මතක පොත! | සිළුමිණ

මතක පොත!

හු හුදෙකලාව සිටින විට එම පොත රැගෙන ඔබ - මොබ සක්මන් කරයි. ඇතැම්විට පරෙස්සමට පිටු පෙරළයි. එවිට ඔහුගේ මුහුණේ ඉරියව් පුදුමාකාර ය. සතුට - දුක - ශෝකය - පසුතැවීම - උපේක්ෂාව යන ස්වාභාවයන් කිහිපයන් ඉන් උකහාගත හැකි ය. ඉස්තෝප්පුවේ පරණ හාන්සි පුටුවට බර වන හෙතෙම සිය ළය මත පොත රුවාගෙන ගැඹුරු කල්පනාවක නිමග්න වෙයි. එකල්හි ඔහුගේ සිතිවිලි ඈතට - ඈතට පියාඹන බව පෙනෙයි. සමහරවිට එය අතීත ස්මරණයක් විය හැකි ය.

රත්නාට සිය සැමියාගේ හැසිරීම් රටාව තේරුම් ගත නො හැකි ය. ඇගේ සිත කෝපයෙන් දැවෙන්නේ කරුණු දෙකක් නිසා ය. පළමු කාරණය වන්නේ සිය සැමියා සෑහෙන කාලයක සිට තමන් සමඟ හොඳ හිතක් නො තිබීම ය. දෙවන කාරණය වන්නේ ඉහත පොත පිළිබඳ අබිරහස කිසිකලෙක හෙළිදරව් නොවීම ය.

ඔහු ගෙදරින් නික්මෙන විට ඒ පොත ද අතුරුදහන් වෙයි. පොත් රාක්කයේ, ලියන මේසය මත, ඇඳමත, හාන්සි පුටුවේ යන කිසිදු තැනෙක එම පොත නැත. ඔහු ගෙදරට පැමිණ යළි හුදෙකලා වන ඕනෑම මොහොතක පොත නැවත ඔහු දෝතට එයි. ඒකත් මහ පුදුම පොතක් යැයි රත්නාට සිතෙයි.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගිය පසු එක්කෝ වෙනත් රැකියාවක් සොයා ගනී. නැතහොත් සමාජ සේවයක නිරත වෙයි. ඒ දෙක ම නැති අය බණ භාවනා කිරීම සඳහා පන්සලක් අල්ලා ගනිති. මේ මනුස්සයා ඒ කිසිම දෙයකට නැති අරුම - පුදුම පුද්ගලයෙකැ'යි රත්නා අවසන් තීන්දුවකට පැමිණ සිටියා ය. එහෙත් පොත පිළිබඳ කාරණයෙන් ඈත්වීමට ඇගේ යටි සිත ඉඩ නො දෙයි.

"පොතක් බදාගෙන

කල්පනා කර - කර හිටියහ ම

හරි යයි!"

"ඒක මගෙ වැඩක්!

කාටවත් බෑ මාව හදන්න!"

"හදන්ඩ නම් ඉතින්;

මකන්ඩ වෙයි!"

"කරූණාකරල තමන්ගෙ වැඩක්

බලාගන්නවල! මට නිදහසේ

ඉන්ඩ දීල!"

හැමදා ම කතාව අවසන් වන්නේ එබඳු වාක්‍යයකින් ය. අඩු ම ගණනේ සිය බිරිය හා වාදයක පැටලීමේ වුවමනාව වත් ඔහුට නැත. ඇතැම් දිනෙක දෙදෙනා අතර එක වචනයක් හෝ හුවමාරු වන්නේ නැත. මේ ගෙදර තට්ට තනියම සිටින නාකි ජෝඩුවකට මොනතරම් දේවල් කතා කළ හැකි ද?

රත්නාගේ සිතිවිලි විවිධාකාර අරමුණු කරා ඇදී යයි. මේ පොත තුළ ස්ත්‍රියකගේ ඡායාරූපයක් තිබෙන්නට පුළුවන. එය සිය සැමියාගේ පරණ පෙම්වතියකගේ ඡායාරූපය විය හැකි ය. එසේ නැතහොත් කාන්තාවක විසින් දෙන ලද හැඟුම්බර ලිපියක් එහි තිබෙන්නට පුළුවන. කන්තෝරුකාරයන්ට නොයෙක් සබඳතා තිබේ. රත්නාගේ කන්තෝරුවේ ලොක්කන් කිහිප දෙනෙකුට ම අයථා පෙම් පළහිලව් තිබිණි. කොහොමටත් පිරිමින් විශ්වාස කළ නොහැකි ය. මෙය වහා සොයා බැලිය යුතු යැයි ඇය තීරණයකට පැමිණ සිටියා ය.

රත්නා දිනක් සැමියාට හොර රහසේ මෙහෙයුමක යෙදුණා ය. ඔහු ඒ පොත රාක්කයක ඉහළ තට්ටුවේ පොත් අතර සැඟවූයේ ය. නැවත එය ගෙන පහළ ම තට්ටුවේ පොත් අතර සැඟවූයේ ය. ටික වේලාවක් ඒ දෙස බලා සිටි සැමියා එය නැවත රැගෙන කොට්ටය අස්සේ සඟවා තැබුවේ ය. ඒ මොහොතේ පොත ලබා ගත නොැකි වුව රත්නා අලුත් දෙයක් ඉගෙන ගත්තා ය. එනම්; හිසට තබන කොට්ටය ද පොත සඟවා තබන එක් ස්ථානයක් බව ය.

