
කංසා තහනම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහි නිර්දේශ හා උපදෙස්වලට යටත්ව අවසර ලැබුණු පසු කංසා වගාව දේශීයව වාණිජ මට්ටමින් සිදු කිරීමට අවසර ලබාදීමට සූදානම් බව අමාත්‍ය රමේෂ් පතිරණ පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීට ප්‍රථම බෙංගමුවේ නාලක හිමියන් විසින් ද එවක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සිසිර ජයකොඩිගෙන් කංසා තහනම පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් කර තිබුණි. මේ වන විට ථේරවාදී බෞද්ධ රාජ්‍යයක් වන තායිලන්තයද කංසා වගාව සඳහා නීතිමය අවසරය ලබාදී ඇත. ජනමාධ්‍ය අමාත්‍යවරයාද මේ පිළිබඳ සිය අවධානය යොමු කර ඇති පසුබිමක් තුළ ‘කංසා’ නීතිගත කිරීම පිළිබඳ කතිකාව නැවතත් කරළියට පැමිණ තිබේ. එනිසා මේ පිළිබඳ කිසියම් විමසීමක් කිරීම කාලෝචිත යැයි අපි සිතුවෙමු.
කංසා පිළිබඳව දීර්ඝකාලයක සිට පර්යේෂණයේ යෙදෙන ආචාර්ය වසන්ත වැලිඅංග පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය පවතින මෙවන් අවධියක රටෙහි අවශ්‍යතා කෙරෙහි පළමුව අවධානය යොමු කළ යුතු බවයි. එහිදී කංසා ඖෂධයක් ලෙස යොදාගැනීමට වගේම එය ආර්ථික බෝගයක් බවට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම කාලෝචිත බව ඔහුගේ අදහසයි. කංසා ප්‍රභේද 15ක් පමණ මෙරට තිබුණද ඒ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි පර්යේෂණයක් මෙතෙක් සිදුව නොමැති බව පවසන හෙතෙම මේ අතරින් ඖෂධීය වටිනා කමින් වැඩි කංසා ප්‍රභේද තෝරාගෙන ඒවා වැඩි වශයෙන් වගාකර ඉන් ඖෂධ නිෂ්පාදනය කර විශාල ආදායමක් උපයා ගත හැකි බව පෙන්වා දෙයි. එසේම කංසා කෙරෙහි විදේශිකයන් තුළ ඇති උනන්දුව මෙරට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ උපායක් ලෙසද යොදාගත හැකි බව හෙතෙම පවසයි.
ශ්‍රි ලංකාවේ ‘කංසා’ භාවිතය ආරම්භ වූයේ කවර කලක ද යන්න නිශ්චිතව කිව නොහැකි වුවත් එය පුලතිසි ඍෂිවරයාගේ සමයේ පටන් ඖෂධයක් ලෙස භාවිතයට පැමිණ ඇති බව හෙළ වෛද්‍ය මතය බව සිළුමිණ කළ විමසීමේදී දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ පෙන්වා දුන්නේය. මෙරට වෛද්‍ය සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී ලංකාධිපති ශ්‍රී රාවණයන් ගේ කෘති ලෙස සැලකෙන අර්ක ප්‍රකාශය, කුමාර තන්ත්‍රය, උඩ්ඩීස තන්ත්‍රය, බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථසංග්‍රහය, පූජාවලිය කර්තෘ මයුරපාද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යෝගාර්ණවය, ප්‍රයෝගරත්නාවලිය, පඥච මූල පරිවේණාධිපතීන් වහන්සේ ගේ භේසජ්ජ මංජුසාව, මෝරගම්මන හිමිපාණන්ගේ සිංහල යෝගරත්නාකරය, යෝගපිටකය, අඥාත කර්තෘක අලි වෙද පොත, අඥාත කර්තෘක වෛද්‍ය චින්තාමනීය, ශ්‍රී රත්නසේකරයන් විසින් ලියන ලද චිකිත්සා පොත, මිදෙල්ලව කෝරාළයන්ගේ රජගෙයි ඇස් වෙද පොත, අඥාත කර්තෘක කැඩුම් බිඳුම් වෙද පොත, අඥාත කර්තෘක වරයෝග සිතුමිණ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රාජකීය වෛද්‍යවරයා විසින් කළ වෛද්‍ය චින්තාමනිය, වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන්ගේ භේසජ්ජ මංජුසා සන්නය ඇතුළු දේශීය වෛද්‍ය ග්‍රන්ථ රාශියක් තුළින් කංසා හා මෙරට වෙදකම අතර වූ සම්බන්ධය මනාව පැහැදිලි කරන බව හෙතෙම පෙන්වා දෙයි.
