
සෑම පුද්ගලයකු සතුවම අමුතු , එමෙන්ම යම්තාක් දුරකට අසාමාන්‍ය යැයි හැඟෙන හැසිරීම් ඇති බව අසත්‍යයක් නොවේ. එහෙත් මේ චර්යා රටා පෞරුෂ ආබාධයක ඉඟි පෙන්වන්නේදැයි අප දැන ගන්නේ කෙසේද ?
පෞරුෂ ආබාධ යනු මොනවාද ? ඊට බොහෝ නිර්වචන තිබිය හැකිය. සරල ලෙස අරුත් දැක්වුවහොත් පුද්ගල සබඳතා පවත්වාගෙන යෑම හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට බාධා වන අන්දමේ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසු වීම පෞරුෂ ආබාධ ලෙස හැඳින්විය හැකිය.
ඔබ කවුදැයි බාහිර ලෝකයට විදහා දැක්වෙන්නේ ඔබේ පෞරුෂය තුළිනි. අනෙක් විදිහකින් කිවහොත් එය ඔබ බාහිර ලෝකය සමඟ සිදු කරන ගනුදෙනුව තීන්දු කරන්නෙකැයි කීම වරදක් නොවේ.
පෞරුෂ ආබාධ සහිත පුද්ගලයකු බොහෝ විටම මුරණ්ඩු ලෙස තමාගේ හැසිරීම් රටාවටම කොටුවී, හුරු වී සිටින අතර, එක් එක් අවස්ථාව අනුව හැඩ ගැසෙන්නට හෝ යම් වෙනස් වීමකදී ඊට අනුගත වන්නට හෝ ඔහුට නුපුළුවන් වෙයි. සාමාන්‍ය ආකාරයෙන් සැහැල්ලුවෙන් යාළු මිත්‍රකම් ගොඩනඟා ගැනීමට හෝ ඒවා පවත්වාගෙන යන්නට මෙබඳු පුද්ගලයෝ අසමත් වෙති.
එහෙත් අප කවරෙක වුව ජීවිතයේ එක් වතාවකදී හෝ මෙසේ පුද්ගල සම්බන්ධතා ඇති කර ගැනීමේදී සහ ඒවා පවත්වාගෙන යෑමේදී කිසියම් ගැටලුවකට මුහුණ දුන්නේ නැතැයි කිව නොහැකිය. සේවා ස්ථානයේදී හෝ මිතුරන් අතරේදී හෝ එසේත් නැත්නම් නිවසේ සාමාජිකයන් සමඟ යම් සිත් අමනාපකම්, තර්ක විතර්ක ඇති කරගත් අවස්ථා නැතිවා නොවේ. එහෙත් එයත් පෞරුෂ ආබාධ තත්ත්වයක් දැයි අප හඳුනාගන්නේ කෙසේද ? මීට හොඳම විසඳුම වන්නේ පෞරුෂ ආබාධ සහිත පුද්ගලයකු වෙතින් සුලබව දකින්නට ලැබෙන කාරණා කවරේදැයි විශ්ලේෂණය කර බැලීමය.