පොතක සඟවන්නට දෙයක් තිබිය නො හැකි ය. එය විවෘත පොදු වස්තුවක් ලෙස පැවැතිය යුතු ය. කිසිවකුට කියැවීමට අවශ්‍ය නම්; එම පොත වහා ලබා දිය යුතු ය. එහෙත් මේ පොතෙහි නම කුමක් ද? කර්තෘ කවුද? එහි භාෂා මාධ්‍යය කුමක් ද? යන ප්‍රශ්නවලට උත්තර සපයා ගැනීමට රත්නා අසමත් ය. හේතුව එය අතිශය පරණ ගොමස්කඩක් බවට පත්ව තිබීම ය. ඔහුගේ අතට ම එහි පිටකවරය දිය වී ඇතැ'යි රත්නාට සිතිණි.

රත්නා යනු ඒ හැටි පොත් කියවන තැනැත්තියක් නො වේ. මේ ගෙදර සෑහෙන පොත් තොගයක් ඇතත් ඈ පොතක් ගෙන දිගට ම කියවාගෙන ගියේ කලාතුරෙකින්. පත්තරයක් ගත්ත ද සිරස්තල කියවනවා හැරෙන්නට ප්‍රවෘත්ති - විශේෂාංග තෝරා - බේරාගෙන කියැවීම ඇගේ සිරිත නො වේ. ඉහත සිද්ධියත් සමඟ උඩින් - පල්ලෙන් පොත් කියැවීමට ද ඒවා අවුස්සමින් යමක් සෙවීමට ද රත්නා උත්සුක වූවා ය.

එක අතෙකින් තමා මහ මෝඩ ගැහැනියකැ'යි ඇයට සිතෙයි. ඒ කාරණා දෙකක් නිසා ය. පළමු කරුණ නම්; සැමියා කෙරෙහි සැකයෙන් ඔහුට වෙනස්කම් කිරීම ය. දෙවන කරුණ නම්; පොත්වලට වෛර කරන්නට පටන් ගැනීම ය. මේ දෙකට ම කිසිදු තාර්කික පදනමක් නැති බව ඇය හොඳාකාරව ම දනී. තමන්ගේ මෝඩකම් අතහැර සැමියාට හොඳින් සැලකිය යුතු යැයි තව වරෙක ඇයට සිතෙයි.

"කවුද මගෙ පොත් රාක්ක

අදින්නෙ? මේව අස්සෙ

නිධානයක් නෑ!"

"අනුන්ගෙ දේවල් අදින

කැත පුරුද්දක් අපට නෑ!"

"ගෙදර ඉන්නෙ දෙන්නයි!

එහෙනං බහිරවයො

අදිනව ඇති!"

"පිට බහිරවයො මොකට ද?

මේ ගෙදරත් ඉන්නෙ එකෙක්!"

ඕනෑ ම වාදයක දී එය අවසන් වන්නේ සැමියා නිහඬ වී පරාජය භාර ගැනීමෙන් ය. එබඳු අවස්ථාවලදී රත්නාගේ සිතට සැනසීමක් ලැබෙයි. ඇය මේ සතුට දිගට ම ලබන්නට මෙන් වරින් - වර මත ගැටුම් ඇති කර ගත්තා ය. දිනක් අහම්බෙන් මෙන් හරි අපූරු අවස්ථාවක් රත්නාට ලැබිණි. ඔහු හාන්සි පුටුවේ දිගා වී තද නින්දක පසු විය. ඒ අගනා පොත බිම වැටී තිබිණි. රත්නා ඉතා සෙමෙන් හාන්සි පුටුව වෙත ළඟා වී බිම පහුරාගාමින් පොත අතට ගත්තා ය. ඉක්බිති ඇය සිය කාමරයට ගොස් දොර වසාගෙන පොතෙහි පිටු පෙරළන්නට විය. එම පොත චාර්ල්ස් ඩිකන්ස් ගේ ඔලිවර් ටුවිස්ට් යන්න ය. පොත හොඳට ම පරණ ය. එහි හතරට නැමූ කොළයක් තිබිණි. රත්නා එය සීරු - මාරුවට දිග හැරියා ය. එහි අපැහැදිළි ඉලක්කම් කිහිපයක් සටහන් වෙයි. ඒ නිශ්චිත දිනයකි. ඒ දින බොහෝ වේලාවකට පසු ඇයට සිහිපත් විය. ඒ ඔවුන් විවාහ වී මධුසමය ගත කිරීම සඳහා නුවරඑළියේ හෝටලයක් වෙත ගිය දිනය යි.

රත්නා මහ හඬින් හඬන්නට පටන් ගත්තා ය. ඇයට සිය හැඬීම නතර කර ගැනීමට නො හැකි ය. ඒ අතර දොරට තට්ටු කරන ශබ්දයක් ඇසිණි.

"මේ තමන් මගෙ

පොතක් ගත්ත ද?"

ඔහු දිගට ම දොරට තට්ටු කරමින් ඒ ප්‍රශ්නය ම අසන්නට විය. තමන් කුමක් කළ යුතු දැයි නිශ්චයක් නැති ව ඇය දොර වෙත පිය නැඟුවේ කඳුළු පිස දමමින් ය.

Comments