
- සූර්ය බල පද්ධති ගැන ප්‍රචාරය අවම කරයි
- පෞද්ගලික මිලදී ගැනීමට මණ්ඩලයේ ප්‍රමුඛතාව
තිස් අවුරුදු මහවැලි ව්‍යාපාරය කඩිනම් මහවැලි ව්‍යාපාරයක් බවට පත් කර පස් අවුරුදු සැලැස්මක් යටතේ අවසන් කරන්නට එකල සැලසුම් කෙළේ රටේ විදුලි බල අවශ්‍යතාවය කඩිනමින් සපුරා ගැනීම පිණිසය. එවකට ඈත ගම් දනව්වලට පවා විදුලිය සපයන්නට තරම් අතිරික්ත විදුලියක් නිෂ්පාදනය වන බවක් පෙන්නුම් කළ අතර එකම ගැටලුව වූයේ විදුලි බලය බෙදා හැරීම සඳහා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමය.
එකල ගණනය කිරීම් අනුව 1980 අවසානයේ විදුලි අතිරික්තයක් ජනනය කළ හැකි බවත්, එම අතිරික්ත විදුලියෙන් ඉන්දියාවටද විදුලිය සැපයීමට හැකිවනු ඇති බවත් අපි පුරසාරම් දෙසුවෙමු.
එහෙත් අපේ රටේ වැඩිවන ජනගහනය මෙන්ම ජල විදුලිය ප්‍රමාණවත් නොවුණේ කඩිනම් නාගරීකරණය නිසා මෙන්ම රූපවාහිනියේ සිට සුපිරි භාණ්ඩ පරිහරණයද ශීඝ්‍රයෙන් වැඩිවීම නිසාය. එම නිසා අපේ ගණන් බැලීම් වැරදුණි. ඉන්දියාවට විදුලිය සැපයීම කෙසේ වෙතත් අපටවත් ජල විදුලියෙන් සෑහීමකට පත් වන්නට නොහැකි බවක් පෙනෙන්නට විය.
හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම පිණිස කැලණිතිස්ස ඇතුළු තාප බලාගාර බලාගාර ස්ථාපිත විය.
වැඩිවන විදුලිය ඉල්ලුම සපුරා ලන්නට අපට ජල විදුලියෙන් හැකියාවක් නොමැති බව පෙනෙන්නට වූයේ 80 දශකයේ සිටමය. ඒ නිසා ඒ වෙනුවෙන් කළ හැකි ක්‍රමවේද යෝජනා කිහිපයක් කරළියට ආවේය
එයින් මුල් තැනක් ගත්තේ සූර්ය බලය මගින් විදුලිය නිපදවීමයි, දෙවැන්න ලෝකයේ ඒ වන විට අවම මිලකට විදුලිය බලය නිපදවිය හැකි ගල්අඟුරු බලාගාරයි. ඊට අමතරව සුළං මෙන්ම මුහුදු රළ මගින්ද විදුලිය බලය සපයා ගැනීමේ යෝජනා විය.
සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ ක්‍රමවේදය වරෙක ඉස්මතු වී වරක යට යන්නට විය. එයින් ගල්අඟුරු බලාගාර සංකල්පය ඉහළට එසවුණි. ප්‍රථම ගල් අගුරු බලාගාරය ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ස්ථාපිත කිරීමට යෝජනා විය. එයට නැඟෙනහිර පළාතෙන් නැඟුණු විරෝධය නිසා එය දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මාවැල්ලට ඇදී ගියේය. එහිදීද නැඟ ආ විරෝධතාවය නිසා එයද අත් හිටුවන ලදී.
