බැරිම තැන තමයි අත ඇරියේ... | සිළුමිණ

බැරිම තැන තමයි අත ඇරියේ...

මම, ආදරේට ලොල් වුණු කෙනෙක්.. පුංචි කාලේ ඉදලා හරි අඩුවෙන් ආදරේ ලැබුණේ...

පබා නිසා අතිශය ජනප්‍රිය වුණු උපේක්ෂා ස්වර්ණමාලී පසුගිය කාලයේ නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න ලැබුණා. තවමත් ජනතාවගේ ආදරය දිනාගෙන ඉන්න ඇය දියණියක් ඉන්න ආදරණිය අම්මා කෙනෙක්. දෙවැනි විවාහයෙනුත් ඉවත් වෙලා ඉන්න උපේක්ෂා ආදරණිය දියණියට අම්මගේ ආදරය වගේම තාත්තාගේ ආදරයත් දෙමින් ජිවත් වෙනවා. මේ ඇගේ කතාවයි.

 

අලුත් නිර්මාණ සඳහා ඇරයුම් ලැබෙනවද..?

අලුත් නිර්මාණ තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒවා රූගත කරන්නවත් විදිහක් නැහැ රටේ තියෙන ප්‍රශ්න එක්ක.

මම අවුරුදු 22න් රංගනයට එන්නේ. අද වන විට මම රඟපෑමට එක්වෙලා අවුරුදු 15ක් වෙනවා. ඒ අවුරුදු පහළොවේදී දරුවා ලැබෙන්න හිටපු කාලය හැරුණාම මම මාසයක් වත් ගෙදර ඉදලා නැහැ ෂූටිං නැතුව. අපි එතරම් කාර්යබහුල වෙලා හිටපු මිනිස්සු. මගේ අතේ හොඳ පිටපත් හතරක් තියෙනවා. නමුත් රටේ තියෙන ප්‍රශ්න එක්ක ඒවා තාවකාලිකව නතර වෙලා. එහෙම නැතුව නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන්නේ නැතුව නෙමෙයි.

 

ඔබ විවාහ ජිවිතයෙන් ඉවත් වෙලා තනියම ඉන්න නිසා දරුවගේ වියදම් දරාගෙන ජිවත් වෙන්න පුළුවන් ද..?

මගේ දරුවා මම හරිම ආදරයෙන් රැකබලා ගන්නවා. කිසිම අඩුපාඩුවක් නොකර. ඒ දෙවල් මම කරන්නේ හා ජිවත් වෙන්නේ මම උපයාගත් මුදල් ඉතුරු කරලා තියෙන නිසා. දැනට ඉතුරු කරගත් මුදල් වලින් ජිවත් වෙනවා.

 

නිළිකම පැත්තකින් තියලා වෙන රැකියාවක් කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද දැන්..?

කොහෙත්ම නැහැ . ඕනම රස්සාවක හොඳ නරක තියෙනවා. වෙන රස්සාවක් කරත් මේ තියෙන ත්ත්වය එක්ක හැරෙන්නවත් පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ . රඟපාලා ඊට වඩා මුදලක් හොයන්න පුළුවන් . ඒ ලැබෙන මුදල් හරියට කළමනාකරණය කරගන්න ඕන. මම කළමනාකරණය කරගත්ත නිසා තමයි ඉතුරු කරගත් මුදල් වලින් මේ දවස්වල ජිවත් වෙන්නේ.

 

දරුවාගේ අනාගතය වෙනුවෙන් විදෙස්ගත වුණොත් හොඳයි කියලා උපෙක්ෂා ට හිතිලා ඇති..?

එහෙම නම් හිතිලා තියෙන්නේ. බොහෝ දෙනෙක් කියනවා මේ ත්ත්වය එක්ක අපේ රටේ ඉන්නවාට වඩා හොඳයි රට යන එක කියලා. මමත් දරුවා එක්ක විදෙස්ගත වෙන්න හිතාගෙන ඉන්නවා. අඩු තරමින් අවුරුදු දෙක තුනකටවත්.

නමුත් දුකයි. හරියට අපි කුලී ගෙදරක ඉද්දි පිටස්තර හැගීමක් එනවා වගේ . තමන්ගේම ගෙදරක ඉද්දි ඒ හැගිම නැහැ නේ. විදෙස්ගත් වුණත් අර කියන පිටස්තර හැගිම දැනෙයි.

 

දුවත් එක්ක ගත කරන සුන්දර ජිවිතේ කොහොමද, ඇය ඔබ වගේ කලාවට ළැදිද..?

දුව ෂැනල් පෙරේරා දැන් අවුරුදු පහක් වෙනවා එයාගේ වයස. දුව සින්දු කියන්නම් දක්ෂතාවයක් දක්වනවා. නමුත් රඟපාන්න ලැජ්ජයි. මම කැමතිත් නැහැ එයා රංගනයට එකතු වෙනවට. ඒ කට්ට මම දන්න නිසා. එයා හොඳට ඉගෙන ගන්න ඕන. එයා හුරතල් දරුවෙක්. හරිම කීකරු ආදරණීය දුවෙක් මගේ පෙර පිනකට මට ලැබිලා ඉන්නේ. එයත් එක්ක මම හරිම සතුටින් ජිවත් වෙනවා.

 

අද වන විට මවගේ ආදරයයි පියාගේ රැකවරණයයි දෙකම ඔබට දෙන්න සිදු වෙලා. දැන් හිතෙන්නෙ නැද්ද දරුවා වෙනුවෙන් පවුල් ජිවිතය රැකගන්න තිබ්බා නම් කියලා..?

