![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/08/12/67.jpg?itok=2gXDcJF-)
ඒ මළ ගෙදරින් පසු නන්දනගේ බලාපොරොත්තු, අනාගත සැලසුම් හා කල්පනාවන් පවා බොහෝ සෙයින් වෙනස් විය. ජීවිතය මුල සිට යළි පටන්ගත යුතු යැයි වරෙක ඔහුට සිතෙයි. එහෙත් එය පහසු නැත. සෑම මිනිසකුම ඉතිහාසය මත දෙපා රඳවා සිටින බවත් ඉන් ඉවත්වීම පහසු නැති බවත් ඔහු දනී. තව වරෙක ඔහුට සිතෙන්නේ මෙය අපූරු හැරවුම් ලක්ෂයක් හැටියටය. තමන්ට මෙතැන් සිට ස්ථාවර ගමනක් ඇතැ'යි කල්පනා කරන්නට ඔහු වෑයම් කළේය. එහෙත් ඒ සැම අවස්ථාවකදීම නන්දන ගමන් කරන්නේ යළිත් අතීතය දෙසටමය.
මල්කාන්තිගේ පියාගේ මළ ගෙදර පරණ පුටුවකට බර දී තමන් දෙස ඕනෑකමින් බලා සිටි කළු - හීන්දෑරි - උස මිනිසා මේ දැනුත් නන්දනගේ යටි සිත තුළ හොල්මන් කරයි. ඔහු හොඳටම බීමත්ව දෙපැත්තට වැනෙමින් කෝපය පිටකර ගැනීමේ උත්සාහයක නිරතව සිටියේය. ඒ අතර නන්දනගේ පිටට තට්ටුවක් දමා මළ ගෙදර වත්තේ කෙළවරකට ඔහු තමන් කැටුව ගිය බව සිහිපත් වෙයි. ලොකු රහසක් කියාගන්නට ඔහුට වුවමනාව තිබිණි.
"මහත්තය මල්කාන්තිගෙ කවුද? ඥාතියෙක් වෙන්ඩ බෑ! මං නොදන්න ඥාති ඉන්නවද?"
"මං කන්තෝරුවෙ එක්කෙනෙක්. අපි හෙඩ් ඔෆීස් එකේ එකට වැඩ කරනවා!"
"එකට වැඩ කරනව විතරනෙ, වෙන සම්බන්ධයක් නෑ..නෙ!?"
"ඔබතුමා මල්කාන්තිගෙ සහෝදරයෙක් ද?"
"සහෝදරයෙක් නෙවෙයි යකෝ! මං ඒකිගෙ එකම මස්සිනා! මං තමා ඒකිව බඳින්නෙ!"
"සමාවෙන්ඩ අනේ! මං දැනගෙන හිටියෙ නෑ!"
කළු හීන්දෑරි උස මිනිසා මල්කාන්තිට වඩා වයස්ගතය. ඔහුගේ කටේ ඉදිරිපස යටි ඇන්දේ දතක් ගැලවී ඇත. ඒ විට හැපීම නිසා යැයි නන්දනට සිතිණි. දෑස් යටට ගිලී ඇති අතර ඒවා පමණට වඩා කුඩාය. දීර්ඝ කාලයක් තිස්සේ ශරීරය දුකට හුරු වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ. මල්කාන්ති හා ඔහු කිසිම ආකාරයකින් ගැළපීමට නොහැකි ය. එහෙත් මෙතන කුමක් හෝ කතාවක් තිබිය හැකි බව නන්දන තේරුම් ගත්තේය. එබැවින් ඔහුට සමීප වී විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නන්දන වෑයම් කළේය.
"ඒ කාලෙ අපි දෙන්න හොඳට හිටියා.ජොබ් එක හම්බවුණාට පස්සෙත් ටවුමට ගිහින් චිත්‍රපටි බැලුවා!"
