ජරමර මැද්දේ මැති සබය උණුසුම් | සිළුමිණ

ජරමර මැද්දේ මැති සබය උණුසුම්

දේශපාලන ක්ෂේත්‍රය මේ වන විට වැඩිපුරම උණුසුම් වී තිබෙන්නේ මැයි 01 වැනිදාට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සමඟය. මෙරට වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙන නිසා සියලුම දේශපාලන පක්ෂ තම ශක්තිය පෙන්වීම සඳහා මෙවර මැයි දින සැමරීම යොදාගැනීමට තීරණය කර තිබේ.

දේශපාලන අර්බුදය හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ උණුසුම්කාරී අවස්ථා රැසක් පසුගිය සතිය තුළ දැකගත හැකි විය.

පොහොට්ටුවේ පළාත් සභා හා පළාත් පාලන සංසදය අගමැති වෙනුවෙන් පෙරට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන සංසදය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ කිසිදු හේතුවක් නිසා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවයි.

2022 ඇති වී තිබෙන මෙම දේශපාලන අර්බුදය රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ සූක්ෂම කුමන්ත්‍රණයක් බවත් ඊට විරුද්ධ පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද සමහරුන් සම්බන්ධ වී සිටින බව එම සංසදවල සභිකයින් විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දෙන ලදී. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය අතර සාකච්ඡාවක් පසුගිය 26 වැනිදා පෙරවරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දීය.

හැමෝම ආදරය කරන මනුස්සයා කවුද?

මෙහිදි හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ටිකක් සැරෙන්, වේදනාවෙන් කතා කළහ. "දැන් ඔබතුමාලා හිතන් ඉන්නෙ මේක සිල්ලර කඩයක් කියල ද? ඕන වෙලාවක ඉවත් වෙන්නයි, ඕන වෙලාවක අරින්නයි, ඕන වෙලාවක වහන්නයි ඔබතුමාලා හිතන් ඉන්නෙ මේක මොකක් කියල ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක පොහොට්ටුවත් එක්ක දේශපාලනය කරනවා නම් රාජපක්ෂලා ඒක හරියට කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන අතක් බලා ගන්න ඕනේ. ඔබතුමාලා මේ කඩේ මුදලාලිලා නෙමෙයිනේ. පොහොට්ටුව කියන්නේ සිල්ලර කඩයකුත් නෙමෙයිනේ. කැමති කැමති වෙලාවට ඉල්ලා අස්වෙන්නයි, කැමති කැමති වෙලාවට අයින්වෙන්නයි මොකක්ද මේකේ තේරුම? ඔබතුමාලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාවෙන් අඩුම තරමින් වත් ඇහුවද අපි ඉල්ලා අස්වෙන්න ද, ඉවත් වෙන්න ද කියලා, කිසිම දෙයක් ඇහුවේ නෑ. එහෙම අහන්තේ නැතුව, කිසි දෙයක් කරන්නෙත් නැතුව ඔබතුමාලා ඉවත් වෙන්න තීරණය කරලා. ඔබතුමාලා අපිව අවුරුදු දෙක හමාරක් තිස්සේ කැඳෙව්වේ නෑ. දැන් එකට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි මේ මනුස්සයට ආදරෙයි. මනුස්සයා කියලා තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. මේ මනුස්සයා හින්දා තමයි බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ගියේ. දන්නව ද වතුරට දාපුවහම ගසාගෙන යන පොල් ලෙලි වගේ අයත් පාර්ලිමේන්තුවට ආවේ මේ අග්‍රමාත්‍යවරයා හින්දා. ඒ අය බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ආවේ අග්‍රාමාත්‍යවරයාගේ නම පාවිච්චි කරලා. ඒක දැන් ගොඩ දෙනෙකුට අමතක වෙලා." යනුවෙන් කිහිපදෙනෙක්ම ප්‍රකාශ කළහ.