පළමු කාරණාව වන්නේ ආත්ම අභිමානය පිළිබඳ ගැටලුවලින් නිරන්තරව පෙළීමය. එය ආත්ම සම්මානය හෝ තමා පිළිබඳව තමා සතු හැඟීම ලෙස ද හැඳින්විය හැකිය. පෞරුෂ ආබාධ තත්ත්වයකදී ආත්ම අභිමානය හෝ ආත්ම සම්මානය පිළිබඳ හැඟීම එක්කෝ ඉතා ඉහළ නැඟෙයි, එසේත් නැත්නම් ඉතාම පහළ අඩියකට ඇද වැටෙයි. වරෙක තමා දක්ෂ කාරුණික ප්‍රයෝජනවත් පුද්ගලයකු යැයි සිතන අතරම ඊළඟ මොහොතේදී ඔහු හෝ ඇය තමා පිළිබඳ සිතන්නේ ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ හා ඉතා නොසතුටුදායක හැඟීමකින් යුතුවය. තමා පිළිබඳව ඇති මේ අස්ථිර හැඟීම හටගන්නේ ආසන්න පෞරුෂ ආබාධ [ boderline personality disorder ( BPD) ]යන තත්ත්වයේදීය. ඇතැම්විට තමන් පිළිබඳ ඉතාමත් ඉහළින් තක්සේරු කර ගැනීම ද පෞරුෂ ආබාධ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. විවිධ ස්ථානවලදී හා අවස්ථාවලදී එකිනෙකට පටහැනි ලෙස හැසිරීම් රටා පවත්වාගෙන යෑම ද එක්තරා පෞරුෂ ආබාධ ලක්ෂණයකි. සිංහල ජන වහරේ එන " ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ලෙස මෙය සරලව හඳුනාගත හැකිය. කාර්යාලයේ හෝ වැඩබිමේදී ඉතා විනීත හා කාර්යක්ෂම ලෙස කටයුතු කරන යම් තැනැත්තකු නිවෙසේදී ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ හැසිරීම් රටාවකින් යුතුව කටයුතු කරනු දකින්නට පුළුවන. බාහිර ලෝකයේදී ඉතා කරුණාවන්ත හා ආචාරශීලී වන ඇතැම් පුද්ගලයන් සිය නිවෙසේ දී තම සමීපතමයන්ට ප්‍රතිචාර දක්වන්නේ ඉතා ආවේගශීලී සහ අකාරුණික ආකාරයෙනි. මේ තත්ත්වය antisocial personality disorder ලෙස හැඳින්වෙයි.
පෞරුෂ ආබාධ තත්ත්ව සහිතව ජීවත් වන පුද්ගලයන්ට සබඳතා ගොඩ නඟා ගැනීම ඉතා අපහසු කාරණාවකි. ඊට හේතුව වන්නේ මෙබඳු පුද්ගලයන්ගේ හැසිරීම් රටාව බොහෝ දෙනාගේ නොකැමැත්තට හේතු වීමත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් කිසිවකුත් ඔහු හෝ ඇය සමඟ කාලය ගත කරන්නට ඒ හැටි මනාපයක් නොපෙන්වීමත්ය.
නිතරම වාගේ අනෙකා වරදවා වටහා ගන්නට හුරු වූ විට , අනෙකා දෙස වපර ඇසින්ම බලන්නට හුරු වූ විට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නට නොහැකි වෙයි. පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් සතු ඉතා සුලභ ලක්ෂණයක් වන්නේ මෙයයි. අනෙක් අතට එබඳු පුද්ගලයන් පළ කරන හැඟීම් හුදෙක්ම පාහේ මවාපෑම් බව කිව යුතුය.
පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් සතුව පවතින්නේ ඉතාමත් පහළ මට්ටමේ සහකම්පන තත්ත්වයකි. එබන්දකු අනෙකකු ගැන නොසිතන තරම්ය. සංවේදී බවෙන් ඉතාම අඩුය. බොහෝ දෙනා එබඳු පුද්ගලයකු හඳුනා ගන්නේ අනුකම්පා රහිත තැනැත්තකු වශයෙනි. එහෙත් සහජයෙන්ම පාහේ මෙබඳු ගැටලුවකින් පෙළෙන පෞරුෂ ආබාධ සහිත තැනැත්තන් කරන්නේ අඩුපාඩුව වසා වසා ගැනීම සඳහා බොරු මවාපෑමක් කිරීමය. පෞරුෂ ආබාධ තත්ත්වවලදී දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ අනෙකා සමඟ කටයුතු කළ සීමාව කුමක්දැයි හඳුනාගැනීමේ අපහසුවකින් පෙළීමය. එක්කෝ එය හඳුනා ගන්නට ඔවුනට වුවමනාවක් නැත. එමෙන්ම ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ ද නොවේ. ඇතැම්විට යම් කිසිවකුගේ මගපෙන්වීමකින් , අනතුරු ඇඟවීමකින් හෝ යම් මැදිහත්වීමකින් මේ සීමාවන් වටහාගන්නට පෞරුෂ ආබාධවලින් පෙළෙන තැනැත්තන්ට පුළුවන.