දරුවා එක්ක තනියම ජිවත් වෙනවා කියන්නේ අමාරුම දෙයක්. ලොකු වගකීමක්. නමුත් විවාහ ජිවිතය ඇතුළේ ජිවත් වෙන්න අසීරුයි නම් ඒක දරුවටත් බලපානවා නම් හොඳම දේ තමයි එතැනින් නිදහස් වෙන එක. දැන් දරුවත් සතුටින්. මමත් සතුටින්. අපි අපේ පාඩුවේ නිදහසේ ඉන්නවා.

විවාහය දෙකඩ නොකර ඉන්න තිබ්බා ප්‍රශ්න නොතිබ්බා නම්, මානසික කායික බලපෑම් නොතිබ්බා නම්. මම දන්න කාන්තාවක් ඉන්නවා එයා ජොබ් එකක් කරන්නේ නැහැ. නමුත් සැමියයි එයයි එක ගෙදර තට්ටු දෙකක වසර 12ක් තිස්සේ ජිවත් වෙනවා. දෙන්නා විරසක වෙලා. නමුත් අර කාන්තාවට සැමියාගෙන් කිසිම කරදරයක් නැහැ . වියදම් කරනවා. ඒ නිසා දෙපැත්තක හිටියත් ජිවත් වෙනවා . ඉතිං ප්‍රශ්න අනූව තමයි ඒක තීරණය වෙන්නේ. මගේ ප්‍රශ්නය ඊට වඩා වෙනස්. ප්‍රශ්න දරාගන්න පුළුවන් මට්ටමක නෙමෙයි මම හිටියේ. ආ පස්සට මට හැරෙන්න බැහැ . ඒ පවුල එක්ක මට ඉන්න බැහැ . මගේ සීමාව වෙනකල් මම දරා ගත්තා. ඒ ප්‍රශ්න එක්ක මගේ මනස අවුල් වුණොත් මගේ දරුවගේ මනසත් අවුල් වෙනවා. අපේ ප්‍රශ්න වලින් මම කැමති නැහැ මගේ දරුවා අවුල් කරන්න. ඒ නිසා දරුවෙක් එක්ක තනි වෙලා සිංගල් මාම් කෙනෙක් විදිහට මට දරුවගේ වගකිම් දරා ගන්න අමාරු වුණත් දරුවට අවුරුදු 18ක් 20 ක් වෙනකල් මම එයාගේ බර අදිනවා.

 

උපේක්ෂා ට කොතැනද වැරදුණේ...?

මගේ කලබලය තමයි මට වැරදෙන්න හේතුවක් වුණේ. දෙවැනි කසාදය වෙද්දි මට වෙන ප්‍රශ්න ගොඩක් තිබ්බා. දේශපාලනයෙන් මම ඉවත් වෙලා හිටියේ. මම හිතුවා ඒ ප්‍රශ්නවලට විසඳුම තමයි කසාදය කියලා. දෙවනි වරට මම විවාහ වෙන්නේ මගේ අම්මා ගෙනා යෝජනාවකට. එතැන දි මගේ අම්මා පව්. එයා වැරදි නැහැ . මම කලබල නොවි ඉවසාගෙන ඒ කාලය මඟ හැරලා සැලසුම් කරලා විවාහ වෙන්න තිබ්බා. එහෙම වුණානම් අද මගේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

 

උපෙක්ෂා තවමත් කලබලයෙන්ද වැඩ කරන්නේ..?

දැන් ටිකක් අඩුයි. මගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම මගේ දුව වෙනස් කළා. එයා නිසා මම ගොඩක් වෙනස් වෙලා. මුදල් කළමනාකරණය කරගන්න, ඉවසන්න, එයා නිසා පුරුදු වුණා. කොටින්ම කිව්වොත් ජීවිතේ සැලසුම් කරන්න පුරුදු වුණේ දුව නිසා.

 

පුංචි කාලේ ඉඳලා ආදරේ අඩුවෙන් ලැබුණු නිසා උපේක්ෂා ආදරේට ලොල් වුණාද..?

උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ ආදරෙට ලොල් වුණු කෙනෙක්. මට පුංචි කාලේ ඉදලා හරි අඩුවෙන් ආදරේ ලැබෙන්නේ. අම්මාගෙන් ටිකක් දුරස් වෙලා ජිවත් වුණේ . තාත්තාගේ ආදරේ නැතුව ජිවත් වුණේ. ඒ නිසා මට ආදරේ ඕන වුණා. ඒ නිසා තමයි මම ආදරෙදි රැවටුණේ.

 

පබා නිසා අතිශය ජනප්‍රිය වෙලා හිටපු ඔබ දේශපාලනයට පිවිසිම වැරදි තීරණයක් කියලා හිතන්නේ නැද්ද ..?

ඇත්ත. මම ජීවිතේ ගත්ත වැරදි තීරණයක් ඒක. රංගන ශිල්පිනියක් හැටියටම හිටියා නම් මම අද සතුටු වෙනවා.

 

*නැවතත් දෙශපාලනයට එන්න අදහසක් නද්ද ..?

කොහෙත්ම නැහැ. මම ජනප්‍රිය වෙන්න පටන් ගත්ත කාලෙම දේශපාලනයට අවතීර්ණ වුණු එක අපරාධයක් කියලයි මම හිතන්නේ. ඒ නිසා ආයේ නම් මම ඒ වැරදි තිරණයට එන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඈත් වෙලා ඉවරයි.

Comments