ටිප් ටොප් සටනට රනිල් | සිළුමිණ

ටිප් ටොප් සටනට රනිල්

සුගිය දිනවල රට පුරා සිදු වූ ගිනි තැබීම්, පහරදීම්, විරෝධතාවලින් රත් වූ දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමු වීමට කල්පනා කළේය. මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් පසුවූයේ තම ඇදිවත පමණක් ඉතුරු වූ තත්ත්වයකය. ඔවුන්ගේ ගෙවල් දොරවල් වාහන හා සමහරුන්ගේ ව්‍යාපාරාදිය අරගලයේ ත්‍රස්තවාදීන් විසින් දවා අළු දූලි බවට පත්කර තිබිණි. සමහර මන්ත්‍රීවරු මේවා සම්බන්ධයෙන්, එම දරුණු විපත් වැළැක්වූයේ නැතැයි කියමින් ජනාධිපතිවරයා සමඟ උරණව සිටියෝය. මන්ත්‍රීවරු 80ක් පමණ මෙතනට පැමිණ සිටි අතර ඔවුන් පුල පුලා බලා සිටියේ මේ ගැන කතා කරන්නට ජනාධිපති හමුවන තුරුය.

මන්ත්‍රීවරු පිරිසක් ජනපතිට දුක කියති

මෙම හමුව පසුගිය 14වැනි සෙනසුරාදා උදේ 10 30ට ජනාධිපති මන්දිරයේ පැවැත්විණි. ජනාධිපතිවරයා මෙම හමුවට පැමිණියේ තරමක් ප්‍රමාද වී බැවින් මන්ත්‍රීවරු තැන් තැන්වල තම තමන්ගේ ගැටලු ගැන කතා කරමින් සිටියහ. ඉකුත් නව වැනි සඳුදා සිදුවූ ඛේදවාචකයෙන් පසු ගේ දොර හා දේපොළ අහිමි වූ මන්ත්‍රීවරුන්ට මුල්වරට හමු වී කතාබහ කරන්නට ලැබුණේ මෙහිදීය.

ජනාධිපතිගේ පැමිණීමෙන් පසු අරගලයේ ඝාතකයින් විසින් මරා දමනු ලැබූ අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ වියෝව පිළිබඳ ශෝකය පළ කරමින් සභාවේ වැඩකටයුතු ආරම්භ විය. "මං හිතන්නේ අපි පළමුවෙන්ම කරන්න ඕන මේ වෙලාවේ නියෝජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීමයි..." ජනාධිපති එසේ කී පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පිරිසක් අජිත් රාජපක්ෂගේ නම යෝජනා කළහ. එහෙත් ඒ වෙලාවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා නැඟිට කතා කළේය.

"මා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවකට මේ වෙලාවේ උන් හිටිතැන් අහිමි වෙලා. සමහරුන්ට ඇඳිවත විතරයි. එහෙව් එකේ අපි මේ නියෝජ්‍ය කථානායකවරයෙක් ගැන කතා කරනවා..." "අපි ඒ ගැන කතා කරන්නයි හිටියේ නියෝජ්‍ය කථානායකගේ මේ ප්‍රශ්නෙ විසඳුණාට පස්සෙ.." ජනාධිපති කීවේය.

ප්‍රමිතගෙන් පසු එස්බී කතා කළේය. ඊට පසු දොළවත්ත මන්ත්‍රීවරයා කතා කළේය. ඔවුනුත් කීවේ ජනාධිපති ධූරය මේ වෙලාවේ ආරක්ෂා කරගත යුතු බවයි.

නිවාස ගිනි තිබ්බෙ කලින් කළ සැලසුමකට

"ජනාධිපතිතුමනි... මම දේශපාලනයෙන් හරි හම්බ කරන මිනිහෙක් නෙවෙයි.

මම මන්ත්‍රී වැටුපවත් ගන්නේ නෑ. මම ලක්ෂ ගණනක් දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා යම් ස්ථාවරයකට ආපු කෙනෙක්. එහෙව් මගෙත් ගේ දොර ගිනි තබා විනාශ කළා. ආණ්ඩු පක්ෂයේ ඉඳලත් අපට කිසිම ආරක්ෂක හමුදාවක රැකවරණයක් ලැබුණේ නෑ. පොලිසිය රාජකාරිය හරියට කළේ නැහැ. මේ ගැන හොයලා බලන්න..." බන්දුල ගුණවර්ධන කීවේය.