කංසා මිශ්‍ර ඖෂධ භාවිතයෙන් ශරීර බලය සහ ඥානය වර්ධනය කරන බව ආයුර්වේදයේ සඳහන් වන බව පෙන්වා දෙන හෙතෙම එය වාතය, පිත, සෙම සමනය කරන බව පවසයි. ආයුර්වේදය සහ සිද්ධ යුනානි වෙදකම්වල පණුගාය, කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උදරාබාධ, වාතරෝග, ලිංගික දුර්වලතා, මානසික රෝග ආදියට ගුලි, කල්ක, අරිෂ්ට, ආසව ආදී බෙහෙත් තැනීමට ‘කංසා’ගසේ පංචාංගයම යොදාගැනේ. එමඟින් සුරං විදුර, තාමේෂ්වර මෝදකය, මහා ලක්ෂ්මී විලාස රසය, රණහංස රසායනය, ජීවක රත්න ගුලිය, බුද්ධරාජ ගුලිය, බූතාරාම කල්කය, විෂ්ණු කපාලය, විෂ්ණු නාරායන ගුලිය, ආනන්ද ගුලිය, කෝල රත්නාදි ගුලිය, චන්ද්‍ර කල්කය, කෝල කුමාර ගුලිය, කෝල සන්නි ගුලිය ආදිය ‘කංසා’ වලින් නිපදවනු ලබයි. වර්ථමානයේ අප මුහුණ දී සිටින ඖෂධ ගැටලුවට මෙය හොඳ පිළියමක් බව වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ පවසයි.
ගෘහාශ්‍රිත වගාවක් වූ ‘කංසා’ හෙවත් ‘ගංජා’ පාවිච්චිය ඉංග්‍රීසි පාලන යුගයේදී තහනම් කර දුම්කොළ වගාව හා සිගරට් දුම්පානය ප්‍රචලිත කළේය. එසේ ම ශරීරයට ගුණදායි ‘තෙලිජජ’ හා ‘රා’ වෙනුවට මත්වතුරද මෙරටට හඳුන්වා දී ඒවා නීතිගත පානයන් බවට පත් කළේද ඔවුන් විසිනි. බටහිර තාක්ෂණික සමාජය සහ බටහිර වෙදකම අතර ඇති සම්බන්ධය ජීවමය වූ එකකි. මෙම සම්බන්ධය නිසා පාරිභෝගික වූ බහුජාතික වෙළෙඳ ආධිපත්‍යයට අනුබල දෙන ආකාරයෙන් බටහිර වෙදකම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වී ඇත.
අපේ පැරණි දේශීය වෙදකම තුළ කංසා ඉතා කේන්ද්‍රීය වූ කාර්යභාරයක් ඉටු කරයි. ළදරුවන්ට දෙන බොහොමයක් ඖෂධ පදනම්ව ඇත්තේ කංසා මතය. සමහර ඖෂධවල සියයට 400ක් පමණ කංසා අඩංගු වේ. දේශීය වෛද්‍යවරුන් පවසන්නේ කංසා පදනම අපේ ඖෂධවල නොමැති වුවහොත් එම ඖෂධය වේගයෙන් ක්‍රියාත්මක වී සාර්ථක ප්‍රතිඵල ගෙනදීමට අපොහොසත් වන බවය. බොහෝ රෝග සඳහා විශ්මයජනක සුවයක් ඇති කරන්නාවූ ඖෂධයක් ලෙස කංසා සැලකේ. මෙහිදී සිදුවන මූලික ක්‍රියාවලිය නම් කංසා මගින් මනස විවේකී තත්ත්වයට පත්වන නිසා එමඟින් ශරීරය විවේකී සහගත ශාන්ත තත්ත්වයට පත් වීමය. රෝග ඇතිවීමට සහ පවත්වාගෙන යෑමට හේතු වන ප්‍රධාන කාරණය නම් මානසික පීඩනයයි. කංසාවල ආධාරය ලබා ගනිමින් ඖෂධ ශරීරයට ඇතුළු කළ විට එම ඖෂධ ඉතා වේගයෙන් ක්‍රියාකාරී වේ. කංසා අපේ වෙදකමේ පදනම බවට පත් වන්නේ ඒ ආකාරයෙනි.
