අරගලකරුවන්ගෙන් පහර කා මියගිය මන්ත්‍රී සහ සැරයන් | සිළුමිණ

අරගලකරුවන්ගෙන් පහර කා මියගිය මන්ත්‍රී සහ සැරයන්

ඝාතනය වූ සැරයන් ජයන්ත ගුණවර්ධන සහ ඝාතනය වූ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල

මැයි 09 වැනිදා කලහකාරීන් විසින් රටපුරා ඇවිළු ප්‍රචණ්ඩත්වයේ ගිනිදැල් මේ වන විට නිවී ගොසිනි. එහෙත් නිරපරාදේ මිනිස් ජීවිත එකොළහක් බිලිගෙන බිලියන ගණනක දේපළ විනාශයෙන් නැඟෙන දුක් සෝ සුසුම් තවත් කාලයකට නිවිය නොහැකි තරම් සේ බරපතළය.

ඒ අතර ජීවිත හානි වූවන්ගේ හිතෛෂින් විඳින්නේ මෙලොව සසර වසනා තුරු දුක් අඳෝනාවකි. නිට්ටඹුවේදී ඝාතනය වූ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ එකම පුතු රනිඳු අතුකෝරල ඉකුත් 23 වැනිදා සමාජ මාධ්‍යයේද ඉතාම සංවේදී සටහනක් තබා තිබුණේය. එය නෙත ගැටෙන හිත්පිත් ඇත්තන්ගේ නෙතඟට කඳුළක් එක්කරන්නේ නිරායාසයෙනි.

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන අමරකීර්ති මන්ත්‍රීවරයාගේ පුත් රනිඳු සිළුමිණට පවසන්නට වූයේ, 

“මගේ තාත්තා අවංකව ජීවත්වූ පුද්ගලයෙක්. හොරකන් කරපු, කුඩු බිස්නස් කරපු, නිදන් හාරපු මන්ත්‍රී කෙනෙක් නෙමේ. තාත්තා දේශපාලනයට ආවෙ 2008 පළාත් සභා මැතිවරණයෙන්. අම්මයි තාත්තායි මමයි පදිංචි වෙලා ඉන්න නිවෙස ඉදිකළේ දෙදාහ මුල් කාලේ. නිවෙස තාත්තගෙ මහන්සියෙන් හැදුවේ. තාත්තා ගමන්බිමන් ගිය වාහනෙත් එහෙමයි. තාත්ත දිස්ත්‍රික්කෙ හැම මළගෙදරකටම ගියපු පුළුවන් හැම වෙලාවෙම කාටම හරි උදව්වක්ම කරන්න උත්සාහ කරපු රත්තරන් මනුස්සයෙක්.

තාත්තගෙ ආරක්ෂක නිලධාරි (MSD) ගුණවර්ධන මහත්තයා තාත්තට පුදුම ආදරයක් තිබ්බෙ. තාත්තට ගහද්දි පැන පැන තාත්තව ආරක්ෂා කරන්න පුදුම උත්සාහයක් ඒ මනුස්සය දරලා තියෙන්නෙ.. එක්වරම ඔහු වෙඩි තබා නැති බව සිදුකරන පරීක්ෂණවලින් හෙළි වෙනවා. ඔහු තාත්ත වගේම පුදුමාකාර හොඳ ගතිගුණ තිබුණ කෙනෙක්. එයාටත් මෙවර උසස්පෙළට පෙනී සිටි දුවක් සහ කුඩා පුතෙක් ඉන්නවා. එයාල ගැන හිතලා ඔහුට තාත්තව අතරමං කරලා හැංගෙන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ ඒ රත්තරන් මනුස්සයා.. අන්තිමට දෙන්නටම එකටම ඉරණම් ගමන යන්න වුණා.“

මන්ත්‍රීවරයාගෙන් අකල් වියෝවෙන් පසු ඇතිවී තිබෙන යම් යම් අසත්‍ය පුවත් පිළිබඳවත් රනිඳු අතුකෝරල සිළුමිණට කීවේ,

