
මෙවර යල කන්නයේ වී වගාවට තිබෙන කාලය දැන් ඉක්මවා යමින් පවතී. වාරි පහසුකම් යටතේ වී වගා කරන බොහෝ ප්‍රදේශවල ජලාශ මඟින් වී වගාවට ජලය නිකුත් කර මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් එම ගොවීන් තවමත් යල කන්නයට වී වගා කිරීමට කුඹුරට බැස නැත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙවර යල කන්නයට අවශ්‍ය රසායනික පොහොර වල් නාශක තවමත් නොලැබීමයි.
“අපට යලට රසායනික පොහොර හා වල් නාශක ලැබුණෙ නැහැ. කැලෑව මරන්න විදිහක් නැහැ. තෙල් වියදම වැඩි නිසා එක කුඹුරු හෙක්ටයාරයක මඩ සකස් කරන්න ට්‍රැක්ටර්වලට රුපියල් 60000 ක් විතර දෙන්න වෙලා තිබෙනවා. ඉස්සර 1500 ක් වූ පෝර මිටිය දැන් 45000 යි. මේ තත්ත්වය යටතේ යල කන්නය කරන්න වෙන්නේ ගෙවල් දොරවල් උගස් තියලා. ඒක අපට කරන්න බැහැ. මේ නිසා මෙවර යල අත් හරින්නයි වෙලා තියෙන්නෙ“ රජරට හා දකුණේ ගොවි සංවිධාන නායකයෝ පවසති. ප්‍රගතිශීලී ගොවිජන සංවිධානයේ ලේකම් කවුඩුල්ලේ ගොවිනායක එම්.කේ. ජයතිස්ස පවසන්නේ ජලය ලැබුණත් පොහොර හා අත්ට්‍රැක්ටර්වලට ඉන්ධන නැති නිසා යල අස්වැද්දීමට බාධා ඇතිවී ඇති බවයි.
මේ පිළිබඳව කරුණු දැක්වූ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් නිහාල් වන්නිආරච්චි පවසන්නේ පොහොර තහනම නිසා දේශීය කෘෂිකර්මය වළපල්ලට වැටී ගොවීන්ගේ ආර්ථිකය බිංදුවටම වැටුණු බවයි. රාජාංගණය ජලාශයෙන් යල කන්නයට වතුර නිකුත් කරලා දැන් මාසයක් විතර වෙනවා. ඒත් කිසිම ගොවියෙක් යලට කුඹුරු සකස් කරලා නැහැ. ප්‍රධාන හේතුව පොහොර නැතිකමයි. මහ කන්නයේ වගා පාළුවලට දෙනවයි කිව්ව කිසිම වන්දි මුදලක් අපට ලැබුණෙ නැහැ. මේ නිසා යල කන්නය කරන්න බැරි බව ගොවීන් පවසනවා.“ නිහාල් වන්නිආරච්චි පවසයි.
කෙසේ වුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ රසායනික පොහොර හා පළිබෝධ නාශක ගැටලුවට ඉක්මන් විසඳුම් දෙන බවයි. නව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසන්නේ රසායනික පොහොර මිල ඉහළ යෑම වැළැක්වීමට හා අඩු ගණනේ රු. 10000 කට පොහොර මිටියක් දීමට කටයුතු කරන බවයි. පොහොර ගෙන්වන සමාගම් සමඟ සාකච්ඡා කොට මිල සූත්‍රය සකස් කරන බවත් ඉදිරියේදී රසායනික පොහොර සඳහා පොහොර සහනාධාරයක් ලබාදෙන බවත් ඇමැතිවරයා පවසයි.
“දැනටමත් රසායනික පොහොර තොගයක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ළඟදීම ඉන්දියාවෙන් යූරියා පොහොර ටොන් හැට පන්දහසක් ලැබෙනවා. එය ගොඩ බෑ පසු යල් කන්නයට ඒ පොහොර දෙන්න පුළුවන්. තවත් රටවල් ගණනාවකින් පොහොර ලබාගැනීමට සාකච්ඡාකර තිබෙනවා. කුඹුරු සීසෑමට අත්ට්‍රැක්ටර්වලට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඉන්ධන ලබාදීමටත් කටයුතු කරනවා“ ඇමැතිවරයා පවසයි.
