ජීවිත බේරා ගන්න සෞඛ්‍ය සේවය රැක දෙන්න | සිළුමිණ

ජීවිත බේරා ගන්න සෞඛ්‍ය සේවය රැක දෙන්න

 

න්ධන නැතිව රෝහලක් වසා දැමූ පුවතක් වාර්තා වූයේ පසුගිය අඟහරුවාදාය. එසේ වසා දමනු ලැබුවේ සියඹලාණ්ඩුව මූලික රෝහලය. රෝහල් කාර්යය මණ්ඩලයට රෝහල වෙත පැමිණීමට නොහැකි වීමෙන් රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යෑමට නොහැකිව එම රෝහල වසා දැමු බව වාර්තා විය. ඒ පිළිබඳව සියඹලාණ්ඩුව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, නඳුන් ගුණතිලකගෙන් විමසුවේ එකී පුවතේ සැබෑ තතු දැනගැනීමේ අටියෙනි.

 

"ඇත්තටම අපේ රෝහලේ කටයුතුවල ලොකු අඩපණ වීමක් වුණා. අපිට අන්තිමට ඉන්ධන ලැබුණේ 16 වැනිදා. මම රෝහල් කාර්යය මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට බූලි වගයක් ගිලන් රථයෙන් ඉන්ධන පිරවුම්හලට යවනවා. ඒ විදිහට ගෙන්වන තෙල් කාර්යය මණ්ඩලයට බෙදලා දෙනවා. 16 වැනිදා ගෙනත් බෙදුවාට පස්සේ අපිට තෙල් ලැබුණේ නැහැ. සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් නිසා අපේ කාර්යය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වෙන් වූ පෝලිම්වලින් තෙල් ගහන්න ගියා.

ඒ වෙලාවේ පෝලිම්වල හිටපු ජනතාව හූ කියලා තිබුණා. ඉන්ධන පිරවුම්හල් සේවකයනුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට තෙල් දීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. මම පොලිසියෙනුත් උදව් ඉල්ලුවාට ලැබුණේ නැහැ. ඊට පස්සේ මම එස්.ටී.එෆ්. එකට

වමේ සිට - රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මයේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය දර්ශන සිරි­සේන, මහ­ර­ගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජය­සේ­ක­ර, රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මයේ මාධ්‍ය කමිටු සාමා­ජික වෛද්‍ය ප්‍රසාද් කොළ­ඹගේ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිල­ධා­රින්ගේ සංග­මයේ සභා­ප­ති­නිය දේවිකා කොඩි­තු­ව­ක්කු සහ රජයේ හෙද නිල­ධා­රින්ගේ සංග­මයේ සභා­පති සමන් රත්න­ප්‍රිය

කතා කළාම ඒ අය ආවා. ඒ ගොල්ලෝ අපිට ඉන්ධන ලබා දෙන්න ගොඩාක් උත්සාහ කළා. එස්.ටී.එෆ්. එකෙන් කිව්වා අත්‍යවශ්‍ය සේවාවන්ට ලබා දීමට තෙල් බෙදා හැරීම නවත්වන්න කියලා. ඒ විදිහට නවත්තලා අපිට තෙල් දෙන්න බලද්දි ඉන්ධන පිරවුම්හලේ තෙල් ඉවරයි. ඇත්තටම තෙල් ලීටර් 300ක් තිබුණා. නම් මට රෝහලේ කටයුතු පවත්වාගෙන යන්න තිබුණා." යනුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, නඳුන් ගුණතිලක විස්තර කළේය.

සියඹලාණ්ඩුව රෝහලේ වෛද්‍යවරු 14 දෙනෙක් සේවය කරති. සමස්ත කාර්යය මණ්ඩලය 150කි. ඉන්ධන නොමැති වීමෙන් රෝහල් කාර්යය මණ්ඩලයට සේවය සඳහා රෝහලට පැමිණීමට නොහැකි වීම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යෑමට අසීරු තත්ත්වයක් උදා විය. අවසානයේදී නිල නිවාසවල සිටින වෛද්‍යවරුන්, හෙද හෙදියන්ට පමණක් සියඹලාණ්ඩුව රෝහලේ කටයුතු පවත්වා ගෙන යෑමට සිදු විය.