"මේ ඇඳිවත විතරයි මට තියෙන්නේ. මගේ සියලු දේපළ ගිනිබත් කළා. අපි කවදාවත් ප්‍රචණ්ඩ දේශපාලනය අගය කළ අය නොවෙයි. මෙහෙම විනාශයක් අපට වෙලත් අපි ඔබතුමාවත් අරින්නෙ නෑ. ඔබතුමාත් අපිත් එක්ක ඉන්නවා වගේම අපිට ආරක්ෂාවක් දෙන්න...."ඩී. බී. හේරත් කිව්වේය. "අද මටත් යන්න එන්න තැනක් නෑ..." ප්‍රසන්න රණවීරත් ලොකු අවනඩුවක් කීවේය. ඒ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී කපිල අතුකෝරාල ද තමන්ගේ ජීවිතයේ බිහිසුණු අත්දැකීම් විස්තර කළේය.

"අපේ තාත්තව එල්ටීටීඊ එකෙන් මගේ ඇස් ඉදිරිපිට මරා දැම්මා. මම දේශපාලනයට ආවේ ඒ වේදනාවත් එක්ක. මේ පාරත් අපි දැක්කේ ත්‍රස්තවාදයක්. ඇයි ආරක්ෂක අංශ මේවට විතරක් පියවරක් නොගන්නේ..."සියලු දෙනාගේම නොමනාපය ඉදිරිපත් වූයේ ආරක්ෂක අංශ රාජකාරිය පැහැරහැරීම පිළිබඳවය.

නියෝග ක්‍රියාත්මක නොකළේ කවුද?

"මේ ගිනි තැබීම් මංකොල්ලකෑම් ජාත්‍යන්තරයට යන්නේ වෛරක්කාර ඉරිසියාකාර දේශපාලන පක්ෂයක වැඩ විදියට නෙවෙයි. රටක සිද්ධ වුණු ඛේදවාචක විදියට. ඒ කළු පැල්ලම හිමි වන්නේ රටට මිස ඔය කියන අවස්ථාවාදී දේශපාලනඥයන්ට නෙවෙයි. රටට මේ කළු පැල්ලම හිමිවුණේ ආරක්ෂක අංශ තම රාජකාරිය හරිහැටි ඉටු නොකළ නිසා... පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තිරිසන් විදියට පාරේ මරලා දැම්මේත් ඒ අඩුපාඩු නිසා "ඩයනා ගමගේ ලොකු චෝදනාවක් කළේ පොලීසියටය. "හැබැයි මේ තත්ත්වය පාලනය කරන්න ජනාධිපතිතුමා හුඟක් මහන්සි වුණා. මම එදා මෙතන හිටපු නිසා මම ඒක දැක්කා."

ඩයනා ගමගේ එසේ කියනවිට නාලක ගොඩහේවා ද කතා කළේය.

"අපි දැක්කා ජනාධිපතිතුමා කොච්චර වෙහෙස වුණා ද කියලා. පිටපළාත්වල අපේ මැති ඇමතිවරුන්ගේ ගෙවල්වලට ප්‍රහාරය එල්ල වුණා වගේම අරලියගහ මන්දිරයට ප්‍රහාර එල්ල වුණා. ඒවා වලක්වන්න හමුදාපති තුමාට පොලිස්පතිතුමාට නියෝග දෙමින් ජනාධිපතිතුමා මහන්සි වෙන අයුරු අපි දැක්කා. ඒ තැන්වලින් ඒ නියෝග හරිහැටි ක්‍රියාත්මක වුණේ නෑ. සමහර තැන්වල පියවර ගන්න ප්‍රමාද වුණා. පාන්දර තුන වෙනකොටත් ජනාධිපතිතුමා කතා කරනවා. මේ කංචන විජේසේකර, රමේෂ් පතිරණ, ඩයනා ගමගේ, මම, මෙතන ඉඳගෙන මේ සියල්ල දැක්කා..."නාලක කීවේය.

