අර­ග­ලය මාරයි විග­ඩම් හමා­රයි | සිළුමිණ

අර­ග­ලය මාරයි විග­ඩම් හමා­රයි

රගල භූමිය අවට සිකුරාදා අලුයම පොලිසිය හා ත්‍රිවිධ හමුදා මැදිහත්වීමක් සිදු වී තිබිණි. විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවටින් ඔවුන් පලවාහැර භූමිය ත්‍රිවිධ හමුදාව සහ පොලිස් භාරයට ගත් බව පොලිසිය නිවේදනය කළේය.

මෙම අවස්ථාවේදී සැක කරුවන් 09 දෙනෙක් පොලිස් භාරයට පත් වී තිබිණි. සුළු තුවාල සහිතව 02ක් රෝහල්ගත කළ බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වී ඇත්තේ කැලණිය, ඇඹිලිපිටිය, ජා ඇල, රත්නපුර, සෙවණගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දූව, නුගේගොඩ, පදිංචි වයස අවුරුදු 26 -58 අතර වූ පිරිසකි. ඔවුන් මේ ලියන මොහොත වනවිට අධිකරණයට ඉදිරිපත් කර නැත. එහෙත් ඔවුන් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව තිබිණි.

සිද්ධිය ගැන කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කොටුව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන පුස්තකාලයක් නිර්මාණය කිරීමට සූදානම් කර තිබුණ බව කී ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සටහන් පරීක්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි සඳහා නිලධාරීන් කැඳවීමට නියමිතය.

මේ වනවිට ලෝටස් පාර පැත්තෙන් ගාලු පාර ප්‍රවේශය වසා දමා තිබේ. විරෝධතාකරුවන් පිරිසක් අවට උද්ඝෝෂණයේ ය. සිකුරාදා අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් ඇතුළු වූ විශාල හමුදා හා පොලිස් බළඇණියක් ජනාධිපති මන්දිරය තුළත්, ඒ අවටත් රැඳී සිටි විරෝධතාකරුවෝ බැටන් ප්‍රහාර දී පලවා හරිනු ලැබූහ. ජාතික රෝහල් ආරංචි මාර්ග අපට කීවේ සුළු තුවාල සහිතව විරෝධතාකරුවන් 12 දෙනෙක් සිකුරාදා උදෑසන වනවිට රෝහල්ගත කර තිබුණ බවය.

බ්‍රහස්පතින්දා සවස මම සහ ඡායාරූප මාධ්‍යවේදී සහෘදයා මේ අරගල බිමේ ඇවිද ගියේ අමුත්තක් දැනෙමින් ඇති බව හැඟෙමිණි. අප දුටුවේ මහා වෙහෙසක් නිසා සංයමය සහ අමුණ විතැන් කළා දැයි සිතුණ අරගලකරුවන් පිරිසකි. දියුණු සම්මුතියකින් ගොඩනැඟුණු ආදරය පිරුණු අරගලයේ අරමුණු ඉරිතැළී ගොස් ඇති දැයි සැක සිතෙන සේයා දුටුවෙමි.

ගාලුමුවදොර අරගල භූමියේ අරගලය ආරම්භයේ සිට රැඳී සිටි රතුකුරුස සංවිධානයේ නියෝජිතයන් එතැන හැර ගොස් ය. පසුගිය 21 වැනිදා රටේ නව විධායක ජනාධිපතිවරයා තෝරාගත් පසු ඔවුන් තම කාර්ය අවසන් කර තිබිණි. භූමියේ ස්ථාපිත කර තිබූ වැසිකිළි පද්ධතියට අදාළ මෙවලම් ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහුට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය '' නෝ ඩීල් ගම '' විරෝධතාව බ්‍රහස්පතින්දා පස්වරුවේ අවසන් කෙරිණ. එහි ඉදිකළ අට්ටාල ඉවත් කරගනිමින් පිරිස විසිර ගියහ.‍

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ 20 දා අධිකරණය නියෝගයක් නිකුත් වී තිබිණි. දැන් ඒ භූමියේ කිසිම පාර්ශ්වයක් නැත. ගාලුමුවදොර පිටියේ පාළු ස්වරූපයක් දැනෙමින් තිබේ.

