රට පුරා හර්තාල් කෙරුණේ මෙහෙමයි | සිළුමිණ

රට පුරා හර්තාල් කෙරුණේ මෙහෙමයි

පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගය අවහිර කරමින් අන්තරේ සිසුන් සහ සිවිල් සංවිධානවල සාමාජිකයන් 06 වැනි සිකුරාදා විරෝධතාව දැක්වූ අයුරු.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙන්ම වාමාංශික සහ වෘත්තීය සමිති ඉතිහාසයේ ද මඟ සළකුණක් වන්නේ 1953 අගෝස්තු 12 වනදා දියත් කරන ලද හර්තාලයයි. එදා හර්තාලයෙන් නැගුණ ආන්දෝලනය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයකුට ඉල්ලා අස්වීමට සිදුවීම දේශපාලනයේ මහත් පෙරළියක් ඇති කිරීමට සමත් විය.

- පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
- අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකයි
- රජයට ඉවත් වන්නැයි උද්ඝෝෂකයෝ කියති
- 1953 න් වසර 69කට පසු හර්තාලය ගැන වෘත්තීය සමිති මෙසේ කියති

1952 මාර්තු මාසයේදී හිටපු අගමැති ඩී. එස්. සේනානායකගෙන් පසු ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට පත් වූ අතර, වැඩි කලක් යන්නට මත්තෙන් රටේ ප්‍රශ්න මතු වන්නට විය. එකල ලංකාවේ ආර්ථිකය රඳා පැවැතුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් හුරු කළ වැවිලි බෝග වගාව මතය. යුද්ධයේ අවසන් කාලය වනවිට එම ඉල්ලුම පහත වැටී රබර් ආශ්‍රිතව ජීවිකාව කරගත් විශාල පිරිසක් අපහසුතාවට පත් වන අතරම රටේ විදේශ විනිමය ආදායම ද පහත වැටුණි. මේ අතර රටේ සහල් නිෂ්පාදනය අඩු වීමෙන් සහල් අවශ්‍යතාව සපයා ගැනීම පිළිබඳ ගැටලු ඇතිවිය.

1953 ජූලි මාසයේ ඉදිරිපත් කරන ලද අයවැයෙන් සහල් මත වූ සහනාධාරය කපා හැරීමත් සමඟ සත 25 ක් ලෙස පැවති සහල් සේරුවක මිල සත 70 දක්වා එක්වරම වැඩි වීමත් එදා හර්තාලකයට මුල පිරීය. ජූලි 23 වනදා පාර්ලිමේන්තුව අසල ගාලු මුවදොර පිටියේ හර්තාලයට පක්ෂ මහා ජනරැලියක් පැවති අතර, රැලියෙන් පසු ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කරද්දී පොලිසිය එම උද්ඝෝෂකයන්ට පහර දී විසුරුවා හැරියහ.

ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සහ ෆිලිප් ගුණවර්ධන නායකත්වය දැරූ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය එදා හර්තාලයට සහභාගිත්වය දැක්වූහ. ආයතන වසා තැබීම, පාසැල් සහ රැකියා ස්ථානවලට නොපැමිණීම, කලු කොඩි එසවීම සහ විරෝධතා රැස්වීම් එදාද පැවතියහ.

එම හර්තාලය හේතුවෙන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් වූ ඩඩ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔක්තෝබර් 12 වනදා සර් ජෝන් කොතලාවල අගමැති ලෙස දිවුරුම් දුන්නේය. හර්තාලයට හුල් වූ හාල් සේරුවේ මිල ශත 55 තෙක් පහළ දමනු ලැබුණි.

එදා හර්තාල් අතීතය 1953 ට දිවයන අතර, මෙදා හර්තාලය ඉන්පසුව ඇති වූ තවත් එකක් බවට පත්වේ. පසුගිය 6 වැනිදා සිදු කළ හර්තාලය දියත් කිරීමට එම සංවිධායකයන් විසින් හර්තාල් කමිටුවක් ඇති කළ අතර රට පුරා හර්තාලය දියත් කළේ රාජපක්ෂ පාලනය ගෙදර යනු, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කරනු මෙන්ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ගෙදර යනු යන විරෝධතා පාඨ සමඟිනි.

මේ හර්තාලය පිළිබඳ විවිධ වෘත්තිය සමිති දැක්වූ අදහස් මෙසේය. හර්තාල් කමිටුවේ ප්‍රධාන සංවිධායකයකු වන දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මේ පිළබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

“ජනාධිපති ආණ්ඩුව මේ රටේ වැටුපින් ජිවත්වන ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නට අසමත් වෙලා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නොහැකිව සියලූම දෙනා අපහසුතාවයට පත්වෙලා. අපි පසුගිය 28 වැනිදා එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. නමුත් රජය ගෙදර යන්න සූදානම් නැහැ.

පාර්ලිමේන්තුව විසිරුවා ජනතාවට සුදුසු පාලනයක් ඇති කිරීමට මහා මැතිවරණයක් ලබා දීමට මේ අය සුදානම් නැහැ. ආණ්ඩුව රට පැත්තෙන් සිතා කටයුතු නොකරන නිසායි ආණ්ඩුව පළවා හැරීමට එක් දින හර්තාලයක් ක්‍රියාත්මක කළේ. නමුත් ආණ්ඩුව එතැනිනුත් ඉල්ලා අස්වීමට සුදානම් නැතිනම් 11 දින සිට අඛණ්ඩ හර්තාලයක් දියත් කිරීමට හර්තාල් කමිටුව තීරණය කර තිබෙනවා. 6 වැනිදා සිදු කළ හර්තාලයේදි අපි නොකළ යුතු දේ ප්‍රකාශයට පත්කළා. පුද්ගලික, පෞද්ගලික දේපලවලට හානි නොකිරීම, පාරවල් අවහිර නොකිරීම වැනි දේ ගැන මහජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා “ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්තය.

