ඉන්ද්‍ර­කාන්ති ළඟ­දීම ශ්‍රී ලංකා­වට | සිළුමිණ

ඉන්ද්‍ර­කාන්ති ළඟ­දීම ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ල නිලධාරීන් සමඟ ඉන්ද්‍රකාන්ති (මැද)

වකුගඩුවක් ඉල්ලා සෞදියේ නිවෙසක සිරකරගෙන සිටින කාන්තාවක පිළිබඳ පළවූ පුවතකින් පසුගියදා රටම කම්පා විය. මේ වෙද්දී එම කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම්ව පවතී. එමෙන්ම ඇයට නොලැබුණා යැයි කියන වැටුප මෙන්ම මෙරටට පැමිණීමට අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍රය ලබා දීමට ද ඇය රැකියාව කළ නිවෙසේ හිමිකරු කටයුතු කර ඇති බව ‍දැන ගැනීමට ලැබිණ.

දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි ඉන්ද්‍රකාන්ති දියණියන් තිදෙනකුගේ මවකි. ඇගේ දියණියෝ අවුරුදු 18, 11 සහ 7 වියේ පසුවෙති. ඉන්ද්‍රකාන්තිගේ සැමියා ඇය හැර ගියේ දරුවන් කුඩා අවදියේය. එතැන් පටන් දරුවන්ගේ කුදු මහත් කටයුතු සියල්ල ඇය කර මත පැටවිණ.

දරුවන් රැක බලා ගනිමින් රැකියා කිහිපයක නිරත වූවත් ඉන් ලබන ආදායමෙන් දරුවන් පෝෂණයත් ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමත් කරගත නොහැකි බව වැඩි කලක් යෑමට පෙර ඇයට අවබෝධ විය. ඒ සඳහා ඇය දුටු එකම පිළිතුර වූයේ ගෘහ සේවිකාවක ලෙස විදේශ ගත වීමයි.

“අම්මේ මෙහේ ඉඳගෙන මට දරුවන්ගේ වැඩවලට සල්ලි හොයන්න අමාරුයි. ඒ නිසා මම රට යන්න අම්මා මගේ දරුවො තුන්දෙනාත් බලාගෙන ඉන්න. මම අම්මට වියදමට ඕන කරන සල්ලි එවන්නම්” ඉන්ද්‍රකාන්ති කීවේ වෙනත් කරන්නට යමක් නැතිකම නිසාය.

ඇය ප්‍රථම වරට 2013 දී සෞදියට ගෘහ සේවිකාවක ලෙස සේවයට ගියේ එහි ප්‍රතිඵලයක් ලෙස‍ටය. සෞදියේ වසර දෙකක් සේවය කොට ඇය 2014 වසර අවසානයේ යළි මෙරටට පැමිණියාය.

ඉන්ද්‍රකාන්ති 2015 මාර්තු හතර වැනි දින නැවතත් විදේශ ගත වන්නේ වසර දෙකක සේවා ගිවිසුමක් සඳහාය. එම ගිවිසුම අවසානවී මාස දෙකක් යද්දී ඇගෙන් නිවෙසේ අයට ලැබෙන්නට වූයේ අමුතු ආකාරයේ ‍පණිවුඩය.

“මේ ගෙදර අය‍ මට ලංකාවට එන්න දෙන්නේ නෑ. මේ ගෙදර බාබාගේ නෝනාගේ වකුගඩුවක් නරක් වෙලා. නෝනාට වකුගඩුවක් දෙන්න කියලා මට බල කරනවා. ඉක්මනට මගේ ලේ චෙක් කර ගන්න කියනවා. නිකම් ‍නෙවෙයිලු වකුගඩුව ගන්නේ මට සල්ලි දෙනවාලු. මං ලංකාවට එවන්නේ වකුගඩුව දුන්නොත් විතරයි කියමින් මට හිරිහැර කරනවා” ස්කයිප් තාක්ෂණය හරහා ඇය ලංකාවේ ඥාතීන්ට නිතර නිතර පවසන්නට වූවාය. මේ තොරතුරින් බියට පත් ඉන්ද්‍රකාන්තිගේ මව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල පළාත් කාර්යාලයට සිය දියණිය පත්ව ඇති තත්ත්වය පිළිබඳ සඳහන් කරමින් පැමිණිල්ලක් කර ඇත්තේය.

ඒ සමඟම ඉන්ද්‍රකාන්තිගේ කතාව සමාජ ගත වූයේ විවිධ විද්යුත් හා සමාජ ජාල ඔස්සේ‍ රටපුරා කතාබහක් ඇති කරවමිනි.

විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියගේ අවධානය මේ කෙරෙහි යොමු වන්නේ ඒ සමඟය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය චන්ද්‍රකාන්ති වෙනුවෙන් මැදහත් වීමෙන් පසු ඇයගේ කතාවේ සත්‍ය අසත්‍යතාවය රටට හෙළි විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා තොරතුරු විමසා සෞදි අරාබියේ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කළ අතර එහි තෙවැනි ලේකම් ඩබ්. එම්. එස්. පී. ඉලංගකෝන් මහත්මිය සහ භාෂා පරිවර්තක නිලධාරියෙකු රියාද්හි ධර්රිහා පොලීසිය වෙත යවා ඒ පිළිබඳ සොයා බලන ලදී‍. ඒ පසුගිය 22වැනිදාය. එදින ඉන්ද්‍රකාන්ති මහත්මිය සහ නිවෙසේ හිමිකරු පොලීසියට පැමිණ තිබූ අතර ඇයට හිමිකරුගෙන් එවන් බලපෑමක් සිදු නොවූ බවත් ඉල්ලීමක් පමණක් කළ බවත් අනාවරණය විය. ඇයගේ තෙමසක වැටුප නොගෙවා ඇත්තේ ආපසු එද්දී තරමක මුදලක් අතැතිව යා හැකි නිසා බව නිවෙස් හිමිකරු පොලිසියේදී පවසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ මහතා සිළුමිණට පැවසීය.

පොලිසියේදී චන්ද්‍රකාන්ති නොසිතූ දෙයක්ද සිදුවීමට ගියේය. එනම් එරටෙහි නමට අපකීර්තියක් වන ආකාරයේ වැරැදි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇයට දඬුවම් නියම කිරීම‍ට එරට බලධාරීන් සැරසීමය. මෙවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ තානාපති කාර්යාලයේද ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියගේ ද මැදිහත් වීමෙන් චන්ද්‍රකාන්තිට විරුද්ධව නඩු පවරාලීම වැළැක්වීමට කටයුතු යොදන ලදී. එමෙන්ම මෙම ලිපිය සකස් කරන මොහොත වන විටත් ඇය සේවය කළ නිවෙසින් ඉවත් කොට ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණයට පත් කර කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමේ සියලු කටයුතු සූදානම් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඩබ්. ඩබ්. ඉන්ද්‍රකාන්ති මහත්මිය 2013 සහ 2015 වසරවල විදේශ ගත වීමේදී ලබා දී ඇති තොරතුරු පරස්පර බවත් සපයා ඇති සමහර තොරතුරු ව්‍යාජ හා අසත්‍ය බවත් විදේශ සේවා කාර්යංශය මගින් පවත්වනු ලැබූ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ මහතා සිළුමිණට පැවසුවේ ය. ඇය 2013 දී විදේශ ගතව ඇත්තේ ඇයට දරුවන් නොමැති බව පවසමිණි. ඇයගේ වර්තමාන පවුල් පසුබිම සොයා බැලීමේදී එය අසත්‍යයක් බව තහවුරුව තිබේ.

කලකට පෙර ලංකාවෙන් ගෘහ සේවිකාවක ලෙස සෞදියට ගිය රිසානා අතින් සිදු වූ සුළු අතපසුවීම් නිසා ඇයට මරණය උරුම විය. නියම වයස සඟවා මෙහෙකාර සේවයට යවා තිබූ ඇගේ ඉරණම වළකාලන්නට කිසිවෙක් ‍සමත් නොවූහ.

මැද පෙරදිග ගෘහ සේවයට ගිය තවත් කාන්තාවන්ගේ ශරීර තුළින් යකඩ ඇණ හමු විය. මෑතකදී අනාවරණය වූයේ තරුණයකු මරා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර අවයව ලබාගෙන මළ සිරුර අප රටට එවීමේ ශෝචනීය පුවතයි.

කාන්තාවන් පිටරට යන්නේ සුර සැප සොයා නොව තම අග හිඟතාවලට පිළියම් වශයෙනි. එවන් කතුන්ගේ දුක හඳුනාගත් ඇමැතිතුමිය ඔවුන් වෙනුවෙන් කරන සේවය අගය කළ යුතුය. ඇය අසාධාරණයන්ට ලක් වූ කාන්තාවන්ට වන්දි ලබා දීමට මැදිහත්වී කටයුතු කරනු ද අපි දුටුවෙමු.

තම පරමාර්ථ ඉටු කර ගැනීමට අසත්‍ය ප්‍රකාශ කිරීම වැරැදිය. ඉන්ද්‍රකාන්ති අතින් සිදු වූයේද එම වරදයි. ඇය මුසා බස් පැවසීම හේතුවෙන් අපේ රට සේම එරට ද පත් වූයේ අපහසුතාවකටය.

එම රට සම්බන්ධයෙන් ගත්විට එය කීර්තිය පිළිබඳ ගැටලුවකි. ඇතැම් අවස්ථාවලදී රටක අභ්‍යන්තර තීරණවලට වෙනත් රටකට බලපෑම් කළ නොහැකිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජයේ ක්‍රියාකාරීත්වයද පැසසුමට ලක් විය යුතුය.

රටේ කාන්තාවන්ට විදෙස්ගත වීමේදී නීති රාමුවක් පවතී. එම නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම රටට මෙන්ම විදෙස් ගතවන කාන්තාවනටද අයහපතකි. සත්‍ය තොරතුරු එළි කිරීම විදෙස්ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාවට මෙන්ම සුභසිද්ධිය සඳහා ද අගනේය.

 

Comments