ඒ. ජේ. දීපාලෝක, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, පාඨශාලාචාර්ය
අංක විද්‍යා ජ්‍යොතිෂ්‍යයට අනුව අංක 3 සෘජුවම නියෝජනය කරන්නේ බ්‍රහස්පති ග්‍රහ තාරකාවයි. අංක තුන මඟින් හැමවිටම ආරම්භය, නිරත වීම හෙවත් පවත්වාගෙන යෑම සහ අවසානය යන ත්‍රිත්වයක් නිවේදනය කරයි.
එමෙන්ම බලය, ශක්තිය සහ නිර්භීත හෙවත් එඩිතර භාවය ද තවත් ත්‍රිත්වයකි. ජන්ම අංක තුනෙන් උපන් අයගේ සාර්ථකත්වය රඳා පැවතී ඇත්තේ මේ කාරණා මතයි. මුට්ටියක් හොඳින් රැඳවීමට ලිප් ගල් තුන එක හා සමානව තිබීම වැදගත් වෙනවා සේම මේවා සමබර වීම ඉතාම වැදගත්ය. අංක 3 නියෝජනය කරන බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳ කොයිකාගෙත් ඇත්තේ සුබවාදී ආකල්පයකි. ඉතා සුබපල දෙන ග්‍රහයකු ලෙස බ්‍රහස්පති හඳුන්වන අතර, සුභ නැකැත්වලින් බොහෝ ප්‍රමාණයක් බ්‍රහස්පතින්දා දිනයට යෙදීම ද විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.
ජන්ම අංක 3න් උපදින අය තුළ අධ්‍යාපනය පිළිබඳ ඉතා උනන්දුවක් දක්වන, ආගම ධර්මය පිළිබඳ ඉතා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටයුතු කරන අතර, සාම්ප්‍රදායික මතිමතාන්තරවලට වඩා එහි ප්‍රායෝගිකව නිරතවීම මොවුන් තුළ දැකිය හැකි වෙයි. ඒ වගේම ඕනෑම දෙයක් පිළිබඳ සියුම් ලෙස මනසින් විශ්ලේෂණය කරමින් කරුණු හරිහැටි අවබෝධ කර ගනිමින් තීන්දුවලට එළැඹීමේ සූක්ෂම ඥානයක් ජන්ම අංක තුනෙන් උපන් ඔබට සහජයෙන් ලැබී ඇත.
ඔබගේ ප්‍රධාන දුර්වලතාවක් වන්නේ නිතරම ඉතා පහසුවෙන් සුඛෝපභෝගීව ජීවත්වීමට සිතීමත් ඇතැම් අවස්ථාවල දුරදිග නොසිතා ක්ෂණිකව තදින් කේන්ති ගැනීමත්ය. මෙම දුර්වලතා මගහැර ගැනීම ඉතාම වැදගත් වෙන අතර මෙය ඔබගේ දියුණුවට සහ සාර්ථකත්වයට සෘජුවම බලපාන බව මතක තබා ගන්න. එමෙන්ම බරපතළ තීරණාත්මක දේවල් පිළිබඳ සැහැල්ලු ලෙස කතා කිරීමත් ඉතා පුංචි දේවල් අනවශ්‍ය ලෙස වැඩියෙන් වර්ණනා කරන්නට යෑමත් හැමවිටම තමන් හුවා දක්වමින් තමන්ගෙ මතයට අනුව සියලු දේ විය යුතු බව සිතීමත් ආත්ම වර්ණනාවත් ඔබව සාර්ථකත්වයෙන් පහත හෙළන දුර්වලතා බව මතක තබා ගන්න.
මනා පෞරුෂයකින් හෙබි ඔබ ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමේ ශක්තියකින් යුතු අයෙකි. නිතරම අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරයි. ඉතාමත් උණුසුම් හදවතක් ඇති ඔබට ඕනෑම කෙනෙක් හොඳින් තේරුම් ගෙන ඔවුන්ට සමීපව කටයුතු කිරීමේ සහජ හැකියාවක් ඇත. සංගීතය, කලාව, චිත්‍ර, ලේඛනය ආදී දේවල්වලට සහජ දක්ෂතා දක්වන ඔබ නිතරම සතුටින් සිටීමට කැමති අතර, අනිත් අය ද සතුටින් තැබීමට නිතරම උත්සාහ ගනී. ආකර්ෂණීය කතා විලාසයක් හිමි ඔබ අන් අයගේ සිත් දිනා ගන්නා ලෙස අදහස් දැක්වීමට දක්ෂය.
