
ගුරු මවකගේ සිහිවටන
තිස් වසරක ගුරු දිවියක සිහිවටන
සොඳුරු සිතුවමක් ලෙසකින් මාහදෙ ළැගුම්ගෙන
නොමැකී තියේ දරුවනි මා මිය යන තුරුම
නුඹලා හා එක්ව ගෙව් මතකය සදාතන
මල් මඳ සිනා පාමින් දඟකම් කරමින්
දිව එයි මා ළඟට ළැමදට තුරුලු කරන්
සුදු රැලි ගවුම් පොඩි කමිස ද දවටාගෙන සතුටින්
ටීචර් අපි ආව බෙල් එක ගැසුවා කියමින්
නුඹලගෙ සුරතගෙන ආදර බස් කියමින්
සිතුවම් ඇන්ද මතකද දරුවනි අප සතුටින්
සුන්දර අතීතය සිහි වෙන්නට කලියෙන්
මා දුටු සිහිනය බොඳවුනා පායන හිරු කුමරුන් සමඟින්
සිහිවී ගුරුතුමිය දරුවනි නුඹලාට
තිස් වසරක් ගෙවුණත් නොමැකේ දරුවනි හදවතට
සුරතල් මුවින් තෙපලු මතකයෙ වදන් මට
නොමැකී තියේ හද පතුලේ සැමදා සිහිවටනයකි මට
සිප් කිරි පොවා නුඹලාගේ සුරත ගෙන
සිත්තම් කෙරූ ගුරුමව මතකයේ තබාගෙන
දෙපා නැමැද බැති පෙමකින් ඇය පුදන
දූ දරුවන් සිරිලකට වටිනා මැණික් මෙන
අවසන් දිනගිය පාසැල් විදු බිමේ සිටී
ගුරු මා පියන් හට යුතුකම් කරන හැටී
අගය කරමි දූ දරුවනි බොහොම වටී
සිහිවේ මෙමට මගෙ නිවසට පැමිණි හැටී
දෙපා වාරු නැති මුත් මා නිවස තුළ
නුඹලා යන තුරුම බලා සිටියෙමි දුකකි මහද තුළ
කළ ගුණ දත් දරුවනේ තුටුවෙමි මා සැමකල
ඉදිරියටම යනු දරුවනි පතනෙමි
තෙරුවන් සරණයි ජයෙන් ජය
සුමනා අත්තනායක
වන්දනා
කිරුළ නැමුණා දරා සිටි සිරසින්
දෑත ළං විය නිමල බුදු බැතියෙන්
දහම් ඇසුණා සවන් දුන් සැණෙකින්
සැලුණි මල් ආසිරි පතා අහසින්
දිවි අරුත් පහදවා දුන් කුලුණින්
නිමල දහමින් තැනූ ලක්වැසියන්
දම් අමා පෙව් මිහිඳු මාහිමියන්
දිවි තුරාවට පුදමු සිත බැතියෙන්
පියසිලි විජේනායක
අහිමි ප්‍රේමය
ජීවන මංපෙත එකලු කරන්නට
නිලුපුල් දෑසින් අවාරයේ කළ ඒ ඇරයුම
සුපසන් හැඟුමින් ළය පුබුදාගෙන
වාං දැමූ හීන කන්දරාව...
කාලය ගෙවිලා මනුදම් හැරදා
පියබද දවලා මීවිත ලවනත රඳවා
සවනත පාරන චන්ඩ වදන් පෙළ
ඔබ සිත ඔබටම අවනත නොවූදා
මරණය තෙක් වූ පැතුම් බින්දා...