හරිත විප්ලවයක් සමඟ අපේ රටේ වී වගාවට රසායනික පොහොර පළිබෝධ නාශක නැතිවම බැරි දේවල් බවට පත්විය.
මේ දේවල් මඟින් අපේ රටේ වී අස්වැන්න ස්වයංපෝෂිත මට්ටමට පැමිණ තිබිණ. 2011 - 2013 වකවානුවේදී අපේ වී එතෙර යැවීමටත් තරම් අස්වැන්නක් ලැබිණි. ඊට අමතරව මෙරට වී අස්වැන්න ගබඩා කිරීමට තැනක් නොතිබූ නිසා 2016 - 17 වකවානුවේදී මත්තල ගුවන් තොටුපළේදී ද වී ගබඩා කෙරිණ.
එසේ වුවද මින් මාස 13 පෙර අප්‍රේල් 27 වැනිදා ගත් කැබිනට් තීරණය සමඟ මෙරටට රසායනික පොහොර හා පළිබෝධ නාශක ගෙන්වීම නැවැත්විණි. එක රැයින් ගත් මේ තීරණය නිසා දැන් රටේ ගොවි ජනතාවට හා අපේ වී අස්වැන්නට බලවත් අහිතකර බලපෑමක් එල්ල විය.
මේ පිළිබඳව කරුණු දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ 2021 අප්‍රේල් 27 කැබිනට් මණ්ඩලය අනුමත කළ ඒ තහනම නිසා මෙවර 2021/22 මහ කන්නයේ වී අස්වැන්න පමණක් වෙන මහකන්නවලට වඩා සියයට 45 කට අඩුවී ඇති බවයි.
“ඒ පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ ද අවධාරණය කරයි. මුලින් ම 2021 අප්‍රේල් 28 හා ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයෙන් මේ තහනම සිදුකළා. ඉන් කියවුණේ 2021 යල කන්නය අවම ලෙස රසායනික පොහොර හා පළිබෝධ නාශක පාවිච්චි කර පසුව 2021/22 මහ කන්නයේදී රසායනික පොහොර හා පළිබෝධ නාශක සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය 2021 මැයි 6 වැනිදා නිකුත් කරනු ලැබුවා.
වත්මන් රජය මීට වසරකට පෙර ගත් රසායනික පොහොර හා රසායනික පළිබෝධ නාශක මෙරටට ගෙන්වීම තහනම් කිරීමේ පියවර ඉතාම අඥාන තීරණයක්.
ඒ අනුව 2021/2022 මහ කන්නයට රසායනික පෝර අඩුවීම නිසා මහ කන්නයේ අස්වැන්න දැනට සියයට 45 ක් 50 ක් අඩුවෙලා. අපි විද්වතුන් කොච්චර කිව්වද ඒ තීරණය ගන්න එපා කියලා. නමුත් ජනපති වටේ හිටිය කේවට්ටයන්ගේ උපදෙස් රජය පිළිගත්තා. මෙතනදී වැරැදීමක් සිදුවුණා කියලා ජනපතිතුමාත් පිළිගත්තා.
අද අපේ රටට හොර පාරවලින් වල්නාශක කෘමිනාශක පළිබෝධ නාශක එන්නේ අපේ පරිසරය ඉස්සෙල්ලාටත් වඩා විනාශ මේ අඥාන අවිද්‍යාත්මක තීරණය නිසා අපේ රටේ පවුල් ලක්ෂ 18 ක ගොවි ජනතාවකට ජීවන වෘත්තිය හරියට කරගන්න බැරි වුණා. ඒ අය කබළෙන් ලිපට වැටුණා. අපේ රටේ සහල්වලින් බඩ කට පුරවාගත්ත ජනතාවට දැන් රට හාල් කන්න වෙලා. එපමණක් නොව අපේ පාරම්පරික ස්වයංපෝෂිතක සංස්කෘතිය අපට අහිමි වෙලා තිබෙනවා.