මේ සිදුවෙමින් ඇත්තේ කුමක්ද? කුමක් හෝ වෙනසක් සඳහා රටට අවස්ථාව සැලසී ඇතැයි ඉඟි කරයි. එම අවස්ථාවට යම් ඉඩක් ලබා දිය යුතු නොවේදැයි සමාජයෙනුත් ඇසෙනු පෙනේ. අරගලකරුවන් කරන දේශපාලන සටන බඩගින්නේ සිටින ජනතාවට දැනෙනු ඇතිදැයි නොවැටහේ. මිනිසුන්ට අවශ්‍ය ඉක්මනින් සාමාන්‍ය දිවි පෙවෙත ස්පර්ශ කිරීමය. ඒ සඳහා අරගලය බාධාවක් වී ඇති දැයි සංකා සමාජයෙන්ම මතුවේ.

අපි අවු කූටකයේ ඇවිද යමින් සිටිමු. අපට අවශ්‍ය වී ඇත්තේ මේ අරගල භූමියේ සාධනීය භූමිකාවක් නිරූපණය කළ තරුණයා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවන්නටය.

ඔහුගෙන් විමසිය යුතු දීර්ඝ ප්‍රශ්න කිරීමක් අපට තිබිණි. ඔහු ගෝඨාගෝගම අට්ටාලයක අප බලාපොරොත්තුවෙන් සිටියේය. කෙලින්ම අපේ සංවාදයට පිවිසියෙමු.

රටේ වෙනසක් වෙලා තියනවා. ඒ වෙනසට ව්‍යවස්ථානුකූල මුහුණුවරකුත් තිබෙනවා මේකට ඉඩක් දෙන්න බැරි ඇයි.‘ මගේ ප්‍රශ්නයට ඔහු විමසුම්කාරී විය.

මේක වෙනසක් නෙමෙයි. මිනිස්සු පාරට බැස්සේ උග්‍ර ප්‍රශ්නය නිසා.

මහ පා‍ෙර් ජනමතය තියන්නේ ආණ්ඩුවට විරුද්ධව නොවේද? එය නෙමෙයි පාර්ලිමේන්තුව ඇතුළෙ නියෝජනය වුණේ. ව්‍යවස්ථානුකූලව පත්වුණා කියන අයිසින් එක උඩින් දැම්මට මේ පත්වීම ඩීල් එකක්; කුමන්ත්‍රණයක්. ඒ නිසා අපි මේ ජනාධිපති පිළිගන්නෙ නෑ. ඔහු මේ වනවිට මර්ධනය සඳහා සැරසෙන බව අපට පෙ‌ෙනනවා.”

ඔවුන්ගේ ස්ථාවරය එයය. කන්න බොන්න නැති, දරුවන් පාසලට යවා ගත නොහැකි ඉන්ධන ටික ගෑස් ටික නැති අසරණ මිනිසුන්ට ප්‍රමුඛ අවශ්‍යතාව ජනාධිපතිවරයෙක් පලවා හැරීම ද?. මම ඔහුගෙන් ඇසුවෙමි.

“ඇත්තටම මිනිස්සු පළවෙනි වෙලාවෙ ගෝඨට යන්න කිව්වෙ නෑ. ඔවුන් කිව්වෙ ප්‍රශ්න විසඳන්න කියලා. පොහොර, ඉන්ධන, ගෑස් කිරිපිටි තමයි ඉල්ලුවේ. ඒවා ඉටු වුණේ නැති නිසා තමයි ගෝඨාභයට ගෙදර යන්න කිව්වෙ. “ මේ මාසයේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න රුපියල් නෑ. ඒත් 2015 සිට 2019 ඉඳලා ලංකාවෙ ප්‍රධාන සමාගම් සීයක් නොගෙවපු බදු මුදල් ප්‍රමාණය කෝටි 41000ක්. ඇයි ඔය රුපියල් කෝටි 41000 දවසින් දෙකින් අය කරගන්න ගැසට් එන්නෙ නැත්තේ. මන්ත්‍රීවරුන්ගේ ගිනිගත්තු නිවාස ගැන යළි යළිත් කතා කරද්දි පොහොර ප්‍රශ්නය තෙල් පෝලිම් නැති කරන ප්‍රශ්නය ගැන කවුරුත් කතා කළේ නෑ. ඒ කිසිවකට විසඳුම් නැති නිසා තමයි අපි ඔවුන්ට යන්න කියන්නෙ.“

එහෙත් සාමකාමී අරගලකරුවන්ට වේදිකාවක් නිර්මාණය කරදීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත. එය ඔහුට සිහි කළෙමි.

“ජනතාවගේ ප්‍රතික්ෂේප වූ ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ අපට වේදිකා හදන්න ඕන නෑ. මේ අරගල භූමිය තමයි ඒ ජනතා වේදිකාව. ඒ ජනතා වේදිකාවෙන් ඉල්ලන ඉල්ලීම් ඉටු වුණේ නැතිනම් රනිල් වික්‍රමසිංහලට වෙන්නෙ ඔය වේදිකාවෙන් බැහැලා යන්න. ගෝල්ෆේස් අරගලකුරුවො විදිහට අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා... ජනතා වේදිකාවට අවනත වී එය ක්‍රියාත්මක කිරීමයි ඔහුගෙ වගකීම.

එහෙත් මේ විඩාපත් මිනිස්සුන්ටත් හුස්මක් ගැනීමට අවශ්‍යය. නව ජනාධිපතිවරයාටත් ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට කාලයක් අවශ්‍යය. අරගලයට මිනිසුන් එක් රැස්වීම සඳහා හෝ යම් විවේකයක් දිය යුතු නොවේ ද?.

“ මිනිස්සු අන්ත අසරණයි. කන්න කෑම වේලක් නෑ. ඒත් මේ යන දිශානතිය යන්නෙ ඒක වැඩිවෙන පැත්තට මිසක් අඩු වෙන පැත්තට නෙමෙයි. “ .“ආණ්ඩුව අපිට උත්තර දෙන්නෙ නැතිනම් මහපාරට එන්නෙ නැතිව අපි මොනවද කරන්න ඕන. අවුරුදු පහක ළමයව කැලණි ගඟට විසිකරන්න අම්මලාට හිතෙනවා නම් අවුරුදු පහේ එකොළහේ ළමයි දෙන්න ඇඹිලිපිටියෙ චන්ද්‍රිකා වැවට විසිකරන්න අම්මලාට හිතනවා නම් ඒ තමයි පීඩාව. ඒ පීඩාවට තමයි පිළිතුරු හොයන්න ඕන. “

මේ මහ පුටුවල ඉන්න අපේ ප්‍රශ්නය තේරෙන්නෙ අදලා වෙන්නේ නැති අයට අදාළ කරවිය හැක්කේ වීදි සටන් මතින් තමයි. “

තරක්කරව්වේ ජිනරතන හාමුදුරුවෝත් එතැනය. හාමුදුරුවන්ද මේ අරගලයේ සටන් කරුවෙකි. එහෙත් දැන් මේ අරගලයේ සාමාජික කණ්ඩායම් සීසිකඩ ගොස් කාකොටා ගන්නා තැනට වැටී ඇති අයුරු පළවන්නේය. ගුටි ඇනගැනීම් ප්‍රතික්ෂේප වීම් වාර්තා වන්නේය. එහෙත් හාමුදුරුවන් කියන්නේ වෙනස් කතාකි.

“වික්‍රමසිංහලගෙ උපක්‍රම අපි කලිනුත් දැකලා තියනවා. අරගලය විනාශ කර දැමීම සම්බන්ධව ඔවුන්ට වැඩපිළිවෙළක් තියෙනවා. මේක වැඩකට නැති, බෙදීම් සහ පෞද්ගලික අරමුණුවලින් යුතු රස්තියාදුකාර කණ්ඩායමකගේ මගඩියක් බවට සමාජ මනෝභාවක් ඇති කරන්න ඔවුන් කටයුතු කරන බව අප දන්නවා.“

“අරගලයේ ඉන්න මිනිස්සු බෙදීමක් නෑ. සංවිධාන, කණ්ඩායම් තනි පුද්ගලයින් මේ අය සියල්ල එක අරමුණක ඉන්නවා. ඒ අරමුණ තමයි රනිල් වික්‍රමසිංහ ගෙදර යා යුතුයි යන්න.“ හාමුදුරුවෝ කියති.

අපි අරගල බිමෙන් පිටවී ගාලු පාරට පිවිසියෙමු. මේ බිමේ සිදුවන විරෝධය පිළිබඳ සාමාන්‍ය මිනිසුන්ගේ මතය කුමක් විය හැකිදැයි විමසා දැනගනු රිසියෙන් අහඹු ලෙස අප ඉදිරියට එන කිහිප දෙනකු සමඟ කෙටි සංවාදයක නිරතවුණෙමු.

අයෙක් සිය අනන්‍යතාව සමඟම සංවාදයට කැමතිය. තවකෙක් අදහසක් කීමට මැළිය. තවත් අයෙක් අනන්‍යතාව රහිතව සිය අදහස් දක්වනු රිසිය.

අපට හමුවුණු එක් පුද්ගලයෙක් පුද්ගලික ආයතනයක මානව සම්පත් නිලධාරියෙකි. පුද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක සංචාරක නිලධාරියෙකි. ඔහු අපට මේ විරෝධය ගැන කීවේ මෙවැන්නකි.

“මේ අරගලය ආරම්භ වූ දවසෙ ඉඳලා. මේ දරුවො ලොකු කැපවීමක් කළා. තරාතිරම දන්නෙ නෑ. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ලොකු වෙනස්කම් ගණනාවක් වුණා. දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිවරයා පත්වුණෙත් මේ ළමයි සමාජ අසාධාරණයට එරෙහිව මතුකළ අරගලය නිසා.

ඒත් දැන් මා දකිනවා ඒ අරගලයේ බිඳී යෑම්, කල්ලිවාද, අනවශ්‍ය ප්‍රචණ්ඩත්ව. එහෙම වෙන්න හොඳ නෑ. ආරම්භයේ තිබුණු සංයමය තිබිය යුතුයි. ගිනි අවි පැහැරගැනීම් ගැන චෝදනා ආවා. ඒ සිද්ධි කොතනින් සිදුවුණාද තවම දන්නෙ නෑ. එවැනි තත්ත්ව ඇති විය යුතු නෑ. එහෙත් මේ තරුණ දරුවන්ගෙ අනාගය විසඳන්න පාලකයන් දැනගන්න ඕන. නව ජනාධිපතිවරයාට අවස්ථාව තියනවා ඒ දේ කරන්න. ක්‍රිෂාන්ත කොළඹ පදිංචිකරුවෙකි. සුළු රැකියාවක නිරත වූවෙකි. ඔහු අපට කීවේ මෙවැන්නකි.

මේ අරගලය තව ටික දවසක් හරි තිබුණොත් හොඳයි. මොකද මේ පත්වුණු ජනාධිපති මොනවා කරයි ද කියන්න අපි කවුරුත් දන්නෙ නෑ. අලුත් ආණ්ඩුව මිනිස්සුන්ට තෙල් ටික දුන්නෙ නැතිනම්, පෝර ටික දුන්නෙ නැත්නම්, ගෑස් ටික දුන්නෙ නැතිනම් ඇත්තටම ගැටලුවක් වේවි. මේ දේවල් දුන්නොත් මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට හිරිහැරයක් වෙන්නෙ නෑ.

දුමින්ද ස්වයං රැකියාවක නිරත තරුණයෙකි. ඔහුට අනුව අරගලයේ ප්‍රධාන අරමුණ ඉෂ්ට වී ඇත.

ප්‍රධාන අරමුණ ඉෂ්ටවෙලා තියනවා. පැවතුන දේශපාලන රටාව දෙදරා තිබෙනවා. මිනිස්සුන්ගෙ මූලික අරමුණ වෙලා තිබුණෙ ජීවත් වෙන්න අවශ්‍ය මූලික ප්‍රශ්න විසඳගන්න. එය විසඳෙනවා නම් කවුරු බලයට ආවත් කමක් නෑ. ඒ හින්දා පොඩි විරාමයක් දෙන්න ඕන අලුත් ජනාධිපතිතුමාට. නමුත් මේ අට්ටාල කූඩාරම් අයින් කරගන්න හදිස්සි වෙන්න ඕන නෑ. මොකද ඇත්තටම අපට විශ්වාසයක් නෑ ඔහු කොහොම හැසිරෙයි ද කියලා.

ධනංජය සංචාරක ව්‍යාපාරයකට හිමිකම් ඇති තරුණයෙකි. ඔහුගේ දැක්ම පුළුල්ය.

අරගලයක් කරන්න ඕන මිනිස්සු හිතන විදිහ වෙනස් කරගන්න. යම් තරමකට එහෙම වුණා යැයි මම හිතනවා.

අලුත් ජනාධිපති පත්වුණාම මිනිස්සුන්ගෙ තිබුණු ප්‍රතිචාරයෙන් එය අපට පෙනුණා. දේශපාලන නායකයෙක් පත්වුණාම ණය වෙලා හෝ කිරිබත් කාපු අනුගාමිකයන් සහිත අතීතයක් අපට තිබුණෙ. දැන් ඒක නෑ. ඒත් තවම අපි ඉන්නෙ මහා ලොකු දියුණුවක නෙමෙයි. මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනකම් අරගලයක් අවශ්‍යයයි. ඒක දේශපාලකයෙක් පත් කරලා ආණ්ඩුවක් වෙනස් කළ ගමන් නවතින්න ඕන නෑ කියලා මම හිතනවා.

මේ අතර අපට හමුවන සමාජ පරිණතියක් සහිත මැදිවියේ විධායක නිලධාරියෙක් සිය අනන්‍යතාව හෙළි නොකර අපට මේ කතාව කීවේය.

“ ඕනෑම දෙයක සීමාවක් තිබෙනවා. දැන් මේ අරගලකරුවන් කියන පිරිස තමන් ගැන අධිතක්සේරුවකින් මත්වෙලා .“ “මේ තරුණ ළමයි තමන්ගෙ විරෝධතාව පටන් ගත්තා හරිම නිර්මාණශීලීව. ඒ විරෝධය ඉතාම ප්‍රචණ්ඩව මර්දනය කරන්න හැදුවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට රට ගිනි ගත්තා. ඉන් පස්සෙ මේ භූමියේ තිබුණ නිර්මාණශීලී විරෝධතා ප්‍රකාශනය නැති වුණා.“

පහුගිය 09 දා මේ ගොල්ෆේස් එකෙන් පටන් ගත්තේ මේ රටේ සර්ව පාක්ෂික දේශපාලනය විසින් ගොනු කළ විරෝධතාවක්. එයින් පෙනුනේ මේ රටේ පොදු ජනතාවගේ හැසිරීම. ඒක ප්‍රචණ්ඩත්වය කරා යෑම ඉතාම නරක දෙයක්.

“දැන් මේ අරගල කරන අය කළ යුත්ත නොකළ යුත්ත හරි අවබෝධයකින් තෝරා ගන්න ඕන. මේ අරගලය මේ විදිහට යන්න බෑ.

මේ ජනාධිපති පත් වූ විදිහ ගැන අපි හැමෝටම ප්‍රශ්නයක් තිබෙනවා. ඒත් රට තියෙන්නෙ මහා විනාශයක් පතුලෙ. මේ විනාශයෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා බලන්න ඔහුට කෙටි කාලයක් දිය යුතුයි.

ඒ තත්ත්වය ඇතිවෙයිද කියලා සැකයි.“

හැමෝටම ඇත්තේ යහපත් හෙටක් පිළිබඳ අපේක්ෂාවකි. ඒ දවස තව බොහෝ සේ දුර ද යන ගැටලුව අප ඉදිරියේ ඇත.

 

 

Comments