ඕලු නිසා මට මේ ලැබුණ ජනප්‍රියත්වය මැරෙනකල් ඇති | සිළුමිණ

ඕලු නිසා මට මේ ලැබුණ ජනප්‍රියත්වය මැරෙනකල් ඇති

චරිතයකින් බොහෝ කල් ජනප්‍රියත්වය පවතිනවා කියන්නේ වාසනාවක් ඕලූ කියන්නේ ජනතාවගේ හදවතේ හැමදාම ඉන්න චරිතයක්. තවම මට ආදරණීය ප්‍රේක්ෂකයින් ආදරේ කරන්නේ ඕලූ නිසා.

 

ඕලූ චරිතයෙන් ජනතාවගේ හදවතේ තවමත් ඉන්න ඈ පුංචි තීරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ . නමුත් ඉදහිට දුටුවත් මංජුලා කුමාරීට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. දුවණියකට හා පුතෙකුට ආදරණිය අම්මා කෙනෙක් වූ මංජුලා දැන් වැඩිපුරම කාලය ගත කරන්නේ දරුවන් එක්ක. බොහෝ කාලයකින් නිර්මාණයකින්වත් දකින්න ලැබුණේ නැති නිසා, ඇය මේ දවස්වල මොකද කරන්නේ කියලා අපි ඇගෙන්ම ඇහුවා.

 

ඇයි මංජුලාව දැන් නිර්මාණ වලින් දකින්න නැත්තේ..?

මම හැමදාමත් නිර්මාණ තෝරා ගත්තේ මගේ හිතට දැනෙන චරිත. නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. එක නිර්මාණයක් දීර්ඝ නාට්‍යයක්. මම එක දිගට රංගනයෙන් දායක වෙන්න කැමති නැහැ . හිරු රූපවාහිනියේ විකාශය වෙන සිහින ගෙනෙන කුමාරියේ නට්‍ය දීර්ඝ නාට්‍යයක් වුණත් ඒ නාට්‍යයේ මාව දකින්න ලැබෙන්නේ දරුවන්ගේ අම්මව සිහිවෙන කොටස් විතරයි. ඒක ඉදහිට තමයි එහි රඟපාන්න තියෙන්නේ. ඒ නිසා ඊට සම්බන්ධ වුණා. දැනට එච්චරයි .

 

විවාහයෙන් පස්සේ ඔබ රංගනයට ස්වයං වාරණයක් දාගත්තද , එහෙම නැත්තම් සැමියාගේ අකමැත්ත මත රංගනයට සම්බන්ධ වෙන්නේ සීමා දාගෙනද..?

මගේ සැමියත් දන්නවා ලැබෙන නිර්මාණ තෝරා බේරා ගෙන තමයි මම ඊට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ නිසා එයා මට සීමා දාලා නැහැ. ඒ නිසා ලැබෙන චරිතය මට ගැළපෙනවා නම් භාර ගන්නවා. මේ වෙද්දි මම සීමිත චරිත සඳහා විතරයි සම්බන්ධ වෙලා ඉන්නේ, මේ වන විට නිර්මාණාත්මක නාට්‍ය තිහකට පමණ සම්බන්ධ වී සිටිනවා

 

ඔබ තවමත් ජනප්‍රියයි..?

ඕලූ කියන්නේ ජනතාවගේ හදවතේ හැමදාම ඉන්න චරිතයක්. තවම මට ආදරණීය ප්‍රේක්ෂකයින් ආදරේ කරන්නේ ඕලූ නිසා. චරිතයකින් බොහෝ කල් ජනප්‍රියත්වය පවතිනවා කියන්නේ වාසනාවක්. එහෙම ඉන්නේ අතළොස්සක් විතරයි . ඒ අතර මාත් ඉන්න එක සතුටක්.

 

 නිර්මාණ සඳහා දීර්ඝ කාලයක් නොපෙනීම කියන්නේ ජනප්‍රියත්වයට හානියක් නෙමෙයිද..?

නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ නැතුව හිටියොත් ජනප්‍රියත්වයට හානියක් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. මට මේ ලැබෙන ජනප්‍රියත්වය මැරෙනකල් ඇති. මම ජනප්‍රියත්වය කියන ලේබලයට ලෝභ නැහැ. ඒ වගේම දුකකුත් නැහැ .

 

රංගනයෙන් දායක වෙලා කාර්යබහුල වෙනවට වඩා දරුවෝ එක්ක කාලය ගෙවීම හොඳයි කියලා ඔබට හිතෙනවද?

මගේ පුතා ඕලිත සන්තුල්, දුව බිනෝලී එහන්සා. මේ දෙන්නා හරිම හුරතල් දරුවෝ දෙන්නෙක්. මේ දෙන්නා එක්ක ඉන්න හැම තත්පරයම මට වටිනවා. එයාලගේ හුරතල් කාලේ මට මිස් වුණොත් ආයේ ගන්න බැරි නිසා.

 

ඒ දෙන්නත් කලාවට දක්ෂද, අම්මා වගේ කවදා හරි කලාවට සම්බන්ධ වෙයිද..?

දුව නම් පොඩි මියුසික් එකක් ගියත් නටනවා. එයා නර්තනයට දක්ෂයි. පුතා මාත් එක්ක එක වෙළෙඳ දැන්වීමකට හිටියා. එහෙම කලාවට සම්බන්ධ කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ . නමුත් එයාලා ලොකු වුණාම කැමති දෙයකට සම්බන්ධ වෙයි. බලකිරිමක් කරන්නේ නැහැ. උදව් කරනවා මිසක්.

 

සැමියාගෙන් ගෙදර වැඩවලට ලැබෙන්නේ මොනවගේ සහායක්ද?

එයාගෙන් ලොකු උදව්වක් ලැබෙනවා. ගෙදරමයි එයාගේ ඔෆිස් එකත් තියෙන්නේ. ගෙදර ඉන්නවා වගේ තමයි. මගේ ආච්චි යි. අම්මයි මට ගොඩක් උදව් කරනවා. බොහෝ වෙලාවට මගේ තනි නොතනිය මකන්නේ ඒ දෙන්නා.

 

දරුවෝ දෙන්නගේ උපන් දිනය පසුගියදා සැමරුවා නේද ..?

දුවයි පුතයි දෙන්නම ඉපදුනේ ජූලී 1 දා. ඒ නිසා ඒ දෙන්නගේ පංති දෙකේ දරුවන්ට පොඩි උපන් දින සාදයක් තිබ්බා. ඊට අමතරව ළමා නිවාසයක දරුවන් 75 කට අත්‍යවශ්‍ය ඇඳුම් පැලඳුම්, උපකරණ ද්‍රවය ලබා දුන්නා. දුවගෙයි පුතාගෙයි නම් සඳහන් කරලා බෙල්ලන්විල පන්සලට මල් ආසන දෙකක් ලබා දුන්නා.

 

උපන් දින සාද ගන්නේ ෆැෂන් එකක් හැටියටද..?

මගේ උපන් දිනයකටවත් මම සාද තියන්නේ නැහැ . දරුවෝ පොඩියි. එයාලගේ සතුට වෙනුවෙන් පොඩියට සාද තියන්නේ. ඒක ෆැෂන් එකක් විදිහට කොහොමත් මම කරන්නේ නැහැ .

 

Comments