“අපි ඉන්න ගෙදරට ගිනි තිබ්බ කියා අසත්‍ය පුවතක් පැතිරුණා. ඒ වගේම මගේ අම්මා සියදිවි හානිකරගත්ත කියලාත් කතා හදලා තිබුණා. මේ සියලුම කතා සම්පූර්ණයෙන්ම බොරු කතා. කොහොමහරි අද වන විට අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා ඉන්නෙ. මං කියන්නෙ මේ ම්ලේච්ඡ ඝාතන සිදුකළ අපරාධකාරයන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. එහෙම දඬුවම් ලබා දුන්නොත් තමයි අපට යම් කිසි හෝ සාධාරණයක් ඉටු වෙන්නේ. මේ මිනිස්සු මරලා දැම්මේ අහිංසකම අහිංසක මිනිස්සු දෙන්නෙක්. මං වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා... සැරයන් ගුණවර්ධනගේ දරුවන් ගැනත් සොයා බලන්න කියා... මේ අපරාධය නිසා අපි වගේම මගේ තාත්තා ළඟ රැකියාව කළ පස්හය දෙනෙකුගේම ජීවිතවලට අවාසනාවන්ත තත්ත්වයක් මේ වන විට උදාවෙලා තියෙන්නේ.“

එදා පාකිස්තානයේදී අපේ රටේ ප්‍රියන්ත කුමාර කුරිරු ලෙස ඝාතනය කළා සේම මෙදා අපේ රටේ ප්‍රචණ්ඩකාරින් ඉතාම ම්ලේච්ඡ ලෙස 58 හැවිරිදි අමරකීර්ති මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි 51 හැවිරිදි පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන ඝාතනය කළ ආකාරය මේ වන විට හෙළි වෙමින් තිබේ. ඇඳිවතද උනා දමා ඝාතනය කළ දෙදෙනාගේ සිරුරු පැය 10ක පමණ කාලයක් ඝාතනය වූ ස්ථානයේම තබා ගනිමින් සිටි ඝාතකයන් දෙදෙනාගේ ඝාතනය සියදිවි නසා ගැනීමක් ලෙස හුවා දක්වමින් අසත්‍ය පැතිරෙව්වත් මරණ පරීක්ෂණ වාර්තාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ ප්‍රධානත්වයෙන් සිදුකරන විමර්ශන අනුව ඝාතන ද්විත්වයේ සුලමුල මේ වන විට හෙළි වෙමින් පවතී. ඒ අනුව එම අපරාධ ද්විතයටම සම්බන්ධ පුද්ගලයන් 16 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන අවසානය.

2020 ප්‍රථමවරට පාර්ලි‍ෙම්න්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තුවේ සිටි අහිංසකම මන්ත්‍රීවරයා ලෙස සැමගේ ආදරයට කරුණාවට ලක්වූ අමරකීර්ති මන්ත්‍රීවරයා ගත කළ දිවියද ඉතාම ‘අහිංසක‘ සහ අල්පේච්ඡ දිවියක් බව පිළිබිඹු වන්නේ ඔහුගේ නිවෙසේ ඇතැම් දසුන් දකින විටදියි.

අලුත්ගම උපන් අමරකීර්ති සතොස ආයතනයේ සාමාන්‍ය රැකියාවක් ඔස්සේ 90 දශකයේ පොලොන්නරුවට සංක්‍රමණය විණි. අනතුරුව උසස් වීම් ඔස්සේ රැකියාවෙන් ඉහළට යද්දී අමරකීර්ති විවාහ වූයේ මාතර, වැලිගමින් පොලොන්නරුවට ගොස් සිටි මාලනි අතුකෝරල සමඟිනි. ඔවුන් දෙපළගේ එකම පුතු රනිඳු අතුකෝරලයි. 2006/2007 සමයේ හිටිහැටියේම සතොස ආයතනය වසා දැමීමත් සමඟ අමරකීර්තිගේ රැකියාවද අහිමි විය. හිටපු ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි අමරකීර්ති අතුකෝරලගේ ඥාතියෙකි. රැකියාව අහිමි වූ අමරකීර්තිට, චන්ද්‍රසිරි සූරියආරච්චි ඇමැතිවරයාගෙන් ලේකම් තනතුරක් ලැබිණි. ඒ සමඟම 2008 වසරේ පළාත් සභා මැතිවරණයට තරග කළ අමරකීර්ති ඡන්ද 13000ක් ලබා පළාත් සභාවට පිවිසෙමින් දේශපාලනයට පිවිසියේය. අනතුරුව ඔහු 2012 වසරේද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූයේ මනාප ඡන්ද 26000කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිමිනි.

