
පුත්තලමේ සිට මාතර දක්වා වූ මුහුදු බඩ කලාපයේ මුල්බැසගත් වැඩි දෙනෙකුගේම පෙළපත් නාමය හා බැඳී ඇත්තේ පෘතුගීසී නාමයන්ය. ඒ පෘතුගීසීන්ගේ මෙරට බල ව්‍යාප්තිය රැදී තිබුණේ මුහුදුබඩ කලාපය ආශ්රිත වූ බැවිනි.
පෘතුග්‍රීසීන්ගෙන් ලද විවිධ පෙළපත් නාම අතර කැපී පෙනෙන පෙළපත් නාමයක් වන්නේ සොයිසාය. පෘතුගාලයේ සුසා (SOUZA) ගංගා නිම්නයේ පදිංචිව සිටි වැසියන් හඳුන්වනු පිණිස යෙදුණු ඒ නාමය පෘතුගීසීන් මෙරට මුහුදුකරය අත්පත්කර ගැනීමත් සමඟ අපේ ඇතැම් පිරිස් සිය පෙළපත් නාමය කර ගනු ලැබුවේ එකල පැවති සමාජ ආර්ථික වටාපිටාව මුල්කරගෙනය.
ලක්දිව බොදු පුබුදුවේ පහන් ටැඹක් ලෙස සැලකෙන ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් වන ශ්‍රීමත් සිරිල් ද සොයිසා, මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා ආදීන් මෙරට සොයිසා පරම්පරාවේ කීර්තිමත් චරිතය. ද සොයිසා කාන්තා රෝහල ද සොයිසා පරම්පරාවෙන් ලද උරුමයකි.
දේශපාලන ක්ෂේත්රයේ ද , ක්‍රීඩාවේ ද, නීති අංශයේ ද, ව්‍යාපාරික ක්ෂේත්රයේ ද, ආරක්ෂක අංශවලද සොයිසලා වැඩ පෙන්වන්නේ කිසිවකුටත් නොදැවෙනි ලෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු ත්‍රිත්වයක් ලබාගත් නුවන් සොයිසා ද ක්‍රීඩාවෙන් වැඩපෙන්වූ සොයිසා කෙනෙකි. රංජිත් සොයිසලාත් විජිත් විජයමුණි ද සොයිසාත් මෑත දේශපාලන ක්ෂේත්රයේ සොයිසා පරපුර නියෝජනය කළ අයවලුන්ය. පුන්සිරි සොයිසා, රිචඩ් ද සොයිසා කලා කෙත පෝෂණය කළ සොයිසලාය. අනුරාධපුරයේදී ඝාතනය වූ වසන්ත සොයිසා කරාතේ ක්‍රීඩාවෙන් සහ ත්‍රාසජනක වැඩසටහන් වලින් අපේ රට ගිනස් පොතට රැගෙන ගිය සොයිසා කෙනෙකි. මාතර පොලිස් ප්‍රධානියා ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ද නමගිය සොයිසා කෙනෙකි.
සොයිසා පරපුර බැබළවූ සහ බබළවන සොයිසාවරු මේ කිහිප දෙනෙක් පමණි. එදා මුහුදුබඩ කලාපයට සීමා වූවත් අද ද සිය දහස් ගණනක් සොයිසාවරු රටපුරා විසිරී සිටිති.
මේ තරම් වටිනා සොයිසා පරපුරට ඉතිහාසයේ කළු පැල්ලමක් එක්වන්නේ හැටේ දසකයේ මුළු රටම හෙල්ලී ගිය කැළැත්තෑවේ මිනීමැරුම් සිද්ධියත් සමඟිනි. එම ඝාතනය හා බැඳී සිටියේ දොස්තර ඇල්ෆට් සොයිසාය.
