නිට්ටඹුවේදී ඝාතනය කළ මන්ත්‍රී අමරකීර්තිගේ රන් අබරණ කොල්ලකෑ දෙදෙනාත් අල්ලයි | සිළුමිණ

නිට්ටඹුවේදී ඝාතනය කළ මන්ත්‍රී අමරකීර්තිගේ රන් අබරණ කොල්ලකෑ දෙදෙනාත් අල්ලයි

මේ වසරේ මැයි මාසයේ 09 වැනිදා ලක් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරන ලද දිනයක් විය. ඒ ගාලු මුවදොර අරගලකරුවන්ට සහ එහි ස්ථාපිත කර තිබූ ගෝඨාගෝ ගමට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා සිදුවූ බිහිසුණු සිද්ධීන් සමුදායයි.

ගෝඨා ගෝ ගමට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා හටගත්තේ ප්‍රචණ්ඩකාරි තත්ත්වයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු ඇතුළු පොදුජන පෙරමුණේ පළාත් පාලන සහ පළාත් සභා මැති ඇමැතිවරුන්ගේ නිවෙස් රැසක් ගිනි තබා විනාශ කැරිණි. මැති ඇමැතිවරු හැත්තෑ හතර දෙනෙකුගේ නිවාස එලෙස ගිනිබත් කරනු ලැබිණි.

මේ අතර සිදුවූ ඛේදනීයම සිදුවීම වන්නේ පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන සහ ව්‍යාපාරිකයකු නිට්ටඹුව නගරයේදී ඝාතනය වීමයි. අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධරයා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී ජීප් රථය සංවිධානාත්මක පිරිසකගේ ග්‍රහණයට ගැනුණේ නිට්ටඹුව නගරයේ වාහන තදබදයකට එය හසුවූ අවස්ථාවේදීය.

ගෝඨා ගෝ ගමට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් හේතුවෙන් මුළු රටටම බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණත් ගාලු මුවදොර ප්‍රහාරයෙන් අනතුරුව සිය ගම්බිම් බලායන පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැගත් බස් ඇතුළු යාන වාහන සොයමින් කුපිත වූ පිරිස මහමඟට පැමිණ වාහන පරික්ෂාවේ නිරතව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධරයා රැගත් ජීප් රථය එලෙස වාහන පරික්ෂා කළ පිරිසකට හසුවන්නේ නිට්ටඹුව නගරයේදීය.

ඒ අවස්ථාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තවත් හය දෙනෙකුට තුවාල සිදුවිය. ජීවිතය බේරා ගැනීම සඳහා පලා යන මන්ත්‍රි අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධරයා වූ සැරයන් ජයන්ත ගුණවර්ධන ඉන් අනතුරුව ඝාතනය කැරුණේ අති අමානුෂිකවය. මේ දෙදෙනාගේම සිරුරු පොලිසිය සොයා ගන්නේ මේ සිද්ධිය වී සැලකිය යුතු වේලාවකට පසුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඔහුගේ ආරක්ෂක නිලධාරි සැරයන් ජයන්ත ගුණවර්ධන ඇතුළු තිදෙනෙකු නිට්ටඹුව නගරයේදි මැයි මාසයේ නව වැනිදා අති අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය ජාත්‍යන්තරයේ පවා රැව් පිළිරැව් දුන්නේය.

මන්ත්‍රි අතුකෝරල ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු මැයි මාසයේ නවවැනිදා රට පුරා ඇතිවූ සිදුවීම්වලදී ජීවිතක්ෂයට පත්වූ අතර හාර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. සිදුවූ දේපළ හානිය මෙතෙක් මිලකර නැත.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඔහුගේ ආරක්ෂක නිලධාරි සැරයන් ගුණවර්ධන ඇතුළු තිදෙනෙක් නිට්ටඹුව නගරයේදී මැයි මාසයේ නව වැනිදා ඝාතනය කිරීම ගැන නිට්ටඹුව මූලස්ථාන පොලිසිය සිදුකරගෙන ගිය විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ මේ සිද්ධියෙන් දින කීපයක් ගත වීමටත් ප්‍රථමය.

නිට්ටඹුව මූලස්ථාන පොලිසිය සමඟ මූලික විමර්ශන සිදුකළ රහස් පොලිසිය මේ ඝාතනවල සියලු විමර්ශන මුල සිටම සිදුකරගෙන යන බව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.