පෞරුෂ ආබාධ සහිත තැනැත්තන් කවර සමාජ මට්ටමකදී වුව, කවර වයස් මට්ටමක දී වුව දැකගන්නට ලැබේ. මෙහි ප්‍රධානම ගැටලුව වන්නේ පෞරුෂ ආබාධ සහිත තැනැත්තන් මවුපියන් ලෙස කටයුතු කිරීමේදී ය. එහිදී නිසැකවම ඔවුන් වෙතින් පළ වන්නේ නොසැලකිලිමත් සහ පරිභව සහගත හැසිරීම් රටාවකි. පෞරුෂ ආබාධ සහිත බොහෝ මවුපියන් වුවමනාවට වඩා සංවේදී වෙමින් , දරුවන්ගේ ජීවිත මෙන්ම පවුලේ අනෙක් අයගේ ජීවිතවලට ද වුවමනාවට වඩා මැදිහත් වෙමින් පවුලේ සම්බන්ධතාව පඹගාලක පටලවනු දැකිය හැකිය. මෙහි ඇති කනගාටුදායකම තත්ත්වය නම් එබඳු මවුපියන්ගේ දරුවන්ට එකී හැසිරීම් රටා තදබල ලෙස බලපෑමය.
පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් වෙතින් දකින්ට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ චිත්තවේග හඳුනාගැනීමටත් ඒවා සමඟ කටයුතු කිරීමටත් දක්වන අසමත්කමය. යමක් ඔහුගේ හෝ ඇයගේ මනාපයට අනුව සිදු නොවද්දී දැඩි ලෙස කෝපයට පත්වෙමින් හෝ දැඩි ලෙස කලකිරීමට පත්වෙමින් හෝ ප්‍රතිචාර දැක්වීම එකී ලක්ෂණයයි.
බොහෝ විට මේ ලක්ෂණ දැකිය හැකි වන්නේ ආසන්න පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් වෙතිනි. විටින් විටම පාහේ ඔවුන්ගේ චිත්තවේග ස්වභාවය වෙනස්වන අතර ආකාරයක අවධානයක් ද නිතරම පාහේ අනෙක් අයගෙන් බලාපොරොත්තු වෙයි. අනෙක් අතට, හිස් බවක් දැනීම සහ හිටි අඩියේ කෝපයෙන් පුපුරා හැලීම ද මේ ලක්ෂණ අතර වෙයි.
පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් සතු තවත් ලක්ෂණයක් වන්නේ පීඩාව ඇති කරන අවස්ථා හෝ වටපිටාවලට අනුගත වීමේ දැඩි නොහැකියාවය. ඒවා දරා ගන්නට බැරිකමය. ඔවුන් ඒවා දරා ගන්නට උත්සාහ කරන්නේ, සමනය කර ගන්නේ අහිතකර ක්‍රියාමාර්ග හරහාය. උදාහරණයක් වශයෙන් පවසතොත් ඔවුන්ට එබඳු අවස්ථාවලදී තමා නොසලකා හරින ලද බවක් හෝ හුදෙකලාව සිටින බවක් හෝ දැඩි ලෙස දැනෙන්නට පටන් ගන්නා අතර, ඔවුන් එය පියවා ගන්නට උත්සාහ කරන්නේ ශාරීරිකව හෝ මානසික වශයෙන් තමාටම හානියක් පීඩාවක් සිදු කර ගනිමිනි. තවත් කාරණාවක් වන්නේ ඔවුන් සතු ස්වයං දැනුවත් බව ඉතාමත් අඩු මට්ටමක පැවතීමයි. ඔවුන් තමා සතුව එබඳු අඩුවක් , රෝගී තත්ත්වයක් පවතින්නේ යැයි විශ්වාස නොකරන අතර, ඊට යම් ප්‍රතිකාරයක් යෝජනා වෙතත් එය දෙවරක් නොසිතා ප්‍රතික්ෂේප කිරීමත් දැකිය හැකිය. අනෙක් අතට ඔවුන් සිය චර්යා ගැටලුවල වරද පටවන්නට හුරු වී ඇත්තේ අනෙකා මතය. යම් අසාර්ථක පුද්ගල සම්බන්ධතාවකදී එබඳු තැනැත්තන් කිසිවිටෙකත් තමා අතින් සිදුවන සිදුවන අඩුපාඩුව ගැන කල්පනා නොකරන අතර, හැම විටම හැමවිටම ප්‍රති පාර්ශ්වය වෙත වරද පටවන්නට හුරුවී සිටී.