අමරකීර්ති මන්ත්‍රීවරයා සමඟ ඝාතනය වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන වසර ගණනාවක්ම ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළේ හිටපු ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි හටයි. එසමයේ චන්ද්‍රසිරි සූරියආරච්චිගේ ලේකම්වරයකු වූ අමරකීර්ති සහ සැරයන් ගුණවර්ධන අතර සමීප සබඳතාවක් ගොඩනැඟී තිබිණි. එම කුලුපඟතාව ඔස්සේ 2020 මහ මැතිවරණයට පොලොන්නරුවෙන් තරග වැදි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමරකීර්ති මන්ත්‍රීවරයා සිය ආරක්ෂක නිලධාරියා ලෙස තෝරාගත්තේ ජයන්ත ගුණවර්ධනයි. ඒ වන විට ජයන්ත රාජකාරි කරමින් සිටියේ බස්නාහිර පළාත් සභා මහඇමැති ඉසුර දේවප්‍රියගේ ආරක්ෂක නිලධාරියකු ලෙසිනි.

සැරයන් ජයන්ත පොලොන්නරුවේ, මැදිරිගිරියේ අයෙකි. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් අට දෙනෙකි. ඉන් වැඩිමහලු පස්දෙනාම සහෝදරයන්ය. එම සහෝදරයන් පස්දෙනාගෙන් සිවුදෙනෙක්ම පොලිස් සේවයේ රාජකාරි කිරීම විශේෂත්වයකි. ඝාතනය වූ සැරයන් ගුණවර්ධන පවුලේ පස්වැනියායි.

සැරයන් ජයන්ත විවාහ වී සිටියේ මහරගම ඇරැව්වල ප්‍රදේශයෙනි. මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දියණියක සහ 16 හැවිරිදි පුතෙකුගේ පියෙක් වන සැරයන් ගුණවර්ධන ජීවත් වූයේ ඇරැව්වල ප්‍රදේශයේයි. සිය බිරිය සහ දරුවන් ගැනවත් නොසිතා එදා මන්ත්‍රීවරයා ප්‍රචණ්ඩකාරින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔහු අපමණ වෙහෙසක් ගන්නා ආකාරය අවට සීසීටීවී කැමරාවන්හිදි සටහන් වී තිබිණි. එදා මන්ත්‍රීවරයා ප්‍රචණ්ඩකාරින්ගෙන් බේරා ගැනීම උදෙසා සැරයන් ගුණවර්ධණ ඉටුකළ රාජකාරිය පිළිබඳ අයෙක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණේ, මේ දශකයේ ගෞරවනීය රාජ්‍ය සේවකයා හිටියෙ පොලිසියේ යනුවෙන් සඳහන් කරමිනි.

“මම මුලින්ම හිතුවේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සමඟ මැරුණේ මන්ත්‍රීතුමා වෙනුවෙන් පණ දෙනවා කියන පන්නයේ ප්‍රයිවෙට් බොඩිගාඩ් කෙනෙක් කියලා.