විමලවීර දිසානායක අමාත්‍යවරයා නැඟී සිටියේය. "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා මට කරපු දෙයක් නෑ. හැබැයි අපේ පැත්තේ හිටපු මිනිස්සු කරුවලට බය මිනිස්සු. අපිව කොයි වෙලේ මරයිද? කොයි වෙලේ කපයිද? කොයිවෙලේ උස්සයි ද? කියලා අපි දැනගෙන හිටියේ නෑ. එක නැවැත්තුවෙ මේ මනුස්සයා. ඒකයි මම මේ මනුස්සයාට ආදරේ. ඒ විතරක් නෙමේ අපේ පැතිවලට ලයිට් දුන්නා, අපේ පැතිවලට වතුර දුන්නා, අපේ මිනිස්සුන්ට රැකියා දුන්නා. ඒ හින්දා තමයි මම මේ මහින්ද මහත්තයට ආදරේ. ඒ විතරක් නෙමේ අපේ පැත්තෙ පාරවල් හැදුවා. වැව් හැදුවා. ඔය ඕනෙ තරම් දේවල් තියෙනවා අපි මේ මනුස්සයට ආදරේ කරන්න. එහෙම නැතිව මහින්ද මහත්තයා මට කරපු මඟුලක් නම් නැහැ." යනුවෙන් තමයි විමලවීර දිසානායක සභාව තුළ තරමක් ආවේගයෙන් පැවසීය. බොහෝ දෙනෙකු දුකෙන්, කේන්තියෙන්, වේදනාවෙන් කියපු දේවල් ඔක්කොම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මුලසුනට වී දැඩි අවධානයකින් අසාගෙන සිටියේය. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් වගේම හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනෙක් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

අරුන්දික හා සනත් නිශාන්ත උණුසුම් කතාබහක

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙම රැස්වීමට පැමිණ සිටියහ. දෙදෙනා අතර පොඩි සංවාදයක් ඇති විය. අරුන්දික ප්‍රනාන්දු කියනවා "බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් සමු ගන්න ඕනේ. ඔහු සම්පූර්ණයෙන් ම මේ දේශපාලන කටයුතුවලින් ඉවත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමේ නෙළුම් මාවතේ තියෙන පොහොට්ටු කාර්යාලයත් වහල දාන්න ඕනේ. හැබැයි අග්‍රාමාත්‍යවරයා නම් ධුරයේ ඉන්න ඕනේ." ඔහොම සනත් නිශාන්තට කියපු අරුන්දික ප්‍රනාන්දු එළියට ඇවිල්ලා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ "අග්‍රාමාත්‍යවරයා නම් ඉවත් වෙන්න ඕනේ කියලාය."

අරලියගහ මන්දිරයේ මේ දිනවල පිරිත් දේශනයක් අසන්නට ලැබේ. ඒ විතරක් නෙමෙයි මෙම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ධර්ම දේශනා පැවැත්වීමට ද කටයුතු කරයි. අරලියගහ මන්දිරය ඉදිරිපිට මේ දවස්වල පිරිසක් විරෝධතාවක නිරත වෙති. රාජපක්ෂ පවුලට බණිමින් මැති ඇමතිවරුන්ට බණිමින් මෙම විරෝධය දියත් කරති. මේ කට්ටිය බොහොම කේන්තියෙන්, වෛරයෙන් මේ වගේ අදහස් පළ කරන හින්දා ඒ කට්ටියටත් අකුසල් සිදුවන එක නතර කරන්න මේ විදිහට පිරිත් ටිකක් දාලා, ධර්ම දේශනාවක් දාලා අංගුලිමාල දමනය, නාලාගිරි දමනය වගේ ධර්ම දේශනා ටිකක් දාලා එව්වා අහන්න දීලා ඔවුන්ව පොඩ්ඩක් සන්සුන් කරන්න හිතාගෙන අරලියගහ මන්දිරයේත් මෙම පිරිත් ඇසීමට සලස්වා තිබෙන බව වාර්තා වේ.