අපේ ගොවි ජනතාව රජයට කිසිම කරදරයක් නැතිව රට සහලින් ස්වයංපෝෂිත කර හාල් රට යවන මට්ටමට තිබූ අපේ වී නිපැයුම මේ අඥාන අදුරදර්ශී තීරණය නිසා සම්පූර්ණයෙන් විනාශ වුණා.
වසරකට පෙර 2021 මැයි 06 ගැසට්ටුව දැන් අවලංගු කර ඇත. නමුත් වසරක් තිස්සේ රටට අත්‍යවශ්‍ය රසායනික පොහොර හා පළිබෝධ නාශක නොලැබීම නිසා මෙරට දේශීය කෘෂිකර්මය උඩු යටිකුරුවී තිබේ. ගොවි ජනතාව ආර්ථික හා සාමාජික ලෙස අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.
මේ පිළිබඳව කරුණු දැක්වූ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න පැවසුවේ එක් වරම රජය ගත් රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම නිසා ගොවි පවුල් ලක්ෂ 18 කට අධික පිරිසක් අන්ත අසරණ වී ඇති බවයි.
අද පොහොර මිටියක් රුපියල් 45000 ට වැඩියි. ඉස්සර තිබුණේ 1500 ට. පොහොර මාපියාවකුත් ඇතිවෙලා තිබෙනවා. එය වළක්වන්න ආණ්ඩුව සමත්විය යුතුයි. හරිත විප්ලවයත් එක්ක රසායනික පොහොර ලොවට හඳුන්වා දුන්නේ වැඩිවන ජනගහනයට අනුව ඊට අවශ්‍ය බෝගවල පලදාව වැඩි කරගැනීමටයි. ඒ සමඟම හරිත විප්ලවයත් සමඟ හඳුන්වා දුන් දෙමුහුන් බීජවලට හා කෙටි කාලීන බීජවලට රසායනික පොහොර අත්‍යවශ්‍යයි. එය කාබනික පොහොරවලින් කරන්න බැහැ. ඒකයි අපි එදා ඉඳන් කෑගැහුවෙ මේ වැඩේ එක පාරටම කරන්න එපා කියල. අපි විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මේක කිව්ව. නමුත් රජය පිළිගත්තෙ නැහැ. දැන් සියලු වගාවල අස්වැන්න අඩුවෙලා. නාමල් කරුණාරත්න පවසයි.
අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අක්කරයක කුඹුරක් දෙහීය හෑම සඳහා රුපියල් 25000 ක් වැය වෙනවා. යූරියා මිටියක් 45000 යි. මේ තත්ත්වය යටතේ මෙවර යල කන්නය බොහොම අසාර්ථක වන බවත් නාමල් කරුණාරත්න පවසයි.
රසායනික පොහොර තහනමේ ආදිනව පිළිබඳව අපට මනාව කරුණු දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසන්නේ මෙම තහනම රටේ වී අස්වැන්න 45% කින් අඩු කළ, රටේ ගොවි ජනතාවට ආර්ථික සාමාජික කෘෂිකාර්මික ප්‍රශ්න ගණනාවක් ඇති කළ අදූරදර්ශී වැඩපිළිවෙළක් බවයි.
“පොහොර තහනමට පෙර 2020 - 21 වසරේ යල මහ සම්පූර්ණ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 51 කි. මෙම වී ප්‍රමාණය සහල් කළ විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 31 ක් ලැබුණා. නමුත් අපේ රටේ සියලු අවශ්‍යතා සඳහා අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 23 - 24 ක් පමණයි.