මා වෙහෙස කළ ප්‍රේමයේ යදම් සිඳ දමා
තැවුල් විඳ දරා අද තනි මඟ මා
අහිමි වූ ප්‍රේමයේ අනන්ත ප්‍රාර්ථනා
නෙළුම් පතට වට දිය බිඳුවකි අද
ඊ. එම්. ඩී. එදිරිසිංහ
යළි ඉපදීම
ඉපදීම ද දුකකි එහි කෙළවරක් නැත
නිතර වෙනස් වන සිරුර ද ජරා වෙත
ලෙඩවීම ද උරුමය සැම සතුන් හට
මරණ බිය දරන් ලෝ සත මියෙනු ඇත
ඉපදුන අපට පස මිතුරන් ළං වෙනවා
ප්‍රිය උපදවන මිතුරන් අප හැර යනවා
කැමති සැම දෙයම ලැබුමට බැරි වෙනවා
මේ හැම දුක දරන් ලෝ සත ලතවෙනවා
පවකට ඔබගෙ තුන්දොර නම් හරිනු එපා
රාග, ද්වේශ, මෝහෙට ඉඩ තබනු එපා
කිසිවෙකු නසන්නට අත ඔසවන්න එපා
තවකෙකු පෙළන්නට ඔය මුව අරිනු එපා
ඉසිකෝමාන අතහැර මෙත් පතුරන්න
කිසිදා එපා තණ්හාවෙන් පසු වන්න
හැකි හැමවිටම සඳහම් ගුණ දන් දෙන්න
එතකොට හැකිය හැමට ම නිවනට යන්න
දූවගේ ශ්‍රියා කාන්ති
අම්මාගේ වැඩ මුරය
හතරේ සිට මහ රෑට වැඩ මුරයෙ සරනා
පොතක් අත්සන් නොකොට කරන මෙහෙ වරුණා
ගතේ වැඩ ඉවර නැත කෙඳිරියද නොගෙනා
නොයිල්ලති අයිතීන් වැඩ වැරුම් නොවනා
කටට රස බෙදන්නට මසවුළුද තනනා
ගෙදර අයගෙන් ඒත් හුඟක් හොඳ නොඑනා
කකියමින් එන විටත් හිස කෙළින් කරනා
හැඳිමිටෙන් මැන ඈගෙ ආදරය බෙදනා
නෑඹිලියෙ ගෙවෙන නිය පලා පැහැ රඳනා
සිලිටි බව මැකී ගොස් කැපුම් ඉරි තළනා
ලිපේ ගිනි වැදී ගත දාහයෙන් දැවෙනා
ඒත් කිසිවෙකුට ඈ ආඩපළි නොදෙනා
පී. බී. ගුණරත්න
සෙනෙහසක අරුම
ලොබ වීමි ආලයට
ආමි ඔහු සමඟ මා
ආලයෙන් අන්ද වූ
කළ නුදුටු හෙට දවස
වැටහුණත් ජීවිතේ
පමා වැඩි බව දැනේ
ඔහු ගියා මා දමා
මට වඩා
පෝසතෙකු හමුවෙලා
හිත පිරුණ ආලයෙන්
කිරි එරුණ සෙනෙහසින්
උඹ මගේ ඇස් දෙකයි
රකිනවා පණ මෙන්
තවින්සා දිවසරි
මට හිතෙනවා
හමුවෙන්න එන්න මට ආයෙත් සිතෙනවා
මුමුණ - මුමුණා හෙමින් ඇවිද ගෙන යමු නැවත
පමාවුණ හින්දාම තරහකුත් පෙන්වමින්
මුහුණ රතු කරගන්න නැවත හිත කියනවා
මගෙ පුංචි කවි දෙකක් පත්තරෙත් දුටුවාද
ඔය හිතට පොඩි දුකක් දැනුනේම නැතිවාද
වෙන කවුරුවත් එහෙම ළංවෙලා ඉන්නවද
ඇය ගැනත් එදා මෙන් කවි ගීත ලියනවද?
