
- මෙතෙක් ඉන්ධන පෝලිම්වල සිදුවූ පුද්ගල මරණ ගණන 16ක්
- අයි.ඕ.සී. පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දිග පෝලිම්
- ඉන්ධන බෙදීම තවත් අවුලෙන් අවුලට
- තෙල් පෝලිම්වල ගැටුම්වලදී වාර්තා වූ පළමු මිනීමැරුම
ඉන්ධන හිඟය නිසා මුළු රටම මේ වන විට වැටී ඇත්තේ ගොඩ ආ නොහැකි තරම් ආගාධයකටය. රටේ සියලුම ක්ෂේත්‍ර මේ වන විට අඩපණ වී ඇත්තේ ආර්ථිකයටත් විශාල හානියක් සිදු කරමිනි.
සෞඛ්‍ය, කෘෂි, අපනයන තේ වගාව, ප්‍රවාහන, විදුලිය, ඖෂධ බෙදාහැරීම, අධ්‍යාපනය, පානීය ජලය බෙදාහැරීම ඇතුළු ආනයන අපනයන ධීවර කටයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මේ වන විට බරපතළ කඩාවැටීමක් සිදුවී තිබේ.
මේ තත්වය වඩාත් උග්‍ර වූයේ ජුනි මාසයේ 27 වැනිදා සිටය. ජුනි මාසයේ 27 වැනිදා උදෑසන සිට ත්‍රිවිධ හමුදාව මැදිහත් වී සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල සිටි පාරිභෝගිකයන්ට ටෝකන් පතක් නිකුත් කර ඔවුන් නිවෙස්වලට පිටත්කර හැරීම සඳහා රටපුරා මෙහෙයුමක් ආරම්භ කර තිබුණත් සමස්ථයක් ලෙස එය සියයට සියයක් සාර්ථක වූයේ නැත. ටෝකන් බෙදා දීමේදී හමුදාව සහ පාරිභෝගිකයන් අතර ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්ව ඇති විය. ටෝකන් පත් බෙදා අවසන්වූ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් වලින් ඉවත්වන්නට ද ඇතැම් පාරිභෝගිකයන් කැමැත්ත දැක්වූයේ නැත.
මේ අතර 27 වැනිදා සිදුවූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ සිපෙට්කෝවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් අද (10) දක්වා පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කිරීමයි. අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන බව ද එම නිවේදනයේ සඳහන් විය.
මේ සමඟම සිදුවූ සුවිශේෂි සිද්ධිය වූයේ එතෙක් සිපෙට්කෝවට අයත් ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර ගණන් දිගැති වාහන පෝලිම් අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසලට පැමිණීමයි. මේ තත්වය වඩාත් උග්‍ර වන්නේ ජුනි මාසයේ 30 ට පසුවය. ජූලි මාසයේ 04 වැනිදා වන විට මෙරට පිහිටි අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර ගණන් දිග පෝලිම් දක්නට ලැබිණි.
රටේ නගර ගණනාවක පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දිග වාහන පෝලිම් සැදී තිබුණත් ඒවාට සරිලන ලෙස ඉන්ධන බෙදා හැරීමට අයි.ඕ.සී. යට නොහැකි විය. මේ නිසා තත්වය ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙද්දී ඇතැම් අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වලට ලැබුණු ඉන්ධන ප්‍රමාණයන් බෙදා හැරීමේදී අදාළ ඉන්ධන පිරවුම්හල්වල කාර්ය මණ්ඩලවලට දුෂ්කරතා රැසකට මුහුණ පාන්නට සිදුවිය.
අයි. ඕ. සී. ඉන්ධන පිරවුහල්වලට ලැබුණු සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදා හැරීමේදී ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල සිදුවුණු ගහ මරා ගැනීම් විරෝධතා සහ කලහකාරි ක්‍රියා මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මැදිහත්වීමට සිදුවිය. අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දිග වාහන පෝලිම්වලට ද ටෝකන් ක්‍රමය හඳුන්වාදීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කළත් එය යම් පමණකට හෝ සාර්ථක වූයේ නැත. පසුව එම ක්‍රමය හකුලා ගැනීමට අයි. ඕ. සී. ය කටයුතු කෙළේය.
