ප්‍රේමයයි වෛරයයි අතරේ කෙස්ගසක වෙනසකුයි ඇත්තේ | සිළුමිණ

ප්‍රේමයයි වෛරයයි අතරේ කෙස්ගසක වෙනසකුයි ඇත්තේ

ඝාතක සැමියා ද උපාධිධාරියෙක්

දරය, කරුණාව, සෙනෙහස මනුෂ්‍යයන් මිහිපිට දෙවිවරුන් සේ ජීවත් කරවති. එහෙත් වෛරය, ක්‍රෝධය මිනිසුන් මිහිපිට සිටිනා අමනුෂ්‍යයන් බවට පත් කරන්නේ නිමේෂයෙනි. කෙතරම් ආදරයෙන් - කරුණාවෙන් මුසපත්ව විසූවත් මොහොතකින් දලුලා වැඩෙනා වෛරය, ක්‍රෝධය කෙළවර වන්නේ අහස - පොළොව නුහුළන අපරාධයකිනි. 

පසුගිය අප්‍රේල් 24 වැනිදා වැලිවේරිය පොලිස් වසමේ වෑබඩ උතුර ප්‍රදේශයේ නිවෙසකින් ඇසෙන්නට වූ අප්සරා කල්පනී විමලසිරි නමැති 32 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ද ආදරයෙන් කරුණාවෙන් මුසපත්ව සිටි දෙදෙනකු අතරේ දලුලා වැඩුණු වෛරය - ක්‍රෝධය නිසාවෙන් වූ ශෝචනීය ඛේදවාචකයකි.

අප්සරා කල්පනී තම මව, සහෝදරිය සහ යෙහෙළියක සමඟ වෑබඩ උතුර නිවෙසේ සිටියදී ඝාතනය කෙරුණේ ඇයගේ නීත්‍යානුකූල සැමියා විසිනි. මන්නා පිහියකින් කපාකොටා අප්සරා ඝාතනය කළ ඇගේ සැමියා 37 හැවිරිදි ලේල්වල ගම්ආරච්චිගේ මියසිය නමැත්තාද ගෙළ ප්‍රදේශය එම මන්නා පිහියෙන්ම කපාගෙන අප්සරාගේ නිවෙසේ ඉදිරිපිට වූ ළිඳට පැන ජීවිතය නැතිකර ගැනීමට තැත් කළත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට අසල්වාසීහු සමත් වූහ.

අනතුරුව මියසිය ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළුව ප්‍රතිකාර ලබද්දී පොලිස් අත්අඩංගුවට පත්විණි. සැකකාර ඝාතකයාගෙන් පහර කෑ අප්සරාගේ සොහොයුරිය සහ මිතුරියද බරපතළ තුවාල ලත් හෙයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. ඇයගේ යෙහෙළිය දැඩි සත්කාර ඒකකයට ඇතුළුව ප්‍රතිකාර ලබමින් පසු වෙයි.

මරණයට පත් අප්සරා කල්පනී ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු සාමාන්‍ය පවුල් පසුබිමක උපන් කතකි. ඇයට සහෝදරියක්ද සිටී. මව සහ සහෝදරිය සමඟ විසූ අප්සරා 2008 වසරේදී අපොස උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සමාජ විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තාය. පසුව ඉංග්‍රීසි විෂය පිළිබඳව බාහිර කථිකාචාර්යවරියක ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේත් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේත් සේවය කළාය. ඇය දැඩි කැපවීමකින්, අධිෂ්ඨානයකින් ඉගෙන ගෙන ඉහළට ආ තැනැත්තියකි.

මාතර, කැකණදුර පදිංචි 37 හැවිරිදි ලේල්වල ගම්ආරච්චිගේ මියසිය මාතර නගරයේ ප්‍රධාන පෙළේ පාසලකින් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය ලත් අයෙකි. මියසියට විවාහක සහෝදරියන් දෙදෙනෙකි. ඔහු මෙරටට යතුරුපැදි ඇතුළු මෝටර් රථ ආනයනය කරන ප්‍රධාන පෙළේ ආයතනයක අලෙවි කළමනාකරුවකු ලෙස විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටියේය.