කුසුමා ප්‍රේමරත්න
ඔබ දුටු සඳ
දින දෙක තුනක දිගු ගමනක් නිමාකොට
මම එහි ගියෙමි මගෙ සෙනෙහස දකින්නට
පුතණුව සමඟ ආ ලේලිය පෙරටු කොට
මුළු ලොව එකලු වූවා සේ දැනුණි මට
උණුසුම පිරුණු සෙනෙහස දී හදවතට
ඉවසුම් නැතිව මගෙ තොරතුරු අසනවිට
සුවහස් සිතුම් පැටලෙන විට එකිනෙකට
සෙනෙහස දියව කඳුළැල්ලක් විය නෙතට
ලස්සන වටපිටාවක තැනු කැදැල්ලේ
දොරටුව විවර වන්නට පෙර ඇසිල්ලේ
මා පිළිගන්ට සැරසුණු මල් තොටිල්ලේ
තුරු හිස් අතර මුමුණන ගී සඳැල්ලේ
ආයෙත් එන්න ආසයි ඔබ දකින්නට
සෙනෙහස් සිසිල මැද සතුටින් ගෙවන්නට
වියපත් බව පෙරටු වී ඇත එකතුවට
කවදා කොතැනකදි හෝ යළි හමුවන්ට
ඔබ සිත පිරුණු සුදු මුදු ගුණ හැඳින්නෙමී
නුබ ගැබ දිලෙන සඳවත සිරි දකින්නෙමී
නැවතත් සසර හමුවේදැයි සිතන්නෙමී
මගෙ සිත පුරා ඔබහට සෙත් පතන්නෙමී
කුසුමා වර්ණසූරිය
එදවස
වෙල් ඉපනැල්ල සෙල්ලම් පිටි කරපු යුගේ
කොලු කෙල්ලන් සමඟ චක්ගුඩු පැනපු රඟේ
බඩවැටි ඕවිටිද පසුකර දුවපු දඟේ
මතකය ඇදීයයි - පෙර දවසකට මගේ
පාසල ඇරී නිවසට එන ඇසිල්ලේ
කෑවත් නොකෑවත් හිත ගියෙ නිදැල්ලේ
අත්තික්කා සෙවණ යට රැඳි තොටිල්ලේ
සිසිලස ලැබූවෙමි - කඳුරෙහි පිහිල්ලේ
රෑබෝවී අවට කළුවර ගලන වෙලේ
කුප්පියෙ ලාම්පුවෙ එළියට අඳුර ගිලේ
ගත සිත සුවපත්ව සෙනෙහස රැඳුණු පැලේ
අමතක නොවෙයි - මට ඒ පෙර දවස මලේ
ගෙරිකටු පොහොර බිජු වී සමඟින් කුඹුරේ
යල මහ දෙකන්නය අස්වනු පිරි ඉතිරේ
බත ඉඳෙනා විටදි සුවඳක් ගම පැතිරේ
ලෙඩ දුක් නසන දිව ඔසුවකි - හිත මිතුරේ
.
වැට ඉනි මායිමෙන් කොටුවුන නිවසෙ අගේ
මහ මැඳුරක නොමැත එහි ඇති සුවය හැඟේ
ගම්මානයම පිබිදෙන එක හඬක් දිගේ
සරලය සුන්දරය - පෙර කළ දවස මගේ
එස්. සමරනායක
අසුන්දර වූ සැන්දෑව
මුතුපින්න
මල් වැස්ස
විහඟ නද
සොඳුරු වූ උදෑසන
මලක් මෙන් පිබිද
රැකියාවට යන
නේක වූ සිතුවිලි
සමඟ ගතවන දිවා කළ
.
වහල් වී පුරුද්දට
මධු විතට ලොල්ව
පැද්දෙමින් කැරකෙමින්
අවුල් වූ මනසින්
ඔබ ගෙදර එන
අසුන්දර වූ සැන්දෑව
.
ගාමිණී චන්ද්‍රසේන
තනි අහස
ගුගුර ගුගුරා අසෙනි වැස්සක
පෙර නිමිති අහසෙහි තියා
අකීකරු රළු සුළං කෝඩය
තදින් ඒ මේ අත ගියා .
තනි ව වැලපෙන අහස ඉකිබිඳ
තම වරද කොතැන ද කියා
හිතාගන්නට බැරි ව එක වර
හඬයි පොළොවට ගතු කියා
අහස තනිවන නපුරු මොහොතේ
සඳ සමඟ තරු ඉතිරි වී
රැයේ අඳුරෙ ම සැඟ ව සිටියා
වලාකුළකට මුවහ වී....
අකුණු සැර වැහි විදුලි රේකා
ඇඳෙන විට සිත බිය නොවී
පුංචි තරුවක් හෙමින් ඇවිදින්
එළිය දුන්නා නතර වී
හිරු නැඟෙන හිමිදිරිය එන විට
කුරුලු ගී නද පැතිරුණා
රැයේ නපුරට හුරු වු අහසේ
නැවුම් රැස් කෙඳි ඇතිරුණා
පුංචි තරුවට තවත් අහසට
තනි රකින්නට බැරි වුණා
වියෝ කඳුළක සිසිල සීතල
පිනි පොදක් මත තැවරුණා
ශ්‍රියා හිඳුරංගල
මැදියම් රැය
රිදුම් විඳවන හදවත, මා අමතන්න.