මගේ ගෙට ගහන්න ප්ලෑන් කළේ අප්‍රේල් 3 වෙනිදා ඉදන්. මගේ ගෙට විතරක් නෙවෙයි පොළොන්නරුවේ රොෂාන්ගේ ගෙදරටත් ගහන්න සැලසුම් තිබුණා. අපි ඒවා පොලිසියට හෙළිදරව් කරපු වෙලාවේ නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ එකත් වත් වෙන්නේ නෑ. " කංචන කළේ දිගු පැහැදිලි කිරීමකි.

ඊට නොදෙවෙනි පැහැදිලි කිරීමක් රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කළේ මෙසේය...

"මගේ ගෙදරට ගහන්න පැය කිහිපයකට කලින් මෙහෙම සැලැස්මක් තියෙනවා ය කියලා මට ආරංචි වෙච්ච වෙලාවේ මම ඒ පළාතේ හමුදා ප්‍රධානින්ට කිව්වා. පොලිසියේ ප්‍රධානීන්ට කිව්වා. ඒ ගොල්ල ඇවිල්ල තුවක්කු අතේ තියාගෙන බලාගෙන ඉද්දි තමයි ඔය අරගල මැරයො ඇවිල්ලා අපේ ගෙවල් විනාශ කළේ. අපි මැර දේශපාලනය අනුමත කරපු අය නොවෙයි. මෙහෙම තැනක තවදුරටත් දේශපාලනයෙ ඉන්නවා ද නැද්ද කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා.

"මේවා නම වෙනිදා මැර ප්‍රහාරය හින්දා වෙච්ච දේවල් නෙමෙයි. අපේ ගෙවල්වලට ගහන සලසුම් කල් සිට හදපුවා. ආරක්ෂාවට හිටපු පොලිසියත් මැරයො ඇවිත් ගහනකොට ආයුධ අරගෙන විඩ්රෝ වුණා. මේ ප්‍රහාරවලට පොලිසිය වග කිව යුතුයි. මිරිහානේ ප්‍රහාරයෙන් පස්සෙ නීතිය ක්‍රියාත්මක වුණ හැටි දැකපු මැරයන්ගේ බය නැති වුණා." ශෙහාන් සේමසිංහ මෙන්ම ප්‍රේමනාත් සී දොලවත්ත ද දිගු පැහැදිලි කිරීමක් කරමින් එදින සිද්ධ වුණ දේ පැහැදිලි කරද්දී ජනාධිපතිවරයාද කතා කළේය.

පොලිස් ලොක්කන්ට චෝදනා

"අරලියගහ මන්දිරයෙන් ආපු පිරිස නවත්තන්න කියලා මම කල්තියාම දේශබන්දුට උපදෙස් දීලා තිබුණා. ඒ අය එයි කියලා මම හිතුවේ නෑ. රමේෂ් පතිරණ කියන කොටයි මම දන්නෙ. මම ඒ මොහොතෙම දේශබන්දුට කතා කරල මොකක්ද මේ වෙන්නේ කියලා තදින් ඇහුවා. සර් මට කඳුළු ගෑස් ගහන්න පොලිස්පතිගෙන් ඕඩර්ස් ඕන කියලා කිව්වා.

මම කෑගහලා කිව්වා... දේශබන්දු තමුසෙට මේ උපදෙස් දෙන්නෙ රජයේ ප්‍රධානියා කියලා. එයාට ඒ වැඩේ කරන්න දුන්නේ නෑ... මම කියන්න ඕන හැම මිනිහටම කිව්වා මේක වළක්වන්න." "ඔව්... සර් ගත්ත මහන්සිය අපි දැක්කා. මට ආශු මාරසිංහ පණිවිඩය කිව්වේ මේ පඩිපෙළ නගින කොට. ආපු ගමන්ම සර්ට කිව්වම සර් හැම පැත්තටම කෝල් කළා. ඒ වෙලාවේ සර් මොන තරම් වෙහෙසුණා ද කියන එක මම ඇස් දෙකෙන් දැක්කා..." රමේෂ් පතිරණ කීවේය.

