‘බලය රැඳෙන්නේ විශ්වාසය මතයි’ වන දිවි සැරියේ හපන්කම් අපට කියා දෙන්නේ එයයි | සිළුමිණ

‘බලය රැඳෙන්නේ විශ්වාසය මතයි’ වන දිවි සැරියේ හපන්කම් අපට කියා දෙන්නේ එයයි

පාලිත ජයකොඩි

කෘතිය - වනදිවි සැරියේ හපන්කම් 
පරිවර්තනය - පාලිත ජයකොඩි 
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම 
මිල - රුපියල් 400.00 
විමසීම් -078 499 3755

න පෙත ගැන ලියැවුණු කතාන්දර අසන්නට අප කවුරුත් කැමති ය. එය වයස් සීමාව, සමාජ මට්ටම හා තනතුරු තානාන්තර ආදී සියල්ලට ඉහළින් තිබෙන ආසාවකි, කැමැත්තකි. වන පෙතකට කිසිදා පය ගසා නැති, එසේත් නැතිනම් මතක ඇති කාලයකින් වනපෙතක ආශ්වාදය විඳ නැති කවරෙකු හෝ වේවා පොතක් - පතක්, අකුරක්- වචනයක් හරහා ඒ අත්දැකීම් විඳගන්නට මනාප ය. 

මෙරට වනකතා සාහිත්‍ය තරම්ම පරිවර්තන හරහා කියවන්නට ඉඩ ලැබෙන පරිවර්තන ද උක්ත පාඨකයාගේ සිත් ඇදගන්නට සමත් ය. විශේෂයෙන් ම පරිවර්තන සාහිත්‍ය හරහා අපට අප්‍රිකානු වනපෙත මුල් කොට ගත් පරිවර්තන බොහෝ ගණනක් කියවන්නට ලැබී තිබේ. කෝබට් හා ඇන්ඩර්සන්ගේ නිර්මාණ හරහා අපේ දෙඅතට ආ ඉන්දියානු වනපෙත සාහිත්‍ය ද ඊට නොදෙවෙනි ය. මෙහිදී අප අමතක නොකළ යුතු තවත් එක් අංගයක් වන්නේ ලංකාව පාලනය කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංගිරිසි කාල සමය තුළ ලංකා වනපෙත් ගැන ඔවුන් අතින් ලියැවුනු පත පොතය. ඉනිදු ඉංගිරිසි සමයේ ලියැවුනු වන පස සාහිත්‍යය සුවිශේෂී ය. එහෙත් ඉන්දියාවෙන් ඔබ්බට පෙරදිග වනාන්තර අළලා ලියැවුණු පොත පත ඒ හැටි සුලබ නො වේ. මෑතකදී සිංහලයට නැගී ඇති ෆ්ලොරන්ස් ස්ටුවර්ට් (Florence Partello Stuart ) අතින් ලියැවුණු " The Adventure Of Piang, the Moro Jungle Boy " සුවිශේෂී නිර්මාණයකි. එය සිංහලයට නැගී ඇත්තේ " වනදිවි සැරියේ හපන්කම් " නමිනි.

පෙරදිග වනාන්තර අලලා ලියන ලද වීර වික්‍රමාන්විත කතාන්දර අතරේ ඊට සුවිශේෂී තැනක් හිමි වන්නේ කාරණා කීපයක් නිසා ය. පළමුව , එයට පසුබිම් වන්නේ බොහෝ දෙනාගේ අවධානයෙන් හා කතාබහෙන් දුරස් වූ පිලිපීන දූපතක් වීම ය. අනෙක , මේ කෘතිය ලියැවෙන සමය වන විට එකී දූපත් ගැන , ඒවා පිහිටි ආකාරය ගැන බාහිර ලෝකයට කිසියම්ම අවබෝධයක් නොතිබුණු තරම් වීමය. එ සේ තිබියදීත් එකී දූපත් සමූහයේ එක්තරා දූපතක් පසුබිම් කර ගනිමින් මෙය නිර්මාණය වී ඇත්තේ එකී දූපත පමණක් නොව එකී ජනකොටස් , ඔවුන්ගේ විශ්වාස හා වීරකම් දුෂ්ටකම් ද වරනගමිනි.