එහෙත් ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සාජන්වරයෙකි. ලංකා රාජ්‍යය වෙනුවෙන් ප්‍රභූ, ආරක්ෂක රාජකාරියේ යොදවා සිටින පොලිස් නිලධාරියා රාජකාරිය ඉටුකළ යුත්තේ කෙසේද යන්න නිහඬවම රටට පෙන්වමින් පිරිමියෙක් මරණය වැලඳ ගත්තා කීවොත් නිවරදිය.“

එම සටහනේ හෙතෙම වැඩිදුරටත් එලෙස සටහන් කර තිබුණේ රටේ සාමාන්‍ය පුද්ගලයන්ටද ඔහු සිය මන්ත්‍රීවරයා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කළ මහත් කැපකිරීම අගය කරමිනි. ඒ අනුව අප ද සඳහන් කරනුයේ එදා සියලු දෙනා වසන් වෙමින් රාජකාරි පැහැර හරිද්දී ‘අකුරට‘ම රාජකාරි ඉටුකළ එකම පොලිස් නිලධාරියා සැරයන් ගුණවර්ධන පමණක් බව විවාදයකින් තොරව සඳහන් කළ හැකි බවයි.

1993 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති සැරයන් ජයන්ත ගුණවර්ධන මහරගම පොලිසියේ වසර දෙකක පමණ කලක් සේවයෙන් පසු ඇමැති ආරක්ෂක සේවයට එක්වෙමින් මුලින්ම රාජකාරි කර ඇත්තේ හිටපු ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ආරක්ෂාව සඳහායි. අනතුරුව ඔහු වසර 12ක් පමණ රාජකාරි කෙරුණේ හිටපු ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චිගේ ආරක්ෂාව තකායි. 2020 අමරකීර්ති මන්ත්‍රීවරයාගේ ආරක්ෂක රාජකාරි සඳහා පැමිණ තිබුණේ මහ ඇමැති ඉසුරගේ ආරක්ෂක රාජකාරිවලින් අනතුරුවයි. ඒ අතර කලක් ඔහු හෝමාගම පොලිසියේද රාජකාරි කර කළේය.

සැරයන් ගුණවර්ධනගේ ඝාතනයෙන් මේ වන විට ඔහුගේ බිරිය අනුෂා ඉන්දිකා දරුවන් දෙදෙනා සමඟ මෙලොව තනිවි අවසානය. සිය සැමියාගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ දරුවන් දෙදෙනා අධ්‍යාපනයෙන් ඉහළටම යනු දැකීම බව පවසන අනුෂා ඉන්දිකා සිළුමිණට කීවේ,

“මහත්තයා ගෙදරින් ගියේ 6 වැනිදා... එදා උදෙත් මට නවයට විතර කතා කළා. සවස දෙකට විතරත් කතා කරලා කිව්වා ‘අපි කෑමකට ඇවිල්ලා ඉන්නෙ‘ කියලා. එච්චරමයි කිව්වේ. ඒ වෙලාවේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. මහත්තයා සහ මන්ත්‍රීතුමා අතර අවුරුදු ගණනක මිත්‍රකමක් තිබුණේ. අන්තිමට දෙන්නම එකටම ගියා... අද වන විට මගේ දරුවන්ට රත්තරන් තාත්තා කෙනෙක් නැති වුණා. මට දෙවියෙක් වගේ මහත්තයෙක් නැතිවුණා... මගේ දියණිය මේ පාර ඒලෙවල් කළේ. මහත්තයා දුව ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ඒක නිසා මම කියන්නෙ මේ මරණවලට සාධාරණයක් ඉටු කරන්න... අපරාධකාරයන්ට දැඩි දඬුවම් ලබා දෙන්න... මින් ඉදිරියටවත් මෙවැනි ම්ලේච්ඡ අපරාධ සිදු නොවෙන්න වග බලා ගන්න කියන දෙයයි...“

එදා මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දෙමින් ප්‍රචණ්ඩත්වය වැපිරූවන් මෙන්ම රටම ගිනි තබමින් මිනිස් ජීවිතද හානි කළ අපරාධකාරයන් පසුපස මේ වන විට පොලිසිය ලුහුබඳිමින් සිටි. ඉකුත් බ්‍රහස්පතින්දා වන විට පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 854ක් ඔස්සේ අත්අඩංගුවට පත් පිරිස 1966 දෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වැඩිදුරටත් විමර්ශන සිදුකරමින් ප්‍රචණ්ඩත්වය වැපිරූ සැවොම නීතිය ඉදිරියට පමුණුවන බවට සඳහන් කරමිනි.

Comments