
පාතාලය සහ ගිනිඅවි අතර ඇත්තේ අපූරු සබඳතාවයකි. මාළුවාට ජලය නැතිව ජීවත්විය නොහැකිවාක් මෙන් පාතාල සාමාජිකයන්ට සංවිධානාත්මක අපරාධකරුවන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තුවක්කු පිස්තෝල ඇතුළු අවිආයුධ නොමැතිව ජීවත්විය නොහැකිය. ඒ තමන්ගේ පැවැත්ම, ක්‍රියා කලාපය සහ ආරක්ෂාව සඳහා එම ගිනිඅවි අත්‍යවශ්‍යම බැවිනි.
දින හැටතුනකදී පුද්ගලයන් විසි තුන්දෙනෙකු බල්ලන් බළලුන් ගාණට මහමඟ ඝාතනය වන්නේ මේ තුවක්කු පිස්තෝලවල උණ්ඩවලිනි. පාතාලය, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සන්තකයේ ඇති තුවක්කු, පිස්තෝල, ජීව උණ්ඩ, අත්බෝම්බ ඇතුළු අවිආයුධ සංඛ්‍යාව කොපමණදැයි කිසිවකු නොදන්නා අතර ඒවායේ නියම සංඛ්‍යා ලේඛන ද නැත.
විශේෂයෙන් ටී56 ස්වයංක්‍රීය තුවක්කු, නයින් එම් එම් පිස්තෝල, අත්බෝම්බවලට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන්නේ ලොකු ලංසුවකි. නීති විරෝධීව මේවා සන්තකයේ තබාගෙන සිටින තවත් සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් සහ පුද්ගලයන් එම තුවක්කු, පිස්තෝල, අත්බෝම්බ කුලියට දීමට ද හුරු පුරුදුව සිටින්නේ එමඟින් ලොකු මුදලක් තමන්ගේ සාක්කුවට වැටෙන බැවිනි.
එසේ කුලියට ගන්නා තුවක්කු, පිස්තෝලවලින් පුද්ගලයන් ඝාතනය කර කුලිය ද සමඟ නැවත එම ගිනිඅවි අයිතිකාරයාටම නිරුපද්‍රිතව ගෙනිහින් දුන් අවස්ථා රැසක් ද පොලිසිය පසුගිය කාලයේ අනාවරණය කරගෙන තිබිණි. මේ තුවක්කු, පිස්තෝලවල නීති විරෝධී අයිතිකරුවන් ඇතැම් අවස්ථාවල සිරගෙවල් ඇතුළේ සිට ජංගම දුරකථන මඟින් කතා කර එළියේ සිටින සිය ගෝලබාලයන් මඟින් ගිනිඅවි කුලියට දෙන ජාවාරම් සිදුකරගෙන ගොස් තිබිණි.
විශේෂයෙන් දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවුණු මිනිස් ඝාතන සහ ඒවාට යොදා ගැනුණු ගිනිඅවි ගැන එම ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක නිරතවී තොරතුරු රැසක් මේ වන විට සොයාගෙන තිබීම ද සුවිශේෂී කාරණයකි.
මේ ඝාතන සඳහා යොදාගන්නා ලද ගිනිඅවි සොයා ගැනීම සඳහා ඔත්තුකරුවන් මාර්ගයෙන් බුද්ධි තොරතුරු එකතුකර සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා තිබේ. දකුණු පළාතේ ඝාතන සඳහා පසුගිය කාලයේදී යොදාගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය තුවක්කුවක් ගැන අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට තොරතුරු ලැබෙන්නේ පසුගිය දිනෙකය.
මේ තොරතුරු ගැන ඉතා සියුම්ව සොයා බලන අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධරයෝ ටී 56 තුවක්කුව සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයකු ගැන ද තොරතුරු සොයාගෙන තිබිණි. වැටලීම ක්‍රියාත්මක වන්නේ එම තොරතුරුවලට අනුවය.
ඇඹිලිපිටිය පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලූනුමඩ ප්‍රදේශයේ තැනක අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් මාර්ග බාධකයන් යොදන්නේ ලැබුණු තොරතුරුවලට අනුවය.
මේ මාර්ගය ඔස්සේ ධාවනය කැරුණු මෝටර් බයිසිකලයක් නවතන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් එය පරීක්ෂා කරන්නේ ඒ අනුවය. එහි සඟවාගෙන ගෙන යමින් තිබුණු ටී56 ස්වයංක්‍රීය තුවක්කුවක් ජීව උණ්ඩ 8ක් පතරොම් ගැබක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකිවිය.
තවදුරටත් සැකකරුවන් දෙදෙනා සෝදිසි කරද්දී එක් පුද්ගලයකු සතුව තිබුණු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් පමණ සොයා ගැනීමට ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකි වන්නේ ඔය අතරය.
අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු 38 හැවිරිදිය. ඔහු ඇඹිලිපිටිය නවනගරයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගැනුණු 32 හැවිරිදි පුද්ගලයා අටකලම්පන්න පින්නවල පදිංචි පුද්ගලයෙකි. මේ දෙදෙනාගෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද තිස්අට හැවිරිදි පුද්ගලයා ඇඹිලිපිටියේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොදරවානේ 'සුද්දා' බව අනාවරණය වන්නේ ඒ අනුවය. සුද්දා ඇඹිලිපිටිය නගරය මූලික කරගෙන හෙරොයින් ජාවාරම සිදුකරගෙන යන්නේ කලක සිටය. මේ ජාවාරම ඔහු කරගෙන ගොස් ඇත්තේ 'ඊෂි කෑෂ්' ක්‍රමයටයි.
'මොදරවානේ සුද්දා' මෝටර් බයිසිකල්වලින් ගමන් කරමින් එහි සඟවාගෙන යන හෙරොයින් පාර්සල් තැන තැන සඟවා ඊෂි කෑෂ් ක්‍රමයට ඒවා ජාවාරම් කරන බව තොරතුරු හෙළිවිය. මුදල් ලැබුණු පසු ඒවා ඇණවුම් කළ අයට ලබාදීමට ඔහු පියවර ගෙන තිබිණි.
මොදරවානේ සුද්දා ටී 56 තුවක්කුව ගෙන ගියේ ඇයිදැයි සෙවීම සඳහා ඊළඟට විමර්ශන ආරම්භ විය. එහිදී අනාවරණය වුණේ සුද්දා මේ ටී 56 ගෙන යමින් තිබුණේ සිය විරුද්ධවාදියකු ඝාතනය කිරීමට බවයි.
සුද්දා මෙලෙස මේ ටී 56 ස්වයංක්‍රීය තුවක්කුව රැගෙන යමින් තිබුණේ සිය විරුද්ධවාදියකු වන හිටපු සෙබළකු ඝාතනය සඳහාය. මේ සෙබළා විශ්‍රාමිකයෙකි. ඔහු මොදරවානේ සුද්දාගේ හෙරොයින් ජාවාරමට ප්‍රසිද්ධියේ විරුද්ධ වූවෙකි. සුද්දා ඒ නිසා විශ්‍රාමික සෙබළා සමඟ වෛර බැඳගෙන සිටියේ කලක සිටය.
සුද්දා මීට මාස හයකට පෙරදීද මේ විශ්‍රාමික සෙබළා ඝාතනයට තැත්කර තිබිණි. ඒ ඔහුගේ හිසට මන්නයකින් පහරක් එල්ල කරමිනි. විශ්‍රාමික සෙබළාගේ ජීවිතය ගැලවුනත් ඔහුට බරපතළ තුවාල සිදුවිය. මන්නාපහරින් සිදුවූ තුවාලයට මැහුම් එකසිය දහතුනක් දමන්නට ඔහුට සිදුවිය.
ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි සුද්දා ගිනි අවි ද සන්තකයේ තබාගෙන ප්‍රසිද්ධියේ එහෙ මෙහේ යමින් ප්‍රදේශවාසින් බියවද්දමින් සිටි අයකු බවට ද තොරතුරු හෙළිවිය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් මොදරවානේ සුද්දාගේ නිවෙස පරීක්ෂා කරන්නට එහි යන්නේ ඉන් අනතුරුවය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එම නිවෙසට යන්නට මොහොතකට පෙර මොදරවානේ සුද්දාගේ සහෝදරයකු එම නිවෙසේ තිබුණු පිස්තෝලක් ද රැගෙන පලා ගොස් සිටියේය.
නිවෙස පරීක්ෂා කරන විශේෂ කාර්ය බළකා නිලධාරින් වාහන අංක තහඩු දෙකක් එහි තිබී සොයා ගන්නා ලදි.
සුද්දා සන්තකයේ තිබී සොයා ගන්නා ලද ටී 56 තුවක්කුව කුලියට ගත් එකක් බවට සැක කැරේ. මිද්දෙනියේ මල් ශාලාවක හිමිකරු පසුගියදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ ද ටී 56 තුවක්කුවකිනි. එම ඝාතනයට ද යොදා ගෙන තිබුණේ මේ ටී 56 තුවක්කුවම දැයි සොයා ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙයි.
මොදරවානේ සුද්දා සහ සෙසු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඇඹිලිපිටිය පොලිසියට බාර දෙන ලදී.
අම්බලන්තොට එස් ටී එෆ් කඳවුරේ ප්‍රධානි පොලිස් පරීක්ෂක නුවන් බණ්ඩාර ඇතුළු කණ්ඩායම මේ වැටලීම සිදුකරන ලද්දේ හම්බන්තොට කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විදුර දිසානායකගේ උපදෙස් මතය. උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ද මේ මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන ලදි.
වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ඇඹිලිපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් රත්නායක ඇතුළු කණ්ඩායමක් විසිනි.