කොතරම් පරිහාසාත්මක ගමනක්ද
නිමවාගන්නේ ඔබ ඔබටම,
ඔබේ කසල මල්ලත් ඇතිව
වැලපෙමින් අඳුරු ගරාජය තුළ.
කසළ ඉවත් කෙරුම නොවේ ඔබෙ කාරිය
බඳුන් සෝදනය හිස් කෙරුමයි ඔබ කළ යුත්ත.
ඔබ යළිත් සෝබන පානවා
හරියටම ළමා වියේදී කළා සේම.
කොහිද ඔබේ සාධාරණ ,පරිහාසාත්මක උපේක්ෂාව?
පුංචි සඳ එළියක් වදියි බිඳුණු කවුළුවේ
පුංචි ගිම්හාන සඳ එළියක්.
පොළවෙන් නැඟෙයි මුදු කෙඳුරුම්,එහි මිහිරත් සමඟ
මෙයද ඔබ සන්නිවේදනය කරන අයුර
ඔබේ සැමියා සමඟ ?
පිළිතුරු නොදෙමින්, ඔහු අමතන විට.
මෙයද හදවත හැසිරෙන අයුර
එය ශෝක වන විට ?
එයට වුවමනා කසළ සමඟ තනි වෙන්නටද?
මා ඔබ වූවා නම්, හිතනවා මං ඉදිරියට.
පසළොස් වසරකට පසු
ඔහුගේ කටහඬ විඩාපත් වනු හැකිය
යම් රැයක පිළිතුරු නොදුන්නොත් ඔබ
අන් කෙනෙකු පිළිතුරු දෙනු ඇත.
Louise Gluck
1943 නිව්යෝක් නගරයේ උපත ලබන Louise Gluck කිවිඳිය, කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කරගෙන ඇත. කාව්‍ය කෘති 12ක් පළ කර ඇති ඇය Pulitzer, PEN, Bolingen සහ තවත් සම්මාන, පදක්කම් රැසක් අත් පත් කරගෙන සිට අවසන 2020 වසරේදී ලොව උතුම්ම ගෞරවය වන නොබෙල් ත්‍යාගය, සාහිත්‍යය වෙනුවෙන් දිනාගත්තාය.
වත්මනෙහි ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයෙහි Writer-in- Residence තත්ත්වයෙන් සේවය කරන මේ කිවිඳිය වාසය කරන්නේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, කේම්බ්‍රිජ් පෙදෙසෙහිය.
Louise Gluck ගේ Midnight නම් කවියේ සිංහල පරිවර්තනයකි.
දේ . වි. ගාල්ලගේ
දීග යන දුවේ
මල් ඉහිරුණු පොඩි ගවුමක්
ඇඳගෙන හසරැලි නංවා නිතර මුවේ
දුව පැන නටමින් සෙල්ලම් කළ ඔබෙ
රන් සමනල රැලි මල් ගොමුවේ
අද සිට කිංකිණි රාව නොනැංවෙයි
දොම්නස උරුමයි පාළු ලොවේ
සිරිකත නිවසට කැන්දන
කුසුමක් වූවා ඔබ මගෙ පුංචි දුවේ
දිව රැය බබළන පහනක් වූවා
කුරුලු කැදැල්ලක එළිය දිදී
අහිමි කළා මගෙ සුරතල් දියණිය
නව යුගයක හෙට අඳුර බිඳී
ලොව්තුරු දහමින් ලොව සනසන්නට
පිපි කුසුමක් සහ රොනට වදී
කිසි කලෙකත් නැත වරදින්නේ දුව
හැම දෙවියොත් ඔබෙ නමට වදී
කුරුලු කෙවිලියන් ගයන ගීතයෙන්
ඔබෙ දිවි මඟ සත්සර වේ නම්
කුමටද වීනා තව හඬවන්නේ
මගෙ දිවියට රං රාව නැගේ නම්
නැතුවට පාවඩ රනින් එළන ලද
දහසක් කුසුමන් තව පිබිදේ නම්
පුංචි දුවේ ඔබෙ මංගල ගමනට
තනිවම මෙහි සිට පවන් සලන් නම්
ජයරත්න සිරිසේන