ඉසිඹුව | සිළුමිණ

ඉසිඹුව

මේ මහඟු ජීවිතය කුමක් යැයි සිතන්නෙද 
තැනෙක නැවතී බලා හිඳින්නට ඉඩක් වෙද.. 
නතර වී අතු පතර විහිදි තුරු වදුලු යට 
සිසිල විඳ ගනු හැකිද ගව බැටළු රැළක් ලෙස...

තණ පඳුරු අතර ලද පලතුරක් සඟවනා 
ලෙහෙනුන් ය පසු කරන වනය මැද හඬ දෙනා 
එහි අසිරි දකින්නට කෙලෙසකද නවතිනා 
ලොවම අප පසු කරන් යාවි ඒ මොහොතිනා..

හිරු එළිය සිනාසෙන දහවලක් නොපෙනේය 
තරු ඇසක් ඉඟි කරන රෑ අහස නොදකීය... 
නයනඟින් ඉඟි පාන සොඳුරු අඟනක බැල්ම 
ඇගේ යුහුසුලු දෙපා සැලී රඟනා අරුම

නෙත් අගින් ඇරඹි සිනහව මුවේ දෙන කැල්ම 
ඉඩක් කෝ බලන්නට, දකින්නට නවතින්න... 
මහරු යැයි සිතන මේ ඉසිඹු නැති ජීවිතය 
හාත්පස අසිරි නොපෙනෙන ලෙසින් අසරණය

යටිහිතට දැනෙන මුත් වැරැද්දක අඬහැරය 
විමසන්න, නවතින්න කාලයෙන් ඉඩ නැතිය....!

W.S.Davis , වේල්ස් ජාතික කවියකු හා නවකතා කරුවකි. (1871-1940) ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ ඔහුගේ leisure නම් කවියේ අනුවාදයකි මේ.

සියවසක් තරම් ඈත කාලයකදී ඔහු ලියූ මිනිස් ජීවිතය පිරිසිඳ දකින මේ කවිය එදාටත් වඩා අදට ද, අදටත් වඩා හෙටට ද ගැළපෙන බව සිතේ.

කුමුදුනී වේලාරත්න

Comments