බෞද්ධ දර්ශනය ලොවට ගෙන ගිය දාර්ශනිකයා මහාචාර්ය කේ. එන්. ජයතිලක | සිළුමිණ

බෞද්ධ දර්ශනය ලොවට ගෙන ගිය දාර්ශනිකයා මහාචාර්ය කේ. එන්. ජයතිලක

වුරුදු හතළිස් නවයක් යනු ජීවිතයේ දිගු කලක් නොවේ. බටහිර මතවාදවලට අනුව නම් ජීවිතය පටන් ගන්නේ හතළිහෙනි. සැබෑ ජීවිතයේ පටන් ගැන්ම සිදුවද්දී ම නැතිනම් පරිණත දිවිය පටන් ගනිද්දී ම කෙනකුට තම ජීවිතයෙන් සමුගැනීමට සිදු වීම එක්තරා ඛේදවාචකයකි. එය එක්තරා අන්දමකට සොරා ගැනීමකි. එසේ වූයේ ලොව වෙනුවෙන් අප්‍රමාණ යුතුකම් ඉටු කළ අයෙක් නම් තත්ත්වය තවත් ඛේදජනක ය. ජීවිතයේ හරි අඩක් සපුරද්දී ම දශක හතරකට සියවස් ගණනක වැඩ කළ මහා ප්‍රඥාවන්තයකුගේ නික්ම යෑම පොදුවේ ඒ පවුලට වූ පාඩුවක් පමණක් නොවේ ය. එය මුළු මහත් සමාජයට ම වූ විසල් නොලැබී යෑමකි. එවන් අකල් නික්ම යෑම් ගැන කතා කරද්දී අමතක කළ නොහැකි චරිත දෙකක් අප හමුවේ වෙයි. එක් අයෙක් කුමාරතුංග මුනිදාසයන් ය; අනෙක් පුද්ගලයා මහාචාර්ය කේ. එන්. ජයතිලක ය. මෙකී කුෂාග්‍ර බුද්ධිමතුන්ගේ හදිසි අභාවය විසින් ඇති කරන ලද හිඩැස වහන්නට ආදේශක බිහි නොවේ. ඒ අතරෙන් ස්වාධීන බුද්ධිමතකු සේ ප්‍රකට අදටත් මුවඟ කියැවෙන නාමයකට හිමිකම් කියූ කුමාරතුංග මුනිදාසයන් ගැන පෙර ලිපියකින් කතා කළෙමු. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය බැබැළවූ බෞද්ධ දර්ශනය කියැවෙන වාරයක් පාසා සිහිපත් වන නාමයකට හිමි කම් කියූ මහාචාර්ය කේ. එන්. ජයතිකලක ශාස්ත්‍රීය සේවාව පිළිබඳ ඇගැයුම් ස්මරණයක යෙදීමකි. 

මහාචාර්ය කේ. එන්. ජයතිලක ශාස්ත්‍රීය සේවාව බොහෝවිට කතා කෙරෙන්නේ බුදු සමය හා බෞද්ධ දර්ශනය මූලික කරගනිමිනි. එහෙත් සියුම් ව විග්‍රහ කරන්නේ නම් එය පෙරදිග දර්ශනය කෙරෙහි ම විචාරාක්ෂිය යොමු කරන ලද්දක් බව පෙනේ. විවිධ දාර්ශනික මතවාද කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූ බවට වන උදාහරණ බොහොමයකි. ඒ අතර ඔහු විසින් රචිත ලිපි ලේඛන හා ප්‍රසිද්ධ සභාවල කරන ලද දේශන ද වේ. එහෙත් සිය ප්‍රබල හා මූලික දෘෂ්ටිවාදය හේ යොමු කරන ලද්දේ බෞද්ධ දර්ශනය කෙරෙහි ය. මහාචාර්ය ජයතිලක සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ස්වර්ණ ජයන්ති උත්සවය අවස්ථාවේ ස්වකීය දේශනයේ දී මෙසේ පවසා තිබේ.

