කතා පෙට්ටිය! | සිළුමිණ

කතා පෙට්ටිය!

 

එම දුම්රිය මැදිරියේ සිටි සියලු දෙනාගේම අවධානය එක්තරා කොලු පැංචකු කෙරෙහි ද ඔහුගේ තරුණ මව කෙරෙහි ද යොමු වී තිබිණි. පැංචාගේ වයස අවුරුදු පහක් හෝ හයක් හෝ ලෙස අනුමාන කළ හැකිය. ඔහු සෞඛ්‍ය සම්පන්නය. නිල් පැහැති කොට කලිසමක් හා අත්කොට සුදු කමිසයක් හැඳ සිටියේය. කමිසයේ දකුණු පැත්තට බරවන ලෙස කටුවකින් කමිසයේ අමුණා තිබුණේ අපූරු ලේන්සුවකි. එය හරි ගණනට නවා, මැද ජේත්තුවට එල්ලා තිබිණි. පැංචාට ඉන් අමුතු පෙනුමක් ලැබුණු බව පිළිගත හැකිය. එහෙත් වැඩි දෙනා ඔහුගේ කතාවට සමන් යොමු කළහ.

දරුවාත් ඔහුගේ මවත් ඒ වනවිට මැදිරියේ හිටගෙන සිටියෝය.

"අම්මේ! අර මාමා නම් හොඳ කෙනෙක් වගෙයි. අපට සීට් එක දෙයි නේද?"

"අපි ළඟින් බහිනවනෙ පුතේ! අපට සීට් ඕනෙ නෑ!"

"ඒ වුණාට අම්මෙ පුංචි ළමයි හිටගෙන යන්න හොඳ නෑ! ලෙඩ වෙන්ඩ පුළුවන්!"

තලතුනා මහත්මයෙක් හා තරුණයෙක් යන දෙදෙනාම එකවර තම අසුන්වලින් නැඟී සිටියෝය. එහෙත් තරුණයා වඩා ඉක්මන් බව ද සූක්ෂ්ම බව ද දැකගත හැකි විය. හෙතෙම සිය අසුන පැංචාට භාර දෙමින් ඔහුගේ හිස ඉතා මෘදු ලෙස අත ගෑවේය.

"පුතා හරිම ෂෝක්!හොඳට ඉගෙන ගන්ඩ ඕනෑ!"

පැංචා තරුණ මහත්මයාගේ ප්‍රතිචාරය ඒ හැටි ගණන් ගත්තේ නැත. ඔහු සිය මවගේ අතකින් ඇද ඇයට ආසනය ලබා දුන් අතර ඉක්බිති ඇයගේ ඔක්කට පැන ගත්තේය. එවිට ඔහුගේ මුහුණේ රැඳුණු සිනහව හරිම අපූරුය. සිරිකත පැංචාගේ මුහුණට ආරෝපණය වී ඇතැයි සිතන්නට පුළුවන. තත්පර කිහිපයක් ගෙවී යද්දී කොලු පැංචා යළිත් සිය කතා පෙට්ටිය විවෘත කළේය.

"ඈ අම්මේ! හැම කෙනාටම පවුලක් ඉන්ඩ ඕනැද?"

"ඔව්නෙ පුතේ හැම කෙනාටම පවුලක් ඉන්නවා!"

"එතකොට අම්මෙ අපේ තාත්තා! එයා ඉන්නෙ පිටරටනෙ, එයාට එහෙත් පවුලක් ඉන්නවද?"

"ඔයාට පිස්සුද?තාත්තගෙ පවුල ඔයයි මමයි කිරි අම්මයි! වෙන පවුලක් එයාට නෑ!"

"එතකොට අම්මෙ එයාට පාළුයි නෙ! මට දුකයි!"

පැංචා උස් හඬින් කතා කරන අතර වටපිට බලන්නේ අන් අයගේ අවධානය විමසන්නට මෙනි. ඔහුගේ උස්හඬ හා වචන උච්චාරණය අසන කෙනකු දරුවාට ශ්‍රවණාබාධයක් ඇතැයි සැක කරන්නට පුළුවන. එහෙත් හැබෑවටම දරුවාට ඉහෙන් බහින රෝගයක් නැත. ඔහු උස් හඬින් කතා කරන්නේ වේදිකා නළුවකු මෙන් ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිනා ගැනීමටය. එය රෝගයක් නොව නැඟී එන කුසලතාවක් සේ සැලැකිය හැකිය.