රට පුරා අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දිග වාහන පෝලිම් නිසා රටේ ප්‍රදේශ ගණනාවක නගරවල පැය 24 පුරා දැඩි වාහන තදබදයක් ඇති විය. ඇතැම් අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රධාන මාර්ග වසාගෙන ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වාහන සිය දහස් ගණනක් ගාල් කිරීම නිසා එම මාර්ගවල පොදු ප්‍රවාහන සේවාවලට ද ඇති වූයේ සුළුපටු බාධාවක් නොවේ. අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලට ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම නිසා වාහන පෝලිම් දිනෙන් දින කිලෝමීටර ගණනින් දික්වූ බවක් පෙනෙන්නට තිබිණි.
මේ අතර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල එකතුවී සිටින සියදහස් ගණනක් පාරිභෝගික ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තා සහ කලහකාරී ක්‍රියා හේතුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අදාළ පිරවුම්හල් අසලට කැඳවීමට සිදුව තිබිණි.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ කලහකාරි සිදුවීම් මර්දනය කිරීමට යද්දී මහජනතාව සමඟ ගැටීමට ද සිදුවීම සුවිශේෂිය. එවැනි සුවිශේෂි සිදුවීම් මොරටුව, ගාල්ල, කුරුණෑගල, මාතලේ, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ කීපයකින් වාර්තාවී තිබිණි.
මොරටුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් ටෝකන් බෙදාහරින අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු ගුවන්හමුදා නිලධාරින් සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙන් අනතුරුව ගුවන් භට කණ්ඩායම් දෙකක් බස් දෙකකින් අදාළ ස්ථානයට පැමිණියහ.
මේ සිද්ධියත් සමඟ ප්‍රදේශවාසින් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර නොසන්සුන්තාවයන් ඇති විය. ගුවන් හමුදා සෙබළු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරින්ට භාර දෙන්නේ ඉන් අනතුරුවය.
ගුවන් හමුදා නිලධාරින් මේ පුද්ගලයා අල්ලා ගත් අවස්ථාවේදි ඔහුට පහර දුන් බවට චෝදනා ගුවන් හමුදා සෙබළුන්ට එල්ලවිය. ගුවන් හමුදා ඉන් අනතුරුව සඳහන් කළේ බීමතින් කලහකාරි ලෙස හැසිරුණ පුද්ගලයකු අල්ලා පොලිසියට භාර දුන් බවයි. බණ්ඩාරගම ඉන්ධන පිරවුම්හලක ඇතිවූ සිද්ධියකට ද ගුවන් හමුදා සෙබළ පිරිසකට චෝදනා එල්ල විය.
ඇඹිලිපිටියේ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට සිටි හමුදා සෙබළකුගේ අත කිසිවකු තියුණු ආයුධයකින් කපා දමන්නේ මේ අතරය. මේ සිද්ධියට ලක්වූයේ කදුරුගස්ආර කඳවුරේ සෙබළෙකි. ගාල්ල දෙවට අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලික බස් රියැදුරකුට, නාවික හමුදා නිලධරයකු විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකින් පසු එම රියැදුරු රෝහල් ගත කැරිණි.
කුරුණෑගල යග්ගපිටිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුට එහි ආරක්ෂාවේ නිරත හමුදා භට කණ්ඩායමක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල්වරයකු පා පහරක් එල්ලකරන දර්ශන සමාජ මාධ්‍ය ජාලා කළඹන පුවතක් බවට පත්වන්නේ ජූලි 04 වැනිදාය.
අදාළ අයි.ඕ.සී. පිරවුම්හලේ ඇතිවූ නොසන්සුන්තාවයක් මැඩපැවැත්වීම සඳහා හමුදා කණ්ඩායම එහි පැමිණ සිටියදී මේ සිද්ධිය විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 වන ජාතික ආරක්සක බලමුළුවේ අණදෙන නිලධරයා යැයි කියන ලුතිනන් කර්නල්වරයකු මේ පා පහර එල්ල කළ බව විමර්ශනවලදි හෙළිවිය. පා පහරට ලක්වූ පුද්ගලයා සඳහන් කළේ කිසි වරදක් නොකළ තමාට හමුදා නිලධාරියා පා පහරක් එල්ල කළ බවය.
මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කෙළේ මෙය සිදු නොවිය යුත්තක් බවය. ඉන් අනතුරුව අදාළ හමුදා නිලධරයා ගැන විමර්ශන පැවැත්වෙන තෙක් ඔහු රාජකාරිවලින් ඉවත් කැරිණි.
අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර ගණන් දිග වාහන පෝලිම් ඇතිවීම නිසා බරපතළම ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවී තිබුණේ අදාළ පිරවුම්හල්වල කාර්ය මණ්ඩලවලටය. මේ අයට පාරිභෝගිකයන්ගේ ඇණුම් බැණුම් තර්ජන ගර්ජන ඇතැම් අවස්ථාවලදි සිදුවන පහරදීම්වලට ද ලක්වීමට සිදුවිය.
දඹුල්ල හබරණ මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටා ඇති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ප්‍රධාන කළමනාකාරිනිය සහ සේවකයන් හත්දෙනෙකු ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් විසින් පැය පහක පමණ කාලයක් සිරකරගෙන සිටින්නේ පසුගියදාය. අදාළ ඉන්ධන පිරවුම්හලට එදින ඩීසල් තොගක් ලැබී තිබුණු අතර එම ඩීසල් තොගය බෙදා හැර අවසන් වීමෙන් පසු පෙට්‍රල් ලබා ගැනීම සඳහා එහි පැමිණි පිරිසක් ඒ සඳහා ටෝකන් පත් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියත් පෙට්‍රල් බවුසරයක් පැමිණෙන දිනය නිශ්චිතව නොදන්නා නිසා ටෝකන් පත් නිකුත් කළ නොහැකි බවට ඉන්ධන පිරවුම්හලේ පාලනාධිකාරිය පාරිභෝගිකයන්ට දැනුම් දී තිබිණි.
ඒ සමඟම ඉන්ධන පිරවුම්හල වට කළ විශාල පිරිසක් එහි කළමනාකාරිනිය ඇතුළු සේවකයින් හත්දෙනා ඉන්ධන පිරවුම්හල ඇතුළේ සිරකරගෙන සිටියදී සීගිරිය පොලිසිය සහ හමුදා නිලධාරින් පැමිණ පිරිස විසුරුවා සේවකයන් මුදා ගන්නා ලදි. මේ සිද්ධියෙන් අනතුරුව අදාළ ඉන්ධන පිරවුම්හල තාවකාලිකව වසා දමන ලදි.
මේ අතර ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි වෛද්‍යවරුන් දෙදෙනෙකුට බෝතල් වලින් පහර දුන් ගුරුවරයකු පොලිස් අත්අඩංගුවට පත්විය.
වැලිගම අයි.ඕ.සී. ඉන්ධන පෝලිමක සිටි රියැදුරකු සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ බහින් බස්වීමක් අවසානයේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කලැයි එම රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
යාපනය වව්නියාව A9 මාර්ගය අවහිර කරමින් මහජනතාව පසුගියදා උද්ඝෝෂණයක නිරතවූයේ යාපනයේ ඉන්ධන පිරවුම්හලකින් ටෝකන් ලබා දුන් ජනතාවට ඉන්ධන ලබා නොදී පිටස්තර පුද්ගලයන්ට ඉන්ධන දුන් බවට චෝදනා කරමිනි.
මේ අතර යාපනයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ තදබදයකදි එහි පඩි පෙළකින් වැටුණු ඉන්ධන පිරවුම්හල් කළමනාකරු ජීවිතක්ෂයට පත්වන්නේ පසුගිය 2 දාය. යාපනය කරවෙච්චි හිදි මේ සිද්ධිය විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ තිස් හතර හැවිරිදි අනුර අනුෂාන් නමැති අයෙකි.
අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසලට පාරිභෝගිකයන් සියදහස් ගණනින් එක්රොක්වීමත් ලැබුණු තෙල්ටික බෙදා ගනිද්දි ඇතිවූ කලහකාරි තත්වයන් රටපුරා බොහෝ ප්‍රදේශවලින් දිගින් දිගටම වාර්තා වන්නට පටන් ගත්තේ විශේෂයෙන් ජූලි 01 දා සිටය.