මේ ඝාතන ත්‍රිත්වය ගැන විධිමත්, එමෙන්ම පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නිට්ටඹුවට ගොස් සිටියේය.

එලෙස එම අපරාධය ගැන විමර්ශනය කරන රහස් පොලිස් කණ්ඩායම සීසීටීවී දර්ශන රැසක් ද නිරීක්ෂණය කරන්නේ ඒ ඔස්සේ හෝඩුවා ලබා ගැනීම සඳහාය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි සැරයන් ජයන්ත ගුණවර්ධන ප්‍රචණ්ඩකාරින්ගෙන් බේරී ජීවිතය ගලවා ගැනීම සඳහා නිට්ටඹුව නගරයේ පදික වේදිකාවක් මතින් දිවයන අයුරු දැක්වෙන සිසීටීවී දර්ශන රහස් පොලිස් නිලධාරින් විසින් ඒ වන විටත් සොයාගෙන තිබුණු අතර මන්ත්‍රිවරයා සහ ආරක්ෂක නිලධරයා ජීවිතාරක්ෂාව පතා නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ඇඳුම් අලෙවි හලකට ඇතුළු වී එහි විදුලි සෝපානයට නගින අයුරු සඳහන් සීසීටීවී දර්ශන ද මන්ත්‍රිවරයා සහ ආරක්ෂක නිලධරයා ඝාතනය වී ඇති අයුරු සටහන් දර්ශන ද රහස් පොලිස් නිලධරයන් සොයාගෙන තිබුණේ සිදුකරන ලද විමර්ශනයේදීය.

එසේම රහස් පොලිස් කණ්ඩායම මේ ඝාතන ගැන පුද්ගලයන් පනස් දෙනෙකුට වැඩි පිරිසකගෙන් ඒ වන විට ප්‍රකාශ සටහන් කැරගෙන තිබිණි.

මේ ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය ඇරඹෙන්නේ ඉන් අනතුරුවය.

හිටපු සෙබළුන්, ව්‍යාපාරිකයන්, මත්ලෝලීන්, අබලි බඩු එකතු කරන්නන්, අලෙවි විධායකයන්, වෙළෙඳසැල් සේවකයන් ඇතුළු පුද්ගලයන් තිස්හයදෙනෙක් මේ ඝාතන සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මන්ත්‍රි ආරක්ෂක සැරයන්වරයාගෙන් පැහැරගෙන තිබුණු පිස්තෝලය ද සොයා ගැනීමට රහස් පොලිස් නිලධරයන්ට හැකිවිය.

රහස් පොලිසිය මේ සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස වෙන වෙනම සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් සිදුවීමක් ද අනාවරණය කැරගෙන තිබීම සුවිශේෂීය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඝාතනය වන අවස්ථාවේදී ඔහු පැලඳ සිටි ස්වර්ණාභරණ පිළිබඳවය.

මන්ත්‍රිවරයාට අයත් ස්වර්ණාභරණ ඔහු ඝාතනය වීමෙන් අනතුරුව අස්ථානගතව තිබූ අතර රහස් පොලිසිය සොයා ගත් සුවිශේෂී තොරතුරු වූයේ එම රන් අබරණ සොරකම් කළ පුද්ගලයන් පිළිබඳවය.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් තිස්හය දෙනාගෙන් දෙදෙනෙකු මේ රන් අබරණ පැහැරගෙන උකස්කර තිබුණේ රුපියල් ලක්ෂ 7කටය. එම රන් අබරණ ද රහස් පොලිසිය විසින් සොයා ගන්නේ පසුවය.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නිට්ටඹුව ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

රහස් පොලිස් නිලධාරින් මේ සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

රහස් පොලිසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ සැරයන්වරුන් වන ජයසූරිය (66229) සහ රංජිත් (5549) නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින පුද්ගලයන් තිස්හයදෙනා අතරින් එක් අයකු ඇප මත මුදා හරිනු ලැබ ඇත. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වරට අත්අඩංගුවට ගනු ලැබ සිටියේ අලෙවි විධායකවරයකු ලෙස සේවය කරන අයෙකි.

මැයි නව වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරල ඝාතනය ඇතුළුව එදින සිදුවූ ඝාතන දහයක් සහ දේපළ හානි සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තුන්දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 

Comments