එකී සොයිසාගෙන් පසු මෑත ඉතිහාසයේ අපරාධ ලෝකයේ නිතර නම කියවවෙන්නට ගත් සොයියා කෙනෙක් වන්නේ ජගමුණි සුජීව ද සොයිසාය. හැබැයි මේ කියන සොයිසාව එනමින් දන්නේ අතළොස්සක් පමණි. ඒ ඔහු අපරාධ ලෝකයේ බෞතිස්ම වී සිටින්නේ කොස්ගොඩ සුජී යැයි කියා වූ බැවිණි.
සොයිසා කෙනකුට එරෙහිව ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් නිකුත් වී ඇත්නම් ඒ ජගමුණි සුජීව ද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී ට එරෙහිවය. ඩුබායි සිට දකුණේ කුඩු පාතාලය කොස්ගොඩ සුජී විසින් නිහඬව මෙහෙයවමින් සිටින විට හිටිහැටියේම අම්බලන්ගොඩ පැත්තේ දැන් අලුත් පාතාලයක් බිහිවෙමින් ඇත්තේ වෙඩි පිට වෙඩි තබමින් එක පෙළට මිනීමරමිනි. ඒ පිටුපසද සිටින්නේ ද සොයිසලාය.
අම්බලන්ගොඩ වැසියන්ට පමණක් නොව, පොලීසියටත් දැන් මේ කියන සොයිසලා පත්ව ඇත්තේ හිසරදයක් බවටය. පවුල් දෙකක් අතර ඇති වූ විරසකය අද වන විට බොහෝ ජීවිත බිලිගෙන හමාරය. ගෙවී ගිය මාස දෙක තුළ පමණක් දෙපැත්තේ ගැටුම්වලින් අහිමි වූ ජීවිත ගණන පහකි.
මුල් කාලයේ අතින් පයින් සහ ඊට පසු කාලයේ කැත්තෙන් මන්නෙන් පිහියෙන් වැඩ පෙන්වමින් සිය බලය පෙන්වූ මේ කියන සොයිසලාගේ තෙවැනි පරම්පරාව දැන් සිය බලය පෙන්වන්නේ තුවක්කුවෙනි. අම්බලන්ගොඩ පැත්තේ අද පාතාලයේ භීෂණයක් වැපිරී ඇත්තේ මේ සොයිසලාගේ ගැටුුම් නිසාය.
අම්බලන්ගොඩ රජකරන සොයිසලාගේ තෙවැනි පරම්පරාවේ අද මේ හටගෙන ඇති ගැටුමේ ආරම්භය එතරම් ඈතකට විහිදී යන්නේ නැත. පොලිස් වාර්තාවලින් පෙනී යන්නේ සොයිසලාගේ වත්මන් පාතාල භීෂණයේ ආරම්භය සනිටුහන් වන්නේ 2019 වසරේදී බවය.
තිරිමාදුර සුජිත් ද සොයිසා මේ එක් සොයිසා පරම්පරාවක පුරුකකි. මුරුක්කුඩාදුර වසන්ත සොයිසා අනිත් සොයිසා පරම්පරාවේ පුරුකයි. ගැටුම ඇත්තේ මෙම පාර්ශ්ව දෙක අතරය.
මේ සොයිසලා දෙන්නා ගමේ බලවතුන්ය. ඔවුන් දෙදෙනා එකිනෙකාට නොදැවෙනිය. වසන්තගේ හයිය පැවතියේ කරන්දෙණියේ සුද්දා සහ පොඩි ලැසී නිසාය. කරන්දෙණියේ සුද්දාගේත් ලැසීගෙත් මත්කුඩු අම්බලන්ගොඩ පැත්තේ බෙදෙන්නේ වසන්ත හරහාය. ඒ නිසාම වසන්තට ලොකු බලයක් අම්බලන්ගොඩ පැත්තේ ගොඩනැගී තිබුණේය. සුජිත්ට එවන් හයියක් නොමැති වූවත් වසන්තට ඔහු කිසිවිටෙකත් නොදැවෙනි වෙන්නට ගියේ නැත.