"සර් මේ වෙලාවේ අවශ්‍ය පියවර ගන්න. සර්ගේ හයියට අපි සර් එක්ක ඉන්නවා. ඕක කියන්න අපි ආවේ අඳින්න ඇඳුමක්වත් තිබිල නොවෙයි. අපේ ඇඳුම් පවා ගිනිබත් වෙලා... මම ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැම්මා බයිසිකල් වලින් පේළියට ඇවිල්ල නවත්තලා මගේ ගෙදර ගිනි තියෙනතුරු පොලිසිය බලන් ඉන්න හැටි "සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා කීවේය.

මේ වෙලාවේ ජනාධිපතිවරයා කල් ඇතිව පණිවිඩයක් යවා තිබූ නිසා පොලිස්පතිවරයා එතනට ආවේය.

තරුණ මන්ත්‍රීවරුන් විසින් පොලිස්පතිවරයාට එක දිගට එල්ල කළ විවේචන සංසිඳුවීමට ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට තරමක් මහන්සි වන්නට සිදුවිය.

සංවේදී වූ වීරසිංහගේ කතාව

"අම්පාරේ වීරසිංහ තරුණ මන්ත්‍රීවරයාගේ කතාව මෙහිදී කාගේත් හිත් සංවේදී කරවන එකක් විය. මහින්දානන්ද බැණ වැදුණේ සමාජ මාධ්‍ය මඟින් මෙම විනාශය සමාජගත කරමින් රටේ භීෂණයක් දක්වා ගෙනයන්නට ඇපකැප වූ පිරිස් හඳුනගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරවන ලෙසයි.

"පොලිසියට අපේ ආරක්ෂාව සලසන්න බැරිනම් අපට ආයුධ නිකුත් කරන්න. අපි අපේ ආරක්ෂාව සලසා ගන්නම්. මීට පෙරත් 88/89 කාලෙ දේශපාලන මැරයින්ගෙන් ආරක්ෂා වෙන්න මන්ත්‍රීවරුන්ට තුවක්කු නිකුත් කරල තිබුණා. පූර්වාදර්ශ තියෙනවා. මන්ත්‍රීවරු පරණ විස්තර මතක් කරමින් කියා සිටියහ. "පොලිස් නිලධාරීන් අපේ ආරක්ෂාවට කියලා ඇවිල්ලා අපෙන් කාලා බීලා ගෙදර සැපට ඉන්නවා. මැරයෝ අපේ ගෙවල් ගිනි තියෙන කොට තුවක්කු කකුල් දෙක අස්සේ ගහගෙන පැනල දුවනවා. එහෙම උන් අපිට මොකටද. අපට තුවක්කු දෙන්න අපි දන්නවා ආරක්ෂා වෙන්න. ප්‍රසන්න රණවීර දැඩි ඉල්ලීමක් කළේය.

"හරි මම මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට හයදෙනෙක් දෙන්නම් ස්වංක්‍රීය අවිත් එක්ක. කැමති අය ඉන්නවනම් තෝරගන්න. නැත්තං අපි මෙහෙන් දෙන්නම්. ජනාධිපතිවරයා කීවේය.

මම මේ ගැන සොයා බලලා තීන්දුවක් ගන්න නීතිඥ කමිටුවක් පත් කරනවා. උසාවියේදී පොලීසිය මුහුණ පාන අසරණභාවය ගැන අපි හොයා බලන්න ඕන.

ඒ වගේම මම දේපළ හානි සිද්ධ වෙච්ච මන්ත්‍රීවරු ගැනත් හොයා බලන්න වැඩපිළිවෙළක් යොදනවා. නීතිය ක්‍රියාත්මක කරනවා වගේම හානි වලට වන්දි ගෙවීම ගැනත් මම හොයා බලනවා. සිද්ධ වෙච්ච අඩුපාඩු අපි නිවැරදි කර ගමු. අපි රට ගොඩනගන්න එකතු වෙමු. අගමැතිතුමාට සහයෝගය දෙමු." කියමින් ජනාධිපතිවරයා එම රැස්වීමේ වැඩ කටයුතු අවසන් කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම රත් වූ හැටි

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පසුගිය 17 වැනි අඟහරුවාදා උදෑසන 09.00 ට පමණය. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දී මෙම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ සභානායක, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රධාන මේසයේ සිටියහ.