මියසියට අප්සරා මුණ ගැසෙන්නේ විවාහ යෝජනාවකිනි. ඒ වැලිවේරියේ වෙසෙන ඔහුගේ ඥාති සීයා කෙනකු කළ යෝජනාවක් අනුවයි. එම විවාහ යෝජනාවට මියසිය සහ අප්සරා මෙන්ම දෙපාර්ශ්වයේ වැඩිහිටියෝද කැමැති වූහ. වසර තුනක පමණ කාලයක් දෙදෙනා ආදරයෙන් වෙළීමෙන් පසු 2017 පෙබරවාරි 06 වැනිදා දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද විවාහ විය. විවාහයෙන් පසු දෙදෙනා පිළියන්දල ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන ජීවත් වූහ. දෙදෙනාගේ විවාහ දිවිය ඉතා සාමකාමීව සතුටින් ගෙවී ගියේය. උගත් බුද්ධිමත් යුවළක් වූ දෙදෙනා අනාගතය ගැන බොහෝ සුබ සිහින මැවූහ. ඒ අතරේ දිනක් අප්සරා සිය සැමියාට කීවේ,

“මට වැඩිදුර ඉගෙන ගන්න නවසීලන්තේ වගේ රටකට යන්න අදහසක් තියෙනවා... ඔයා මොකද කියන්නෙ...“ ඇයගේ වදන් සමඟ නවසීලන්තයට යාමට නොතිත් ආශාවක් මියසියටද පහළ විය.

ඒ අනුව දෙදෙනා කතිකා කරගත්තේ නවසීලන්තයට යාමටයි. ඊට බොහෝ බරපැන සහ වෙහෙස මහන්සි වූයේ අප්සරාගේ සැමියායි. කෙසේ හෝ දෙදෙනා ඉල්ලුම් කළ වීසා අයඳුම්පත්‍රවලින් මියසියගේ වීසා අයඳුම අහෝසි විණි. අප්සරාගේ වීසා ගමන් බලපත්‍රය අනුමත වී තිබුණාය. ඉන් දෙදෙනා මහත් අපහසුතාවට පත්විණි. එහෙත් නවසීලන්තයට යාමට සිය බිරියට හෝ අවස්ථාව සැලසීම ගැන මියසිය සතුටු වූයේය. ඔහු අප්සරාට කීවේ,

“ලැබුණු අවස්ථාවෙන් ඔයා යන්න. අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න. මම ටික දිනක් ගිහින් නැවත වීසා ඉල්ලුම් කරන්නම්. මම එනකල් ඔයා හොඳින් ඉගෙන ගන්න. එතකොට අපිට හොඳ අනාගතයක් සලසා ගන්න පුළුවන් කියාය“ 

අප්සරා 2020 ජනවාරි 28 දින නවසීලන්තයට ගියාය. ඇය නවසීලන්තයට ගිය පසු මියසිය පිළියන්දල කුලී නිවෙසින් ඉවත්ව මාතර, කැකණදුර නිවෙසේ වාසයට ගියේය. ඒ අතරේ දෙදෙනා දෙතැනක වුවත් නිතරම පාහේ වට්ස්ඇප් දුරකථන ඔස්සේ දුක-සැප බෙදාගනිමින් සතුටින් විසූහ. මියසිය, අප්සරා සමඟ කතාබස් කරන වාරයක් පාසාම පවසන්නට වූයේ ඔහුව හැකි ඉක්මනින් නවසීලන්තයට ගෙන්වා ගන්නා ලෙස කරන ආයාචනයයි. එහෙත් එය දිනෙන් දින කල් ගියේ කුමක් නිසාද යන්න අනාවරණය නොවේ. අප්සරාට නවසීලන්තයේදී හමුවූ විදෙස් මිතුරෙක්ද විය. ඔහු ජොනී ය. අප්සරා ජොනී පිළිබඳව සියලු තතු මියසියටද පැවැසුවාය. අනතුරුව මියසිය සහ ජොනීද නිතර දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් මිතුරු ඇසුරක් පැවැත්විය.

මේ අතරේ අප්සරාගේ මව 2020 අප්‍රේල් 03 වැනිදා රිය අනතුරකට ලක්වූවාය. ඇය රාගම රෝහලට ඇතුළුව දින ගණනාවක් ප්‍රතිකාර ලබන්නට වූවාය. අප්සරාගේ මව අනතුරකට ලක්වූ බව සැලවූ සැණින් මියසිය වෑබඩ නිවෙසට පැමිණ මව සුවපත් කරගැනීමට බොහෝ සේ කැප වූයේය. ඔහු එම නිවෙසේ දින ගණනාවක් ගතකොට නැවත මාතර ගියේය. එහෙත් මවගේ වැඩිදුර ප්‍රතිකාර සඳහාත් යාබද නිවෙස සමඟ වූ ආරවුලක් විසඳීමටත් මියසිය අප්සරාගේ වෑබඩ නිවෙසට යළි පැමිණියේය.