"බුදු සමය වනාහි සර්වාංග සම්පූර්ණ දර්ශනයකි. ඥාන විභාගයක්‌ ද, මිනිසා හා ලෝකය පිළිබඳ විස්‌තර ඇති ලෝක විභාගයක්‌ ද මිනිසාගේ අරමුණු මෙන්ම කළ යුතු දේ ඇතුළත් ආචාර ධර්මයක්‌ ද, සමාජයේ පරිණාමය, දේශපාලන රටාව ඇතුළත් සමාජ හා දේශපාලන දර්ශනයක්‌ ද, නීති දර්ශනයක්‌ද ඇතුළත් වන්නකි".

සාමාජීය ප්‍රගමනය බලාපොරොත්තු වෙන්නේ නම් සමාජය එක ම පවුලක් සේ සැලකිය යුතු බව ඔහු ඉදිරිපත් කරන්නේ හැත්තෑව දශකයේ ය. ශ්‍රී ලංකාවේ විවිධ වාර්ගික ගැටලුවට ඒකායන මාර්ගය "එකම පවුලක්‌" යන අදහස ගැඹුරින් ජනගත කිරීම බවත් ඒ සඳහා දේශීය විද්වතුන්ට වැදගත් හා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවත් හේ නිරන්තර පැවසුවකි. දශක තුනක යුද්ධයක් ඇති වීමට පෙර කරන ලද මෙකී ප්‍රකාශ සලකා බලන කල ඊට පසුකාලීන බුද්ධිමතුන්ගෙන් මේවා මඟ හැරුණි ද යන සංශයවාදී හැඟීම අපට දැනෙනු වැළැක්විය නොහැකි ය. සමානාත්මතා ධර්මය ගැන ඔහු පැවැත්මේ තිබූ ආදර්ශය ගෞරව කටයුතු ය.

ඒ සඳහා ඔහු මූලික වූ කටයුතු කිහිපයෙකි. සිංහල හා දෙමළ භාෂා ද මේ රටේ අධ්‍යාපන මාධ්‍ය කිරීම සඳහා ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර හා එල්. එච්. මෙත්තානන්ද වැනි විද්වතුන් සමඟ සාකච්ඡා කළ හේ රටේ දැවෙන ප්‍රශ්න ගැන සිය විචාරාක්ෂිය යොමු කළේ ය. රජයේ ආධාර ලබාගෙන පවත්වා ගෙන ගිය පාසල් රජයට පවරා ගත යුතු යැයි ගෙන ගිය මහජන ව්‍යාපාරයේ ඔහු නියමුවෙක් විණි. සරසවියේ ස්වාධීනත්වය වෙනුවෙන් හේ පෙනී සිටියේ ය. ඇතැම් මුද්‍රිත මාධ්‍ය ගෙන ගිය ජාති විරෝධී හා බෞද්ධ විරෝධී ක්‍රියාවලට එරෙහි ව ඔහු හඬ නැඟුවේ ය. පේරාදෙණි විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ කටයුතු සඳහා ඔහු ලබා දී ඇති දායකත්වය ද සදානුස්මරණීය වේ. 

බුදුදහම හා දර්ශනය යන විෂයයන් පිළිබඳ විද්වත් පර්යේෂකයකු පමණක් නොව දක්ෂ සිවිල් සේවා නිලධාරියකු ද වන මහාචාර්ය ජයතිලක දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද විය. ඔහු ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ව කටයුතු කර ඇත.මහාචාර්ය ජයතිලක 1970 දී සිය අදහස්වලින් ලද උත්කර්ෂයෙන් යුතු ව දේශපාලන වේදිකාවට පිළිපන්නේ ය. සරසවියේ ස්වාධීනත්වයට ස්ථාවරත්වයක් ඇති කර ගැනීම එහි අරමුණ විය. මහජනයා සමඟ වීදි බැස පෙළපාළි යෑමට ඔහු පසුබට වූයේ නැත.