අතීත සිද්ධි විස්තර කරන විට ඔහුගේ මුහුණ උද්දාමයෙන් පිම්බෙයි. සකල ශරීරයම චලනය වෙයි. මල්කාන්ති මෙබඳු සම්බන්ධයක් ගැන කිසිදු හෝඩුවාවක් නන්දනට දැනගන්නට ඉඩ තබා නැත. ඇය කියා ඇත්තේ පාසල් සමය තුළවත් තමාට පෙම්වතකු සිටියේ නැති බවය. කළු හීන්දෑරි පුද්ගලයා කියා සිටි ජුගුස්සාජනක කතාවක් වූයේ “ගෑනු - මිනිස්සු චිත්තරපටි බලන්ඩ ගියහම වෙන දේවල් මහත්තයට අලුතෙන් කියන්ඩ ඕනැ නැහැනෙ” යන්නය. එක්කෝ මේ මිනිහා බොරුකාරයෙකි. නැත්නම් හීන දකින්නෙකි. එසේ නැත්නම් මල්කාන්ති බොරුකාරියකි. එක්කෝ වංචාකාරියකි. නන්දනට මේ කිසිවක් තේරුම් බේරුම් කර ගැනීම අමාරුය. උභතෝකොටික යන බරසාර වචනය ඔහුට සිහිපත් විය.
"මං ඔයාට කැමැති වෙන්නෙපොරොන්දුවක් වුණොත් විතරයි!"
"මල්කාන්තිට මං අවිශ්වාස ද?"
"එහෙම නෙමෙයි, මේක කෙළවර වෙන්ඩ ඕනෑ අපි දෙන්න එකතුවෙලා!"
"මල්කාන්ති බොරුකාරයකුට රැවටිලා වාගෙ!"
"නෑ! මට කවදාවත් කොල්ලෙක් හිටියෙ නෑ! ඉස්කෝලෙ යන කාලෙවත් නෑ!"
මල්කාන්තිගේ හැසිරීම, පෙනුම හා තවත් දේවල් සලකා බලන විට එම කතාව විශ්වාස කළ හැකිය. ඇය පිරිමියකු හා කතා කළේ කලාතුරෙකින්ය. ඒත් වුවමනාවකට පමණි. විහිළු තහළු නැත. අල්ලාප සල්ලාප නැත. තමන්ගේ පාඩුවේ වැඩකිරීම ඇයගේ ක්‍රමය වී තිබිණි. තනි කරලක් වන සේ දිග කොණ්ඩය සකස් කරගෙන පිළිවෙළකට ඔසරිය අඳින මල්කාන්තිට තිබුණේ සරල චාම් පෙනුමකි. එහෙත් ඇගේ ඡවි වර්ණය, ශරීර හැඩය හා ගමන් විලාසය කාගේත් සිත් ඇද ගනී. කසාදයකට හොඳ ගෑනියක් යැයි ඇය දුටු දිනයේම නන්දනගේ හිත කියා සිටියේය. ඔහු මල්කාන්තිගෙන් මේ කාරණය විමසීම සඳහා හිත කියා සිටියේය. අන්තිමේ ගිය සතියේ සඳුදා ඔහු ඇගේ කැමැත්ත ලබා ගත්තේය. ඉන් දින කිහිපයකට පසු හදිසියේම මල්කාන්තිගේ පියා මිය ගියේය. ආරංචිය ලැබුණේ මහ දවල් කන්තෝරුවටය. මේ මොහොතේ ඇය තනි කිරීම සුදුසු නැතැ'යි ඉටාගත් නන්දන වහාම තම මෝටර් රථයෙන් ඇය රැගෙන මළ ගෙදරට ගියේ අවංක පෙම්වතකු හැටියටය.
තම පියාගේ මරණය ගැන දැඩි ශෝකයක් හෝ කම්පනයක් හෝ ඇය කෙරෙන් පළ නොවිණි. ඇතැම්විට පියා සමඟ සමීප සම්බන්ධයක් ඇයට නොතිබෙන්නට ඇත. ඇරත් ගම්වල හැටි එහෙමය. ළමයින් අම්මලා සමඟ මිස තාත්තලා සමඟ ලොකු සම්බන්ධයක් නැත. ඔවුන් ළඟ තාත්තා කෙරෙහි ගෞරවය හා බියක් පවතී.
ගම්පහ දොරණගොඩට යන තෙක්ම ඔව්හු ස්වකීය අනාගතය ගැන කතිකා කළහ. මල්කාන්ති පවුලකට සිටිය යුතු දරුවන් ගණන පවා තීන්දු කර තිබිණි.
ඇගේ නිවසට ගිය නන්දනට දැනුණේ එම පවුලට සෑහෙන දේපොළක් ඇති බවය. ඔවුනට කුඹුරු තිබිණි. මිදුලේ එක පසෙක ගොඩගසා තිබුණු පොල් ගොඩෙන් පෙනී යන්නේ විශාල පොල්වත්තක් ඔවුන් සතු බවය. ඇගේ අයියලාට ද හොඳ ආර්ථික පසුබිමක් ඇති බව දැන ගත හැකි විය. පවුලේ එකම දියණිය වූ මල්කාන්තිට කාගේත් ආදරය ලැබෙන බව ද පෙනෙන්නට තිබිණි. "මේ අපේ කන්තෝරුවෙ මහත්තයෙක්. මං ආවෙ එයාගෙ කාර් එකේ!" මල්කාන්ති සිය මවට නන්දන හඳුන්වා දුන්නාය. සියල්ල ඉතා හොඳින් සිදුවන බවක් ඔහුට දැනිණි. මල්කාන්තිගේ අම්මා වරෙක මහත්තයා කියා ද, තව වරෙක පුතා කියා ද නන්දන ඇමතුවාය. ඔහුට අලුත් හැඟීමක් හා බලාපොරොත්තුවක් ඇති විය.
සියල්ල කණපිට පෙරළෙන්නට පටන් ගත්තේ කළු - හීන්දෑරි - උස මිනිසා හමුවීමත් සමඟය. ඔහු මළගෙදර ඇතැම් කටයුතු භාරගෙන සිදුකරන බවක් ද, මල්කාන්තිගේ සහෝදරයන් හා ඉතා කුලුපග බවක් ද දැක ගත හැකි විය. මේ අතර මල්කාන්ති නන්දනට දුන් උපදේශනය වූයේ මේ ගමේ බීමත් මිනිසුන් සමඟ කතාවට නොගොස් හැකි විගස ආපසු ගෙදර යෑම වඩා හොඳ බවය. එය ඇත්තක් වුව මල්කාන්තී ගැන තව තවත් තොරතුරු ලබාගැනීම පිළිබඳ සිතක් නන්දන ළඟ තිබිණි. "එයාට ඉතින් කොහොමටත් මාව බඳින්ඩ වෙනවා! ඒ විදිහටයි අපි ආශ්‍රය කළේ!" උස හීන්දෑරි මිනිසා එසේ කියූ අතර නන්දන සිය පෙම්වතියට ද නොකියා වහා ගෙදර ගියේය.
ප්‍රේමය නිසා මේ වන විටත් නන්දනගේ ජීවිතය දෙවරක් කඩා වැටී ඇත. දැන් ඔහුගේ වයස අවුරුදු තිස්හතකි. තමා තීරණාත්මක අවස්ථාවකට එළැඹ ඇති බව ඔහුට දැනිණි. බොරුව හා වංචාව සියලු දුෂ්ටකම්වලට වඩා බලවත්ය. මල්කාන්ති නිත්‍ය ලෙසම තමන් මුළාවේ දමා ඇත. ඔහු ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කළේය. දින දෙකක් නිවාඩු ලබා ගත්තේය. හරියටම තවත් දින පහකින් පසු කන්තෝරුවේ කැන්ටිමේදී ඔවුහු මුණ ගැසුණෝ ය. එය තීරණාත්මක හමුවීමක් බව පෙනිණි.
"නන්දනට මොකද වුණේ? හිටිහැටියෙ අතුරුදහන් වෙලා! ඊට පස්සෙ ෆෝන් එකත් ඕෆ්!"
"මට ඔයාගෙ පරණ පෙම්වතා මුණගැහුණා! මිනිහා දිග කතාවක් කිව්වා!"
මල්කාන්ති සිනාසෙන්නට විය. ඈ මීට පෙර මෙතරම් හයියෙන් සිනාසී නැත.
"ඇයි හිනාවෙන්නෙ!?"
"නෑ මට නම් හිටියෙ පෙම්වතෙක් විතරයි! ඔයාට ගෑනියෙකුයි දරුවො දෙන්නෙකුයි ඉන්නවා!
වන්දිත් ගෙවනව නේද...?"
මල්කාන්ති තවදුරටත් සිනාසෙමින් ඈතට යන ආකාරය ඔහුට පෙනිණි. ඇගේ සෙරෙප්පු හඬ නන්දනගේ සිතෙහි දෝංකාර දුන්නේය.