ඔවුන්ගේ හර්තාලයේ ප්‍රධාන තේමාවක් බවට පත්වූයේ මහජන පීඩා කිසිත් නොකර මේ හර්තාලය දියත් කිරීමටය. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධාන ලේකම් හා වෘත්තිය බහුජන ව්‍යාපාර එකමුතුවේ දුමින්ද නාගමුව දැක්වූයේ මෙවන් අදහසකි.

“6 වැනිදා දියත් වූ හර්තාලය සාර්ථකව දියත් වුණා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටියේ 1953 සිදු වූවාක් මෙන් වෙළෙඳසැල් වසා දමා, කළු ඇඳගෙන කළු කොඩි දමා සියලු දෙනාට පාරට පැමිණ විරෝධතා පවත්වන්න කියා. ආහාර පිසීම වැනි දෛනික කටයුතු පාරට පැමිණ කරන්න යැයි අපි ඉල්ලා සිටියා.

ගම්වල ඒ සියලු කටයුතු සිදුවුනේ දිස්ත්‍රීක් සංවිධායක කමිටු හරහා. මේ කටයුතු සංවිධානය කරන්න 5 වැනිදා අපි සමුළුවක්ද පැවැත්වුවා. අපි කියන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්විය යුතුයි, හොරා කෑ මුදල් නැවත දිය යුතුයි, ජනතාවට සහන දිය යුතුයි. එසේ නොවුණහොත් කොළඹට ලක්ෂයක් ගෙන්වා අඛණ්ඩ වැඩ වැරුමක් ක්‍රියාත්මක කරනවා “ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධාන ලේකම් හා වෘත්තිය බහුජන ව්‍යාපාර එකමුතුවේ දුමින්ද නාගමුවයි. සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න පවසන්නේ මේ හර්තාලයට, ජන මතයට රජය කන් නුදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය අරගලයක් දියත් කරන බවකි. “මෙම වෘත්තීය අරගලය හර්තාලයක් බවට ක්‍රියාත්මක වූයේ වෘත්තීය සමිති බහුජන සම්බන්ධිකරණ මධ්‍යස්ථානය හෙවත් හර්තාල් කමිටුව හරහායි. අපි මේ කටයුතු ගම් මට්ටමින් දියත් කිරීමට සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ප්‍රවාහන කටයුතු ඇතුළු ජන ජීවිතය අවුල් වුණා. නමුත් අපි ඉල්ලීමක් කළා ප්‍රකෝපකාරී කටයුතු කිසිත් සිදු නොකරන ලෙසට. ආණ්ඩුව වීට ප්‍රතිචාර නොදැක්වුවහොත් අපි 11 වැනිදා සිට නොනවතින අරගලයකට ගමන් කරනවා “ සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්නයි.

මෙම හර්තාලය හේතුවෙන් පාසල් සියල්ල අඩපණ විය. සිසුන්, ගුරුවරු පාසල් නොගියෙන් එදින අධ්‍යාපන කටුයුතු සිදු නොවූ දිනයක් බවට පත්විය.

“ මේ වන විට බොහෝ සිසුන්ට පෙළ පොත් ලබා දී නැහැ. දිවා ආහාරය නැවැත්වීමට කටයුතු කරලා. දරුවෝ, ගුරුවරු පාසල් එන්නේ දැඩි අපහසුතා මධ්‍යයේය. පාසල්වල වියදම් උග්‍ර වෙලා. මේවා දෙමවුපියන්ට පටවන්න බැහැ. මේ වන විට ආණ්ඩුව දරන්නේ ගුරු වැටුප් වියදම් පමණයි. මේ නිසා පාසල් පද්ධතිය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වෙලා. 6 වැනිදා පාසල් කටයුතු සියල්ල අඩපණ වුණා. ගුරු විදුහල්පති, අධ්‍යන , අනධ්‍යන, කළමණාකරන, පරිපාලන ඇතුළු සියලු අංශ මේ වර්ජනයට එකතු වුණා.

අපිට දරුවෝ අපහසුතාවට පත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ප්‍රශ්න දික් නොගස්සා මීට වගකිව යුතු සියල්ලම ඉවත් විය යුතුයි. රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. එසේ නොවුණහොත් දැඩි වෘත්තිය අරගලයකට යනවා “සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමිය.

සෞඛ්‍ය ක්ෂත්‍රයද මෙම වැඩ වැරුමට එක්විය. එහෙත් රෝහල් ප්‍රතිකාර ලබා දීම් ඔවුහු පැහැර නොහැරියහ.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයට රට පුරා හර්තාලයට එකතු වුණත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝහල් කටයුතු අඩපණ කිරීම සිදු කළේ නැහැ. ඔවුන් ඒ සියලු කටයුතු කළේ වර්ජනය කරමින් ස්වේච්ඡාවෙන්. හර්තාලයට පෙර අපි දිස්ත්‍රික් කමිටු සකස් කළා. සෑම ගමකම විරෝධතා දියත් කළා. කොළඹ මුල් කර ගනිමින් විරෝධතා හර්තාල් මට්ටමින් ක්‍රියාත්මක කළා. අපි මේ හර්තාලයෙන් අනතුරුව දින 4 ක පමණ කාලයක් රජයට ඉඩ දෙනවා, ඉල්ලා අස්වීමට “ රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති හා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රියය.


සුලෝචන ගමගේ, හිරන්ත ගුණතිලක, 
දුෂ්මන්ත මායාදුන්න, සාලිය රූපසිංහ, 
සුදත් මලවීර සහ බළපිටිය අනුර යස්මින්

Comments