මේ වික්‍රමාන්විත කතාන්දරය ගොඩ නැගෙන්නේ පෙරදිග සෙලෙබ්ස් මුහුදේ පිහිටි මින්ඩනාඕ දූපත පසුබිම් කර ගනිමිනි. එහි වුසූ සටන්කාමී මෝරෝ ගෝත්‍රයද, ඔවුන්ගේ චර්යා රටාද, වනපස අලංකාරයද , ත්‍රාසය, භීතිය හා කුතුහලය ද කැටිව කතාන්දරයක් ලෙස නැගෙන්නේ " පියැං " නමැති කොලු ගැටයකුගේ අප්‍රතිහත ධෛර්යයත් , ඔහු මුහුණ දෙන අනවරත අභියෝගත්, ඔහු ඒවා ජය ගත් ආකාරයත් මනා පිළිවෙළින් අමුණමිනි.

මේ වනාහි බටහිර ජාතීන් පෙරදිගට අත පොවමින් සිටින කාලයයි. මෝරෝවරුන් ඊළඟ නායකයා තෝරා ගන්නේ දෙවියන්ගේ ඉඟිය අනුව ය. එක්තරා සුවිශේෂී රාත්‍රියක , එක්තරා සුවිශේෂී තරු මුඳුන් වන වේලාවක උපදින බිළිඳෙකු ගෝත්‍රයේ නයුවා බවට පත් වීම දේව වාක්‍ය වී ය.

එහෙම ඒ රෑ එකම වේලාවට දෙදෙනෙකු උපන. පියැං ඉන් එකෙකි. ගැටවර වියට පත් කළ නියම සුදුස්සා කවුදැයි ඔප්පු කරන්නට ඔවුනට සිදු වෙයි. මේ කාරියේදී මුහුණ දෙන අපමණ ප්‍රමාණයක අභියෝග හමුවේ ඔහු උගෙන ගන්නේ බාහිර ලෝකයෙන් එන අභියෝගවලට වඩා සැබෑ අභියෝග උපදින්නේ තම සමීපතමයන්ගෙන් බවයි. මේ වනගත වික්‍රමාන්විත කතාව දිවෙන්නේ පියැංගේ එකී අභියෝග හරහා ය.

වනාන්තරය මුල්කරගත් යම්කිසි නිර්මාණයක් රස විඳීමේදී පාඨකයා එහි ගැබ්ව ඇති ත්‍රාසය, කුතුහලය, උද්වේගකර බව හා සමානවම අගය කරන තවත් යමක් ඇත්නම් ඒ සොබා සෞන්දර්ය වර්ණනාවයි. " වනදිවි සැරියේ හපන්කම් " ඒ අතින් බැලූවද අතිශය සාර්ථක හා ප්‍රාමාණික කෘතියකි. එය අපූරු සොබා සෞන්දර්ය වර්ණනාවෙන් පොහොසත්ව තිබෙන්නාක් මෙන්ම මෙතෙක් කලකට අපට අසන්නට නොලැබුණු සොබාදහමේ අභිරහස් ගණනාවක්ද හෙළිදරව් කරන්නේ පාඨකයා ගේ දෙඇස් නළලට නංවමිනි.

එක් අතකින් මේ කෘතිය යොවුන් පරිවර්තන කෘතියක් ලෙසද නම් කළ හැකි ය. එය යොවුන් වියේ පාඨක මනස වන පස සෞන්දර්යයෙන් පොහොසත් කර ත්‍රාසයෙන්, භීතියෙන් හා කුතුහලයෙන් පුරවා දමනවා පමණක් නොව වීරත්වයේ හා ධෛර්යවන්තකමේ හැඟීම් කාන්දු කරන්නටද සමර්ථ වී තිබේ. එහි එක් තැනක පියැංට මෙසේ උපදෙස් ලැබෙයි. "බලය රැඳෙන්නේ විශ්වාසය මතයි. ශක්තිය උපදින්නේ විශ්වාසය තුළින්! විශ්වාසය ගොඩනඟා ගන්න, අවංක වන්න, සත්‍යවාදී වන්න."

මෙය සිංහලයට නැගීමේදී අඩුවක් නැතිව සිංහල පාඨකයාගේ මනසට ගෙන එන්නට පාලිත ජයකොඩි සමත්වී තිබේ. මීට විසිවසරකට පමණ ඉහතදී " ඕලන්ද සිරකරුගේ ලංකා සංචාරය " පරිවර්තනය කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු අතින් සිංහලයට නැගුණු වනගත පරිවර්තන කෘති ගණනාවකි.

Comments