අගමැති ඉවත් නොකිරීමට හේතු

සියලුදෙනාම එකතු කරගෙන ආණ්ඩුවක් සකස් කිරීමට තමන් සූදානම් නමුත් මේ අවස්ථාවේ දී කිසිසේත්ම අගමැතිවරයාව තනතුරින් ඉවත් කළ නොහැකි බවත්, එසේ කළහොත් රටේ ස්ථාවරත්වය බිඳ වැටී බරපතළ අර්බුදයක් මතුවිය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 29 දින පැවති රැස්වීමක දී ප්‍රකාශ කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

29 වැනි දින පෙරවරුවේ ජනාධිපති මැදුරේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කොට ඇත.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අගමැතිවරයා ඉවත් කළහොත් රටට ලැබීමට නියමිත ජාත්‍යන්තර ආධාර හෝ නොලැබී යෑමේ අනතුරක් මතුවිය හැකි බවකි.එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් එහි ස්වරූපය කෙබඳු විය යුතු ද, එහි අන්තර්ගතය කෙසේ ද, එහි ඇමැතිවරුන් කවුරුන් ද යනාදී වශයෙන් සමස්ත සැලැස්ම තමන් වෙත ඉදිරිපත් කරන ලෙසටය.

කෙසේවෙතත් මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විමල් වීරවංශ සහ විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ අගමැතිවරයාත්, ආණ්ඩුවත් වෙනස් කොට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත යුතු බවකි.

එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ සියලු දෙනාම එකතුවී ආණ්ඩුවක් පිහිටුවීම ගැටලුවක් නොවන නමුත් අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින බවකි. එමෙන්ම ජනාධිපතිවරයා එහිදී මුදල් අමාත්‍ය අලි සබ්රි ද කැඳවා රටේ පවතින මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පිරිසට පැහැදිලි කිරීමක් කරන ලෙස දැනුම්දී තිබේ.එහිදී අලි සබ්රි ද දැනට රට තුළ ඇති බරපතළ මූල්‍ය අර්බුදය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇත. කෙසේ වෙතත් ඉන් අනතුරුව දයාසිරි ජයසේකර අදහස් දක්වමින් අවම වශයෙන් ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එකතුවී අමාත්‍ය ධුර ලබාගත් සුරේන් රාඝවන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ අමාත්‍ය ධුර ඉවත් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ එසේ කළහොත් තමන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් මතුවිය හැකි බවකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇති බවද දැනගන්නට ඇත.

ආණ්ඩුවට එරෙහිව රොස්මීඩ් පෙදෙසේ කතාබහක්

පහුගිය දවසක කොළඹ 07 රොස්මීඩ් පෙදෙසෙහි පිහිටි ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. ලබන සතියේ දී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව. රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න ඊට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මරික්කාර්, ඉරාන්, දයාසිරි ඇතුළු පිරිසක් මෙම කතාබහට එක්ව සිටියහ. ලබන සතියේ දී අපි පාර්ලිමේන්තුව රැස් වුණාම අපි නියෝජ්‍ය කථානායකවරයෙක් පත්කරගමු. ඊට පස්සේ අපි මේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේමු. කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනාවට පස්සේ කථානායකවරයාට ඒ පුටුවේ ඉන්න බැහැ. හැබැයි ඊට පස්සේ අපි විශ්වාසභංග යෝජනාව දිනලා අපේ බලය පෙන්වලා අපේ කථානායකවරයෙක් එතැනට දාගමු. ඊට පස්සේ අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේමු.“ එහිදී යෝජනා වී තිබෙන බව වාර්තා වේ. මෙහිදී අන්තර්වාර පාලනයක් සහ අන්තර්වාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ජාතික විධායක සභාවක් පත් කර අන්තර්වාර ආණ්ඩුවක් බිහි කරමු යනුවෙන් ඔවුන් මෙහිදී සාකච්ඡා කර තිබේ. නමුත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවකට ඔහු නම් සහය වෙන්නේ නැහැ කියලාය. හැබැයි ඔහු මේ සාකච්ඡාවට සහභාගි වී සිටියේ නැත.මේ අලුතෙන් පත් කරන්න හදන ජාතික විධායක සභාවට සෑම පක්ෂයකම නායකයෙක් එක්ක ඔහුගේ නියෝජිතයෙක් ඉන්න ඕනේ කියලා තීරණය කර තිබේ. ජාතික විධායක සභාවෙන් අලුතෙන් පත්කරන අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේම කැබිනට් මණ්ඩලයක් තෝරා ගන්නත් මෙහිදී යෝජනා කර ඇත.