දිනේෂ්ගේ විරෝධය

දිනේෂ් ගුණවර්ධන මුලින්ම අදහස් දක්වමින් පසුගිය 09 වැනිදා රට පුරා සිදු වූ ගිනි තැබීම් හා පහර දීම් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ දැඩි විරෝධය පළ කරන බව කියා සිටියේය.

පසුගිය 09 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ දී විරෝධතාකරුවන් පිරිසකගේ අමානුෂික ප්‍රහාරයට ලක් වී මියගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් රැස්වීම ආරම්භයේදීම සියල්ලෝම නැගී සිටිමින් විනාඩියක කාලයක් නිශ්ශබ්දව සොව පළ කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76 දෙනෙකුගේ නිවාස ගිනිබත් කර ඇති බව ද දිනේෂ් ගුණවර්ධන විසින් සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දෙන ලදී. ඉන් අනතුරුව අදහස් දැක්වූ නිවාස දේපළ අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම තම නිවාස හා දේපල විරෝධතාකරුවන් විසින් විනාශ කළ ආකාරය පැහැදිලි කළේ බොහෝ හැඟුම්බරවයි.

මේ පිරිස් අත්අඩංගුවට ගැනීමේ කටයුතු නිසියාකාරව සිදු වෙනවා කියලා පොලිස්පතිතුමා අපිට සහතික වී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු යටතේ මෙම භීෂණය පැතිරූ පිරිස් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ගේට්ටු වැහුවම සාමකාමී වෙන්නේ කොහොමද?

එස්.බී. දිසානායක අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඕනෑම තැනක ඇතුළුවීමේ ගේට්ටු, පිටවීමේ ගේට්ටු වසා ගෙන සිදු කරනු ලබන උද්ඝෝෂණ කිසිසේත්ම සාමකාමී උද්ඝෝෂණ නොවන බවයි.

"දැන් මේ ගෝල්ෆේස් විරෝධතාවය සාමකාමීන් කියලයි කියන්නේ. එහෙම සාමකාමී කියලා කියන කට්ටියගෙන් මං අහන්න කැමතියි ගේට්ටු වහගෙන සිදුකරන විරෝධතා සාමකාමී වෙන්නේ කොහොමද? කියලා. මේ රටේ අංක 01 රාජ්‍ය ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයයි. ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිතුමාට යන්න ලැබෙන්නේ නැහැ. ජනාධිපති ලේකම්වරයාට යන්න බැහැ. කැබිනට් මණ්ඩලයට ඒකේ රැස්වෙන්න බැහැ. රටේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට යන්න ලැබෙන්නේ නැහැ. එතකොට මුළු ජනාධිපති ලේකම් කාර්යාලයම අක්‍රියයි. මෙහෙම ගේට්ටු වහගෙන සිදුකරන විරෝධතා සාමකාමී වෙන්නෙ කොහොමද? කියන එක විශාල ගැටලුවක් මේ ගැන නීති උපදෙස් ලබාගත යුතුයි." යනුවෙන් එස්.බී. දිසානායක විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරන ලදී.

පසුගිය 09 වැනිදා රට පුරා සිදු වූ භීෂණ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වූ පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම පියවර කඩිනමින් ගැනීම සඳහා අදාළ අංශ දැනුවත් කිරීමටත් මේ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුවත් කිරීමටත් මෙම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීරණය කෙරිණ. මේ අතර එදින පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ යෝජනා කිරීමට ද ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒකමතිකව තීරණය කෙරිණි.

"විපක්ෂයෙන් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන්න ඉන්නේ." යනුවෙන් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.

