කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

තාත්තා

167 බසයේ නැගී
බේක්හ­වුස් එක ළඟින් බැස
ඇස් වාට්ටුව පසු­කර
ඇවිද ගියා නව­සිය අසූ­හයේ
ෆොස්ටර් පටු­ම­ඟට

ඔබ මා කැටුව ආවා පාසල
මහ­බෝ­ධිය වෙත
කලින්දා මහ­වැහි වැහැලා
ජල­යෙන් යටවී තිබුණි
ෆොස්ටර් පටු­මඟ‍

අද යන්නට ඕනේ නැහැ පාසල් අපි
යමු තාත්තෙ ආපහු ගෙදර
මා කිව් නමුත් ඔබ නැහැ ඇසුවේ
එම බස
කලි­සම නමා ගත්තා ඔබ දණ­හිස
තෙක්ම
ඉන්පසු මා වඩා ගත්තා ඔබ දැඩිව

තර­ණ­ය­කර ජලය මා කැටුව
ඇර­ලුව පාසල වෙත ඔබ
සෙනෙ­හ­සින

ගංව­තු­රෙන් නොවේ ඔබ මා
එතෙර කළේ
ඒ අව­දියේ නැහැ මසි­තට හැඟී ගියේ
සිප් සයු­රින් එත­රට මා
රැගෙන ගියේ
හැඟුණේ අදයි ආදර බර පියා­ණනී

ජය­නාත් ඉන්ද්‍ර­ජිත්

---------------------

දුදන ගති එපා!

ඉරි­සි­යාව වයි­රය ක්‍රෝධ­යෙන් පිරී
නිසි මඟ නොදැන වල්මත් වී නොගෙන දිරී
කාලය ගෙවා දැමු­වත් අග­ති­යට හැරී
නොම­ළත් මැරුණු මිනි­සෙකි ඔහු වැඩක් බැරී

පින පව කියා කිසි­වක් හඳු­නන්නෙ නැතී
සුග­තිය නොවේ, අග­ති­ය­ටම නිතර ගැතී
දිව රෑ දෙකෙහි කෙනෙ­කුට මර උගුල් ලතී
මේ වැනි අයට වැහි නැති හෙන පාත් වෙතී

හොඳ වැඩ­ව­ලට හිත යොදනා අය අඩුය
සිටිනා අයත් ගිනි­ගෙඩි දෙන රජ බඩුය
පෑගෙන එකා ගෙල­වට ගෑවෙන කඩුය
වැර­දුණු තැනදි අධි­ක­ර­ණයෙ මහ නඩුය

ගතු කිය කියා මිනි­සුන් එකි­නෙක කොටන
මිය­ගිය විටදි අඬ අඬ කඳු­ළැලි පෙරණ
මේ වැනි අයට උප­මා­වක් ඇත පොරණ
කහ­ඹි­ලියා වගෙයි ගෑවුණ තැන කසන

පෙනු­මට කතා­වට කෙනෙ­කුව මනිනු එපා
ගම­නට ලතා­වට රැවටී සිටිනු එපා
මුද­ලට බලේ­කට උඩ­ඟුව සිටිනු එපා
මිනි­හට නිගා­වට කට­යුතු කරනු එපා!

එස්. සම­ර­නා­යක

----------------------
වියෝවේ ආව­ර්ජ­නය

ඇසු­වෙමි උදෑ­සන පැති­රෙන කටින් කට
දුටු­වෙමි ඒ වදන් සැක­හැර දෙනෙත් පිට
සිතු­වෙමි නොප­මාව කිම­දැයි විටින් විට
දිව යමි අතී­තෙට සිති­විලි මෙනෙ­හි­ කොට

දස­මස කුස­දරා මෙලො­වට බිහි­කෙ­රුවා
රුධි­රය කිරට හරවා කුස­ගිනි නිමුවා
දින සති මාස ගෙව­මින් හැඩි දැඩි කෙරුවා
අම්මා මගේ මා වෙත සෙනෙ­හස පිදුවා

පිය­වර ඔස­ව­මින් දුව අගු පිල ගාව
යන­විට පසු­ප­සින් අල්ලා ගෙන මාව
යන්නට එපා කබ­රය ඇත ළිඳ ගාව
කිය­මින් බත් කැව්වෙ සන­ස­ව­මින් මාව

ගෙව­මින් ළදරු විය පසු­කර ළමා විය
එල­ඹුණු විලස සිප් ලැබ­ගනු පිණිස සිය
දෙගු­රුන් සමඟ එක්වී දෙන දැනුම් ලය
ජය­ග­න්නට පාර සැදුවා ජීවි­තය

පෙරදා උදෑ­සන අව­දිව හිමි­දි­රියේ
වරදා නොගෙන පාඩම් කර ලහි ලහියේ
වැරදා නැගී සිටි­නට දෙප­යින් දිරියේ
පරදා ජය­ගන්න බාධක එන දිවියේ

දින­යක මාව පාසල වෙත ගොස් ඇරලා
එන­විට මඟ දුවන බස් රිය­කට හැපිලා
දැන­ග­න්නට ලැබුණි පාසල වෙත හැරිලා
එන­විට දැක­ගන්න මගෙ මව මිය ඇදිලා

ඊ. සී. අම­ර­සේන ප්‍රනාන්දු

--------------------------------

මුනු­බු­රා­ටයි

හෙළු දහ­දිය කඳුළු මේ මහ පොළොව මත
දලු ලා වැඩෙන ගහ කොළ වැල කියනු ඇත
වලු බර­වෙලා කොස්, දෙල්, පොල් හතර ඇත
කුළු­ඳුල් මුනුපුු­රුට කිසි­වක් අඩුව නැත‍
­
ඉටු කොට වග­කීම පැවැ­රුණු තිඹිරි ගෙයින්
කටු­මැටි ගෙපැල පුරවා ඇත අවැසි දෙයින්
කොටු කර බැඳුණු වැට කටු බිඳ කළෙමි අයින්
දෙටු පුත් වඩා හිඳු­වමි එහි රජෙකු සෙයින්

ඉහ­ළට නගිනු දැක දෙප­යින් ඇදපු අයත්
මහ­ගෙට ඇවිත් අද නුඹේ දුක සැපත සොයත්
පිහ පිහ තුටු කඳුළු උන්ගෙන් පිටව ගියත්
බහ­තෝ­රන පුතුට ලොකු අප­ල­යක් එයත්

දුන්හිඳ වගේ මුව පුරවා සිනා­සෙ­න‍
­හන් කිති කවා නුඹ සිප සන­ස­වා­ලන
වං හුං සොයා එන නෑකම කියා­ගෙන
උන්ගෙනි පරි­ස්සම් විය යුතු ළඟා­වෙන

ලේ උරු­මයේ කෙනෙ­හිලි දඬු­ව­ලින් තැනූ
ප්‍රාසා­ද­යකි නුඹෙ අතු­පැල රජුන් දිනූ
මායිම් වැටෙන් පැන එන ගෙට අරන් කුණු
නෑයින් ගැන පුතුනි හෙට විප­ර­මෙන් ඉනූ

මහ පුර­පුරේ සම් මස් ඇට පොහොර වුන
බිම මගෙ පුතුට දෙනු ඇත ජව සවිය නැණ
ගන්නට නොදී භුක්තිය පිට උනට පැන
තර කොට හතර මායිම වැට බඳිනු මැන

ඇති හැකි දාට දෙති සම­හරු පණට පණ
වැති­රුණු දාට කිසි­වකු නැත ළඟට එන
රුති හැම දේම විය නොහැ­කිය ඇඟට ගුණ
පැති­රෙනු ඇත සුවඳ මිනි­සුන් වෙසෙන තැන

තල්ග­ම්පල ගුණ­සේන
පසු සට­හන - (තල්ග­ම්පල ගුණ­සේන
කිවි­ඳුන්ගේ පුතු හා මුනු­පුරා පසු­ගි­යදා හදිසි අන­තු­ර­කින් අභා­ව­ප්‍රාප්ත විය. මේ කවියා විසින් සිය මුනු­පුරා උපන්දා ලියන ලද පැදි පෙළකි)

------------------------------------

හද සෝ සුසුම්

ආදර රුව ඔබගෙ දුටුවා මඟ තොටින
හෙළුවා සුසුම් ගලනා කඳු­ළින් සැලෙන
පිරි­ම­දි­මින් හිස සිඹි­මින් දෙකො­පුල් ඇයගේ
පෙරදා සෙනෙහෙ සිහි­වීම හිමි ඉකි බිඳින

දිසුනා ගිලන් වූ ඇගෙ ගත නෙතිනේ
වැඩුවා සෝ සුසුම් දකි­මින් රුව සයනේ
පැතුවා මුණ ගැසෙ­න්නට මතු අත් භවයේ
සිතුවා නිද­න්නට මොහො­තක් ඇගෙ තුරුලේ

සුපිපි කුසුම ඇයයි සසර දිවි ගමනේ
පැතු­මත් මතු භව­යෙදි ඇය­මයි හිමි සඳුගේ
මහ­මෙ­ර­කට සමයි සෙනෙ­හස සිත ඇතුළේ
ඉඩ­කඩ මදිද ම‘වෙනු­වෙන් ඔබෙ මනසේ

කණ වැකු­ණත් ඔබගේ පෙර පෙම් පුවත
පැතුවේ නැත මෙවැ­න්නක් කිසි දවස
සක­සනු කෙලෙස මෙමාගේ බිඳුණු සිත
දවයි සියො­ළ­ඟම නඟ­මින් සෝ සුසුම

අශෝකා මල­වි­ආ­රච්චි

----------------------------

සිනහ අරන් මං එන­තුරු

කඳුළු සඟ­වනා ඇස් යට තියා සුසුම් කැට
හැම හව­සක පාර බලන බලා­පො­රො­ත්තුව
රෑ කළු­වර ගෙට ඇවි­දින් කඩා දමන විට
ඇයි හලන්න හිතුනෙ නැත්තෙ නෙතින් හිතක බර

ගනින්න තව පුංචි ඇඟිලි මදි කොට පොඩි අතේ
කොහො­මද ඉව­සන් ඉන්නට පුරුදු වුණේ පුතේ
තනි නොත­නිය පව­රාදී අත්ත­ම්මට නුඹේ
අම්මගේ උණු­හුම හෙව්වේ චීත්තෙන් ද මගේ

දින දෙක­කට පව­රා­දුන් උරු­මය යළි ගෙන
පිට­වෙන විට මම ගෙද­රින් තව සති දෙක­කට
සිත් බැම්මෙන් වාන් දමන සැඩ දිය රැලි කඳ
හැංඟුවේ නුඹ වසා­ගෙන ද දෑස් පියන් යට

මුළු සක්වල ඇති ගිනි­කඳු පුපු­රද්දී ළයේ
නිහ­ඬව නුඹෙ හිස පිරි­මැද පිට­වෙමි මම උදේ
දහ­ඩිය කාසි­යක ඔතා සිතේ පුරා සෙනේ
එන­තුරු සින­හත් අර­ගෙන මඟ බල­පන් පුතේ

මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි
 

--------------------------

පොප්ලර් ගස් අසල


වියළි ගොම
උණු­සු­මට පිලි­ස්සෙන
පිදුරු මිටි

සෙවණ දෙන අහස යට
ගල් කූරු, ගල් ලෑලි
එකතු කර
සොඳු­රු­තම ශිල්ප සැදූ
ආද­ර­ණීය දුයි­ෂෙන්ලා

මතක පද මුසු­ක­ර­ගත්
වාත­ලය සිසාරා
හාද බසම ඇමතූ
ආද­ර­ණීය හඬම විය

පියෙන් පිය ඉහ­ළ­ටම
ගොඩ­නැඟූ සිත සවිය
ජීවිතේ හිනි පෙත්ත­ටම
පිය නැඟූ මාව­තම විය

ආද­ර­ණීය ජීවි­තය
අකුරු කළ
තක්සලා බිම
අයි­ලයේ කඳු අතර

මිහි­රි­තම මතක විය
අතී­තයෙ ගලා ගිය
යළි කව­දා­වත් ම හමු­නො­වන

නයන්ත ජගත් පුංචි­හේව

------------------------

උඹ නිසා දුවේ මං

දෑතෙ දසැ­ඟිලි අතර කර­ගැට
දෑස් යුග යට උණු කඳුළු කැට
දාහෙ උතු­රන චණ්ඩ හිරු යට
කුස­ගින්න ඔච්චම් කළා මට

රිදුම් දෙන මගෙ දෑත දෙප­යට
වාරු නැතිවී ඇස් පියෙන විට
ඇඳුණු නුඹෙ රුව ඇස් පනා පිට
දිරිය දුන්නා නැගිට ගන්නට

යස ඉසුරු මහ ගොඩක් නැතු­වට
අකුරු අමුණ දිනන තර­ගෙට
සිදා­දියෙ ලොකු තක් සලා­වට
උඹව යැව්වේ හිතේ හැටි­යට

දිවි­සැ­රිය නිම­වෙන්න ළඟ මට
කාරි නැහැ මහ කාසි නැතු­වට
දුවේ නුඹ කී ඇඳුම ගන්නට
හැකි­වේද මට ලැබෙන පන­මට

උදේ බිව් එක කහට උගු­රට
බැරිම නැහැ තව පැයක් ඉන්නට
වෙහෙස නොබලා මෙහෙම කෙරු­වට
හැකි­වෙ­යිද දිවි මඟ දින­න්නට

විරාජ් හෙට්ටි­ආ­රච්චි

--------------------------

කෙක­ටිය මල ගංදිය ඇම­තීම

නිමිත්ත - දිනෙන් දින මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා ගංදි­යට සිදු­වන අහි­ත­කර බල­පෑම)


පෙර එ‘දවස ඔබ සම­ඟින
හාදු දී රහස් මුමු­ණ­මින
සෙනෙහෙ කවි ගොත­මින
සියො­ළඟ දැව­ටුණි සතො­සින

මෙ‘දවස ඔබ ගතින
අහි­මිය සුවඳ කැටි­වුණ
ගත­වත මැලවී ගොසින
කිම ද ප්‍රිය ගංදිය සොවින

යායක් සේ වික­සි­තව දිලි­හුන
කෙක­ටිය සහෘද සැඟ­වුණ
මියැ­දි­ලාය... වැන­සි­ලාය
ගංදිය හද­වත සොව පිරුණ

අප වටා නිර­තුරු වෙසුන
බිගු කැළ කොහේ නැත කළණ
පාසි පෙද සැඟව වරල් ගස­මින
මින් රැළ නැත නෙතු දකින

කෙක­ටිය මල් නෙළ­න්නට පිහි­න­මින
ඕලු මානෙල් පුද­න්නට ඔරු වෙතින
ගංදිය හා මිතු­රුව සිටි සහෝ­දර දන
පෙර දසුන පම­ණ­කිය අද දින

නිස­ලව වස­විස ගත පුරෝ­ගෙන
නිබද ගමට සෙත ගෙන දුන්න
ආදර නදී නෙතු වසා­ගෙන
මියැ­දෙන නුඹ සමඟ මාද පණ අදින

ජේ. එච්. සමන් අතුල කුමාර

-------------------------

ඔබ

නොඉ­ව­සිලි හැඟු­මන්
පොපි­යන රෑ මැදි­යම
නුරා සුසු­මන් සුව­බර
දැව­ටේය මා සියො­ළඟ

සවන් සන­සන පෙම් බස්
පවන් සලනා මොහො­තක
ලවන් පෙති මත තෙර­පුණු
හසුන් යුව­ළක් හති ලන

නිල් වරල ළය අතුරා
සිහින දකිනා රෑ යම
උයන් තෙර පිපි මල­කට
පිනි ඉසියි නල නල­ඟන

විගස එනු මැන කිය­මින්
බැතින් පා යුග නම­දින
වෙතින් ගිලි­හුණු කඳු­ළක්
පතිත වෙයි බොල් පොළො­වට

තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ

-------------------

ධීව­රි­යගේ අරු­ණැල්ල

සඳ දිය ගලනා ගොම්මන් වේලේ
බක­මූ­ණ­න්ගෙන් පාර අසා
ලන්තෑ­රුම හා මා දැල අර­ගෙන
වෙර­ළට පිය නගනා
හිත බර බව දනිමී..

කටු­මැටි ගෙපැළේ පොල් අතු අස්සෙන්
සුදු වෙළ­පෙති පාවී
මට පණි­වුඩ දේවී
සෙනෙ­හස සිහි­වේවි
සැක බිය දුරු­වේවි

අරු­ණලු ඇති­රෙන සීතල හිමි­දි­රියේ
ගත සවි කරනා
සිත සුව සඳහා
දෙවි­ඳුන් පිළි­ග­නිමී

කුසුමා වර්ණ­සූ­රිය

-------------------

අම්මේ

අහස් කුස අඳුරු වී
රැහැයි හඬ ඇසෙ­නවා
පාළු මූසල බවක්
හිත පුරා දැනෙ­නවා

ඉකි ගසන දිගු රැයම
මතක තුළ සර­නවා
මල් ඇතුරු සය­නයේ
නුඹ සුවෙන් නිද­නවා

දරු සෙනෙහේ පෙර දිනයේ
බැදුණු හැටි දැනෙ­නවා
මිලින වත ඒ වගක්
නොදැන මෙන් ඉන්නවා

සොබා දහ­මට නතුව
නොඑන බව දන්නවා
අම්මෙ යළි නුඹට මම
නිවන් සුවය පත­නවා!

කාන්ති කණ්ඩම්බි

------------------

ජීවි­තය

වැලි කතරේ
කටු පදුරේ
මල් කැකු­ළක්
ඔහේ තිබේ

වන වදුලේ
තුරු ගොමුවේ
මල් කැකු­ළක්
පිපී සැලේ

උයන් තෙරේ
මෑත ඉමේ
මල් කැකු­ළක්
සැලී දිලේ

සොහොන් බිමේ
ඈත ඉමේ
මල් ගොන්නක්
පරව වැටේ

උපුල් වික්‍ර­ම­නා­යක

------------------

තනිවූ පඹයා

පරණ කොහු මිටක්
බිඳී ගිය ලෑල්ලක්
එප­ම­ණ­කින් නිමැ­වුණ
කඩ­මළු අත්වැ­සුම් වෙළා ඇති
මගේ ඇට­සැ­කිල්ල
කැතයි පිළි­කු­ලයි
එක පය­කින් ගිලී සුසා­නයේ වෙසෙ­න්නෙමි

කම්ක­රු­වෙ­කුට එපා වී අත්හල
කබා, කමිස, කලි­සම් ඈ ඇඟ­ල­න්නෙමි
අව්වට වේළි වේළී
වැස්සට තෙමි තෙමී
වට හිම­ව­ලින් දිලි­සෙ­මින්
කුරු­සි­යට අනු රූ රැකිල්ල දරා
කඳු ශිඛ­රයේ වෙසෙ­න්නෙමි

අපුල මගෙ පෙනුම
ලකළ කර ගන්නට
නෑනි, මට හැකි­යා­වක්
මගේ හිස් වැසු­මත්
පිදු­රු­ව­ලින් පිරිලා
වන­ගැබේ සියො­තුනි එන්න
ඇවිත්, මට තුරුලු වී
බඳිනු මැන කැදලි
නිර­තු­රුව ඇයි, ඉවත බලා
ඉගිළ යන්නේ?


James KirkUp


James KirkUp ගේ 'The Lonely Scare Crow' නම් පද්‍ය යේ සිංහල අනු­වා­දය
James Harold kirkup 1918 අප්‍රේල් 23 එංග­ල­න්තයේ උපත ලැබී ය. ඔහු කවි­යෙකි, භාෂා පරි­ව­ර්ත­ක­යෙකි. ලේඛ­ක­යෙකි. 2009 මැයි 15 මිය ගියේ ය.

ජේ. ජී. රණ­තුංග

------------------------


අබි­සරු ලියක් නොව

හත්අට වරක් බල­මින් දුන් මුදල වෙත
අවි­හිං­සක බැල්ම ම‘දෙසට හැරුණ නෙත
පපු­වට තියා හිස මුඳු­නෙහි බැඳුණි අත
එම සුළු මොහොත තව­මත් මත­ක­යෙහි ඇත

ඔත්පල පිය සබඳ ලෙඩ ඇඳ මතට විණී
අග හිඟ­කම් එකින් එක ගෙය තුළට පනී
ඇය මහො­සද පඬිඳු අත­ගත් බිරිඳ වැනී
නිවුනේ වෙහෙස මත දරු පැට­වු­නගෙ ගිනි

පිට මැද සැලෙන කෙහෙ­රැළි නොති­බුණි පීරා
අඩ සඳ නළ­ල­තින් එයි දහ­දිය දාරා
නිලු­පුල් නය­න­යුග දෙකො­පුල මුතු රූරා
ඉඳ­හිට පතිත වෙයි ගත­හැකි වෙද තෝරා

අවි­හිං­ස­කය නෙතු මුව­සිරි නයන කලු
හුරු වී තිබුණි එන දුක සැප දෙකම රළු
කහ­වණු සොයා ගත­හැ­කි­මුත් පිරෙන මලු
අබි­සරු ලියක් නොවුනා මුද­ල­කට සුළු

විහි­දෙන දිවි සුවඳ දුක­කිය ගැටෙන පැහැ
රොන්සුණු නිරස විණි බිඟු කැළ එතන නැහැ
උන් මන්මත්ව යොමු කළ­මුත් නිතර ඇහැ
මෙම සඳ­කි­ඳු­රි­යගෙ හිත ඩැහැ ගැනුම බැහැ

බොරු­වෙන් මුළා කොට මැසි­විලි දෙඩ වීම
සම­හරු කර­න­මුත් බොරු­වට රඟ පෑම
දෙන දේ තුටින් ගෙන වෙන තැන­කට යාම
දුටු­වෙමි ඇගේ යහ­ප­ත්කම ඉවසීම

බුළු­තොට පිය­සේන හේවගේ

**********************

සතියේ කවිපොත

කවි පොත - තිත් සහ කොමා

කර්තෘ - මංජුලා පියුමාලි

මිල - රුපියල් 300/= පිටු 60

විමසිම් - 0772632528

රීඩින් ප්ලැනට් පබ්ලිෂර්ස ප්‍රකාශනයකි

වෘත්තියෙන් වෛද්‍යවරියක වන මංජුලා පියුමාලි ද සොයිසාගේ කාර්යයබහුල ජීවිතයෙන් ලද මඳ අස්වැසිල්ල මේ යැයි කියන්නක් බඳුය ‘තිත් සහ කොමා‘.

ඇගේ කවි අපූරුය. ඒ කවි වල වචන හුරුබුහුටිය. ඇතැම් කවියක එන අදහස ද හුරුබුහුටිය නමුදු ඒ වචන වල අරුත සොයා යන විට එහි හමුවන ගැඹුර විශාලය.