දරුවා ඊළඟට කළේ උස් හඬින් තාලයකට කවි දෙකක් ගායනා කිරීමය. පළමු කවියේ අර්ථය වූයේ මවට හා පියාට ඉතා හොඳින් සැලකීම හා දණ ගසා වැඳීම හොඳ ළමයකුගේ සිරිතක් බවය. දෙවැනි කවියේ අර්ථය වූයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අය ඒවා පණ මෙන් රැක ගත යුතු බවය. ආසන කැපීම, වාහනවල නොයෙක් දේවල් ලියා තැබීම හොඳ ළමයින්ට සුදුසු දෙයක් නොවන බව ද කවියෙන් කියැවිණි. කවි ගායනාව අසා සිටි මගීහු එකවරම අත්පොළසන් නාදයක් දුන්හ. දරුවා එයින් උද්දාමයට පත්වූ බවක් පෙනිණි.

"එහෙනං අම්මෙ අපි මොනව හරි කමු නේද?"

"ඇයි පුතා උදේට කෑවනෙ; දැන් තියෙන්නෙ ඉන්ටර්වල් එකට කන ඒව විතරයි!"

"බඩගිනි නම් වෙලාවක් නෑ! කෑවට කමක් නෑ!"

"එතකොට පුතේ ඉන්ටර්වල්එකට කන්නෙ මොනව ද?"

"ඒව පස්සෙනෙ අම්මෙ දැන් කමු!"

තරුණ මව සිය දරුවාට කීකරු විය. ඒ හැර කළ හැකි අන් දෙයක් ද ඇයට සිහිපත් නොවීය. දරුවා කෙසෙල් ගෙඩියක් හා විස්කෝතුවක් කෑවේය. තව විස්කෝතුවක් මවට දුන්නේය. මව එය ප්‍රතික්ෂේප කළද දරුවාගේ ඇවිටිල්ල මත විස්කෝතුව කා දමන්නට සිදු විය. පැංචාගේ ඊළඟ කාර්යය වූයේ බෝතලයට කට තබාගෙන ගුඩු ගුඩු ගා වතුර බීමය. පදමට බඩ ගෙඩිය පුරවාගත් පැංචා අම්මාගේ ඔඩොක්කුව මත හිස තබා ගත්තේය. මව සෙමෙන් සිය පුත්‍රයාගේ හිස අත ගාන්නට පටන් ගත්තාය. පැංචා සුළු වේලාවක් එම ඉරියව්වේ සිට එකවරම නැඟී සිටියේය. මවගේ අපේක්ෂාව වූයේ සිය පුත්‍රයා ඔඩොක්කුවේම තබා ගනිමින් ඔහු නිහඬ කිරීමටය. එහෙත් එය වැරදී ගියේ ය. ළමයා එකවරම නැඟී සිටියේය.

"ඇයි පුතේ!?"

"මම අම්මගෙන් බඩ්ඩක් අහන්නද?"

"මොකක්ද?"

"අම්මගෙ ඔඩොක්කුවෙ නිදාගන්නෙ මං විතරද?"

"ඔව්! පුතාට නංගිලා මල්ලිල නැහැනෙ!"

"එතකොට මං විතරද?"

"ඔව්!"

"ඔන්න ඉතින් අම්ම බොරු කියනවා!"

"නැහැ පුතේ ඔයාගෙ අම්ම බොරු කියන්නෙ නෑ!"

"ඇයි නැත්තෙ? තාත්ත රට ඉඳල ආවහම මෙතන නිදාගන්නව මං දැකල තියෙනවනෙ!"

මුළු දුම්රිය මැදිරියම සිනාසෙන්නට පටන් ගත්තේය. අම්මාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය. දරුවාගේ ඇතැම් කියමන්වලින් මව අපහසුවට පත්වෙයි. එහෙත් කළ හැකි දෙයක් නැත. ඔහු නිහඬ කිරීම අපහසුය. සංවාදය එතැනින් නැවතුණ අතර මැදිරිය පුරා යම් නිහඬතාවක් පැතිර ගියේය. තවත් තත්පර කිහිපයකින් පැංචා සිය කතා පෙට්ටිය නැවත විවෘත කළේය.

"අම්මෙ, හරි වැඩේ! මට කක්කා බරයි!"

මව කලබලයෙන් නැඟී සිටි අතර වහාම දරුවා කැටුව ඊළඟ දුම්රිය ස්ථානයෙන් බහින්නට සූදානම් වූහ.

"ඇයි අම්මෙ!?"

"පුතාට කක්ක බරයිනෙ අපි ඊළඟ ස්ටේෂමෙන් බහිමු!"

"අම්ම කලබල වෙනව වැඩියි වගේ!"

"එතකොට කක්ක බර!?"

"බර වැඩිවෙන්නෙ ඒක ගැන හිතුවොත් විතරයි!"

මැදිරියේ බොහෝ දෙනකු දරුවාගේ උත්තරවලට සිනාසුණද එම උත්තරයට සිනාසුණේ නැත. එහි කල්පනා කරන්නට යමක් ඇති සේය.

Comments