අද ලොව ප්‍රබලතම ධන උල්පතක් බවට පත්ව ඇත්තේ ඖෂධ වෙළෙඳාමය. ඉනුත් ස්වභාවික ඖෂධ වර්ග සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී. එනිසා බටහිර වෙදකම හදාළ අය විසින් කංසා පිළිබඳ නඟන විරෝධය එකී ඖෂධ හා බැඳුණු බටහිර දේශපාලනය සංකේතාමකව දක්වන්නකි.
ඊ.ජේ.වෝරිං (MD) විසින් 1868 දී පළ කරන ලද ඉන්දියානු ඖෂධ සංග්‍රහයේ කංසාවල ඇති ඖෂධ ගුණ ගැන සඳහන් ආකාරයට පිටගැස්ම, පිස්සු බලු රෝගය, ඔල්මාදය, වලිප්පුව, නහර රුදාව සහ විවිධාකාරයේ අනෙකුත් ස්නායුගත රෝග, කොලරාව, ප්‍රදරය, ගර්භාෂගත ලේ ගැලීම්, හන්දිපත් රුදාව, පීනස් රෝග, ඇදුම, අර්ධ හෘද ක්‍රියාකාරිත්වය, ව්‍යාකූලත්වය වේදනාවෙන් සහ කණ්ඩුතියෙන් යුක්ත වූ චර්ම රෝග යනාදියට එය හොඳ ප්‍රතිඵල දක්වා ඇත. එමෙන්ම දරු ප්‍රසූති අවස්ථාවන්හිදී ගර්භ සංකෝචනය නැති කිරීම සඳහාද භාවිත කර ඇත.
යුරෝපයේ බොහෝ රටවල් සිය ඖෂධ සංග්‍රහයන්හි කංසා ඇතුළත් කර ඇත. ජෝර්ජ වොෂින්ටන්ගේ දින පොත්වල තබා ඇති සටහන්වලින් පැහැදිලි වන්නේ කංසා වවන සංකීර්ණ ක්‍රමය හොඳින් හදාරා ඔහු විසින් කංසා වගා කිරීමට පියවර ගත් බවයි. ඇමරිකාවේ සිටි ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන්ද තමා විසින් කංසා දුම් බී ඇති බව පිළිගත්තේය. 1883 වනතුරු කැනබිස් සැටීවා cannabis sativa හෙවත් කංසා ලොව වගා කළ විශාලතම කෘෂිකාර්මික බෝගය විය.
2016 වසරේ THINKSTOCK සමුළුව සංවිධානය කරන කැනාටෙක් සංවිධානය පවසා සිටියේ ගංජා වගාව වර්තමානයේ ලොව වේගයෙන් ම වර්ධනය වන කෘෂි ආර්ථික වගාව බවයි. 2016 වසරේ පටන් ඔස්ට්‍රේලියාව ද ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය නීතිගත කර ලැබීය. 2016 දී ඇමෙරිකාවේ ප්‍රාන්ත 28ක් තුළ වෛද්‍යමය භාවිතය සඳහා මරිජුවානා නීතිගත කළ අතර Medical The Medicinal and Adult Use Cannabis Regulation and Safety Act නමැති පනත 2019 වසරේ සිට ක්‍රියාත්මක වේ. 2017 වසරේදී නෙදර්ලන්ත පාර්ලිමේන්තුව එරට දීර්ඝ කාලයක් තිස්සේ කංසා වෙනුවෙන් දැක්වූ ලිහිල් ප්‍රතිපත්තියට නීතිමය පසුබිමක් ලබාදීම සඳහා ගංජා වගා කිරීම සඳහා අවසර ලබා දුන්නේය. නෙදර්ලන්තය අනුව යමින් 2018 වසරේ සිට කැනඩාවද දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගංජා විකිණීමේ පරිසරයක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළේය. 2018 ජූලි මාසයේ සිට නිවෙස්වල ගංජා වගා කිරීමට උරුගුවේ රාජ්‍යය අවසර දීමත් සමඟ, එම වගාවන් ඍජුවම ඖෂධ අලෙවිසැල් වෙත ලබාදී තම ආර්ථිකය ශක්තිමත්කර ගැනීමට එරට වැසියන්ට අවස්ථාව හිමි විය.