"අපේ රෝහලට ගිලන් රථ 3ක් තියෙනවා. අද වන විට (29) එක් ගිලන් රථයක විතරයි තෙල් තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ තෙල් ලීටර් 20 යි. මගේ වාහනේට තෙල් ගහගෙන ආවේ ලීටරය රු. 1000/- ට අරගෙන. කළුකඩවල නම් තෙල් තියෙනවා. ඉන්ධන පිරවුම්හල්වල තමයි තෙල් නැත්තේ. අපේ රෝහලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් උත්සාහ කරනවා. ඒත් තවම සාර්ථක වුණේ නැහැ." යනුවෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි නඳුන් ගුණතිලක සඳහන් කළේය.

මේ වන විට ඉන්ධන නැතිව ලංකාවේ වසා දැමු ලංකාවේ එකම රෝහල සියඹලාණ්ඩුව රෝහල පමණක් නොවේ. කඹුරුගමුව, ගල්කිරියා ගම, කඹුරුපිටිය ඇතුළු රෝහල් කීපයක් මේ ආකාරයට වැසී යළි ඇරුණේ ඉන්ධන නොමැතිව රෝහල් කාර්යය මණ්ඩලයට සේවය සඳහා පැමිණීමට නොහැකි වූ නිසාය.

වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදින් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ අය ඉන්ධන පෝලිම්වල සිටින විට රෝහල් කටයුතු අඩපණ වන බව අමුතුවෙන් කිව යුතු නැත. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් හෙදියන් නැති රෝහලකින් රෝගින්ට අපේක්ෂා කළ හැකි වන්නේ මරණයම පමණි. දරු ප්‍රසුතිය සඳහා රෝහලකට යන මව්වරුන්ගේත් හදිසි සැත්කම් අවශ්‍ය රෝගින්ගේත් තත්ත්වය වඩාත් බරපතළ වන්නේ ගිලන් රථවලට ඉන්ධන නොමැති වූ විටය. එවිට අසාධ්‍ය රෝගින් වෙනත් රෝහලකට මාරු කර යැවීමටවත් හැකියාවක් නැත. මීට අමතරව රෝගින්ට අවශ්‍ය ඖෂධ ලබා දීමට, රසායනාගාර කටයුතු කිරීමට, භෞත චිකිත්සක ප්‍රතිකාර කිරීමට කාර්යය මණ්ඩලය නොමැති වීමෙන් රෝහල් කටයුතු අඩාළ වේ. මේ අනුව රෝහල් කාර්යය මණ්ඩලය යනු වෛද්‍යවරුන් සහ හෙදියන් පමණක් නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.

"දැනට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණත් එය හරිහැටි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවට එහා ගිය හදිසි සේවාවක්. හදිසි සේවා වෙනස් කරන්න බැහැ. මේ බව ජනතාව තේරුම් ගත යුතුයි. ජනතාවගේ සහයෝගය මීට වඩා ලැබෙනවා නම් හොඳයි. දැන් රෝහල්වල අත්‍යවශ්‍ය සැත්කම් හැර සැලසුම් කළ සැත්කම් කරන්නේ නැහැ. එක දවසකට ඇරලා තව දවසකට වහලා රෝහල් පවත්වාගෙන යන්න බැහැ. මේ සඳහා රජය සාධනීය මැදිහත්වීමක් සිදු කළ යුතුයි. " යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසීය.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ රජයේ රෝහල්වල කාර්යය මණ්ඩලයේ පැමිණීම 20% කින් අඩු වී ඇති බවයි. පුද්ගලික වාහනවලින් සේවයට පැමිණීම නවතා දමා පොදු ප්‍රවාහන සේවයට යොමු වුවත් මෙම සේවය ද මේ වන විට අඩපණ වී තිබීම නිසා රෝහල් කාර්යය මණ්ඩලය මහත් අසීරු තත්ත්වයකට පත් වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

" රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒත් සෞඛ්‍ය සේවකයන්ට නිවසේ සිට රාජකාරි කරන්න බැහැ. ඒ නිසා සේවා මුර ක්‍රමයකට ගෙන්වලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට සහනයක් දෙන්න කියලා අපි රජයේ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයකට සැලසුම් සහගතව කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතු වී තිබෙන ප්‍රවාහන ගැටලුවට විසඳුම් නොලැබුණොත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා." යනුවෙන් සඳහන් කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ය.