එහාට මෙහාට ඇදෙමින් තිබූ ගල්අඟුරු බලාගාර කතාව එයින් මඳ කලකට යටපත් විය. පසුව. ජනශුන්‍ය ප්‍රදේශයක හෝ එය ස්ථාපිත කළ යුතු බවට වූ යෝජනාවක් නිසා අවසානයේ නොරොච්චෝලේ එය ස්ථාපිත කිරීමට සැලසුම් කෙරිණි. එයටද විරෝධය නැඟ ආ නමුත් පාරිසරික වාර්තා ඇතුළු සියල්ල සපුරා චීනය ආධාර ඇතිව එය ස්ථාපිත කිරීම ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ දැනට පවතින විදුලි අවශ්‍යතාව සපුරාලීමේදී අඩුම විදුලි ප්‍රභවය වන ජල විදුලිය උත්පාදනයේදී විදුලි ඒකකයක පිරිවැය රුපියල් 2.77ක් වන අතර එයින් රටේ විදුලියෙන් සපුරා ගත හැකිවන්නේ 24% ක් පමණි. දෙවනුව පිරිවැය අඩු විදුලි උත්පාදනය ගල්අඟුරු බලාගාරවලිනි එහි එක් ඒකකයක පිරිවැය රුපියල් 9.74කි. එයින් සපුරාලිය හැකි විදුලිබල ප්‍රතිශතය 34.8%කි. එමෙන්ම ඩීසල් ඇතුළු ඉන්ධන භාවිතයෙන් විදුලිය උත්පාදනයේදී ඒකකයකට රුපියල් 25.72ක් වැය වේ. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති මඟින් විදුලිය නිපදවීමේදී ඒකකයකට රුපියල් 22 ක් පමණ වැයවන අතර එහි සමස්ත දායකත්වය 10%ක් පමණ වේ.
ශ්‍රී ලංකාවේ පවත්නා මේ විදුලි අර්බුදයට පිළියම් සෙවීමේදී ඉදිරි අවුරුදු 20 සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කර ඇති විදුලි ජනන සැලැස්ම තුළින් බලපොරොත්තු වී ඇත්තේ අවම පිරිවැය සහිත විදුලිය නිෂ්පාදනයකි. ‘ලංකා විදුලිබල මණ්ඩලය සඳහා වන අවම පිරිවැය සහිත දිගුකාලීන විදුලි උත්පාදන විකාශන සැලැස්ම’ යනුවෙන් අනුමත එම සැලැස්ම 2018 වසරේ සිට වසර 2039 කාලසීමාවේ විදුලිය සැපයීම සඳහා වූ දිගු කාලීන සැලැස්මකි. එහෙත් එහි කටයුතුද මේ වන විට ප්‍රගතියක් අත් කරගෙන නොමැත. කොවිඩ් 19 නිසා සියල්ල අඩපණ වූවා යැයි කිසිවකුට කිව නොහැකිය. එම සැලැස්ම අනුව මෙගාවොට් 4,800ක නිෂ්පාදන ධාරිතාවක් පවතින ‘ස්වාභාවික ද්‍රව වායු’ (එල්එන්ජී) බලාගාර ආරම්භ කිරීමට කටයුතු යෙදිණි. එහිදී ස්වාභාවික ද්‍රව වායු විදෙස් රටවලින් ආනයනය කළ යුතුය. එම ආනයනයද සිතන තරම් ලෙහෙසි පහසු නැත. වායු ද්‍රවීකරණය කර ආනයනය කළ යුතුය.
රටේ සමස්ත විදුලිබලය සැපයීමට ප්‍රමාණවත් විදුලිය නොමැති වූ විට විදුලිය බල මණ්ඩලය සිදු කරන්නේ පෞද්ගලික අංශයෙන් විදුලිය බලය ලබා ගැනීමයි. එහිදී එම නිර්දේශ කමිටුවට අත යටින් ගනුදෙනු පැමිණීම කාලාන්තරයක් තිස්සේ ඇති ප්‍රසිද්ධ රහසකි. මේ වන විට මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් 27%කට ආසන්න ප්‍රමාණයන් පෞද්ගලික අංශයෙන් මිලට ගැනීමට සිදුව තිබේ.
වැඩි මිලට ගන්නා විදුලිය ඒකකයක් ජනතාවට අඩු මිලට ලබාදෙන නිසා මණ්ඩලය හැමදාමත් පාඩු ලබන ආයතනයකි. එහෙත් අතිකාල ලබන සේවකයන් මෙන්ම අතිවිශාල දීමනා සහිතව ලක්ෂ දෙක තුන වැටුප් ලබන ඉංජිනේරුවන්ගේ වැටුප් මණ්ඩලයට විශාල බරකි.
මේ තත්ත්වයට විසඳුමක් ලෙස අනිවාර්යෙන්ම සූර්ය බලාගාර ස්ථාපිත කිරීමත් නිවාසයන්හි සූර්යකෝෂ සවිකිරීමට කටයුතු කළ යුතු බවත් වූ නිර්දේශ හමස් පෙට්ටියේය.