මෙහිදි අදහස් දක්වා ඇති රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා. "අපි විද්‍යාත්මක පදනමක් ඇතිව තමයි මේ කැබිනට්ටුව හදන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු අධ්‍යාපන මේ ඔක්කොම දාන්න ඕනේ. සෞඛ්‍යය ගත්තොත් සෞඛ්‍ය, දේශීය, පෝෂණ ඔක්කොම දාන්න ඕනේ. අන්න ඒ වගේ විද්‍යාත්මක පදනමක් තියෙන සුවිශේෂී කැබිනට්ටුවක් මේකෙදි හදන්න ඕනේ යනුවෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ සඳහා යෝජනා කර තිබෙන බව ද වාර්තා වේ.

28 වැනිදා සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති මැදුරේ පැවැත්වුණු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් උණුසුම් කතාබස් කිහිපයකින් පසුව අවසන් වී ඇති බව වාර්තා වේ.

මෙහි දී පළමුවෙන්ම රටේ දැනට මතුව පවතින භාණ්ඩ හිඟය ඇතුළු කරුණු ගණනාවක් පිළිබද සාකච්ජා වී ඇති අතර පසුව අන්තර්වාර ආණ්ඩුව පිළිබඳ මුලින්ම අදහස් දැක්වීම ආරම්භ කොට ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය.

අරුන්දිකට නාමල්ගෙන් ප්‍රතිචාර

ඒ සමඟ ම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අරුන්දික ප්‍රනාන්දු කළ ප්‍රකාශය විවේචනය කරමින් ජනවරම දුන්නේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, ජනවරම දුන්නේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවත් පෙන්වා දී ඇත. එමෙන්ම අගමැතිකම ගැනීමට ඩලස් අලහප්පෙරුම කුමන්ත්‍රණය කරන බවට කියමින් කුට්ටිආරච්චි අලහප්පෙරුමට ද දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.ඒ සමඟ ම අදහස් ප්‍රකාශ කිරීමට නැඟී සිටි අලහප්පෙරුම තමන් ශරීරයෙන් මිටි වුව ද කන්දක් මෙන් ශක්තිමත් පුද්ගලයකු බවත්, තමන් අගමැතිකම ලබා ගැනීමට කුමන්ත්‍රණය නොකරන බවත් කෝපයෙන් යුතුව සඳහන් කොට තිබේ.

ඉන් අනතුරුව නැවතත් කතා කොට ඇති අරුන්දික ප්‍රනාන්දු මෙම ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් බවත්, එය පවුල තුළම විසඳාගත යුතු බවත් සඳහන් කොට ඇත.

අරුන්දිකගේ එම ප්‍රකාශයෙන් පුදුමයට පත්ව ඇති නාමල් රාජපක්ෂ මෙතැන පවුල් කතා අනවශ්‍ය බවත්, අරුන්දික තමන් සමඟ එකක් පවසා මෙතැන ඇවිත් තවත් එකක් කියන බව ද සඳහන් කොට ඇත.

ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ‌ කොට ඇත්තේ අගමැතිවරයාය. ඩලස් පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා කියා ඇත්තේ "ඩලස් කියන්නේ මම එදා ඉඳන්ම දන්න කෙනෙක්. එයා අපිට එහෙම කරන කෙනෙක් නෙමෙයි. මමයි ඩලස්ව දේශපාලනයට අරගෙන ආවේ. ඒ හින්දා ඩලස් කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින කෙනෙක් කියලා මම හිතන්නේ නෑ." යනුවෙනි. මේ පිරිසට අමතරව අගමැතිවරයාට හිතවත් ලෙස සැලකෙන පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු කණ්ඩායමක් ද අන්තර්වාර ආණ්ඩුවට එරෙහිව මෙහිදී දැඩිව අදහස් දැක්වීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

අගමැති ගැන ජනපති කිව්වේ මොනවා ද?

කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් කිසිවිටෙක අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දී නොමැති බව සඳහන් කොට තිබේ.

"මම කොයිවෙලාවකවත් අගමැතිතුමාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා නෑ. මේ ඔක්කොටම වඩා මට මගේ සහෝදරයා ලොකුයි. ඒ නිසා 113 ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් 113 අරන් එන ඕන කෙනකුට අගමැතිකම දෙන්න මට සිද්ධ වෙනවා." යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී අගමැතිවරයා ද පවසා ඇත්තේ තමන්ට 113 ක මන්ත්‍රී බහුතරයක් ඇතැයි කියාය.

ජනපතිට හා අගමැතිට 117 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 29 දිනයේ දී රැස්ව තිබුණු අතර, එහිදී මන්ත්‍රීවරු 117 දෙනෙකු, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දිගටම රට පාලනය කළ යුතු බව ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

මෙම හමුව සඳහා මන්ත්‍රීවරු 109 දෙනෙකු පැමිණ සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම මෙම ස්ථාවරයේ සිට ඇති බව පැවසේ. කලින් යොදා ගත් වෙනත් වැඩ රාජකාරී හේතුවෙන් පැමිණීමට නොහැකි වූ මන්ත්‍රීවරු අට දෙනාද අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දිගටම රාජ්‍ය පාලනයේ නිරත විය යුතු බවටත් ඔවුන්ගේ සහාය ඒ සඳහා ලබා දෙන බවටත් පොරොන්දු වී තිබේ.මෙම හමුවේ දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අග්‍රාමාත්‍යවරයා ඉවත්විය යුතු යැයි තමන් කිසි අවස්ථාවක කියා නැති බවයි.

සජිත්ගේ සමගි බල පා ගමන ඇරඹේ

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ මහනුවර බලා පිටත්ව යාමට පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති විද්වත් කතිකාවට සම්බන්ධ වුයේ පක්ෂය සමඟ සම්බන්ධ වී සිටින විද්වත් වෘත්තිකයින් හමුවෙමිනි.

පා ගමන ආරම්භවීමට පෙර දිනයේ දී නුවර බලා පිටත්ව ගිය සජිත් එදින රාත්‍රියේ මහනුවර ගත කළේය. පසුදා උදෑසන හයට ඔහු දළදා මාළිගාවට ගියේ, දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමටය. ඉන් පසුව මහනායක හිමිවරුන් ද හමුවී ආශිර්වාද ලබාගත්තේය.

එදින පෙරවරු නමයට මෙම පා ගමන ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිටම විශාල ජනකායක් මහනුවර නගරය වෙත පැමිණෙමින් සිටියහ. පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙළපාළිය පෙරවරු නමය හමාර වන තෙක් ආරම්භ කිරීමට නොහැකි වූයේ ඊට එක්ව සිටි ජනකාය හේතුවෙනි. මහනුවර පොදු වෙ‍ෙළඳපොළ අබියසින් ආරම්භ වූ පෙළපාළිය පේරාදෙණියට ළඟා වන විට දහවල් 2.00 පමණ විය.

"නායකතුමාට මහන්සි නැද්ද පයින් ගිහින්" ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇසුවේය.

"මට මොන මහන්සියක්ද? මට මේවා හොඳට පුරුදුයි" සජිත් කීවේ පේරාදෙණිය නගරයේ බොහෝ පිරිසක් එක්ව සිටීම නිසා ඔවුන්ට තමන් නොපෙනුණ නිසා වාහනයකට නැඟ ටික දුරක් ගමන් කිරීමට සිදුවූ ආකාරය ද කීවේය.

"සුද්දෝ අපේ රට යටත් කරගත්තේ නුවර අල්ලලා. අපි නුවරින් පටන්ගෙන කොළඹට ඇවිත් රාජපක්ෂලා එළවනවා." නලින් බණ්ඩාර කීවේය.

"නුවර ඉඳලා කොළඹට එන පා ගමන් හැම එකක්ම විශේෂයි. නුවර ඉඳලා කොළඹට පා ගමන් ආපු හැම වතාවකදීම ආණ්ඩු පෙරළලා තියෙනවා. ජන බල මෙහෙයුමේ අපි ආපු හැටි මතකයි. එතකොට ගාමිණී අතුකෝරළ ජීවතුන් අතර. ගාමීණි පා ගමනේ මුල ඉඳලා අගටම අපිත් එක්ක ආවා." රාජිත සේනාරත්න කීවේ අසල සිටි තලතා අතුකෝරළ පෙන්වමිනි.

"අපේ අයියා පයින්ම කොළඹට ආව වගේ නායකතුමත් පයින්ම කොළඹට එනවානේ" තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය අසන විට සජිත් කීවේ තමන් ජනතාව සමඟ පයින්ම කොළඹට එන බවය.

"අපි පා ගමන ආවාට පාර්ලිමේන්තුවේ තියෙන වැඩ කොටස අතපසු කරන්නේ නෑ. මම පාර්ලිමේන්තුවේ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නේ" මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය. ආර්ථික අර්බුදය මේ වන විට‍ දේශපාලන අර්බුදයක් දක්වා ව්‍යාප්තවීම තුළ දේශපාලන තලය ද උණුසුම් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නායකයාට ද ඉකුත් සතියම කාර්ය බහුල වූවේ මේ කරුණු කාරණා මතය. එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරාම ස.ජ.බ මන්ත්‍රීවරුන් සමඟ ද, ජා.ජ.බ මන්ත්‍රීවරුන් සමඟ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා කරන්නවෙිය. මෙම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වූවේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැනය. දෙමළ ජාතික සන්ධානය, ජාතික ජනබලවේගය ආදී පක්ෂවල බහුතරයකගේ අදහස වූවේ ජනතාව රාජපක්ෂවරුම ඉවත් කිරීමට ඉල්ලා සිටියදී එක රාජපක්ෂ කෙනෙකු පමණක් ඉවත් කිරීමට විශ්වාසභංගයක් ගෙන ඒමෙන් ඵලක් නොවන බවටය.

මේ අතර රනිල් පසුගිය දින කිහිපයේදීම පක්ෂ ක්‍රියාකාරීන් හා නිලධාරීන් සිරිකොත දී හමුවිය. එහිදි පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට වූහ. නායකයා පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පැහැදිලි කර දුන්නේය. මෙහිදි පක්ෂ ක්‍රියාකාරීන් නායකයාගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා කැඳවා ඇති සාකච්ඡාවට යන්නේ ද යනුවෙනි.

"මේක සර්ව පාක්ෂික සමුළුවක් නොවෙයි. මෙය ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් සමඟ තියෙන සාකච්ඡාවක්. ඒ නිසා සර්ව පාක්ෂික සමුළුවකට අපිටත් එන්න කියලා ආරාධනා කළොත් ඒ වෙලාවට අපි බලමු මොනවද කරන්නේ කියලා." රනිල් කීවේය.

විශ්වාසභංගය ගැන රනිල්ගේ මතය.

"විශ්වාසභංගය ගැන අපේ ස්ථාවරය මිනිස්සු අහනවා. මේ ගැන මොකද කියන්නේ." උපනායක අකිල විමසා සිටියේය.

"රාජපක්ෂවරුන්ට ජනතාව යන්න කියන වෙලාවක එක්කෙ‍ෙනක්ට විතරක් යන්න කියන දේකට සහාය දෙන්න බෑ කියලා කියන්න." එසේ කී නායකයා එම කාරණය පුවත් පත් සාකච්ඡාවක් කැඳවා පක්ෂ ස්ථාවරය ප්‍රසිද්ධ කරන ලෙසට ද උපදෙස් දුන්නේය.

"මැයි දිනය සම්බන්ධයෙන් අපි කරන්නේ මොකක්ද කියලා රටම බලාගෙන ඉන්නවා." සාගල විමසා සිටියේය.

"ගෝල්ෆේස් එකේ ඉන්න තරුණ කොටස් ඉල්ලීම් කරලා තියෙනවා එදාට මැයිදින රැළි පවත්වන්න එපා කියලා. රතු කොඩි වෙනුවට කළු කොඩි දාන්න කියලා තමයි ඒ අය ඉල්ලලා තියෙන්නේ. කඩවල් වහලා ගෝල්ෆේස් අරගලයට සහාය දෙන්න කියලාත් එයාලා ඉල්ලලා තියෙනවා. අපි මේ කාරණයත් මතක තියාගෙන තීන්දුවක් ගනිමු." නියෝජ්‍ය නායකයා කීවේය.නියෝජ්‍ය නායකයාගේ යෝජනාව සියලු දෙනා අනුමත කළ අතර පසුව පක්ෂයේ තරුණ හා කාන්තා කණ්ඩායම් කළු ඇඳගෙන ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට සහභාගී කරවීමට පිරිස තීරණය කළේය. බදාදා පක්ෂ ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේ ඔවුන් නායකයාගෙන් විමසා සිටියේ ඩලස් අලහප්පෙරුම අගමැති කිරීමේ යෝජනාව ගැනය. එහිදී සිනාසුණු නායකයා කියා සිටියේ මෙයින් වන්නේ ඩලස් ද දුර්වලයකු වන බවය.

දෝශාභියෝගයට වසරක්වත් යන ලකුණු

"දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයකට අත්සන් ගන්න යනවා කියලා වාර්තා වෙනවා. මොකක්ද අලුත්ම තත්ත්වය." සාගල විමසා සිටියේය.

"එයා හින්දු පත්තරේට කියලා තිබුණා දෝෂාභියෝගයක් ගෙනාවොත් ඒක ක්‍රියාත්මක වෙන්න වසරක් විතර යාවි කියලා. අපිත් දැන් බලන්නේ විශ්වාසභංගය කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියන කාරණයයි." එ.ජා.ප. නායකයා ප්‍රශ්නය දුරු කළේ එලෙසිනි. පක්ෂ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ නායකයා තමන් මේ සතියේ දී බැංකුකරුවන් හමුවූවා සේ ලබන සතියේ දී වෘත්තීයවේදීන් පිරිසක් හමුවීමට අපේක්ෂා කරන බව ද කීවේය. එ.ජා.ප. නායකයා ලෙස තමන් එම ගමන යද්දී අනෙක් පිරිස පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට වෙහෙසෙන ලෙස උපදෙස් දුන්නේය.රඹුක්කන ලක්ෂාන්ගේ ඝාතනයට එරෙහිව පවත්වන සත්‍යග්‍රහ ව්‍යාපාරය ගැන මෙහිදි එ.ජා.ප. නායකයා විමසා සිටියේය. නියෝජ්‍ය නායක රුවන්ගේ ප්‍රධානත්වයෙන් එය පවත්වන ආකාරය ගැන මහලේකම් රංගේ පැහැදිලි කිරීමක් කළේය. සත්‍යග්‍රහය වෙනුවෙන් නියෝජ්‍ය නායකයා ඉකුත් බ්‍රහස්පතින්දා රඹුක්කන බලා පිටත්ව ගිය අතර එහිදි ඔහු ජනතාව හමුවේ ප්‍රතිඥාවක් දුන්නේ ලක්ෂාන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් පක්ෂයක් ලෙස කැපවන බවය.