ඒ අනුව 2020 - 21 යල මහ කන්න වලින් අපට සහල් මෙට්‍රික් ටොන් 8 - 9 ක අතිරික්තයක් තිබුණා. සමහර සමාගම් සහල් පිටරට යැවීමත් කළා. නමුත් 2021 - 22 මහ කන්නයේ රසායනික පොහොර හා පළිබෝධ නාශක නැතිව වගා කිරීම නිසා අපට ලැබුණේ සාමාන්‍යයෙන් මහ කන්නයට ලැබෙන මුළු අස්වැන්නෙන් 55% ක් පමණයි. එනම් මේ තහනම නිසා 45% ක් වී අස්වැන්න අඩු වුණා. මේ නිසා අපට දැන් වැඩිපුර රට හාල් කන්නයි සිදුවෙලා තිබෙන්නෙ.
රටේ වී අස්වැන්නෙන් 65% ක අස්වැන්නක් ලැබෙන්නෙ මහ කන්නයෙන්. ඒක 45% අඩුවීම ලොකු ගැටලුවක්. දැන් තිබෙන තත්ත්වය යටතේ දැනට ම ආරම්භ කළ යුතු මෙවර යල කන්නයටත් රසායනික පොහොර හා පළිබෝධ නාශක ලැබිල නැහැ. එනිසා මෙවර යල අස්වැද්දීම ලොකු ගැටලුවක්. මාර්තු අප්‍රියෙල් මැයි වෙනකොට සාමාන්‍ය යල කන්නයට වපුරා අවසන් කළ යුතුයි. නමුත් එය සිදුවෙලා නැහැ. පසුගිය මහ කන්නයෙන් අස්වැන්න අඩුවීම නිසා සිදුවූ සමාජ ආර්ථික පරිහානියත් මේකට එක හේතුවක්. සමහර ගොවීන් මහ කන්නය වවන්න ගත්ත ණය ගෙවා ගන්න බැරිව ඉන්නවා.
සාමාන්‍යයෙන් පොහොර තහනමට පෙර රජය මාස 3 කට අවශ්‍ය්‍ය වන පොහොර සංචිතයක් පවත්වාගෙන ගියා. මේ වනවිට ඒක නැහැ. පොහොර ඉතා විරලයි. මේ වසරේ මුල් මාස 2 තුළ ගොවීන්ට ලැබුණු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000 යි. පොහොර කර්මාන්ත ශාලාවල හා ගුදම්වල තවත් පොහොර මෙට්‍රික් ටොන් 30000 දාහක් තිබෙනවා. එකතුව මෙට්‍රික් ටොන් 60000 යි. නමුත් යළ කන්නයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙන හෙක්ටයාර් ලක්ෂ 5 වගා කිරීමට යූරියා පමණක් මෙට්‍රික් ටොන් 80000 ක් අවශ්‍යයි. 2020 වසරේදී අපේ රටට රසායනික පොහොර මෙට්‍රික් ටොන් 926000 ක් ගෙනැවිත් තිබෙනවා. 2021 දී පොහොර තහනම මැද වුණත් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 490000 ක් පාවිච්චි කර තිබෙනවා. ඒ අනුව මෙවර යල කන්නය සඳහා විශාල පොහොර හිඟයක් හා ගැටලුවක් ඇතිවෙලයි තිබෙන්නේ.
අද කිලෝ 50 ක යූරියා මිටියක් රුපියල් 45000 වෙනවා. අමතර අවශ්‍ය දිලීර නාශක, වල් නාශක, කෘමිනාශක හරි විදිහට කොහෙන්වත් ගන්න නැහැ. හෙක්ටයාරයක බිම් සැකසීමට රුපියල් 60000 ක් විතර යනවා. ඒ අනුව ගොවීන්ට මෙවර යල කන්නය වගා කිරීමට ඉතා අපහසු බවත් මෙවර මහ කන්නයට වහාම පොහොර සහනාධාර ලබාදිය යුතු බවත් රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසයි.