හෙළ බසට එලියක් | සිළුමිණ

හෙළ බසට එලියක්

රි වහර ලියැවෙන්නේ නිවැරැදි බස් වහර පෙන්වා දී එය භාවිතයෙහි යොදවනු පිණිස බව යළි යළි දු කිව මනා නො වේ. එ සේ නිවැරැදි බස කියා දීම පිණිස යෙදිය හැකි ක්‍රම කිහිපයෙකි. පුවත් පත් ලිපිය ඉන් එකක් වේ. මේ යෙදෙන්නේ ඒ ක්‍රමය යි. ගුරුවරයකු විසින් උගන්වනු ලැබීම තවත් ක්‍රමයෙකි. නිවැරැදි බස උගන්වන පොත් පළ කිරීම එ බඳු තවත් ක්‍රමයෙකි. එ වන් පොත් පළ වීම මෙ කල නම් ඉතා දුර්ලභ ය. භාෂාව උගන්වනු පිණිස පොතක් පතක් පළ වතොත් ඒ බොහෝ විට යම් විභාගයක් පිණිස ම ය. එ ද නොයෙක් දෝෂයෙන් ගහන බව කියන්නට වීම අභාග්‍යයෙකි.

එ බඳු කලෙක, නිවැරැදි බස් වහර පතළ කිරීම ම අරමුණු කොටගෙන, නිවැරැදි බසින් ම ලියැවුණු අගනා පොතක් හරි වහර කියවන්නන් හට හඳුන්වා දිය හැකි වීම භාග්‍යයෙකි.

පොතෙහි නම ‘සිංහල නිපාත සංග්‍රහය‘ යි කතුවරයාණෝ අ. ආ. ගුණතිලකයෝ යි.

පොත විමැසීමට පෙර කතුවරයාණන් ගැන ද මඳ හැඳින්වීමක් කිරීම මැනැවැයි හැඟේ. නිවැරැදි බස ගැන නිරතුරු වැ පුවත්පත් ආදියෙහි ලිපි පළ කරන හෙයින් පුවත්පත් කියවන්නේ නම් ගුණතිලකයන් මැනැවින් දනිති. ඔහු වනාහි සිය දිවියෙහි නව වන දශකය ද ඉක්මවමින් සිටිය දීත් නොපිරිහුණු දිරියෙන්, නොවැඩුණු සවියෙන් නොසැලුණු නුවණින් නිවැරැදි බස රක්නා පිණිස කැප වැ ගත් කෙනෙකි. ගුරු විදුහල්හි කථිකාචාර්යවරයකු ලෙස ද දේශකයකු ලෙස ද දේශනා මාර්ගයෙන් හා විද්වද් රචකයකු ලෙස ලිපි ලේඛන මාර්ගයෙන් හා ගුණතිලකයන් විසින් මහරු මෙහෙවරක් සිංහලය උදෙසා කරනු ලැබ ඇත්තේ ය. මෙයට පෙර ද භාෂා විෂයක ග්‍රන්ථ ගණනාවක් ඔවුන් අතින් ලියැවී පළ වැ ඇත්තේ ය.

‘සිංහල නිපාත සංග්‍රහය‘ ප්‍රමාණය අතින් බලන කල එ පමණ විශාල ග්‍රන්ථයක් නො වේ. එ වුව ද එ වනාහි සුවිසල් අගයෙකින් යුත් පොතෙකි. එයට මහත් සේ හේතු වනුයේ බොහෝ වියතුනට, පඬිවරුනට මඟ හැරුණු භාෂාංගයක් මෙ පොතෙහි ලා විවරණය වීම, විමසනු ලැබීම යි.

භාෂාව වනාහි අක්ෂර, පද, වාක්‍ය යන අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ අංග ත්‍රිත්වය පාදක කොටගෙන පවතින්නක් බව අපි දනිමු. මේ අතැරිනුදු යම් අදහසක්, අරුතක් පළ කරන කුඩාතම කොටස වනුයේ පද යි.

සැබැවින් ම පදයක් නම් වාක්‍යයෙක යෙදිය හැක්කක් විය යුතු යි.

මේ පද සිවු වගක් (වර්ග හතරක්) වෙති යි.

පදං චතුර්විධං ප්‍රොක්නං 
නාමාඛ්‍යාතොප සර්ගජම් 
නිපාතශ්චෙති ශබ්දඥෛ 
අශ්වඃ ඛලු අභිධාවතෙ

යැයි සංස්කෘත ව්‍යාකරණකාරයෝ කියති. එ වුව ද උපසර්ග සිංහලයෙහි පද වර්ගයක් ලෙස නො ගැනේ. සිංහලයෙහි ඇත්තේ නාම, ක්‍රියා (ආඛ්‍යාත), නිපාත යන පද තුන් වග යි. ඉන් නාම, ක්‍රියා යන පද යෙදෙන සැටි ගැන බොහෝ ලියැවී ඇත ද නිපාත ගැන ලියැවුණු තැන් සුලබ නො වේ. එහෙයින් නිපාත පිළිබඳ වැ පොතක් මෙසේ පළ වීම ඉතා වැදගත් වේ.

සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ සියල්ලෙහි ම වාගේ නිපාත පිළිබඳ කරුණු දැක්වෙයි. එහෙත් බෙහෙවින් සපිරි විවරණයක් දක්නා ලැබෙන්නේ කුමාරතුංග මුනිදාසයන් ගේ ව්‍යාකරණ විවරණයෙහි ය. ගුණතිලකයන් එය ගුරු තන්හි තබාගෙන මේ සිංහල නිපාත සංග්‍රහය රචනා කැර ඇතැයි පෙනේ. ඔහු එ බව නො වළහා හෙළි කෙරෙති. කුමාරතුංගයන් ගේ විවරණය වැඩි දුරටත් විමසමින් එය අද්‍යතන පාඨකයනට වටහාගත හැකි සේ සරල වැ දක්වමින් ගුණතිලකයන් කරන විග්‍රහය ඉතා වැදගත් ය. කුමාරතුංගයන් ගත් මඟ යමින් තව තව ද කරුණු එක් කරමින් යථෝක්ත විවරණය වඩාත් වර්ධනය කිරීමට ගුණතිලකයන් සමත් වැ ඇත.

ඇවැසි තන්හි දී වෙනත් වියතුන් ගේ මත ද විමර්ශනය කොට දක්වනු ලැබ ඇත. හෙළ හවුලේ වියතුන් පෙන්වා දුන් කරුණු, ඔවුන් ගේ විමැසුම් කෙරෙහි මෙහිදී මහත් සැලැකිල්ලක් දක්වා ඇති සේ පෙනේ. එයින් ගුණතිලකයන්ගේ විග්‍රහය වඩාත් ඔපවත් වැ ඇත.

නිපාත හැඳින්වීම, නිපාත ප්‍රභේද, නිපාත වර්ගීකරණය, විමැසුම යන මාතෘකා ඔස්සේ සිංහලයෙහි නිපාත යෝග්‍ය පිළිබඳ දත මනා කරුණු රැසක් මෙහි ලා විමර්ශනාත්මක ව ඉදිරිපත් කැරේ. මෙහි ලා නූතන ව්‍යවහාරය මෙන් ම පුරාතන ව්‍යවහාරය ද මනා වැ විමසා බලා තුලනාත්මක ව කරුණු දක්වන අයුරු ප්‍රශංසාර්හ වේ.

ධම්පියා අටුවාව, සීගිරි ගී වැනි ඉතා පුරාතන මූලාශ්‍රය ද කතුවරයාණන් ගේ අවධානයට පාත්‍ර වැ ඇත. ග්‍රන්ථයෙහි සම්පූර්ණත්වයට එ කරුණ හේතු වේ.

මෙහි අග එන ‘මූල නිපාත සංග්‍රහය‘ යන නිපාත කෝෂය භාෂා අධ්‍යයනයෙහි යෙදෙන්නන් හට හස්තසාර වූවකි.

මේ ‘සිංහල නිපාත සංග්‍රහයෙහි‘ නැවැත විමැසිය යුතු, සකස් විය යුතු තැන් ද ඇත්තේ ය. නිපාත ගණයට නොවැටෙන වදන් ද මෙහි නිපාත සේ දැක්වේ. සුදුස්සකු විසින් මෙ පොත විචාරයට ලක් කිරීම බසට කැරෙන මහරු මෙහෙවරෙකි. මෙහි ලා කරන ලද්දේ යන්තම් විමැසුමක් පමණෙකි.

Comments