යුරෝපීය ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේ දී 1000%කින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමෙරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් ය.
වෛද්‍ය ඩැනිස්‌ටර් එල්. පෙරේරා පෙන්වාදෙන ආකාරයට “ලෝකයේ වෛද්‍යමය කංසා භාවිතය පිළිබඳ පර්යේෂණ කරනු ලබන ප්‍රධාන රටවල් අතර ඇමෙරිකා එක්‌සත් ජනපදය, කැනඩාව, ඊශ්‍රායලය, එක්‌සත් රාජධානිය, නෙදර්ලන්තය, චෙක් ජනරජය යන රටවල් ඉහළින් සිටින බවයි. 1998 දී බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ විද්‍යා හා තාක්‌ෂණ තේරීම් කමිටුවේ වාර්තාව කංසා ගැන තබා ඇති දිරි ගන්වනසුලු නිගමනය වන්නේ එයට නීති සංශෝධනය සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්‌ෂි ඇති බවයි. මේ වන විට මුළු ඇමෙරිකා එක්‌සත් ජනපදයත් යුරෝපයේ බහුතරයත් එක්‌සත් ජාතීන් ගේ ප්‍රඥප්ති ඉක්‌මවා යමින් හෝ ඒවා ප්‍රතිශෝධනයට අවශ්‍ය කටයුතු සිදු කළයුතු බව පෙන්වා දී තිබේ.
කංසා සම්බන්ධයෙන් පේටන්ට් ලබා ගැනීමේ ඉතිහාසය 1942 දක්‌වා ඈත අතීතයක් දක්වා දිව යන්නකි. පසුගිය වසර 25ක් තුළ කංසා වෙනුවෙන් ඉදිරිපත් වූ පේටන්ට් අයැදුම් සංඛ්‍යාව 1,500කට අධික ය. 1976 සිට නිකුත් කළ කංසා සම්බන්ධ පේටන්ට් බලපත් වලින් 25%ක් ම ඖෂධ නිෂ්පාදනවලට අදාළ වන අතර 2015 වන විට පමණක් කංසා ආශ්‍රිත ඖෂධ වර්ග 650කට පමණ පේටන්ට් බලපත්‍ර හිමිවී තිබුණි. ඒ පෙනහලු අවහිරතා සුවකිරීමේ හැකියාව වමනය හා අරුචිය , පර්යන්ත ස්‌නායුගත වේදනා, ප්‍රතිදාහ, මධුමේහය, කැස්‌ස, පුරස්‌ථි ග්‍රන්ථි රෝග, රුධිර නාළ සංකෝචනය, multiple sclerosis තත්ත්වයේ ලක්‌ෂණ පාලනය ආදිය සඳහාය.