ඒ 2019 වසරේ දිනයකි. අම්බලන්ගොඩ පැත්තේ නිෙවසක පැවති උත්සවයක ආරාධිතයන් අතර සුජිතුත් වසන්තත් සිටියේය. පිිරිමි උදවියට තොලකට ගාන්න රට බීම බෝතල් කිහිපයක්ම ඔවුන් රැඳි සිටි මේසය මත විය. බෝතලය කඩා වීදුරුවකට දමාගෙන පළමුව එහි රස බලන්නේ වසන්තය. ඊළඟට බෝතලය එන්නේ සුජිත්ගේ අතටය. ඔහු එය ප්‍රතික්ෂේප කළේය. වසන්ත සිතන්නේ බෝතලය ඉඳුල් කළේ තමා වූ නිසා සුජිත් එසේ හැසිරුණු බවය. එය හිතේ තබාගෙන වීදුරුවක් දෙකක් උගුරට හලාගත් වසන්ත සූදානම් වන්නේ සුජිත්ට බලහත්කාරයෙන් මත්පැන් වීදුරුවක් පොවන්නටය.
“බීපන් යකෝ මේක බීපන්. නැත්තම් මම තෝව මෙතනම මරල දානවා.“ වසන්ත බමන මතින් කෑ මොර දෙමින් සුජිත්ට මත්පැන් වීදුරුවක් පොවන්නට ඔට්ටු වූයේය. ඒත් එක්කම සුජිත්ගේ ඉවසීමේ රතු කට්ට ද පැන්නේය. අතදිග හැර පහරවල් කිහිපයක්ද වසන්තට එල්ල වූයේය.
මේ සිදුවීම වසන්තට ගෙන දුන්නේ වස ලැජ්ජාවකි. සුජිත්ගෙන් ගුටි කෑ වසන්ත ඔහුගෙන් පළිගන්නට මාන බැලුවේය. සුජිත්ට වැඩක් දෙන්නට කිහිප විටක්ම වසන්ත උත්සහ ගත්තේය. එහෙත් ඒ සෑම අවස්ථාවක්ම ගිලිහී යන්නේ සුජිත්ගේ සහෝදරයා නිසාය. ඔහු අජිත් ද සොයිසාය.
සුජිත්ගේ පවුලේ හයි හත්තිය පැවතියේ අජිත් නිසාය. ඔහු බූරු කප්පිත්තෙකි. ඒ නිසාම ඔහුව ගමේ බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටියේ බූරු අජිත් යැයි කියාය. ගම්වැසියන් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ ඔහු ගමේ හැම දේකටම මුල්වී සිටියේය. වසන්ත මෙන් මත්කුඩු ජාවාරමේ නොගියාට අජිත් දකුණේ හැම අයියා කෙනෙක්වම ළඟින් ඇසුරු කළේය. ඒ නිසාම වසන්තට නොදැවෙනි බලයක් අජිත් වටාද ගොඩනැඟී තිබුණේය. සුජිත්ගෙන් පළිගැනීමට වසන්තට බාධාවක් වන්නේ අජිත්ය.
එදා 2020 අගෝස්තු 22 දාය. එදින උදෑසන අජිත් යතුරු පැදියක නැඟී සුපුරුදු ලෙස සිය නිවසේ සිට ගමන් කරන්නේ අම්බලන්ගොඩ ධීවර වරායටය. මුළු පවුලටම හරියන්න මාළු මිලදී ගත් ඔහු එය රැගෙන එමින් සිටියදී ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් අජිත්ගේ මඟ හරස් කළේය. ඒ තුළින් එළියට බසින්නේ වසන්තය. ඒ ගිනි අවියක් ඇතැතිවය. ඔහු එක පිට එක වෙඩි වැලක් අජිත් දෙසට එල්ල කළේය. අනපේක්ෂිතව එල්ලවූ එම වෙඩි ප්‍රහාර හමුවේ අජිත් කපා හෙලූ කදක් මෙන් ගාලු පාර මත ඇද වැටෙන්නේ අවසන් හුස්ම පොද එතැනම වාතලයට මුසුකරමිනි.
අම්බලන්ගොඩ හොල්ලන පොරක් බවට වසන්ත පත්වන්නේ මේ එක්කමය. අජිත්ගෙන් සෑහීමකට පත් නොවූ ඔහු සුජිත්ට ද කොකා ගස්සන්නට මාන බැලුවේය. එහෙත් ඊට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායට වසන්ත කොටුවන්නේ ඌරගස්මංහන්දිය පැත්තේ සැඟවී සිටියදීය.
අජිත්ව මරා දැමූ වරදට වසන්තට බොහෝ කලක් ඇප නැතිව ලඟින්නට සිදුවන්නේ හිරේය. ඒ ඔහුට ඇප නොලැබෙන විදිහට පොලීසිය හැම පැත්තෙන්ම හිරකර තිබුණු බැවිනි. ඒ නිසාම වසන්තට හිරෙන් එළියට එන්නට ඉඩක් ලැබෙන්නේ මෑතකදීය. ඒ මාස හතර පහකට පෙරය. එසේ පැමිණි ඔහු සුපුරුදු මත්කුඩු ව්‍යාපාරයට අත තබන්නේ කරන්දෙණියේ සුද්දාගේ ආශිර්වාදයද ඇතිවය.
හිරෙන් එළියට ඇවිත් වසන්ත රගන විට එය අජිත්ගේ පවුලේ අයට නම් එතරම් රිස්සුවේ නැත.
“අයියා මැරුණේ උඹ නිසායි.“
“බලපන් වසන්තයා ඇවිත් යස අගේට ඉන්න හැටි.“
“ඌට මුකුත්ම කරන්න උඹට තාම බැරිවුණා.“
“උඹ දාගත්තු රණ්ඩුව නිසයි අයියා නැතිවුණේ.“
මෙවැනි දහසකුත් දේවල් කියා අජිත්ගේ පවුලේ සාමාජිකයන් සුජිත්ට දොස් නගන්නට ගත්තේය. සිය සහෝදරයාගේ මරණයේ වේදනාවෙන් කෑකෑරෙමින් සිටි සුජිත්ට තවදුරටත් සියල්ල ඉවසාගෙන සිටීමට සිතක් නොවීය. වසන්ත තමාටද කුමන හෝ මොහොතක කොකා ගස්සන බව ද සුජිත් දැන සිටියේය. ඒ නිසා සිය සහෝදරයාගේ මරණයේ වාඩුව ගනිමින් සිය ජීවිතයද ආරක්ෂාකර ගැනීමට නම් වසන්තට වැඩක් දිය යුතු යැයි සුජිත් කල්පනා කළේය.
හැබැයි එය හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සුජිත් දැන සිටියේය. ඒ හිරේ යන්නට පෙර සිටියාට වඩා හිරෙන් එළියට ආ විට වසන්ත බලවත්ව සිටි බැවිණි. වසන්ත යන එන තැන්වල ඔහු පස්සේ කොල්ලො කුරුට්ටේ හය හත්දෙනෙක්ම ගැවසෙමින් සිටි බැවින් සැලසුම් සහගතව ඔහුට වැඩක් දිය යුතු බව සුජිත් කල්පනා කළේය.
ඒ සඳහා ඔහු සැලසුමක් සකස් කරමින් අජිත්ගේ මරණයත් සමඟ සඟවා තැබුණු පිස්තෝලයක් එළියට ගත්තේය. ඒ වන විට ගිනි අවියක් අතින්වත් අල්ලා නොතිබුණු සුජිත් එම අවිය කුරුදු ඉඩමකට රැගෙන ගොස් වෙඩි කිහිපයක් තබා පුරුදු පුහුණු වන්නේ ඉලක්කයක් අල්ලා වෙඩිල්ලක් පත්තුකරන්නට හැකියාව ලබමිනි. වසන්තගේ පස්සේ සුජිත් පන්නන්නට ගන්නේ ඉන් අනතුරුවය.