මිදුල හැඩ වැඩ කිරිමට ඇතැමුන් නොයෙක් දෑ කරති. විශේෂයෙන්ම මල් ගස් වලට කැමැති අය මල් සිටුවති. ඇතැමුන් කැමති විසිතුරු පත්‍ර ඇති ශාඛයන්ටය. මිදුලේ බොහෝ වෙහෙස මහන්සි වි හිටවූ මල් බදුන් වල නොව වෙනත් කොහෝ හෝ අහුමුල්ලක ඉබේ හැඳුනු ගසක මල් පිපුණු විට එය අපුරුය. වෙහෙස මහන්සි වී කරන කටයුතු වලින් නොව බලාපොරොන්තු රහිතව කරන වැඩවලින් සිතුවාටත් වඩා යහපතක් සිදුවන විට එහි දැනෙන මිහිරි බව අගේය. කියන්නේ මල් ගැන වුවද එහි ඇති ගැඹූර ඊටත් වඩාය. මේ කවිය ද එවැන්නකි. මාතෘකාව ‘මලු සහ මුලු‘.

ලස්සන ම

මල් ගෙනත්

සිටෙව්වත්

මලුවල...

රොන් පිරුණු

මල් පිපුණෙ

නොහිතපුම

මුලුවල

අතහැරීම ජීවිතයට වටින්නේ එහි සැහැල්ලුව සිතෙට දැනෙ විටය. තදින් අල්ලාගෙන සිටි යමක් හිතින් අත්හැර දෑමු විට දැනෙන සැහැල්ලුව අමුතුවෙන් කිවයුතු නැත අත්හැරිම ජීවිතය විදීමට සැහැල්ලුවකි. මේ එවන් නිදහස පිළිබඳ කිවිඳියගේ අදහසයි.

මාතෘකාව ‘අත හැරීම‘

අල්ලා තදින්

උන් හැම දේම

යන්නට හරිමි

දැන් සුව දේ...

බුදුන් දවස රා කළ පොවා බුදුන් යන මඟ ඉදිරියට යැවු ඇතා නාලාගිරිය. මේ නාලාගිරි එදවස සිට අද දක්වාම අපේ මිනිසුන් අතර ප්‍රසිද්ධය. තම තරම නොදැන බීමත්ව කළහා කරන්නෝ නම් කරන්නේ නාලාගිරි කියාය. එදත් අදත් හෙටත් අපේ සමාජයේ නාලාගිරිලා ඕනෑතරම් වේ. තරම නොදැන බීමත්ව තම පවුලට, දරුවන්ට විනාශ කරන්නෝ, අඩම්තේට්ටම් කරන්නෝ ගැනය මේ කෙටි කවිය. ඒ වචන කෙටිය. නමුදු ඒ ඔස්සේ අපට යා හැකි දුර බොහෝය මාතෘකාව ‘නාලාගිරිලා‘.

මලින් සරසා

තිප්පොළ

දමති වනසා

සිය පැල

ආදරයෙන් බැදී කුළගෙට පැමිණි පසු, එහෙමත් නැති නම් ආදරයෙන් බැඳුණ දෙදෙනෙකු අතර ආදරය සදා කාලික වන්නට නම් ඔවුනොවුන් අතර බැදීම, අවබෝධය මෙන්ම විශ්වාසය ද තිබිය යුතුය. නමුදු කුමක් හෝ දෙයක් පලුදු වූ විට ඒ බැදිමේ ඇත්තේ කවර නම් විශ්වාසයක් ද? විශ්වාසය නැති වු විට සියල්ලම අවසානය. ඇය ලියන්නේ එවන් බැදිමක් යැයි හැඟෙන්නේ මේ කෙටි කවිය ගැන නැවත නැවතත් සිතන විටය. ඇය ඊට නිදසුන් සොයා අපේ බෞද්ධ සාහිත්‍යෙයනි. අවධානය පිණිසය. මාතෘකාව ‘අවධානය පිණිසය‘.

තත් සිඳුණ

වීණාව

වයන්නට

මා,

ගුත්තිල

නොවෙමි..

‘තිත් සහ කොමා‘ අතර මෙවැනි කවි බොහෝමයක් අපට හමුවේ. මංජුලා පියුමාලි කෙටි පද වලින් බෝ අරුත් ගෙන දක්වන්නට උත්සාහ දරා ඇත.

 

 

ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.
කවි සිළුමිණ, ලේක්හවුස් - කොළඹ 10. දුරකථනය 011 2429265

Comments