සූර්ය බලාගාරවලින් කොමිස් ලබා ගත නොහැකිය. එමෙන්ම නිවාසවල සූර්ය බල පද්ධති සවි කරන්නේ නම් එයින් මණ්ඩලයට සැලකිය යුතු විදුලිය ඉතිරියක්ද වෙයි.
මේ වන විට වෙළෙඳ පොළේ රුපියල් ලක්ෂ 4කට පමණ අලෙවියට තියෙන සූර්යබල පද්ධතියකින් නිවසකට අවශ්‍ය විදුලිබලය පහසුවෙන් සපයා ගත හැකි වනු ඇත. එයින් එම නිවසට මණ්ඩලයේ විදුලිය අවශ්‍ය නොවනු ඇත. එසේම රුපියල් ලක්ෂ 5කට පමණ අලෙවියට වෙළෙඳ පොළේ ඇති සූර්ය බල විදුලි බල පද්ධතියකින් සාමාන්‍යයෙන් විදුලි ඒකක 300ක් උත්පාදනය කළ හැකි අතර එයින් නිවසට ඒකක 150ක් වැය කළහොත් ඉතිරි ඒකක 150 විදුලිබල මණ්ඩලයට අලෙවි කළ හැකිය. එම එක් ඒකකයට රුපියල් 22 බැගින් මණ්ඩලයෙන් ගෙවනු ලැබේ. ඒ අනුව පාරිභෝගිකයාට රුපියල් 22.00 x 150 = රුපියල් 3300.00ක අතිරේක ආදායමක් හිමිවන්නේ විදුලි බිලට ගෙවන මුදලද ඉතිරි කර ගන්නා ගමන්ය.
මේ ක්‍රමවේදය මීට වසර 10කට පෙර කඩිනම් ක්‍රමවේදයක් ලෙස දිවයින පුරා ව්‍යාප්ත කෙළේ නම් මේ වන විට මෙරට විදුලි බල අර්බුදයක් පවතින්නේ නැත.
ඒ හා සමානම තවත් විශේෂ කතාවක් මෙහිදී හෙළි කළ යුතුය. ලංකාවේ විදුලිබල අර්බුදය විසඳීමේ ක්‍රමවේදයක් ලෙස සූර්ය බල පද්ධති සවිකිරීම සඳහා ඉතා සහනදායී පොලී අනුපාතයකට ණයක් ලබා දීමේ ක්‍රමයක් ආසියානු සංවර්ධන බැංකුව හරහා 2019 වසරේ ආරම්භ කෙළේය. එහිදී නිවසකට අවශ්‍ය විදුලි බලය උපරිම ලෙසින් උත්පාදනය කරමින් ඉතිරි විදුලිය මණ්ඩලයට ලබාගත හැකි වන පරිදි සැලසුම් සකස් කළ යුතු විය. එහෙත් විදුලි බල මණ්ඩලය එය ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටියේය. ආසියානු සංවර්ධන බැංකුවේ බලකිරීම මත යන්තම් සුළු ප්‍රචාරයක් කළ නමුත් එයින් පාරිභෝගිකයාට ඇති වාසිය ගැන හෝ ප්‍රචාරය කෙළේ නැත.
අප දන්නා අයෙක් එම සූර්යබල පද්ධතියක් මිලට ගත්තේය. එය සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය කිලෝවොට් 24ක විශාල පද්ධතියකි. එහි වටිනාකම ලක්ෂ 20ක් පමණ විය. එයින් විදුලි ඒකක 2200ක් පමණ නිපදවා ගන්නා අතර ඔහුට අවශ්‍ය ඒකක 200 හැරුණු විට ඉතිරි ඒකක 2000 මණ්ඩලයට සැපයීමෙන් එක් ඒකකයට රුපියල් 22ක් බැගින් ඔහුට සාමාන්‍ය වශයෙන් රුපියල් 44000/=ක් පමණ ආදායමක් ලබාගත හැකිය. ඒ මුදලින් ඔහු ලබාගත් ණය මුදලේ වාරිකයද පහසුවෙන් ගෙවිය හැකිය. එමෙන්ම ඒකක 200ක් ඔහු මණ්ඩලයෙන් විදුලිය ලබා ගත්තේ නම් රුපියල් 4000ක පමණ විදුලි බිලක්ද ඔහුට ගෙවීමට සිදුවනු ඇත. එය ද ඉතිරිය. මේ ප්‍රවණතාව සමස්ත ලංකාවට යොදා නොගත්තේ ඇයි? සාමාන්‍යයෙන් නිවසකට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීමට කිලෝවොට් 4ක් හෝ 5ක් පමණ ප්‍රමාණවත්ය. එවැන්නක මිල දරා ගැනීම අපහසු නොවන අතර ආසියානු සංවර්ධන බැංකුවේ එකල ලබා දුන් 3% සහන පොලී ණය ලබා ගත්තේ අල්ප සංඛ්‍යාවකි. එම මුදල් ආපසු ආසියානු සංවර්ධන බැංකුවට ගියේය.