මේ වන විට ලෝකයේ ම අවධානය යොමු ව ඇත්තේ කංසාවල වෛද්‍යමය අගය සෞඛ්‍ය ප්‍රතිලාභ උදෙසා ආයෝජනය කිරීමේ විද්‍යාත්මක මෙහෙයුමක් වෙත ය. එනිසා ඉන්දියාව වැනි රටවල් වෛද්‍යමය කංසා (medicinal cannabis) යන නම නිල වශයෙන් කරළියට හඳුන්වා තිබේ. ඉන්දියාවේ ගුජරාට්, බිහාර්, ඔඩිස්‌සා, බටහිර බෙංගාලය, හා නිරිතදිග ප්‍රදේශවල කංසා වගාව නීත්‍යානුකූල ව සිදු කරනු ලබයි. එංගලන්තයේ, ඩෙන්මාර්කයේ, ඕස්‌ට්‍රෙලියාවේ හා ජර්මනියේ ඖෂධීය අවශ්‍යතාවන් සඳහා කංසා වගාව රාජ්‍ය අනුමැතියෙන් සිදු කරන අතර ලෙසතෝ රාජ්‍යය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්‌ෂණය යටතේ කංසා වගාව සිදුකරයි.
මේ වන විට බොහෝ රටවල් මේ කංසා පිළිබඳ නීතිය යළි සලකා බලමින් සිටින්නේ ඉතා වටිනා ඖෂධයක් මඟින් මානව වර්ගයාට ඉටු කළ හැකි මහගු මෙහෙවර විද්‍යාත්මක ව තහවුරු වී ඇති බැවිනි. එහෙත් එක්‌සත් ජාතීන් ගේ සම්මුතිය හරහා කිසි විටෙකත් වෛද්‍යමය නො වන කංසා භාවිතය සඳහා අවසරයක් නො දෙන අතර එය 1961 සම්මුතියේ 4(c) සහ 36 වන වගන්ති මෙන් ම 1988 සම්මුතියේ 3 වන වගන්තියේ 1(a) ඡේදයට පටහැනි බවත් කිව යුතු ය. ඒ අනුව වෛද්‍යමය නො වන කංසා භාවිතය සඳහා නීති ලිහිල් කිරීමට යොමුවන රටවලට එක්‌සත් ජාතීන් ගේ කාර්යාලය අනතුරු හැඟවීමක් කළ නමුත් එම රටවල් කියා සිටින්නේ කංසා භාවිතය යම් පමණකට සමාජගත කිරීමේ ලා ජාත්‍යන්තර සම්මුතීන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇති බව ය.
‘කංසා’ කෙඳි ලණු, රෙදි, ශරීරයට අත්‍යවශ්‍ය තෙල්, පහන් තෙල් සහ කඩදාසි නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යක්ලෙස භාවිත කරයි. නාවුක ගමන් මාර්ග සිතියම් සහ බයිබල් මෙන්ම ටොම් පේන්ගේ Common Sense, Huckleberry Finn, Alice in Wonderland වැනි ග්‍රන්ථ ද ඇමරිකානු නිදහස් ප්‍රකාශනය මුල් පිටපත් කිහිපයක් ම මුද්‍රණය කරන ඇත්තේ කංසා පැළයෙන් තනන ලද කඩදාසිවලින්ය. කංසා වගාව සඳහා පොහොර සහ කෘමිනාශක අවශ්‍ය නොවේ. අද ලොව කඩදාසි කර්මාන්තය විශාල ගැටලුවකට මුහුණ පා ඇත්තේ ඊට අවශ්‍ය ශාක ලබාගැනීමට වනාන්තර කැපීමට සිදු වීම නිසාය. ගස් අක්කරයකින් සකස් කරගන්නා කඩදාසි ප්‍රමාණය මෙන් හතර ගුණයක් කඩදාසි කංසා අක්කරයකින් නිෂ්පාදනය කරගත හැකි ය.
ඉතා අන්තරායකාරී මත්ද්‍රව්‍යයක් වශයෙන් වර්ග කර කංසා නිගරුවට ලක්කිරීමට බටහිර වෙදකම සහ බටහිර සාම්ප්‍රදායික සමාජය මඟින් කෙතරම් උත්සාහ කළ ද එය හිංසාකාරී දෙයක් බව ඔප්පු කිරීම සඳහා කිසිදු පැහැදිලි සාධකයක් මෙතෙක් සොයාගෙන නැත. එනිසා කංසා පිළිබඳව සමාජගත කර ඇති හුඹස් බිය නැති කර එය අපේ සංස්කෘතිය හා බැඳී පැවති ආකාරය පෙන්වාදීම ඉතා වැදගත්ය.