පසුගිය 29 සහ 30 දෙදින අතුරු වෛද්‍ය සේවාවට අයත් සාමාජික සාමාජිකාවන් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ඉන්ධන අර්බුදයට විසඳුම් ඉල්ලා සිටිමිනි. මෙම අතුරු වෛද්‍ය සේවයට මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 9ක් අයත් වේ.

"අද වන විට ලංකාවේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්10,800 ක් ඉන්නවා. මාතෘ හා ළමා සායනවලට යන්න, හදිසියේ ගර්භණී මවකට බිලිඳෙකුට අමාරු වුණොත් ඒ අයව බලන්න යන්න අපිට යතුරුපැදි දීලා තියෙනවා. ඇත්තටම ගමේ ගෙදරකින් ගෙදරකට යන එකම ක්ෂේත්‍ර නිලධාරියා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පමණයි. ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වී සිටින අපට සැතපුම් කුලිය කියලා ගෙවීමක් කරනවා. ඒ ගෙවීම වශයෙන් අපිට ලැබෙන්නේ රුපියල් 2.00 ක මුදලක්. අද රුපියල් 2.00 කින් මොනවාද කරන්න පුළුවන්? වැඩි වන ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු කීපාරක් වැඩි වුණාද? පාන් රාත්තල කීපාරක් වැඩි වුණාද? ඒ නිසා සැතපුම් කුලිය වැඩි කරලා දෙන්න කියලා අපි රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඔවුන්ගේ නිල ඇඳුමෙන් ඉන්ධන පෝලිම්වල හිටියත් තෙල් පෝලිම්වල ඉන්න අය අසෝබන විදිහට කතා කරනවා. අපිට ජනතාව සමඟ ගැටුම් ඇති කරන්න අවශ්‍ය නැහැ. ඒත් අපිට යතුරුපැදිවලට තෙල් ගහගන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ නිසා ඉන්ධන පිරවුම්හල්වලට නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් විස්තර කළේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපතිනිය, දේවිකා කොඩිතුවක්කුය.

රටේ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය නිසාම අද හදිසියේ රෝගියකු රෝහලකට රැගෙන යෑමටවත් ත්‍රීවිලරයක් සොයා ගත නොහැකි වී තිබේ. ගෘහ ප්‍රසූත කීපයක් ගැන අපට අසන්නට ලැබුණේ එම නිසාය. එක් සිදුවීමක් වාර්තා වූයේ නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් ගමකිනි. පිටකෝට්ටේ ප්‍රගතිපුරයෙන් තවත් සිදුවීමක් වාර්තා වූයේ පසුගිය 27 වැනිදා ය.

"නිකවැරටිය ප්‍රදේශයේ මවට ප්‍රසූත වේදනාව ඇති වූණේ පාන්දර. ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එයාගේ සැමියාගේ මෝටර් සයිකලෙන් ගෙදරට ගිහින් සේරම කටයුතු අවසන් කරලා සුව සැරිය ගිලන් රථයකින් නිකවැරටිය රෝහලට මවවයි දරුවාවයි ගෙනිහින් තිබුණා.

ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් ගිලන් රථයේ නැගලා ගියාම එයාගේ සැමියා මෝටර් සයිකලයෙන් රෝහලට ගියා. ඒත් එයාට ආපසු ගෙදර එන්න තෙල් තිබිලා නැහැ. ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට දැනුම් දුන්නාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය මාගල්ලේගම ඉන්ධන පිරවුම්හලට කතා කරලා තිබුණා. ඒත් ඒ පිරවුම් හලේ අයිතිකරු කියලා තිබුණේ මෝටර් සයිකල්වලට තෙල් ගහන්න බැහැ බෝතලයක් අරං ආවොත් තෙල් දෙන්නම් කියලා. මවකගෙයි දරුවෙකුගෙයි ජීවිත බේරා ගැනීමට ගිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ඉන්ධන පිරවුම්හල් හිමියන් සලකන්නේ ඒ විදිහටයි." යනුවෙන් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු තවදුරටත් පැවසුවාය.

බාධා කම්කටොලු හමුවේ සිය රාජකාරිය නොපිරිහෙළා ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ව ඇගයීමට ලක් කළ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මාතෘ හා ළමා සායන එක් නිලධාරිනියක් හෝ යොදවා පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් කළාය. එමෙන්ම දරු ප්‍රසුතියට සූදානමින් සිටින මව්වරුන්ට ලබා දී ඇති දිනයට පෙර ළඟම පිහිටි ග්‍රාමීය රෝහලට හෝ ඇතුළත් වන ලෙස ඈ උපදෙස් දුන්නේ ගෘහ ප්‍රසුත වළක්වා ගැනීමේ අටියෙනි.