පෞරුෂ ආබාධ සහිත තැනැත්තන් සිය වෘත්තීය ජීවිතයේදී ද කටයුතු කරන්නේ අසාර්ථක අන්තර් පුද්ගල සබඳතා ගොන්නක් සමඟිනි. බොහෝ විට තමා ආයතන ප්‍රධානීන් සමඟ ද ,කාර්යාල සගයන් සමඟ ද ගැටුම් ඇති කර ගනී. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම ඔවුනට ඉතා අසීරුය. මෙහිදී ඔවුන් මුහුණපාන ප්‍රධානතම ගැටලුව වන්නේ කෝපය නොවේ. පසුබැසීම හා ලැජ්ජාව මුසු හැඟීම් ද ඒ අතර තදබල ලෙසම දැකිය හැකිය.
එයින් මිදෙන්නට හැකි අයුරක් නැද්දැයි නොවිමසා මේ සටහන නිමා කිරීම නොකළ යුත්තකි.
තත්ත්වය හඳුනා ගැනීම හා එය වටහා ගන්නට නම්‍යශීලී වීම එහිලා පළමු පියවරයි. ශාරීරික වශයෙන් ක්‍රියාශීලි වීම, ව්‍යායාමවල යෙදීම, ආතතිය, මානසික පීඩනය හා කාංසාව පාලනය කරන්නට කදිම පියවරක් ලෙස සැලකිය හැකිය. මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මේ අවුලෙන් මිදෙන්නට කිසිසේත්ම විසඳුමක් නොවේ. අනෙක් අතට ඔවුන් ලබා ගන්නා බෙහෙත් සමඟ මේ මත්ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනත් අතුරු ආබාධවලට මුහුණ දෙන්නට ද සිදු විය හැකිය.
නිරන්තරව වෛද්‍ය උපදෙස් ලබමින් නිසි අවස්ථාවලදී අවශ්‍ය පර්යේෂණ හා පරීක්ෂණ සිදු කර ගැනීම ද වැදගත් ය. මෙබඳු චර්යා ලක්ෂණ පෙන්වන්නන් එකට එක්වෙමින් අදහස් හුවමාරු කර ගැනීම ද සෑහෙන පමණකට ප්‍රයොජනවත්ය. චිත්තවේග කළමනාකරණය කරගැනීම සඳහා තමන්ට දැනෙන එබඳු හැඟීම් ලියා තැබීම ද සහනයක් ගෙන දෙන්නකි. යෝග ආදී විවිධ ශාරීරික අභ්‍යාස හා භාවනාවල යෙදීම ද පෞරුෂ ආබාධ මගහරවා ගන්නට උදවුවකි. හුදෙකලාව මේ සම්බන්ධයෙන් ඉතාම නරකය. හැකි තාක් දුරට තම පවුලේ කිට්ටුවන්තයන් හා හිතවතුන් සමඟ ආශ්‍රයේ යෙදීම නොවරදවා කළ යුත්තකි.