේ අවධානය යොමු වූයේ මෙහි 18 වන වගන්තිය කෙරෙහිය. එහි සඳහන් වන්නේ; ප්‍රඥප්තිය අනුව කටයුතු නොකරන රියදුරන්ට රුපියල් 1500ට නොඅඩු දඩයක් හෝ අවුරුදු දෙකක සිර දඩුවමක් හෝ දෙකම නියම කළ හැකි බවයි. මීට අමතරව රථ ගාලට එන වෙලාව තීරණය කිරිම අධිකාරියට පැවරී තිබුණි. මේ දේවල් වෙනස් කරගැනීමේ අරමුණින් ඔවුන් මෙය අත්හිටුවීමට කටයුතු කර තිබේ. පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සමයේ එතුමන් සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ පෙන්වාදී එතුමන්ගේ නියෝග අනුව අදාළ ප්‍රඥප්තිය ඉවත් කර වෘත්තීයට සම්බන්ධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර නව ප්‍රඥප්තියක් නිර්මාණය කිරීමට මඟ පාදාගත් බව හෙතෙම පැවසීය. මුල සිටම මෙම නියාමන ක්‍රියාවලියේ තිබෙන යථාර්ථවත් බව අවබෝධ කර ගෙන මෙම නියාමන ක්‍රියාවලිය යථාර්ථවත් කරගැනීම වෙනුවෙන් දිගින් දිගටම සටන් වැදුණු සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සිළුමිණට පවසා සිටියේ “2013 ගැසට් නිවේදනය ක්‍රියාත්මක කර ගැනීම සඳහා 2015 දී අභියාචනාධිකරණයේ ඔහු විසින් නඩු පැවරූ බවයි.

පසුව ගැසට් සංශෝධනය කර ක්‍රියාත්මක කරන බවට කරන ලද ප්‍රකාශ විශ්වාස කර එම නඩුව ඉල්ලා අස්කර ගත් බවයි. 2017 ජනවාරි 09 වැනිදා හා 2017 සැප්තැම්බර් 8 වැනිදා අවස්ථා දෙකකදී 2013 පළමු ගැසට් නිවේදනය සංශෝධනය විය. එයින් මගියාට සෙත සැලසෙන, වෘත්තියේ ගරුත්වය රැකෙන ගාස්තු සමාලෝචන කමිටුව ඉවත් කළේ කාගේ වුවමනාවට දැයි ප්‍රශ්නයක් මතු වූ බවයි. ඒ 2016 අගභාගයේදී uber ටැක්සි සම්බන්ධිකරණ සේවාව ලංකාවට හඳුන් කාලයයි. බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනය නියාමනය වෙනුවෙන් ප්‍රඥප්තිය ගැසට් කළේ 2003 පෙබරවාරි 02 වැනිදාය. මෙය අවස්ථා කිහිපයකදීම ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් විශේෂයෙන් ත්‍රිරෝද රථ සංගම් තුළින් පැමිණි විරෝධතා හමුවේ දේශපාලකයන් කර ඇරියේය. මින් දෙස් විදෙස් ප්‍රාග්ධන හිමිකරුවන්ගේ ලාභාංශය වැඩි කරගැනීමට දොරගුළු විවෘත විය. මෙනිසා ත්‍රීරෝද රථ සේවාව නියාමනය තුළින් රියදුරන් ට මෙන්ම මේ සේවාව ලබාගන්නා මගියාට ද සාධාරණ සේවාවක් ලබාදිය හැකි බව ත්‍රීරෝද රථ සංගම්වල විශ්වාසය පළ කරයි.

මේවනවිට ලංකාව පුරා ත්‍රීරෝද රථ ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර මේවනවිට QR කේතය යටතේ ත්‍රීරෝද රථ 9,97,381ලියාපදිංචි කර තිබේ. 2019 කොරෝනා සමයේ සිට සියලුම වාහන ආනයනය තහනම් කර ඇති නමුත් පොලීසියට බෙදාදීම සඳහා ත්‍රිරෝද රථ 2000 ක් පමණක් ආනයනය කර ඇත. ජාතික TAXI APP ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුවේ සභාපති ජස්මින් ලංකා සිළුමිණට සඳහන් කළේ “වසර විස්සකට පෙර සිට වෘත්තිය ත්‍රීරෝද රථ රියදුරන්ගේ නියාමනයක් අවශ්‍ය බව තේරුම්ගෙන ඒ වෙනුවෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් තිබූ බවයි.

ඒ නිසා මෙය බස්නාහිර පළාත මූලික කරගෙන පළමු අදියරයේ ක්‍රියාත්මක වීම හොඳ ආරම්භයක් ලෙස තමන් දකින බවයි. ඉන් ත්‍රීරෝද රථ රිය දුරන්ගේ වෘත්තිමය තත්ත්වය ආරක්ෂාවනවා වගේම මගී ජනතාවගේ ගැටලුවලටත් විසඳුමක් ලැබෙන බව” හෙතෙම පවසයි.

නව නියාමන ක්‍රමවේදයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීවගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ “2002 අංක 06 දරන මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා ත්‍රිරෝද රථ ප්‍රඥප්තියේ විධිවිධාන ප්‍රකාරව ගරු ආණ්ඩුකාරතුමා විසින් 2021.12.15 වන දින 2258/25 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති රිති හරහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ත්‍රී රෝද රථ ලියාපදිංචිය හා නියාමනය සඳහා බලය පැවරී ඇති බවයි.

ඒ අනුව යමින් බස්නාහිර පළාත ඇතුළත මගි ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රි රෝද රථ ලියාපදිංචිය හා නියාමනය 2022 සැප්තැම්බර් මස 01 වන දින සිට සිදු කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සැලසුම් කර ඇති බවයි.

 

Comments