මහාචාර්ය ජයතිලක විශේෂ උනන්දුවක් දැක්වූ තවත් විෂය ක්‍ෂේත්‍රයක් වූයේ අධිමානසික විද්‍යා ක්‍ෂේත්‍රය යි. ඒ පිළිබඳ ලංකාවේදී මෙන් ම ඇමෙරිකාවේ දී ද විවිධ හැදෑරීම්වලට හේ යොමු වූයේ ය. ආචාර්ය එච්.එස්. එස්. නිශ්ශංක සමඟ මේ පිළිබඳ ව මහාචාර්ය ජයතිලක විවිධ පර්යේෂණවල නියැළී ඇත. ඊට අමතරව පුනර්භවය වැනි දේශීය සංස්කෘතියේ ඇති බෞද්ධ සංකල්ප මිථ්‍යා ලෙසින් අර්ථ දැක්වූ හේතුවාදියකු වන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් සමඟ ද මහාචාර්ය ජයතිලක වාද විවාද කර ඇත. ඒ සඳහා හේතු වූයේ ඔහු ඇමෙරිකාවේ වර්ජිනියා සරසවියේ මනෝ වෛද්‍ය මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සමඟ පුනර්භවය පිළිබඳ පරියේෂණ කිරීම නිසා ලබාගත් දැනුම් සම්භාරයයි. බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයාගේ දැනුම එ හැදෑරීම් සඳහා බෙහෙවින් ඉවහල් විණි.

හැදෑරීමෙන් නොනැවතුණු මහාචාර්ය ජයතිලක පේරාදෙණි සරසවි පරිශ්‍රයේදී පුනර්භවය පිළිබඳ මාස කිහිපයක් පුරා සතිපතා මධ්‍යම රාත්‍රිය ද ඉක්මවන තෙක් වාද විවාද පැවැත්වූයේ ය. නැවත ඉපදීමක් නැත යන හේතුවාදී අදහස දැරී මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ද මහාචාර්ය ජයතිලක අඟහරුවාදා රාත්‍රී සාකච්ඡාව නමින් පේරාදෙණි සරසවියේ රාමනාදන් ශාලාවේ දී වාදයක් පැවැත්වීය. එදා විශ්වවිද්‍යාල භූමියේදී ශාස්ත්‍රීය මණ්ඩප පැවැත්වීමට දහවල් රාත්‍රී කියා වෙනසක් නොවී ය. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එක පැත්තකින් වාද විවාද පැවැත්වෙන අතරේ තවත් පැත්තක නාට්‍ය පෙන්වනු ලැබිණි. ශාස්ත්‍රාභිලාභීන්ට ද කලාකාමී හිතැත්තන්ට ද එකසේ රම්‍ය භූමියක් වූ සරසවි පරිසරය විද්වතුන් සේම කලාකරුවන් ද බිහි කිරීමේ පුණ්‍ය භූමියක් වූයේ මෙවන් ක්‍රියාදාම නිසා ය. අතිදක්ෂ තාර්කිකයෙක් හා කථිකයෙක් වූ ඔහු සිය මත හා පර්යේෂණ සමාජගත කිරීමේ ලා අප්‍රතිහත විය. විශ්විද්‍යාල භූමියෙන් නොනැවතුණු ඔහු ගුවන්විදුලියෙන් සහ ඩේලි නිවුස් පුවත්පත ඔස්සේ ද 60 දශකයේදී වාද විවාද කළේ ය.

1975 මහාචාර්ය ජයතිලකට විශේෂ ශාස්ත්‍රීය ගෞරවයක් ලැබෙන්නේ ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයෙනි. 1975 දී ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ ආගම් අධ්‍යයන අංශයේ මහාචාර්ය නිහියන් ස්‌මාට්‌ විසින් මහාචාර්ය ජයතිලකයන්ගේ ලිපි එකතුවක්‌ කෘතියක්‌ ලෙසට ඉදිරිපත් කිරීම එකී ගෞරවාන්විත ශාස්ත්‍රීය ප්‍රවේශයයි. විට්‌ගන්ස්‌ටයින් නම් වාග් ඉතිහාස මහාචාර්යවරයාගේ දේශනවලට සහභාගිවීමට වරම ලත් ප්‍රථම ලාංකික ශිෂ්‍යයා ද මහාචාර්ය ජයතිලක ය. එවැනි දුර්ලභ ආභාස වියත් දැනුම පෘථූල කරයි. 