එදා ජුනි 26 වෙනිදාය. වසන්ත බලපිටිය අධිකරණය හමුවේ පෙනී සිටින්නේ අජිත් ඝාතනයේ නඩු විභාගය එදින පැවැති බැවිනි. නඩු කටයුත්ත අවසන්ව වසන්ත යතුරු පැදියක නැඟී නැවතත්ගම් පළාත වෙත එමින් සිටියේ ටිං ටිං සමඟිනි. අජිත් ඝාතන නඩුවේ ඔහු ද එක් චූදිතයෙක් විය.
එදා වසන්තගේ ජීවිතය ඩැහැ ගැනීමට සුජිත් මානබලමින් සිටියේ අජිත්තේ වැඩිමහල් දරුවා වූ ආලෝකත් සමඟිනි. ආලෝක එතරම් මුහුකුරා ගිය අයෙක් නොවීය. තාමත් ඔහුට වයස අවුරුදු විසි හතරකි. මේ කාලය තුළ ඔහු ඩුබායි හී රැකියාවකද නිරතව සිටි අයෙකි. සිය පියාගේ මරණයට ලෙයට ලෙයින් පළිගැනීමට ඔහු බාප්පා සමඟ එක්වන්නේ සිය මවගේද ආශිර්වාදය ඇතිවය.
එදා උසාවියට ආ වසන්ත ගැන ඔත්තු බලන්නේ ගම්බෙට්ටාය. ඔහු ආලෝක සමඟ පෙර පාසල් කාලයේ සිටම එකට අකුරු කළ හොඳම යාළුවාය. වසන්ත ගැන ඔත්තු බලන්නට ඔහුව යොදවන්නේ ආලෝකය.ඒ අවදානම ගම්බෙට්ටා ගත්තේ යාළුකමටය.
වසන්ත උසාවියෙන් එළියට ආ ගමන්ම ගම්බෙට්ටා දුරකතන ඇමතුමක් ගෙන ඒ බව ආලෝකට කීවේය. ඒ ඔවුන්ට සූදානම් වන්නටය. ගම්බෙට්ටාගේ තොරතුරු සේවය උසාවි බිමෙන් අවසන් වන්නේ නැත. අම්බලන්ගොඩ දක්වාම ගම්බෙට්ටා වසන්ත පසුපස පැන්නුවේය. එතැන් සිට වසන්තව හඹා යන්නේ සුජිත්ය. ඒ යතුරු පැදියකිනි. එම යතුරු පැදිය පදවන්නේ ආලෝකය. ඒ වන විට ආලෝකගේ සහ සුජිත්ගේ මුහුණුවලින් දිස්වූයේ කැකෑරෙන වෛරයකි.
වසන්ත ගමන් ගනිමින් සිටි යතුරු පැදිය ඌරවත්ත පාලම පසු කළා පමණි. ආලෝක සිය යතුරු පැදියේ වේගය වැඩි කළේය. ඒ වසන්ත ගමන් කරමින් සිටි යතුරු පැදියට කිට්ටු කරමිනි. ඒත් එක්කම ආලෝකගේ පසුපසින් සිටි සුජිත් ඕනෑම දේකට සූදානම් කරගෙන සිටි පිස්තෝලය සියතට ගෙන වෙඩි කිහිපයක්ම වසන්ත දෙසට මුදා හැරියේය. ඒ වසන්තගේ කතාව නිමා කරමිනි.
සුජිත් වගේම ආලෝකත් සිතුවේ වසන්තගේ මරණයත් සමඟ සියල්ලක්ම නිමාවක් දකීවි යැයි කියාය. එහෙත් එය එසේ නොවීය. වසන්තගේ පැත්තෙන් සොයිසා පරම්පරාවේ සිටි එකම හයිය වූ වසන්තගේ මරණයෙන් කැලඹෙන්නේ කරන්දෙණියේ සුද්දා සහ පොඩි ලැසීය. මේ වන විට පොඩි ලැසී සිටින්නේ හිරේය. ඒ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්සේය. එහි සිටියත් ලැසීට කරන්නට බැරි දෙයක් නැති තරම්ය. කරන්දෙණියේ සුද්දා සිටින්නේ ඩුබායිවලය. මෑතකදී අලුත්ගමදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඔත්තුකරුවෙක් වූ තැඹිලි වෙළෙන්දෙකුට වෙඩි තබා මරා දමන්ට ඩුබායි සිට වෙඩික්කරුවෙක් යොදවනු ලැබුවේ සුද්දාය. ඒ ඉන්දියාවට පළාගොස් සිටි සිය සහෝදරයා වූ රාජුව නැවත මෙරටට ගෙන්වාගෙනය. එම ඝාතනයෙන් පසු රාජු නැවත ඉන්දියාවට හෝ ඩුබායි වෙත හෝ වෙනත් රටකට පළාගිය බවක් මෙතෙක් එළියට එන්නේ නැත. ඔහු තාමත් සිටින්නේ යැයි කියන්නේ ලංකාව ඇතුළේය. ඇතැම් තොරතුරු පාර්ශ්වලින් කියැවෙන ආකාරයට අනුව ඔහු සිටින්නේ අම්බලන්ගොඩ පැත්තේය. වසන්ත සමඟ ඔහු එකට කදේ දාගෙන සිටි බව ද කියති.
අණක් ගුණක් නැති මිනිස් ලේ දකින්නට ආශාවෙන් පෙළන පාතාලයේ වෙඩික්කරුවෙක් වූ කරන්දෙණියේ රාජු යුද හමුවේ කමාන්ඩෝ බලකායෙන් පළාවිත් සිටින සෙබලෙකි. ඔහුගේ සහෝදරයා වන කරන්දෙණියේ සුද්දා ද කමාන්ඩෝ බලකායෙන් පළාවිත් සිටි සෙබලෙකි. හමුදා සේවයේ සිටියදී කොන්ත්‍රාත් ඝාතනවල නිරතව සිටි චරිත දෙකක් වන මෙම අයියා මලෝ දෙදෙනාට වැඩ වරදින්නේ කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙක් වූ ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ ඝාතනයත් සමඟිනි. දොස්තර ඝාතනයට හිරේට යන ඔවුන් ඇප ලබා එළියට එන්නේ කුලී ඝාතකයන් ලෙසිනි. 2017 වසරේදී අද මෙන්ම අම්බලන්ගොඩ සහ කොස්ගොඩ පැත්තේ එක දිගට වෙඩි පිට වෙඩි තබමින් පවුල් පිටින් මරා දමමින් මහා භීෂණයක් මැව්වේ රාජුය. ඒ මීටියාගොඩ රණා සමඟ එක්වය. ඒ කොස්ගොඩ සුජී ඩුබායි සිට ලබාදුන් අණට කීකරු වෙමිනි.
අම්බලන්ගොඩ පැත්තේ අද නැවතත් හිස ඔසවා ඇත්තේ එවැනිම භීෂණයකි. ඒ පිටුපස සිටින්නේ කවුරුන්දැයි මෙතෙක් පොලීසිය පැත්තෙන් පැහැදිලිවම හෙළිකරගෙන නැතත් බොහෝ විට ඒ පිටුපස සිටින්නේ කරන්දෙණියේ සුද්දා බව පැහැදිලිය. ඒ වසන්තගේ මරණය අද වන විට තදින්ම දැනී ඇත්තේ සුද්දාට නිසාය. ඒ අම්බලන්ගොඩ පැත්තේ සුද්දාගේ මත්කුඩු බෙදාහැරීමේ ජාලය කරට ගෙන සිටියේ වසන්ත වූ බැවිනි. වසන්තගේ මරණයත් සමඟ ඒ පැත්තේ සොයිසා පරම්පරාවේ බලය අඩපණ වූවත් වසන්තගේ මරණයට පළි ගැනීමට පෙරටවිත් ඇත්තේ සුදාය. ඒ ඔහු යටතේ සිටින කුලී ඝාතකයන් යොදාය. ඒ අතර රාජු ද නැතැයි කියන්නට බැරිය.
ඒ අනුව වසන්තගේ මරණයට පළිගනිමින් පළමු වෙඩිල්ල පත්තුවන්නේ ඊට පසු දිනය. ඒ අම්බලන්ගොඩ ගලගොඩ පිහිටි මළ ගෙදරකදීය. වෙඩික්කරුවන්ගේ ඉලක්කය වන්නේ සුජිත්ගේ සහෝදරයකු වූ විජිත්ය. ධිවර කාර්මිකයෙක් වූ විජිත් කකා බිබී පිස්සු නටමින් ජීවත් වන්නෙකි. බිරිය සහ දරුවන් අතහැර ඔහු ජීවත් වෙමින් සිටියේ හොර අඹුවක් සමගිනි. එදා ඔහු වෙඩි කා මරු වැළඳ ගන්නේ එම හොර අඹුවගේ නිවසට යාබද නිවසක මළ ගෙදරක රැඳී සිටියදීය. එදා විජිත් පමණක් නොව, මළ ගෙදර රැඳී සිටි ගමේ අහිංසකයෙක්ද වෙඩි ප්‍රහාර හමුවේ අවසන් ගමන් ගියේය.
මෙම ප්‍රහාරය එල්ලවන විට ආලෝකත් සමඟ සුජිත් සිටින්නේ අම්බලන්ගොඩින් පළාගොස් විජිත්ගේ විවාහක බිරියගේ නිවෙසේ සැඟවීය. එම නිවෙස පිහිටියේ හෝමාගම පැත්තේය. එකපිට එක වෙඩි තැබීම් සිදුවන විට ඒවා එකින් එක ලිහා දැමීමට සිදුවූයේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. ටී. විතානගේටය. සිය නිලධාරීන්ගේ මඟපෙන්වීම මත වෙඩික්කරුවන් හඹා යන්නට ගත්තේය. ඒ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීීක්ෂක රවීන්ද්‍ර පුෂ්පකුමාර, පොලිස් පරීක්ෂක මනෝජ්, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් ඇතුළු කණ්ඩායමක් සමඟිනි. මෙහිදී පහසුවෙන්ම හඹායාමට හැකියාවක් තිබුණේ වසන්තගේ ඝාතකයන් පසුපසය. ඒ වන විටත් එම ඝාතනයට වගකිවයුතු වූයේ සුජිත් සහ ආලෝක බව පොලීසිය දැන සිටියේය.
ඒ වන විටත් ඔවුන් අම්බලන්ගොඩින් පළා ගොසිනි. එබැවින් පොලිසියට අභියෝගය වූයේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමය. දක්ෂ විමර්ශකයන්ගෙන් සැදුම් ලත් එම පොලිස් කණ්ඩායමට තාක්ෂණයේ සහයෙන් ඒ අය සැඟවී සිටින තැන හඳුනා ගැනීමට නම් එතරම් අපහසු කටයුත්තක් නොවීය. ඒ අනුව ඔවුන් දෙදෙනාව හෝමාගමින් 19 වෙනිදා අත්අඩංගුවට ගන්නා විට මෙම ඝාතන රැල්ලේ ඊළඟ ඉලක්කය වෙනුවෙන් වෙඩි වරුසාවක් පත්තුවන්නේ අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි හෝටලයක් තුළදීය. ඒ ඉකුත් 21 වෙනිදා රාත්‍රී කාලයේදීය.
එවර වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්වන්නේ සුජිත්ගේ බාප්පාගේ පුතාය. නමින් ඔහු ධනුෂ්කය. බෝට්ටු හිමිකරුවෙකි. අතමිට සරු මුදල් යහමින් ගැවසෙන පුද්ගලයෙකි. ඒ වන විට සුජිත්ලාගේ පාර්ශ්වයෙන් සොයිසා පරම්පරාවේ ලොකුම හයියක් වූයේ ධනුෂ්කය. ඒ නිසාම වෙඩික්කරුවන් ඔහුව හඹාගෙන එන බව පොලීසියට කල්තියාම ඉව වැටී තිබුණේය. ඒ නිසාම සිය ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්වන ලෙස ධනුෂ්කට පොලීසිය දැනුම්දීමක්ද කර තිබුණේ රාත්‍රී කාලයේ කන්න බොන්න තැන තැන නොයන ලෙසටද අවවාදයක්ද දෙමිනි. එහෙත් ඔහු එම අවවාද එතරම් තැකීමක් කළ බවක් පෙනෙන්නට නොවීය. එදා දෙල්දූවේ හෝටලයට මිතුරන් කිහිප දෙනෙක් සමඟ මත්පැන් තොළගාන්නට ඔහු එන්නේ එබැවිනි. සිය මිතුරන් සමඟ ඔහු එදින මුණ ගැසෙන්නේ දෙවැනි මහලේ විවෘත ආලින්දයේය. තවත් කිහිප දෙනෙක්ද එහි රැදී සිටියේය. සිය මිතුරන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ධනුෂ්කව සොයා වෙඩික්කරුවා එන්නේ විදුලිය විසන්ධිව මුළු හෝටලයම අඩ අඳුරේ ගිල්වී තිබියදීය.
ධනුෂ්ක රැඳී සිටි තැන හරියටම වෙඩික්කරුවා දැන සිටියේය. ඒ බොහෝ විට ධනුෂ්ක රැදී සිටි ස්ථානයට යාබද තැනක සිටියෙකුගෙන් වෙඩික්කරුවාට තොරතුරු ගොස් ඇති බැවිනි. කිසිදු කළබලයකින් තොරව හෝටලයට ඇතුළු වී ඉහළ මහලට පැමිණි වෙඩික්කරු එතෙක් වේලා කබාය තුළ සඟවාගෙන සිටි ටී 56 ගිනි අවිය පිටතට ගෙන ධනුෂ්ක දෙසට ඉලක්කර මුදා හරින්නේ වෙඩි වරුසාවකි. ඒත් එක්කම ධනුෂ්ක සිය ජීවිතය බේරා ගැනීමට බිමට පනින්නේ කෙලින්ම පිහිටුම් තටාකයටය. ඒ වන විට ධනුෂ්ක සමඟ මධුවිත තොලගාමින් සිටි මිතුරන් දෙදෙනකුද සිටියේ වෙඩි වැදී තුවාල ලබාය. ඒත් ඒ වන විට ධනුෂ්කගේ තත්ත්වය එතරම් යහපත් නොවීය. ඒ නිසාම අසල මේසයක ආහාර ගනිමින් රැදී සිටි තරුණයෙක් දිවගොස් පිහිණුම් කටාකයට බැස්සේ ධනුෂ්කගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණ ඇතිවය. අවසානයේදී සිදුවන්නේ එම තරුණයා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතයේ අවසන් හුස්ම පොද එම හෝටලයේදීම පිටකරන්නටය.
මෙසේ ඉතා පහසුවෙන් ජීවිත දෙකක් බිලිගත් වෙඩික්කරුවා සිය ඉලක්කය සාර්ථකව ලබා ගනිමින් හෝටල් භූමියෙන් පිටව යන්නේ යතුරු පැදියක නැගීය. ඒ සොයිසා පරපුරේ තවත් ඝාතන ඉලක්කයකට නුදුරේම කුරුමානම් අල්ලන්නට බලාගෙනය. ඇතැම් විට ඔවුන්ගේ ඉලක්කය සුජිත් සහ ආලෝක විය හැකිය. හිරේ හිටියත් දැන් ඒ අයගේ ජීවිත ඇත්තේ අනාරක්ෂිතවය. කොයි මෙහොතේ වෙඩි උණ්ඩයක් ඔවුන් දෙදෙනා හඹා ඒවිදැයි කිව නොහැකිය. අම්බලන්ගොඩ පොලීසිය දැන් දැඩි උත්සහයක නිරත වන්නේ මෙම සොයිසාවරුන්ගේ ගැටුම මෙතැනින් හමාර කරන්නටය. ඒ උපරිම වෙර යොදා තැන තැන වෙඩි තබමින් යන වෙඩික්කරුවන් අල්ලා තවත් ඝාතන රැල්ලක ආරම්භයකට නැවතීමේ තිත තැබීමටය.