එසේම මේ වන විට සූර්ය බල පද්ධති නිවසේ සවිකර ගත් බොහෝ දෙනෙකු විදුලිය උත්පාදනය කර බලා සිටින නමුත් මණ්ඩලය එය පද්ධතියට ස්ථාපිත නොකරන බව මිලදී ගත්තෝ පවසති.
මේ සම්බන්ධව වගකීම පැහැර හැරි අයට දැන් බොහෝ සතුටුය. ඊට හේතුවන කරුණු කාරණා ගැන එක් උදාහරණයක් පමණක් දක්වමි.
විදුලි බල මණ්ඩලය සතුව දැවි තෙල්වලින් විදුලිය උත්පාදනය කරනු ලබන බලාගාර තුනක් තිබේ. ඒවා කොළඹ බත්තල, සපුගස්කන්ද, උතුරු ජනනීය බලාගාර ලෙස ස්ථාපිත අතර එම බලාගාර තුනෙන් මෙගාවොට් 226ක විදුලි උත්පාදනයක් සිදු කළ හැකිය. ඒ සඳහා පසුගිය මාර්තු 28 වන විට දැවි තෙල් ඝන මීටර් 2012ක් විදුලි බල මණ්ඩලය විසින් වෙන් කර තිබුණි. එහෙත් පසු දින එනම් මාර්තු 29 දින එහි ඉංජිනේරුවකු විසින් අභ්‍යන්තර මෙමෝවක් හරහා එම දැවි තෙල් හදිසි විදුලිය මිල දී ගැනීමක් සඳහා අවශ්‍ය බව පවසමින් ඇඹිලිපිටිය එස් පවර් නම් පෞද්ගලික බලාගාරයට ලබා දී ඇත. ඒ අනුව පසු දින වන විට මණ්ඩලය සතුව ඉතිරිව තිබුණේ දැවි තෙල් ඝන මීටර් 360ක් පමණි. එම නිසා කොළඹ බත්තල, සපුගස්කන්ද, උතුරු ජනනීය බලාගාරවලින් විදුලිය බලය නිපදවීමට නොහැකි විය.
විදුලිබල මණ්ඩලයට එම බලාගාරයන්ගෙන් විදුලිය බලය නිදපවීමට වැය වන්නේ රුපියල් 40ක් පමණ මුදලක් වන අතර ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමේදී ඒකකයක් වෙනුවෙන් රුපියල් 51.00ක් පමණ වැය කරන්නට සිදු වේ.
මණ්ඩලය සතු බලාගාරවලට වෙන් කර තිබූ දැවි තෙල් මෙසේ පෞද්ගලික අංශයට ලබා දී වැඩිමිලට විදුලිය ලබා ගැනීමේ අරමුණ සාක්කු පුරවා ගැනීම පමණකි. එහෙත් මේ සම්බන්ධව කිසිදු විටක පරීක්ෂණ නොපැවෙත්වේ.
ඒ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැමිණිලි කළද අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළද ඵලක් නැත.
ඒ සියල්ලටම අවශ්‍ය පසුබිම සකස් කර ගන්නට මේ විදුලි මාෆියාව සමත්ව සිටී. කෙතරම් අවංක ලේකම්වරයකු විදුලිබල අමාත්‍යාංශයට පත්ව ආවද ඔහුට මේ මාෆියාවෙන් ගැලවෙන්නට බැරිය. සිදුවන්නේ ලේකම්වරයා අවංක නම් ඔහුට එම අමාත්‍යාංශයෙන් යන්නට සිදුවීමය. එසේ නැත්නම් මාෆියාවට ඉඩ දී නිහඬව සිටීමය. එසේත් නැත්නම් ඔහුද මාෆියාවට එකතු වීමය. එවන් එක් ලේකම්වරයකුට හිරේ ළඟින්නට පවා සිදු වීමද මෙහිලා පැවසිය යුතුව තිබේ.
එමෙන්ම මේ විදුලි මාෆියාවේ බොහෝ කරුණු ඇතත් ඒ කිසිවකට නිසි ලෙසින් පිළිතුරු සපයන්නට සමත් ජගතෙක් මෙරට නම් සිටින බවක් පෙනේනට නැත. ඊට හේතුව හැන්ද ඇත්තේ මේ මාෆියාකරුවන් අත වන හෙයිනි. විදුලිබල ඇමැතිවරයා ලෙස ගාමිණී ලොකුගේ පත්ව ආ කාලයේ ඔහු විසින් කැබිනට් මණ්ඩලයට පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙළේය.
ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය. ඇමැතිවරයා ඒ පත්‍රිකාව ඉදිරිපත් කෙළේද ඉංජිනේරුවන්ගෙන් බේරෙන්නට බැරිම තැනය. කැබිනට්ටුව එම මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.
පසුදිනම එනම් දෙසැම්බර් 03 වැනිදා මුළු රටටම හදිසියේ විදුලිබලය ඇණ හිටියේය. ඒ සම්බන්ධව සොයා බැලීමට කමිටුද ආණ්ඩුව විසින් පත් කරන ලදී. අවසානයේ මණ්ඩලයේ පිළිතුර වූයේ කොත්මලේ බලාගාරයෙන් උත්පාදනය කෙරෙන විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමේදී පාලනය කරනු ලබන රිලේ යන්ත්‍ර දෙකක දෝෂයක් ඇති ව තිබූ බවයි. ඒ නිසා සමස්ත දිවයිනටම මේ විදුලිය ඇණ හිටි බව මණ්ඩලය පෙන්වා දුන්නේය. පත් කළ කමිටුවද කළ දෙයක් නම් නැත. එසේ හදිසියේ විදුලිය අක්‍රිය වූයේ ඇයිද යන්න ගැන දන්නේ ඉංජිනේරුවන්ම පමණි. මාස ගණනාවක් ගතවන තුරු එය යථා තත්ත්වයට පත් කරන්නට මණ්ඩලයට හැකි නොවීය.
එහිදී ඇති වූ විදුලි අඩුව සපුරා ලන්නට ජලවිදුලි බලාගාර උපරිමයෙන් ක්‍රියාත්මක කරන්නට සිදු විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පැය දහතුනකට අධික විදුලි කප්පාදුවකට අපට මුහුණ දෙන්නට සිදු වූයේ මේ කරුමක්කාරකම් නිසාය.
ශ්‍රී ලංකාවේ විදුලි බල අර්බුදයට සූර්ය බලයෙන් හැර අඩුම මුදලට විදුලිය ලබා දිය හැකි එකම ක්‍රමය වන්නේ න්‍යෂ්ටික විදුලි බලාගාර පිහිටුවීම පමණි. එහෙත් එයින් යම් උපද්‍රවයක් ඇති වන බව පරිසර විශේෂඥයෝ පවසති. ඒ කතාද ඵලක් නොමැති බව පෙන්වා දිය යුත්තේ අන්තර්ජාතික සම්මුති නීතියක් නැති නිසාය. ඒ මේ වන විටත් ඉන්දියාවේ න්‍යෂ්ටික විදුලි බලාගාර 10ක් ස්ථාපිත කර ඇති නිසාය. එයින් බලාගාර දෙකක් ශ්‍රී ලංකාවට ආසන්නයේම ඉදිකර තිබේ. උතුරු නැඟෙනහිර මධ්‍යයේ මුලතිව් - අලම්පිල් මුහුදට ඍජුවම බලාත්මක වන පරිදි එක් බලාගාරයක් ඉදි කර ඇත්තේ චෙන්නායි හිය. අනෙක් බලාගාරය සිලාවතුරට (මන්නාරමට) ආසන්නයේ, ඉන්දියාවේ රාමේෂ්වරම්වලට නුදුරින් කුණ්ඩල්කුලම්හි ඉදි කර තිබේ. මේ බලාගාරවලින් යම් අනතුරක් වුවහොත් එහි බලපෑම අපට අනිවාර්යෙන්ම සිදුවනු ඇත.