තරුණ පරපුර වෙනුවෙන් ස්වකීය දැනුම සංග්‍රහ කිරීමේ ලා හේ සක්‍රිය ව මැදහත් වූයේ ය. මහාචාර්ය ගුණපාල මලලසේකර සමඟ එක් ව 1958 දී ඉදිරිපත් කරන ලද බුද්ධාගම හා ජාති ප්‍රශ්නය කෘතිය විෂයානුකූල සමාජ මැදිහත් වීම් සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුම් සංගෘහිත වූවකි. Early Buddhist Theory of Knowledge (මුල් බුදු සමයේ ඥාන විභාගය) කෘතිය ඔහුගේ පුළුල් චින්තන ස්වභාවයට පළට කරයි. මෙකී පර්යේෂණ නිබන්ධයට ලන්ඩන් විශ්වවිද්‍යාලය මඟින් දර්ශනශූරී උපාධිය ඔහුට පිරිනැමිණි. මුල් බුදුසමයේ ඥානවිභාගයීය ස්ථාවරය හෙළි කරමින් කළ මේ ශාස්ත්‍රීය කෘතිය නිසා ලෝක විද්වතුන් ගේ අවධානය මුල් බුදුසමය වෙත යොමු විය.

1967 දී බෞද්ධ නීති දර්ශනය පිළිබඳ විද්වතකු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම සම්පූර්ණ අධ්‍යයනය මහාචාර්ය ජයතිලක විසින් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර නීතිය පිළිබඳ හේග් ඇකඩමියේදී පැවැත්වූ දේශන 5 ඇසුරින් සකස් වූවකි. මෙම කෘතිය බෞද්ධ නීතිය ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණික මූල්‍ය ග්‍රන්ථයක්‌ ලෙස විද්වතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූවකි. ඊට අමතර ව ඉන්දියාවේ දී භාරතීය දර්ශනයේ ගැනෙන විශ්ලේෂී සහ යථානුභූතවාදී ප්‍රවණතා යන මැයෙන් පවත්වන ලද දේශනය සහ විවිධ භාරතීය දාර්ශනික මතවාද පිළිබඳ ව ඔහු විසින් රචිත ලිපි ලේඛන අනල්ප ය.

මීට අමතර ව බුදුසමය හා සාමය, ක්‍රිස්තියානියට බෞද්ධ එළඹුම, බෞද්ධ සාපේක්ෂතාව සහ කේවල ලෝක සංකල්පය, බෞද්ධ ඉගැන්වීම්වල අන්තර්ගත නීති මූලධර්ම, චතුස්කෝටික තර්ක ක්‍රමය, වෙනත් ආගම් පිළිබඳ බෞද්ධ ආකල්පය, බුදුසමයේ සමාජ හා දේශපාලන දර්ශනය හා මහායාන බුදුසමයේ නූතන භූමිකාව වැනි ශාස්ත්‍රීය ලේඛන මහාචාර්ය ජයතිලකයේ ශාස්ත්‍ර ජීවිතය ආලෝකවත් කළ ශාස්ත්‍රීය ප්‍රවේශ ය.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය දැනුම සමාජගත කරන්නට නොපැකිළ ව ක්‍රියා කළ මහාචාර්ය කේ. එන්. ජයතිලක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දාර්ශනිකයෙකි. සිතන්න එපා බලන්න. බොහෝ දෙනාට දර්ශනය යනු කුමක්දැයි තේරෙන්නේ එවිට ය. ඒ මහාචාර්ය ජයතිලකගේ දර්ශනය ය. අපට කාලයක් තිස්සේ නොතේරුණු නමුත් තේරුම් ගත යුතු ඇත්ත එයයි. හේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දාර්ශනිකයකු වන්නේ ඒ නිසා ය.

Comments