ඉන්ධන නොමැති වීමෙන් පීඩාවට පත් වන රෝහල් කාර්යය මණ්ඩලය ගැන කතා කිරීමේදී මහරගම අපේක්ෂා රෝහලේ තත්ත්වය ගැන පසුගිය සතියේ බොහෝ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වී තිබිණි.

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකරගෙන් ඒ පිළිබඳව විමසුවේ එබැවිනි. "අපේ රෝහලේ වැඩකටයුතු පවත්වාගෙන යන්නෙත් හරිම අමාරුවෙන්. වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය සේවයට පැමිණෙන්නේ දහසකුත් දුෂ්කරතා මැද. මේ විදිහට දිගටම කරගෙන යන්න බැහැ. මෙහේ සිටින රෝගින්ගේ ප්‍රතිකාර අපිට මොහොතකටවත් මග හරින්න බැහැ. මෙහේ ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටන් වදින රෝගින්. ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය බව අපි බලධාරින්ට දැනුම් දීලා තිබෙනවා. සායනික ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගින් නම් කොහොමහරි එනවා. මොකද ඒ අය එන්නේ මාසෙකට එක දවසයිනේ. ඒත් දිනපතා රෝහලට පැමිණෙන රෝහල් කාර්යය මණ්ඩලය තමයි හුඟක් පීඩාවට පත් වී සිටින්නේ." යනුවෙන් පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකරය.

පසුගිය බ්‍රහස්පතින්දා (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපා ඇති ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු එම ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමේ අරමුණෙනි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ යන අය මෙම අවස්ථාවට සහභාගි වුහ.

"සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් 24 වැනි සිකුරාදා ක්‍රියාත්මක වුණා. මේ වැඩපිළිවෙළට ලංකාව පුරා ඇති ඉන්ධන පිරවුම්හල්වලින් 85ක් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට දී තිබුණා. ඒත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටි ජනතාවගෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට සහයෝගයක් ලැබුණේ නැහැ.

සමහර ඉන්ධන පිරවුම්හල් හිමියන් පවා අත්‍යවශ්‍ය සේවාවන්වලට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. ඉන්ධන පිරවුම්හල් 85න් 17 ක් විතරයි සහයෝගය දුන්නේ. අපි තෙල් ඉල්ලන්නේ විනෝද ගමන් යන්න නෙමෙයි. රෝහල්වලට ඇවිත් රෝගින්ට ප්‍රතිකාර කරන්න. ඉස්පිරිතාලෙට එන්න තෙල් නැහැ කියලා අපිට ගෙවල්වලට වෙලා ඉන්න පුළුවන්.

ඒත් ඒක උත්තරයක් නෙමෙයි. රෑ 12.00 ට එන්න කියලා ඉස්පිරිතාලෙන් කතා කළොත් අපේ වෛද්‍යවරුන් යනවා. ඒත් තෙල් නැහැ කියලා අපි නොගියොත් අනතුරට පත්වෙන්නේ ඔබේ මව, පිය, බිරිය, සැමියා, දරුවන් වැනි ආදරණීයන්. ජනතාව ඒ බව තේරුම් ගැනීම වැදගත්. දරු ප්‍රසුතියකදී ගැටලු මතු වුණොත් ඒ මවගේත් බිලිඳාගේත් ජීවිත බේරා ගන්නේ කවුද? අඩුම වශයෙන් තෙල් පෝලිමක ඉන්න ගමන් රණ්ඩු වෙලා තුවාල කර ගත්තොත් බේත් දාන්නේ කවුද? ඒ නිසා වෛද්‍යවරුන්, හෙදියන්, රසායනාගාර ශිල්පීන්, කනිෂ්ඨ සේවකයන්, ගිලන් රථ රියදුරන් මේ හැමෝම රෝහලකට ඉතා වැදගත්." යනුවෙන් පැහැදිලි කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන ය.

රෝහලක් වසා දැමීමට සිදු වුවහොත් උද්ගතවන ඛේදනීය තත්ත්වය සුළු පටු නැත. රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වයක් දිය යුතු වන්නේ එබැවිනි.

 

 

Comments