හොඳ ආත්ම අභිමානයක් ඇති ඔබ ඇසුරු කිරීමට බොහෝ දෙනකු ප්‍රිය කරන්නේ ඔබ තුළ පවතින උණුසුම් සුහදශීලී ගතිය නිසයි. ඉතා ලස්සනට අඳින්නට පලඳින්නට කැමති ඔබ විසිතුරු දේවල් වලට මෙන්ම පැරණි කෞතුක දේවල් වලට වඩාත් ප්‍රිය කරයි. එමෙන්ම හොඳ පාලන හැකියාවක් ඔබ තුළ පවතින අතර අධිකාරීමය බලය සහ සහ අණ දීමට පවා සමහර අවස්ථාවල යොමුවෙන බව පෙනේ.
අසාධාරණයට කිසිවිටෙක හිස පහත් කිරීමට කැමති නැත. තම රාජකාරි අකුරටම ඉටු කිරීමට ඔබ උපරිම උත්සාහ කරන අතර තම ආයතන ප්‍රධානීන්ට සහ උසස් නිලධාරීන්ට අවනතව කටයුතු කරන ගතිය ද තිබේ. ඔබ කිසිවෙකුට වරදක් නොකරන අතර කාගෙවත් සිත රිදවීමට කැමති නැත. එමෙන්ම ඔබේ සිත රිදවන අයට ද සමාව දීමට කිසිවිට කැමති නොවේ.
ජන්ම අංක 3 න් උපන් අයට කුඩා කාලයේදීම නිසි මඟපෙන්වීමක් ලැබෙන්නේ නම් ඔවුන් ජීවිතයේ ඉතා ඉහළට ගමන් කරයි. එහෙත් අවාසනාවකට ඔවුන්ට කුඩා කාලයේ දී කුමන හෝ බාධාකාරී තත්වයක් ඇති කරන අතර, එය සමස්ත ජීවිත පැවැත්මට යම් බලපෑමක් කරන දෙයක් වනු ඇත.
මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ඔබ වඩාත් උනන්දු විය යුතු අතර මුදල් නාස්තිය අවම කරගැනීමට වගබලා ගැනීම හොඳයි. ජීවිතයේ පසුකාලීන යහපැවැත්ම වෙනුවෙන් තැන්පත් මුදලක් තමන් සන්තකයේ තබානොගතහොත් පසු කලෙක මුදල් අතින් අපහසුතාවට පත් වී දුක් දුක් වීඳීමට සිදුවනු ඇත. වයස අවුරුදු 36 පසු වන විට ජීවිතය ස්ථාවර වීමට පටන් ගනී. බොහෝවිට ඔබ ණයට ලබාදෙන මුදල් ආපසු ගැනීම අපහසු නිසා ඒ ගැන හොඳින් සිතා බලා කටයුතු කරන්න.
ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී අසාර්ථක තත්ත්වයක් පෙන්නුම් කළත් ඔබ ආදරයේ ගැඹුරු අර්ථය හොඳින් වටහාගෙන ජීවත් වේ. ආදරය තුළ ඇති ලෞකික රසවින්දනයට එහා ගිය ගෞරවයක් ඇත. ලස්සන, කීකරු ආදරණීය සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට වාසනාවන්ත වේ. ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගතකිරීමට සහ හොඳ සහකාර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ජන්ම අංක 3න් උපන් ඔබට වඩාත් සුදුසු විවාහ සහකරු සහකාරියන් වන්නේ ජන්ම අංක 3, 6, 9 අය හෝ ඕනෑම මාසෙක 3,6,9,12,15,18,21,24,27,30 යන දිනයන්වල උපන් අයයි.