"රංජිත් සියඹලාපිටිය මහත්තයට නියෝජ්‍ය කථානායක කම දෙන්න ගිහිල්ලා ගිය පාරත් අපේ අජිත් රාජපක්ෂට නියෝජ්‍ය කථානායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මේ පාරත් ඒ දේ වෙන්න දෙන්න බැහැ. කොහොමහරි අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක ධුරයට පත් කරන්න ඕන. අනිත් එක මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කමට හොඳම සුදුස්සා අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා." යනුවෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ.

"දැන් ඔය රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය නියෝජ්‍ය කථානායක කමට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්න ගියාට කථානායකතුමාගේ නිල කාමරය වටලලා කථානායකතුමා හිරකරන්න ඉදිරියෙන්ම කටයුතු කළේ රෝහිණී කවිරත්න. එහෙම කෙනෙක් කොහොමද නියෝජ්‍ය කථානායක ධුරයට පත් කරන්නේ? ඒක කරන්න කොහොමත්ම ඉඩ දෙන්න බැහැ." යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන්ය.

අගමැති රනිල් පිල් මාරු කළ හැටි

මෙම ඡන්ද විමසීම කරන අතරතුර අපූරු සිදුවීමක් පාර්ලිමේන්තුව තුළ සිදුවිය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව රැස් වී ඇති විටක, මැති සභයේ සභාගර්භය හරහා ජනතා නියෝජිතයින් ගමන් කරන්නේ නැත. එසේ ගියහොත් එය සැලකෙන්නේ සාමාන්‍යයෙන් පිල් මාරුවක් (cross over) එකක් හැටියටය.

නමුත් නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා ඡන්ද විමසීමක් සිදුවෙමින් පැවති නිසා බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබුණේ ඒ දෙසටය. ඒ අතරතුරේදී ඇඟට පතට නොදැනී සභාගර්භය හරහා විරුද්ධ පක්ෂය දෙසට ඇවිදගෙන ගිය අගමැති රනිල් වික්‍රමසිංහ විරුද්ධ පක්ෂයේ ඉදිරිපෙළ අසුනක සිටි පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ආර්. සම්බන්ධන් ඇතුළු විරුද්ධ පක්ෂයේ ඉදිරි පෙළ කිහිපදෙනෙකු සමඟ කතාබස් කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කතාබස් වූ බව වාර්තා වේ. එම කතාබහෙන් පසුව යළි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය වෙත හැරී ගියේය. ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව අජිත් රාජපක්ෂ නව නියෝජ්‍ය කථානායක ලෙස වැඩි ඡන්ද 31 ක් ලබා තේරී පත් විය.

මහින්ද හමුවීමට විශාල මන්ත්‍රීවරුන් පිරිසක්

අග්‍රාමාත්‍ය ධූරයෙන් පසුගිය 9 වැනිදා ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණියේ පසුගිය 18 වැනිදාය. මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුවෙන් පැමිණි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගොස් මහින්ද රාජපක්ෂ පිළිගත්හ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම්, ෂෙහාන් සේමසිංහ, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ යන මන්ත්‍රීවරුන් සමඟ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක ද එම අවස්ථාවට එක්වූහ.

එම මන්ත්‍රීවරුන් සමඟ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනයෙන් තමන් බලවත් කම්පාවට පත් වූ බවයි. එවැනි ප්‍රචණ්ඩකාරී සාහසික දේශපාලනය දැඩි ලෙස හෙළාදැකිය යුතු බවත්, ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවත්, එම තරුණ මන්ත්‍රීවරු දැඩිව ප්‍රකාශ කළහ. අභියෝග රැසක් මධ්‍යයේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ යළි එවැනි භීෂණයන් ඇති නොවීමට බවත්, මේ මොහොතේ සියලුම දෙනාම වගකීමෙන් ක්‍රියා කළයුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විරෝධතාකරුවන්ගෙන් නාමල්ට ඇමතුම්