යාපනය, ගම්පොල, මොණරාගල, ඇඹිලිපිටිය, කිළිනොච්චිය, කුරුණෑගල, මාතලේ, මහනුවර, වරකාපොල, ඉංගිරිය, පානදුර, කළුතර, මාතර, තිස්සමහාරාම, සූරියවැව, මොරටුව, ගාල්ල, අල්ගම, දෙල්ගොඩ, වැලිගම, මොරගොල්ලාගම, අලුත්ගම, තිනියාවල, ගුරුගොඩ, බණ්ඩාරගම, කෑගල්ල, අතුරුගිරිය, නිට්ටඹුව, හැටන්, මාදම්පේ, බදුල්ල, හාලිඇල, දික්වැල්ල, වැලිමඩ, අනුරාධපුර, පිළියන්දල, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක අයි.ඕ.සී. පිරවුම්හල් ආශ්‍රිතව කලහකාරි සිදුවීම් වාර්තා විය. ජනතාවට ලබන 10 වැනිදා සිට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගත හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරන්නේ ඔය අතරය.
ඩීසල් නෞකා 02ක් ලබන 8 - 11 දිනවල ද පෙට්‍රල් නෞකාවක් ලබන 22දා ද ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කෙළේය.
ඉන් අනතුරුව ඉන්ධන අඛණ්ඩව ලැබුණොත් ඒ තොග මාසයකට ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අතර තවත් ඉන්ධන නෞකා 10ක් ගෙන්වීමට සැලැසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.
වත්මන් ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ඩොලර් පනස්අටකෝටි හැත්තෑ ලක්ෂයක් සොයා ගැනීම තවදුරටත් අභියෝගයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර ඉන්ධන හිඟය නිසා සෞඛ්‍ය ක්ෂේත්රයට ද ඇතිවී තිබෙන්නේ සුළු පටු හානියක් නොවේ. සෙවණගල රෝහල ද වැසී යන්නේ මේ තත්වය නිසාය. මීට පෙර සියඹලාන්ඩුව රෝහල ඉන්ධන අර්බුදය නිසා වසා දමා තිබිණි. ඇතැම් ග්‍රාමීය රෝහල්වල රෝගීන් නිවෙස්වලට යැවීමට ද වෛද්‍යවරු පියවර ගත්හ. ඇතැම් රෝහල්වලට රෝගින්ගේ පැමිණීම බොහෝ අඩු වී තිබිණි.
පොදු ප්‍රවාහන සේවාවට ද ඇති වී තිබුණ බාධාව සුළුපටු නොවේ. දෛනිකව ධාවනය වන පෞද්ගලික බස් දහඅට දහසෙන් පසුගිය දිනවල ධාවනයට එක්කර තිබුණේ බස් එක්දහස් පන්සියයකටත් අඩු සංඛ්‍යාවකි. දුම්රිය ගමන් වාර රැසක් ද අවලංගු කැරිණි.
ඖෂධ සැපයුම් වාහනවලට ඉන්ධන සපයා ගැනීම බරපතළ අර්බුදයක පවතින නිසා ඖෂධ බෙදා හැරීම අඩපණවී ඇති නිසා මෙරට සියලු ඖෂධහල් වැසීයාමේ අවදානමක් ඇතැයි සමස්ථ ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද සඳහන් කෙළේය.
ඉන්ධන හිඟයෙන් තේ කර්මාන්තයට බරපතළ හානියක් සිදුවී ඇති අතර එහි නිරත වන ලක්ෂ 20 කට වැඩි පිරිසකට යන එන මං නැතිවන ලකුණු පහළවී ඇති බව තේ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් සඳහන් කළේ ඔය අතරය. ඉන්ධන පෝලිම්වලදී සිදුවූ පුද්ගල මරණ දෙකක් ද ජූලි 5 වැනිදා වාර්තා විය. ඒ බොරැල්ල සහ හංවැල්ල ප්‍රදේශවලිනි. මේ වන විට ඉන්ධන පෝලිම්වල සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 16කි.
ඡායාරූප - ගාල්ල ලලිත් චාමින්ද
සූරිවැව විශේෂ - නුවන් ජයසේකර