සෑම වර්ෂයකම පෙබරවාරි 19 සිට මාර්තු 26 දක්වා සහ නොවැම්බර් 20 සිට දෙසැම්බර් 26 දක්වා කාලය බලවත් කාලයක් බැවින් මේ කාලය තුළ ඉතා යහපත් ප්‍රතිඵල ලබා දෙන කාලයකි. ඔබට තමාගේ පාලනය යටතේ පවත්වාගෙන යා හැකි රැකියා ව්‍යාපාර වඩාත් සාර්ථක වේ. සුවඳ විලවුන් විසිතුරු දේවල් හා සම්බන්ධ වෙළෙඳාම, ඇඟලුම් ක්ෂේත්‍රය හා රෙදිපිළි ආදිය සම්බන්ධ ව්‍යාපාර ලේඛනය හා පොත්පත් ආශ්‍රිත රැකියා, ආයතනවල පාලන කටයුතු හෝ පරිපාලනයට අදාළ රැකියා. හෝටල් ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, පරිගණක ක්ෂේත්‍රය, රජයේ ලිපිකාර හෝ ගුරු වෘත්තිය, ආදි රැකියා ව්‍යාපාර වඩාත් සාර්ථක වේ. එසේම කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ රැකියා ව්‍යාපාර ද වඩා පලදේ.
ඔබ වඩාත් අවධානය යොමු කළ යුතු කරුණු වන්නේ උගුර සහ පපුව ආශ්‍රිත සෙම් රෝග, ස්නායුගත රෝග, පාදවල සහ හන්දිපත් ආබාධ, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ මල බද්ධය, සම ආශ්‍රිත රෝග හෙවත් චර්ම රෝග , අවුරුදු 55 න් පසු හෘදයාබාධ සෑදීම වැනි තත්ත්වයන් පිළිබඳ වඩා අවධානය යොමු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිසි වේලාවට ගෙන සෞඛ්‍ය රැක ගැනීමට කටයුතු කරන්න.
මිතුරන් වශයෙන් ඇසුරු කිරීමට හෝ ව්‍යාපාරික වශයෙන් සහයෝගය ලබාගැනීමේදී ජන්ම අංක 3, 6, 9 හිමියන් වඩාත් ගැළපේ. ඔබට ඕනෑම මාසයක 3, 12, 21, 30 වාසනාවන්ත දවස් වන අතර ඔබේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් බොහෝ විට මෙම දවස්වල සිදුවේ. පෙබරවාරි 20 සිට මාර්තු 27 දක්වා දක්වාත් නොවැම්බර් 20 සිට දෙසැම්බර් 27 දක්වා කාලය යහපත් වැදගත් කටයුතුවලට යොදාගැනීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වේ. සතියේ වාසනාවන්ත දවස බ්‍රහස්පතින්දා දිනයයි.
සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් ද ජයග්‍රාහී දිනයන් වේ. ඉහත සුබ දවස් සහ සුබ දින එක දවසට යෙදේ නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ඉරිදා සහ අඟහරුවාදා හැකිතරම් සුභ වැඩවලට යොදා ගැනීමෙන් වළකින්න. ජනවාරි මාසය සහ ජූලි මාසය ද අයහපත් ඵල ලැබෙන බැවින් වඩාත් පරෙස්සම් විය යුතු කාලයකි. විශේෂයෙන් මුදල් සම්බන්ධ කරදර හා පාඩු සිදුවිය හැකිය. ඕනෑම මාසයක 1, 7 16, 25 යන දිනයන් ඔබට අවාසිදායක වේ.
වාසනාව සහ ජය ගෙනදෙන වර්ණ වනුයේ කහ සහ ළා නිල් වර්ණයයි. නිවෙසේ දොර රෙදි, ඇඳ ඇතිරිලි, ලේන්සු කොට්ට උර, ජනෙල් සහ දොර තිර, මේස රෙදි ආදිය සඳහා ඔබට මෙම වර්ණ භාවිත කළ හැකිය. රන් ආභරණ, තඹ වළල්ලක් හෝ කහපාට කෘත්‍රීම ආභරණ පැලඳීම ද ඔබට සුබපල ඇති කරයි. පුෂ්පරාග මැණික් සුබ පල දෙන ජයග්‍රාහි මැණික් වර්ගය වුවත් ජ්‍යොතිෂවේදියකුගේ නිසි උපදෙස් අනුව එය පැලඳීම වඩා යහපත් වේ. ඔබට වයස අවුරුදු 12, 21, 39, 48, 57, 66 යන වර්ෂ ජීවිතේ සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි වර්ෂ වන අතර වැදගත් සැලසුම් මෙම වර්ෂවල ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ සාර්ථක වේ. ඔබ වාහනයක් මිලදී ගන්නේ නම් වාහනයේ අංකය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු 3, 6, 9 වේ නම් ඉතා සුභ ඵල දෙන අතර ආරක්ෂාව ද සැලසේ.