පසුගිය 09 වැනිදා නිවාස ගිනි තබමින් බස්රථවලට හානි සිදුකළ ඇතැම් විරෝධතාකරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට දුරකථන ලබා දී තිබුණි. එදින ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඇතැම් දේශපාලන පක්ෂ විසින් තමන්ව වැරදි ක්‍රියා සඳහා පෙලඹ වූ බවත්, එම නිසා ඔවුන් මේ වනවිට අසරණ වී සිටින බවත්, එම පිරිස් නාමල් රාජපක්ෂට ප්‍රකාශ කොට තිබුණි. ඇතැම් මව්වරුන් හඬා වැටෙමින් නාමල් රාජපක්ෂට ප්‍රකාශ කර තිබුණේ දේශපාලන පක්ෂවල පෙලඹවීම මත කිසිවක් නොදැන තම දරුවන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බවත්ය. පොලිසිය මඟින් ඔවන් අත්අඩංගුවට ගනු ඇතැයි කියා බොහෝ දෙනෙකු බියෙන් පසුවන බවද, එම මවුවරුන් නාමල් රාජපක්ෂට ප්‍රකාර කර තිබුණි.

අගමැති තම වියදම් අඩු කරයි

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යධූරයට පත්වීමෙන් පසු ධූරයේ වැඩබාරගනු ලැබූවේ ඉකුත් සිකුරාදාය. එදින අග්‍රාමාත්‍ය කාර්යාලයේ බුදු මැදුරට ගිය අගමැතිවරයා මල් පහන් පූජා කිරීමෙන් පසු එහි සිටි පැරණි සේවකයකු පැමිණ ඔහුට සුබ පැතුවේය. සිනහවෙන් එය පිළිගත් අගමැතිවරයා එම සේවකයා දෙස හැරී "රටට සුබ කාලයක් උදාවෙන්න නම් තව මාස කිහිපයක් ගතවේවී. ඒ නිසා වෙසක් නිවාඩුවත් අගහැරලා අපි වැඩකරමු." කියමින් කාර්යාලයට ගියේ අවට සිටි පිරිසට සිනහවෙන් සංග්‍රහ කරමිනි.

කාර්යාලයට ගිය අගමැති රනිල් පළමු රාජකාරිය ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක හා විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා කැඳවා අග්‍රමාත්‍ය කාර්යාලයේ වියදම් වාර්තාවක් ලබා ගත්තේය. ඒ අනුව අගමැතිවරයා උපදෙස් දෙනු ලැබූවේ ඉන්න සේවක සංඛ්‍යාව හා භාවිතා කරන වාහන සංඛ්‍යාව අඩු කොට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50% කින් කප්පාදු කරන ලෙසය.

අගමැතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට වෙනත් රාජ්‍ය ආයතනවලින් අනුයුක්ත කර සිටින සේවකයන් එම ආයතන වෙත පිටත් කළ අතර වාහන ද අදාළ ආයතන වෙත පිටත් කර හැරියේය.

රනිල්ට ඇති එක් පියවරක් ගැන වජිරගෙන් ඉඟියක්

නිර්මාණාත්මක වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සඳුදා කොළඹදී පැවැත්විණි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් සිය ධූරයට පත්වීමෙන් පසු වජිර අබේවර්ධන වෘත්තීයවේදීන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර වර්තමානයේ රට තුළ උද්ගතව තිබෙන අර්බුද හා ඒවාට ඇති විසඳුම් සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලදි.

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තුවෙන් රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවට යා යුතු බව එදා මා ප්‍රකාශ කළා. එලෙස ඒ එක ආසනයෙන් එතුමා මන්ත්‍රී වී අගමැති ධූරයට පත්ව ජනාධිපති ධූරය දක්වා යා හැකි බව මා එදා ප්‍රකාශ කළා. ඒ ගමන් මගේ ඉතිරිව තිබෙන්නේ තව එක් පියවරක් පමණයි.

කෙසේ හෝ රනිල් වික්‍රමසිංහයන් අගමැතිවීම නීතී විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධි බව ප්‍රකාශ කරමින් ඇතැම් කණ්ඩායම් ජනතාව මුළා කරන්න උත්සාහ කරනවා. එවැනි උත්සාහයක නිරතව සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති අයයි. අගමැතිවරයෙක් පත්වන ආකාරය ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය මඟින් පැහැදිලි කර තිබෙනවා. අසත්‍ය චෝදනා ගෙන යන අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලන ලෙස මා දැනුම් දීමට කැමතියි.” යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

Comments