අද වන විට මෙරට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට වර්ෂාව ලැබුණද එම ජලාශ සම්පූර්ණයෙන්ම පිරී ගිය ද අපට විදුලිය උත්පාදනය කළ හැක්කේ සමස්ත අවශ්‍යතාවෙන් 24%ක් පමණි. ඉන්දියාවට විදුලිය දෙන්නට අපට ඇත්තෙන්ම හැකියාව තිබුණි. ඒ අප සූර්ය ශක්තිය උපයෝගී කරගත්තානම් පමණි. අද වන විට සම්ප්‍රේෂණ මාර්ග සඳහාද මණ්ඩලයට අතිවිශාල මුදලක් වැය කරන්නට සිදු වේ. නමුත් සූර්ය බලය පණ ගැන්වූවානම් අපට අවශ්‍ය බොහෝ විදුලිය නිපදවා ගන්නට ඉඩ තිබුණි. එහෙත් අපේ රටේ අවාසනාවට එවන් දියුණුවක් කරා යන්නට විදුලි මාෆියාව ඉඩ තබා නැත.
අපට විදුලිය නිෂ්පාදනය නිසි ලෙසින් කළ නොහැකි නම් කළ යුතු එකම කාර්යය වන්නේ ඉන්දියාවෙන් හෝ විදුලිය මිලට ගැනීමය. ඒ සම්බන්ධව ඉන්දියාවේ මධ්‍යම රජයේ බලශක්‌ති අමාත්‍යාංශය සමඟ සාකච්ඡාද පවත්වන ලදී. දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධතාවක් ඇති කරගැනීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත. ඒ ඉන්දියාවේ Power Grid Corporation India Limited සමාගම සමඟය.
ඒ අනුව ඉන්දියාවේ මදුරයි සිට අනුරාධපුරය දක්‌වා වූ සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමට යෝජනා විය. එය ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් හා මුහුද යටින් දිවෙන කිලෝමීටර් 50ක් දිග කේබල් මාර්ගකින් ද යුක්‌ත ය. එය මෙගවොට් 500ක් සඳහා සැලසුම් කර තිබුණ ද, මෙගාවොට් 1000ක් දක්‌වා දියුණු කළ හැකි ලෙස සැලසුම් කර තිබේ.
එහෙත් ඒ සඳහා මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයක් ස්‌ථාපිත කළ යුතු වූ හෙයින් ඒ සම්බන්ධව ගැටලු මතු විය. එහෙත් මේ වන විට ඒ සඳහා නව තාක්‌ෂණයක් උපයෝගී කරගත හැකි බවට ඉන්දියාව දැනුම් දී තිබේ.
අද මෙරට ප්‍රධාන විදුලි උත්පාදකයා බවට පත්ව ඇති නොරොච්චෝලේ බලාගාරය අපට නිතරම කරච්චලයක් වී හමාරය. වරින් වර අක්‍රිය වන එයද එක් අතකින් ගැටලු සහගතය. මෙගාවොට් 300කින් සමන්විත ජනන යන්ත්‍ර 03කින් නොරොච්චෝලය සමන්විත වේ. යම් ලෙසකින් එහි එක් බලාගාරයක් හෝ අක්‍රිය වුවහොත් එම දෝෂය හඳුනා ගන්නට බලාගාරය තුළට යාමට දින 3ක් වත් ගත වේ. ඒ එහි අධික තාපය බැහැර වන තෙක් සිටිය යුතු නිසාය. එමෙන්ම මේ වන විට මතුව ඇති ඩොලර් අර්බුදය නිසා ගල්අගුරු ආනයනයටද ගැටලු මතුව තිබේ. එම නිසා ඉදිරියේදී හෝ ගල් අඟුරු බලාගාර ස්ථාපිත කිරීමට පෙර එහි සිසිලනය ගැන පවා වැඩි අවබෝධයක් ඇති කර ගත යුතුය.
එහෙත් අපට පෙනෙන කරුණ නම් ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රධාන විදුලි ප්‍රවාහය බවට පත් කර ගත යුත්තේ සූර්ය බල ශක්තිය බවයි. ඒ සඳහා මධ්‍යම පාන්තික නිවාස හා ඉහළ පෙළැන්තියේ සියලු නිවාසයන්ගේ සූර්ය පැනල අනිවාර්ය කිරීමට හා ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුය.