රටම රත් කළ පැය 24 ගැන පසු­වි­ප­ර­මක් | සිළුමිණ

රටම රත් කළ පැය 24 ගැන පසු­වි­ප­ර­මක්

 

මීට මාස හත අටක සිට මෙරට මුහුණ දී තිබුණු ප්‍රධාන අර්බුදය වූයේ ඩොලර් හිඟයයි. මේ හේතුව මුල් කරගෙන මෙරට විදෙස් සංචිත සීඝ්‍රයෙන් පහත යද්දී ඉන්ධන, ගෑස්, කිරිපිටි සපයා ගැනීම බරපතළම අර්බුදයකට පත්වී ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම් රට පුරා ක්‍රමයෙන් වර්ධනය වන්නේ රජයටත් පාලනය කර ගත නොහැකි ලෙසය.

 

ඊට පෙර මෙරට ගොවීන් මුහුණ පා සිටි රසායනික පොහොර ප්‍රශ්නය අති විශාල අර්බුදයක් දක්වා ගමන් කරමින් සිටින අවස්ථාවක ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම් ද රටපුරා ඇතිවී එය මහජන කැලඹීමක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබිණි.

මේ අතරට විදුලිය කප්පාදුව ද එක් වෙන්නේ මහජනතාවගේ ඉවසීමේ සීමාව නැත්තටම නැති කරමිනි. මුලින් පැයකට දෙකකට සීමාවුණු විදුලි කප්පාදුව දිනකට පැය 7 - 10 අතර ප්‍රමාණයකට වර්ධනය වෙමින් තිබියදී ඉන්ධන, ගෑස්, කිරිපිටි හිඟයට මුහුණ දී සිටි ජනතාවට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටය.

විදුලි කප්පාදුව දිනකට පැය 10 සීමාවට ආසන්න වෙද්දී ජනතාවගේ ඉවසීම නැත්තටම නැතිවී බෝම්බයක් ලෙස පුපුරා යන්නේ මාර්තු මාසයේ 31 වැනිදා රාත්‍රියේය. ඒ මිරිහානේ පිහිටි ජනපති ගෝඨාභය රාජපක්ෂයට අයත් පෞද්ගලික නි‍ෙවස අසලදීය.

පැය ගණනාවක විදුලිය විසන්ධියෙන් විශාල පීඩාවකට මුහුණපා සිටි ජනතාව එදා රාත්‍රී මිරිහානේ පිහිටි ජනපති ගෝඨාභය රාජපක්ෂට අයත් පෞද්ගලික නිවස අසලට කඩා වදින්නේ සිය විරෝධය ජනාධිපතිවරයාට පළ කරමිනි. මෙහිදී එතැනට පැමිණි ආරක්ෂක අංශ සහ මහජනතාව අතර ගැටුමක් ඇතිවන්නේ නොසිතූ ලෙසය. මේ අවස්ථාවේදී නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවල පැනවුණු පොලිස් ඇඳිරිනීතිය පසුදා උදෑසන දක්වා පැවැත්විණි.

ජනපති ගෝඨාභය රාජපක්ෂට අයත් මිරිහානේ නි‍ෙවසට මාර්තු 31 රාත්‍රි මහජනතාවගෙන් එල්ලවූ ගල්මුල් ප්‍රහාරයත් සමඟ ජනපතිවරයාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රජයට මහජනතාවගෙන් එල්ල වන පීඩනය, විරෝධය, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන්නේ ඒ වනවිටත් ඉන්ධන, ගෑස්, කිරිපිටි හිඟයත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළයාමත් රසායනික පොහොර නොමැතිව රටපුරා ගොවිතැන විනාශවීමත් යන ප්‍රධාන කරුණු මූලික කරගෙනය.

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් රටපුරා ඉතා සංවිධානාත්මකව ජනාධිපතිවරයාට සහ රජයට විරෝධය පලකිරීමේ ජනතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටි අතර ඊට පිටරටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහයෝගය හිමිවී තිබිණි.

'ගෝඨා ගෝ හෝම්' තේමාවෙන් කරලියට පැමිණෙන මේ සංවිධානාත්මක ජනතා ව්‍යාපාරය අප්‍රේල් නව වැනිදා කලඑළි බැසීමට සූදානම් වන බව රජය සොයා ගන්නේ බුද්ධි තොරතුරුවලට අනුවය.

ගාලුමුවදොරට රැස්කරන විශාල ජනකායක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කරමින් විශාල උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බව දැනගත් රජය එය නැවැත්වීමට අප්‍රේල් අට වැනිදා සිට රටපුරා ඇඳිරිනීතිය පැනවූවත් එය සාර්ථක වූයේ නැත. එදින රාත්‍රී වන විට අතිවිශාල ජනකායක් ගාලුමුවදොරට පැමිණියේ රටේ විවිධ ප්‍රදේශවල සිටය.

ගෝඨාගෝ ගම ද ඉදිවන්නේ ගාලු මුවදොර ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටයි. ගාලුමුවදොර අරගලකරුවන් එසේ දිවා රෑ නොමැතිව එහි 'ස්ථානගත' වෙද්දී කලාකරුවන්, පූජ්‍ය පක්ෂය, සඟ වෙද ගුරු ගොවි කම්කරු සියලු ක්ෂේත්‍රවලට අයත් විශාල පිරිසක් දිනපතාම ගාලුමුවදොර අරගල භූමියට පැමිණෙන්නට වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් රජයටත් විරෝධය පළකිරීම සඳහාය.

ගාලුමුවදොර අරගලය ඒ වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරු, ප්‍රාදේශීය දේශපාලනඥයන් වැඩි පිරිසකට 'තිත්ත කදුරු' මෙන් වූයේ ඉන් ගෝඨාභය ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට බරපතළ බලපෑමක් දෙස් විදෙස් වශයෙන් ඒ වනවිටත් එල්ල කර තිබුණු නිසාය.

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ඇතිකර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළකට සහය දෙන ලෙස මහා සංඝරත්නය, නීති ක්ෂේත්‍රය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ රටේ උගතුන් බුද්ධිමතුන්ගෙන් බරපතළ බලපෑමක් එල්ලවී තිබිණි. එහෙත් පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමතිවරු, ප්‍රාදේශීය පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඊට තදබල විරෝධයක් එල්ලවී තිබිණි. ඒ අයගේ අදහස වූයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටිය යුතු බවය.

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන්නේ මැයි මාසයේ 09 වැනිදාය. ඒ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු, ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු විශාල පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

එම රැස්වීම අවසන් වන්නේ මෙරට ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ දිනයක් බවට පත්කරමිනි.

රැස්වීමෙන් අනතුරුව පොලිස් මාර්ග බාධක බිඳගෙන අවි ආයුධ පොලු මුගුරු රැගෙන ගාලුමුවදොරට ඇතුළු වූ පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු, ප්‍රාදේශීය දේශපාලනඥයින්, ආධාරකරුවන් අරගල භූමියේ සිටි පුද්ගලයන්ට පහරදී පන්නා දමන්නේ කිසිම අණක් ගුණක් නැතිවය. ගෝඨා ගෝ ගම කූඩාරම් සහ තාවකාලික ගොඩනැඟිලි මේ පිරිස විසින් කඩා බිඳ දමන්නේ කිසිම හිතක් පපුවක් නැති අය සේය.

එහෙත් ඉන් අනතුරුව සිදුවූයේ කුමක්ද? ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ලවූ මැර ප්‍රහාරය සජීවීව දුටු මෙරට නගර ගම්බිම්වල සිටි ජනතාව පොදුජන පෙරමුණේ ගාලුමුවදොර මැරප්‍රහාරය එල්ල කළ පිරිස සොයා පහර දුන්නේ ය. මේ හේතුව නිසා මැයි 9 දහවල් කොළඹට පමණක් පැනවුණු ඇඳිරිනීතිය සවස් වන විට රටපුරා පැනවීමට රජයට සිදුවිය.

එහෙත් ඒ වනවිට සිදුවී තිබුණේ අශ්වයා පලා ගියාට පසු ඉස්තාලය වසා දැමුවාක් මෙන් වැඩකි. ඇඳිරි නීතිය මධ්‍යයේ ද රටපුරා පිහිටි මැති ඇමතිවරු 74 දෙනෙකුගේ ගෙවල් දොරවල්, යාන වාහන, දේපළ ගිනි තබා විනාශ කෙරිණි. පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා නියෝජිතයන් රැසකගේ නිවාස, දේපලවලට ද සිදුවුනේ එම සන්තෑසියමය. පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඔහුගේ ආරක්ෂක නිලධරයා ඇතුළු පුද්ගලයන් දස දෙනකු පමණ රට පුරා සිදුවීම්වලදී ජීවිතක්ෂයට පත්වූහ.

මැයි 9 - 14 අතර රට පුරා ඇතිවූ බිහිසුණු තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ මැයි මාසයේ 9 වැනිදා සවස් වරුවේය. ඒ සමඟම කැබිනට් මණ්ඩලය ද ඉල්ලා අස්විය.

නව අගමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික රජයක් ඇති කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පක්ෂ නායකයන්ට ආරාධනා කරන්නේ මේ අතරතුරදීය. එ.ජා.ප. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙන්නේ මැයි මාසයේ 12 වැනිදාය. සර්ව පාක්ෂික රජයකට ආරාධනා කළ ද එය ඒ ආකාරයෙන් සාර්ථක නොවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගය වෙනම මතයක පසුවූ බැවිනි. එහෙත් පත්කළ රජය ගෙන යාමට ඔවුන්ගේ සහය ලැබිණි.

අග්‍රාමාත්‍යවරයා ධුරයට පත්වී සති දෙකක් තුනක් ගෙවී යද්දී ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් එරෙහිව අලුත් වටයකින් විරෝධතා එල්ල වෙමින් තිබුණි. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ මේ දෙදෙනාම සිය ධුරවලින් ඉවත් විය යුතු බවයි.

මේ තත්ත්වය රටපුරා ක්‍රමයෙන් වර්ධනය වන්නේ ඉන්ධන, ගෑස්, කිරිපිටි හිඟයත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් නිසාය.

තෙල් පෝලිම් කිලෝමීටර් ගණන් දිගට දික්වෙද්දී ගෑස් හිඟය, ලාම්පුතෙල්, කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවෙද්දී සහ ඒවායේ මිල අධික වෙද්දී සමාජ මාධ්‍ය ජාලා කළඹන පුවතක් බවට පත්වූයේ ජූලි 09 දා 'රටම කොළඹට' පැමිණීමට සූදානම් වන බවය.

ජූලි මාසයේ 7 වැනිදා වන විට භික්ෂු සංවිධාන එකමුතුව කොළඹදී ආරම්භ කළ විරෝධතාව තවත් තීව්‍ර කරන්නේ ජූලි 08 සවස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ ජනාධිපති නිල නි‍ෙවස දක්වා සංවිධානය කර තිබූ පා ගමනකිනි.

ජූලි 08 සවස කොළඹ කොටුවට පැමිණි සිසුන් ජනාධිපති මන්දිරය දෙසට ආරක්ෂක රැකවල් බිඳගෙන යාමට තැත්කරද්දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය. පසුබැස යන සිසුන් දෙවන වටයකින් නැවත එහි පැමිණීමට සූදානම් වන්නේ ජූලි 09 වැනිදා උදේ වරුවේය. තත්ත්වය වඩාත් නරක අතට හැරීගෙන එන බව දැනගත් පොලිසිය එදින රාත්‍රී සිට පසුදා අලුයම 8 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ සහ තදාසන්න පොලිස් කොට්ඨාස අටකට ඇඳිරිනීතිය පැනවීය.

ජූලි 09 වැනිදා උදෑසන 8ට ඇඳිරිනීතිය අවසන් වූ බව නිවේදනය කිරීමත් සමඟම රටේ සිවුදෙසින් අති විශාල 'ජන ගංගාවක්' කොළඹ බලා 'ගලන්නට' පටන්ගෙන තිබුණේ බස්, දුම්රිය, ලොරි, ත්‍රිරෝද රථ වලින් සහ පා ගමනිනි.

09 වැනිදා දුම්රිය ධාවනය නොවන බව නිවේදනය කර තිබියදීත් මහනුවර, ගාල්ල, පොල්ගහවෙල ඇතුළු දුම්රිය ස්ථාන රැසකට එක්රොක්වූ මහජනකාය නිසා දුම්රිය කිහිපයක් කොළඹ බලා ධාවනය කිරීමට දුම්රිය බලධාරින්ට සිදුවිය.

මහනුවරින් කොළඹ බලා ජූලි 09 අලුයම 4.30ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු වී තිබුණත් එහි පැමිණි අරගලකරුවන් විශාල පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරයා කාර්යාල අඩස්සියට ගැනීමෙන් අනතුරුව පෙරවරු 8.40ට පමණ දුම්රිය කොළඹ බලා ධාවනය කැරිණි. මුළු දුම්රියේ ගමන් කළ සියලු මගීන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුව ගෙවා තිබුණේ ව්‍යාපාරිකයෙකි.

මේ වන විට අතිවිශාල ජනකායක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය වටලා සිටි අතර කොළඹ කොටුව චැතම් වීදිය ඔස්සේ ඇතුළු වූ අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර නොසන්සුන්තාවක් ඇතිවිය. ආරක්ෂක වැටවල් කඩා බිඳ දමමින් ජනාධිපති මන්දිරය අසලට ගිය අරගලකරුවන්ට දිගින් දිගටම කඳුළුගෑස් ප්‍රහාර එල්ල විය. ඒ අතර අධිපීඩන ජල ප්‍රහාරක රථයක් අල්ලා ගැනීමට අරගලකරුවන්ට හැකිවිය.

මන්දිරය අසලට එක්රොක්ව සිටි ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් දහවල් වන විට ජනපති මැදුරේ ගේට්ටු විවෘත කරගෙන ඊට ඇතුළුවූයේ ජයගෝෂා මධ්‍යයේය.

ජනපති මන්දිරයට ඇතුළුවූ අරගලකරුවෝ එහි සියලුම ස්ථානවලට ගමන් කරමින් ගී ගයමින් විනෝද වෙමින් සටන් පාඨ කියන අයුරු ද තවත් පිරිසක් පියානෝ වාදනය කරමන් ක්‍රියාකාරකම්වල නිරත වන අයුරු ද දක්නට ලැබිණි. මේ අතර තවත් පිරිසක් එහි පිහිනුම් තටාකයට පැන දිය නාන්නට පටන් ගෙන තිබිණි.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වදිද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ එහි සිටියේ නැත.

ජනපති මන්දිරයේ සිටි අරගලකරුවන් එහි තිබූ ආහාර පාන අනුභව කරමින් විනෝද වෙමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරන අයුරු ද දැක ගැනීමට හැකිවිය. ඒ අතර තවත් පිරිසක් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක මුදල් නෝට්ටු තොගයක් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන තිබිණි. ඒවා පසුව කොටුව පොලිසියට භාර දෙනු ලැබීය.

මේ අතර සිදුවූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අග්‍රාමාත්‍ය නිල නිවෙස වූ අරලියගහ මන්දිරය ද අරගලකරුවන් අතට පත්වීමයි.

කොල්ලුපිටියේ සිට ජනාධිපති මන්දිරය දක්වා ඒ වන විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගෙන් පිරීඉතිරී තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරයකු ද අරගලකරුවන්ට එක්වන්නේ මේ අතරතුරදීය. පොලිස් ගරාජයේ සේවයේ නියුතු යාන්ත්‍රික අංශයේ සැරයන් (8873) කපුගමගේ සුදත් සමන්සිරි සිල්වා අරගලකරුවන්ට එකතු වන්නේ මහරගම නගරයේදීය. ඉන් අනතුරුව ඔහු තියුණු ආයුධයක් සමඟ කොටුව ජනාධිපති මන්දිරය අසල රැඳී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරු හෝමාගම මාගම්මන සමගි මාවත 1 පටුමගේ පදිංචිකරුවෙකි.

මේ අතර අරගලකරුවෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංයෙන්ගේ පෞද්ගලික නි‍ෙවස පිහිටි කොල්ලුපිටිය මල්පාරට ඇතුළු එහි ආරක්ෂක යකඩ වැටවල් කඩා ගෙන අගමැතිවරයාගේ පෞද්ගලික නිවෙසට ඇතුළු වීමට උත්සාහ කරන්නේ 09 වැනිදා සවස 4ට පමණය. එහි ආරක්ෂාවේ සිටි පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සහ අරගලකරුවන් අතර ගැටුම තීව්‍ර වන්නේ ඔය අතරය. කඳුළුගෑස් ප්‍රහාර මධ්‍යයේ යකඩ වැඩ කඩාගෙන එදින රාත්‍රි අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට කඩාවැදුණු පිරිසක් එය ගිනිබත් කළහ. ඒ වන විට අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ භාර්යාව පොලිසියේ දැනුම්දීම අනුව ඉන් පිටව ගොස් සිටියහ.

මේ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින්ට පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරින් විසින් පහර දෙනු ලැබූ අතර එහිදී ප්‍රහාරයට ලක්වූ සිරස මාධ්‍යවේදීන් රෝහල්ගත කරනු ලැබුවේය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සිය කණගාටුව පළ කරන ලද්දේ ඉන් පසුවය. අගමැති ආරක්ෂක කටයුතු භාර එස් ටී එෆ් අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ වැඩ තහනමට ලක්වන්නේ ජූලි 10 වැනිදාය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ 13 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්දන නිවේදනය කරන්නේ ඒ අතරය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් ද ඒ සමග ධුරයෙන් ඉවත්විය යුතු බව පක්ෂ නායකයෝ අගමැතිවරයා සමඟ ජූලි 09 සවස පැවැති සාකච්ඡාවේදී දැනුම් දුන්හ.

ජූලි 09 සිදුවීම්වලින් තුවාල ලැබූ පුද්ගලයන් 105ක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඉන් තිදෙනෙකුට වෙඩි වැදී තිබිණි. එක් පුද්ගලයකු බරපතළ තත්ත්වයේ පසුවිය. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් නවදෙනෙක් සිටිති.

ජනපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ නගරයේ ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් විරෝධතා දක්වද්දි රටපුරා ගම් නගරවල ද විරෝධතා සංවිධානය කර තිබිණි. තංගල්ල, මැදවච්චිය, දික්වැල්ල, හැටන්, වව්නියාව, තිස්සමහාරාමය, කුලියාපිටිය, හලාවත, බිබිල, කුරුවිට, අම්බලන්ගොඩ, කොටගල, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක එලෙස විරෝධතා පැවැත්විණි.

ජූලි 09 අරගලකරුවන් අතට පත්වූ ජනපති මැදුර ජනපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය නැරඹීම සඳහා ජූලි 10 වැනිදා උදෑසන සිට ජන ගඟක් නොකඩවා කොළඹට පැමිණීම සුවිශේෂීය.

අරගලකරුවන් කඩාවැදීම නිසා කොළඹ කොටුව ජනපති මැදුරේ භාණ්ඩ රැසකට සහ ලිපි ලේඛනවලට ද ජනාධිපති ලේකම් කාර්යාලෙය් ලිපි ලේඛන රැසකට ද අලාභ හානි සිදුවී ඇති බවද වාර්තා විය.

ජනපති ගෝඨාභය රාපක්ෂ සිය බිරිය අනෝමා සමඟ මාලදිවයින බලා පිටත්ව යන්නේ ජුලි 13 අලුයම් කාලයේදීය. ජනපතිවරයා එරටට පැමිණීමත් සමඟ එහි ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයක නිරත වූහ. ජනපති ගෝඨාභය රාපක්ෂ විදෙස්ගත වීම හේතුවෙන් වැඩබලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරන්නේ ජුලි 13 වැනිදාය. මේ අතර අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගන්නේ ආරක්ෂක අංශ සමඟ ඇති කරගත් ගැටුමකින් පසුවය. මේ අතර පාර්ලිමේන්තුව අසලට පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ ආරක්ෂක අංශ ඔවුන් පලවා හැරීමට පියවර ගන්නා ලදී. ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ගමනාන්තයට ළඟා වීමෙන් පසු ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කරනු ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ජුලි 13 වැනිදාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට එවු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ජුලි 15 වැනිදා නිවේදනය කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදී දිවුරුම් දුන්නේ ජුලි 15 වැනිදා දහවල්ය.

 

 

 

ඡායාරූප -
රුක්මල් ගමගේ
තුෂාර ප්‍රනාන්දු
ගයාන් පුෂ්පික
හිරන්ත ගුණතිලක
රංජිත් අසංක
සුලෝචන ගම‍ෙග්
චින්තක කුමාරසිංහ

 

 

Comments