පහුගිය මාර්තු මාසේ ඉන්දියාවේ පැවැත්වුණ 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදි හිටපු ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කරපු "ද නිව්ස්පේපර්" (The Newspaper) සිනමාපටයට ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවිය. මේ චිත්‍රපටය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර යන ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් මේ ජයග්‍රහණය නිසා හිටපු ඇමති බන්දුලගේ බැංකු ගිණුමට ඩොලර් වැස්සක් වැහැපු බවට ආරංචි පැතිර ගියේය. රටට ඩොලර් අත්‍යවශ්‍යම මොහොතක ලැබුණු මේ ඩොලර් ප්‍රමාණයත් ඇත්තටම රටට වටින සම්පතකි. 

සන්ධාන ආණ්ඩුවලට වජිරගෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ කණ්ඩායම් මුණ ගැසී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු මෙන්ම රට මුහුණ පා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද සම්බන්ධව ඔවුන් සමඟ සාකච්ඡා කළේය. එම සාකච්ඡාවල තවත් එක් වැදගත් අංගයක් වූයේ "රකිමු ජයතු ලංකා" සංවිධානයේ මහා සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ දිගු වේලාවක් සාකච්ඡා කරමින් කාලය ගත කිරීමය. රකිමු ජයතු ලංකා සංවිධානයේ බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ සභාපති නියාගම සිරි පඤ්ඥාරාම හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටු වජිර අබේවර්ධන රට තුළ උද්ගතව තිබෙන වත්මන් සමාජ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි. සාකච්ඡාවට මුලින්ම මුල පිරුවේ වජිර අබේවර්ධනය. ඒ අනුව 1948 සිට මේ දක්වා ශ්‍රී ලාංකේය දේශපාලනයේ ගමන් මග හා රාජ්‍ය පාලනය පිළිබඳව උදාහරණ ගෙන දක්වමින් දීර්ඝ විග්‍රහයක් කරන්නට විය.

"අපේ හාමුදුරුවනේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන්ගේ සිට එක්සත් ජාතික පක්ෂය රට බාරගත් සෑම යුගයකම රට දියුණුව කරා ගෙන ගියා. රටේ ආර්ථිකය ශක්තිමත් කළා. ජනතාවට දෙපයින් නැඟී සිට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළා. නමුත් අතරින් පතර බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන හා පෙරමුණු ආණ්ඩු ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරමින් රට විනාශය කරා ගෙන ගියා. අද සිදුවන්නේත් එයම තමයි.

මේ ගැන ආසන්නම උදාහරණය ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ගන්නම්. එතුමා 1994 එක්සත් ජාතික පක්ෂය බාරගෙන කිහිප වතාවක්ම රටේ අගමැතිවරයා ලෙස කටයුතු කළා. එතුමට අගමැතිකම ලැබුණු සෑම අවස්ථාවකම මා ඉහත කී ආකාරයට රට කඩා වැටී තිබුණා. ආර්ථිකය බිංදුවට වැටිලා රටේ ඉදිරි ගමන ගැන විශ්වාසයක් නැතිව ගොස් තිබුණා. එලෙස වැටුණු රට අවස්ථා ගණනාවක දී එතුමා ගොඩ ගත්තා. එහෙම කළේ විධායක බලතල තමන් සතුව තබාගෙන නොවේ. විධායකය විවිධ කුහකම් කරමින් කකුලෙන් අදිද්දී එතුමා රට ගොඩනැඟුවා. ඒ සඳහා හොඳම උදාහරණය 2015 යහපාලනය බව සිහිපත් කිරීමට කැමතියි." යැයි කියමින් වජිර දීර්ඝ විස්තරයක් කළේය.

Comments