2021 ජුලි මස දිනෙක අප්සරා, මියසියට කතා කොට පවසන්නට වූයේ වෑබඩ නිවෙසේ සිටියදී තම මවට ඔහු විසින් අනිසි බලපෑම් කළ බව මව ඇයට කතාකොට දැන්වූ බවයි. ඒ පිළිබඳ අප්සරාගේ ඝාතනයට පොලිස් අත්අඩංගුවට පත් මියසිය පොලිසියට දුන් පාපෝච්චාරණයෙන් කීවේ,

“සර්, එදා අප්සරා මට කතා කරලා කිව්වා මම එයාගේ අම්මට අනිසි බලපෑම් කළා කියලා...“

ඒ පිළිබඳ අප්සරා විසින් මියසියගේ සහෝදරියන්ද දැනුවත්කර ඇත්තේ තම සැමියා යාබද නිවෙසේ ආරවුල වූ අවස්ථාවේ මෙන්ම ඔහු වෑබඩ නිවෙසේ සිටියදී තම මවට අනිසි බලපෑම් කළ බව මව විසින් කී බව පවසමිනි.

එම ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතරේ ගැටුමකට මුල පුරන්නට වූයේ නොසිතූ ලෙසිනි. ඒ සමඟ මියසියට අප්සරා සමඟ වූ කේන්තියද ඉහවහා යන්නට වූයේය. එම කේන්තිය තව තවත් තීව්‍ර වූයේ ඔහුගේ නවසීලන්තයට පා තැබීමේ බලාපොරොත්තුද කෙමෙන් ඈත්ව යමින් තිබූ හෙයිනි. අප්සරා සහ මියසිය අතරේ නිතර බහින්බස් වීම්ද සිදුවිණි.

ඒ ඔස්සේ වූ ආරවුල මත ඇය, මියසියට පවසන්නට වූයේ ‘අපි දික්කසාද වෙමු‘ කියායි. එම යෝජනාවට මුලින් ඔහුගේද එතරම් අකමැත්තක් නොවීය. පසුව දෙදෙනා නැවත සාමදානයෙන් ප්‍රශ්නය විසඳාගෙන තිබුණේ ඥාති හිතෛෂින්ගේද මැදිහත් වීමෙනි. එහෙත් දෙදෙනා අතර නැවත ගැටුම් ඇතිවිණි. අනතුරුව දෙදෙනා අතරේ මාස ගණනාවක නිහඬතාවක් විණි.

එම නිහඬතාව බිඳිමින් 2021 වසරේ නොවැම්බර් මස නැවත දෙදෙනා දික්කසාද වීමට කතිකා කරගත්තේය. අත්අඩංගුවට පත් මියසිය පොලිසියට කිවේ,

“සර් ඒ වෙලාවේ මම කිව්වා ඔයාට දික්කසාදය ඕන නම් මට රුපියල් ලක්ෂ 50ක් දෙන්න; නැත්නම් මාව වසර දෙකකට නවසීලන්තයට ගන්න කියලා“

එහෙත් ඇය ඒ කිසිවකට කැමැති නොවූවාය. අනතුරුව දෙදෙනා අතර නැවත නිහඬ බවක් ඇතිවිණි. එසේ මාස කීපයක් ගත වූයේය. අප්සරා සමඟ කතාබහක් නොමැති වුවත් ඇයගේ විදෙස් මිතුරා ජොනී සමඟ මියසිය කතාබස් කරමින් සිටියේය. මියසිය අතින් අප්සරා ඝාතනය වූ දින එනම් පසුගිය 24 වැනිදා ඔහු ආගිය තොරතුරු විමසීමට මෙන් ජොනී ඇමැතීය. ඒ මොහොතේ ජොනී කීවේ, 

“ඒයි, උඹ දන්නවද අන්න උඹගේ වයිෆ් ලංකාවට ආවනේ...“ මියසියට එම වදන් හදවත පසාරු කරගෙන ගියේ කේන්තිය සමඟ මුසුවූ වෛරයකිනි. ඔහු ජොනීගෙන් වැඩිදුරටත් විමසුවේ, “කවදද ආවේ... දැන් කොහේද දන්නෙ නෑ ඉන්නෙ...“ කියායි.

“දවස් දෙකකට පෙර ලංකාවට ගියේ...“ කියා ජොනී පැවැසීය. එය මහත් විනාශයකට මුල පුරාවි යැයි ජොනී කිසි විටෙකත් සිතන්නට නැත.

ඒ සමඟ මියසියට මාරයා ආවේශ විණි. ඔහු ඒ වන විට සිටියේ මාතර නිවෙසේයි. මියසිය සැණින් මාතර නගරයට පැමිණියේ උන්මත්තකයකු විලසිනි. නගරයට පැමිණ ඔහු වෙළෙඳසලකින් මාළු කපන වර්ගයේ විශාල මන්නයක් සහ තවත් පිහියක් මිලට ගෙන බෑගයකට දමා ගත්තේ අප්සරා මරා දමා තමන්ද දිවි හානි කරගන්නා බව සිතමිනි.

අනතුරුව ඔහු එම බෑගයද රැගෙන අධිවේගී මඟෙහි ගමන් කරන බසයකට නැග කොළඹට පැමිණියේය. කොළඹින් වෑබඩ බසයක නැඟ ඔහු පැමිණියේ අප්සරලාගේ නිවෙසටයි. නිවෙසට ළංවෙද්දී ගොම්මන් අඳුර වැටී තිබිණි. එසේම ප්‍රදේශය සිසාරා විදුලියද විසන්ධි වී තිබුණේය. තිර ලෙසටම අප්සරා නිවෙසට පැමිණ ඇද්දැයි දැනගැනීමට කිසිදු හෝඩුවාවක් නොවීය. මියසිය සිදුකළේ නිවෙසෙහි ඇර දමා තිබූ ඉදිරිපස දොර අසලට ළංව කන් යොමා සිටියේ නිවෙසේ සිටින්නේ කවුදැයි නිශ්චිත දැනගැනීමටයි. ඔහුට ඇසෙන්නට වූයේ අප්සරා දුරකථනයකින් කා සමඟ හෝ කතාබස් කරමින් සිටින වගකි. ඇය නිවෙසේ සිටින බව තහවුරු විණි. වේලාව රාත්‍රී 7 පසුවෙමින් තිබිණි. ගතවූයේ නිමේෂයකි.

දොර අසල සැඟවී සිටින මියසිය සිටින දෙසට දුරකථනය මඟින් කතාබස් කළ කාන්තාව අඳුර මැදින් එන ඡායාවක් ඔහුට දිස්විය. එහෙත් ඒ එන්නේ අප්සරා බව නිසි ලෙස හඳුනා ගැනීමට නොහැකි විය. එම කාන්තාව දොර අසලටම එද්දී මන්නා පිහියද අතැතිව රැකවලේ සිටි මියසිය ඉවක්-බවක් නොමැතිව මන්නයෙන් කොටන්නට වූයේ හිත්පිත් නැත්තෙකු විලසිනි. පිහි පහරවල් අටක්, නවයක් එල්ල කළේය.

පහර කෑ කාන්තාව විලාප තියමින් නිවෙසේ ඉදිරිපස කොටසේ ඇද වැටෙන්නට වූයේ ලේ ගංගාවක් මවමිනි. එම විලාප ශබ්දයෙන් නිවෙස තුළ වූ තවත් කාන්තාවන් දෙදෙනෙකුද කෑගසමින් එළියට බසින්නට වූවාය. අඳුර හෙයින් පිහි පහර එල්ල කළ මියසියට එම කාන්තාවන් කවුරුන්ද යන්න නිශ්චිත ලෙස හඳුනාගත නොහැකි විය. ඔහු නිවෙස තුළින් දිව ආ සෙසු කාන්තාවන් දෙදෙනාටත් මන්නා පහර එල්ල කළේ මාරාවේශයෙනි. එම කාන්තාවන් දෙදෙනාටත් පහර දී තිබුණේ අප්සරා කවුරුන්ද යන්න නිසි ලෙසම හඳුනාගත නොහැකි වූ හෙයින් කෙසේ හෝ ඇය මරා දැමීමේ පිපාසයෙනි. නිවෙසේ ඉදිරිපස වූ විලාපයට අප්සරාගේ මව ද දිව එන්නට වූයේ විලාප හඬ නඟමිනි.

කාන්තාවන් තිදෙනාටම මන්නා පිහියෙන් කෙටූ මියසිය තමන්ද සියදිවි හානිකර ගැනීමේ අටියෙන් එම මන්නයම තබා ඔහුගේ ගෙළෙහි පිටුපසින් අදින්නට විය. එලෙස තුන්වරක් ගෙළ කපා ගැනීමට තැත් කළත් එය නිසි ලෙස සිදු නොවිණි. අනතුරුව බෑගයේ වූ රෙදි පටියක් ගෙන ගෙළ සිඳ මරණයට පත්වීමට තැත් කළත් එයද පලක් නොවීය. අනතුරුව ඔහු සිදුකළේ ක්ෂණිකවම දිවගොස් අප්සරාගේ නිවෙසට ඉදිරිපස වූ ළිඳට පැන සියදිවි හානි කරගැනීමට තැත් කිරීමයි. එහෙත් ඔහුගේ ජීවිතය මරණයෙන් ගලවා ගැනීමට අවට වාසීහු සමත් වූහ.

මේ පිළිබඳ විමර්ශන ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වාගේ උපදෙස් මත වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප⁣ පොලිස් පරීක්ෂක ජයතිස්ස ඇතුළු උපපොලිස් පරීක්ෂක ඉසුරු, පොලිස් සැරයන් හෙට්ටිආරච්චි, ගම්පහ අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් සිදු කළහ.

ඡායාරූප - සුදත් පුබුදු කීර්ති 
දෙල්ගොඩ සමුහ

Comments