අගමැතිගේ පිළිතුරෙන් වාසු නිරුත්තර වෙයි | සිළුමිණ

අගමැතිගේ පිළිතුරෙන් වාසු නිරුත්තර වෙයි

ටේ පවතින ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වී එය ව්‍යවස්ථා අර්බුදයක් දෙසට ද යම් ආකාරයකට ගමන් කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතී.

කොවිඩ් ලෝක වසංගතය හේතුවෙන් ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. මෙම තත්ත්වය මත ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනු ලබන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගනු ලබන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට පෙර කෙසේ හෝ ආණ්ඩුව අස්ථාවර කොට දේශපාලන අස්ථාවරභාවයක් රට තුළ ඇති කිරීමට විරුද්ධ පක්ෂය සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39 දෙනා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂය චෝදනා කරයි.

නමුත් විරුද්ධ පක්ෂය චෝදනා කරමින් සිටින්නේ රටේ වර්තමාන ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට ආණ්ඩු පක්ෂය අසමත් වී සිටින බවයි.

ඉල්ලා අස් නොවන ලෙසට අගමැතිතුමාට දැඩි ලෙස බලපෑම්

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බව විවිධ ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය සතිය තුළ ප්‍රචාරණය විය. මෙම අසත්‍ය තොරතුරු නිර්මාණය කරනු ලබන්නේ කවුරුන්ද යන්න ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු දැන සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙම අසත්‍ය ප්‍රචාර ගැන ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනුම්වත් කළ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකකට හිතවත් සමාජ මාධ්‍ය ජාලා විසින් මෙම අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන බවට යම් යම් තොරතුරු අවධාරණය කර ගෙන තිබුණි.

මේ අතර දුරකතනයෙන් කතා කොට බොහෝ දෙනෙකු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ කුමන හේතුවක් නිසාවත් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි.

"අගමැතිතුමනි, ස්වාධීන වූ 39 දෙනා ඉල්ලන්නේ අන්තර්වාර පාලන ආණ්ඩුවක්. ඒත් මේ අන්තර්වාර පාලන ආණ්ඩුවට ස.ජ.බ, ජේ.වී.පී, යූ.එන්.පී කවුරුවත් එන්නේ නැහැ. එතකොට මේ අන්තර්වාර පාලන ආණ්ඩුව පිහිටුවන්නේ මෛත්‍රීලාගේ, විමල්ලාගේ වුවමනාවටයි. ඒ වුවමනාවට ඔබතුමා ඉල්ලා අස්වෙන්න එපා." යනුවෙන් එම පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

මුල්ම යෝජනාව ජගත් කුමාරගෙන්

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය 21 වැනිදා පෙරවරු 11.30 ට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දීය.

"ආණ්ඩුව තුළ තවදුරටත් අග්‍රාමාත්‍යවරයා සිටිය යුතුයි. අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යා යුතුයි." යනුවෙන් යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සම්මත විය. මේ යෝජනාව ඉස්සෙල්ලාම ගෙනාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මන්ත්‍රීවරයායි. ඔහු ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා මෙම ධූරයේ ඉන්නේ නැත්නම් ඔහු විපක්ෂයේ අසුන් ගන්නවා යනුවෙනි. ඒකට අවසර දෙන්න කියාත් ඔහු ඉල්ලීමක් කළේය. ඊට පසුව මේ අදහස යෝජනාවක් විදිහට ගේන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ය. එය ස්ථිර කළේ සුමිත් උඩුකුඹුරය. ඊට පස්සේ මේ යෝජනාව ස්ථිර වෙනවා. ඊට පස්සේ ආයේ කතා කරන්න පටන් ගත්තේ ජගත් කුමාර මන්ත්‍රීවරයායි. "බලන්නකො හිටපු ඇමතිවරු ටික. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ටිකට ඇමතිකම් නැතුව පාර්ලිමේන්තුව හරියට පාළුවට ගිහින් වගේ. හැබැයි මොනව වුණත් කමක් නෑ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නවලට, ජනතාවගේ තියෙන ප්‍රශ්නවලට අපි උත්තර හොයන්න ඕනේ. තෙල්, විදුලිය හරියට ලැබුණොත් එහෙම අර්බුදවලින් ගොඩක් විසඳෙනවා. ඒක නිසා මොනවා හරි ක්‍රමයකින් අඩුම ගානේ කාගෙන් හරි ණයක් හරි අරගෙන මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් මේ අර්බුද අපිට විසඳගන්න පුළුවන් වෙනවා." යනුවෙන් ජගත් කුමාර පැවසුවේය. ඊට පස්සේ කතා කළේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත. "ලබන සතියේ පාර්ලිමේන්තුව තිබුණත් නැතත් අපි රැස් වෙලා සාකච්ඡා කරන්න ඕනේ සතියකට එක දවසක් නෙවෙයි. සතියකට දවස් දෙකක් හරි කමක් නෑ, අපි රැස්වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විදියට මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ. ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ." යනුවෙන් ඔහු මෙහිදී යෝජනාවක් කළේය.

නැවත කතා කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයා. "අගමැතිතුමාට අත තියලා නතර වෙන්නෑ මේක. මේක ජනාධිපතිතුමාටත් අත තියෙනවා. ඒ හින්දා අපි සියලු දෙනාම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා තමයි. මොකද ලබ්බට තියන අත තමයි පුහුලටත් තියන්නේ." යනුවෙන් ජගත් කුමාර ප්‍රකාශ කළේය.

10 දෙනාගේ කණ්ඩායමට මොකද වුණේ?

මේ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු විසින් නව අගමැතිවරයකු පත් කරන ලෙසට හැඟවෙන ඉල්ලීමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවට ප්‍රචාරයක් ගෙන ගිය ද එම අත්සන් කරන ලදැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීවේ තමා එවැනි ලියවිල්ලකට අත්සන් කර නොමැති බවයි. 13 දෙනාගේ කණ්ඩායම අවසානයේ දී 10 දෙනාගේ කණ්ඩායම බවට පත් වූ අතර එම 10 දෙනා ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සිට ඇත්තේ නිශ්ශබ්දවයි. එම මන්ත්‍රීවරුන්ගෙන් එම රැස්වීමේ දී ඇතැම් අය මෙම කාරණය ගැන විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන ලෙසට තමන් කිසිදු ලියවිල්ලකට අත්සන් කොට නොමැති බවයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන විටෙක ඉතා හැඟුම්බර විය.

"අපේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෙවණේ හැදිලා එතුමාට පින් සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් කවුරුහරි කියනවා නම් පොහොට්ටුව වෙනත් අගමැතිවරයකු පත් කරගන්න කියලා යනවා නම් මම කියනවා පොහොට්ටුවේ කවුරුවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අයින් කරලා අගමැතිකම බාර ගන්නේ නැහැ කියලා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිකමෙන් ඉල්ලා අස් වුණොත් මං ඇතුළු මුළු පොහොට්ටුවේම මන්ත්‍රීවරුන් විපක්ෂයට ගිහිල්ලා වාඩි වෙනවා. එතකොට බලමු අගමැතිකම් ගත්තු කට්ටිය ආණ්ඩුව කරන්නේ කොහොමද? කියලා." යනුවෙන් දැඩි ස්ථාවරයකින් රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේය. ඒක නිසා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව තවත් ශක්තිමත්ව ඉදිරියට යා යුතුයි යනුවෙන් රෝහිත අබේගුණවර්ධන කළ ප්‍රකාශයට සියල්ලෝම අත් ඔසවා සිය එකඟතාව පළ කළහ.

ආණ්ඩුවට තවත් පිරිසක්

මේ අතර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අදහස් දක්වමින් යම් ඉඟියක් ප්‍රකාශ කරන විටම ඊට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප්‍රතිචාර දැක්වූයේ අත්පොළසන් දෙමිනි.

"මේ අමාරු අවස්ථාවේදී අපි ඉන්න ඕන ආණ්ඩුවත් එක්ක. IMF සාකච්ඡා සාර්ථකව යනවා. සමහරුන්ට ඕන ඒක කඩාකප්පල් කරන්න. ආණ්ඩුවේ බහුතරයට තවත් පිරිසක් එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඉදිරියේ දී වෙලාවට ඔවුන් එකතු වෙවී." යනුවෙන් ශාන්ත බණ්ඩාර පැවසුවේය.

මේ අතර පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අදහස් දක්වමින් කියා සිටියේ අගමැතිවරයා තවදුරටත් එම ධුරයේ සිටිමින් ආණ්ඩුව ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යා යුතු බවයි. සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලෝකයේම ආදර්ශයට ලක් වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මෙම ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩු පක්ෂය සහයෝගය ලබා දිය යුතු බවයි. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අගමැතිතුමා ඉවත් කරන ලෙසට කිසිවෙකු ලිපියකට අත්සන් කර තිබේ නම් මාධ්‍ය හමුවක් පවත්වා එය නිවැරදි කළ යුතු බවයි.

ඉන්පසුව සභාවෙන් කියැවුණේ එවැනි ලිපියකට කිසිවකු අත්සන් කර නොමැති බවයි.

කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණි. මේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. කථානායකවරයා නම් ප්‍රකාශ කොට ඇත්තේ අපි අලුත් ව්‍යවස්ථාවක් ගේමූ කියලාය. නමුත් අනිත් පාර්ශ්වයෙන් නම් කියලා තියෙන්නේ ඒකට සෑහෙන කාලයක් යන නිසා අලුත් ව්‍යවස්ථාවක් නැතුව 20 සංශෝධනය එකතු කරල 19 බලාත්මක කරලා 21 විදිහට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමු කියා යෝජනා වෙලා ඇති බවට වාර්තා පළ වේ.

මේ අර්බුද මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයාට දුරකථනයෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර කතා කළේය. "මහින්ද ඔයයි මායි අවුරුදු 55 ක් තිස්සේ යාළුවෝ. මම සැරෙන් සැරේ ඔයාට උපදෙස් දීලා තියෙනවා. සමහර උපදෙස් ඔයා ක්‍රියාත්මක කෙරුවේ නැහැ. ඔයාට මං දීපු උපදෙස්වලින් වැරදිලා තියෙනව ද මහින්ද? යනුවෙන් වාසුදේව නානායක්කාර අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසුවේය."සමහර උපදෙස් ක්‍රියාත්මක කළා. සමහර ඒවා බැරිවුණා." යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. ආපහු කතා කරන්නේ වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරයා. "මහින්ද ඔයාට රටේ ලොකු ගෞරවයක් තිබිච්ච කෙනෙක්. දැන් ඒ ගෞරවය ටික ටික හීන වෙමින් යනවා. හොඳ නැද්ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණොත්." ආපහු කතා කරන්නේ අග්‍රාමාත්‍යවරයා. "මම ඕන වෙලාවක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න සුදානම්. මං ඉවත් වුණොත් කවුද අගමැතිධූරයට පත්කරගන්නේ?" යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේය.

"ඒකත් ප්‍රශ්නයක් තමයි. ඒක ගැන බලන්න වෙන්නේ ඒ වෙලාවට." යනුවෙන් ප්‍රකාශ කළ වාසුදේව නානායක්කාර නව අගමැති ලෙස පත් කරන්න පුළුවන් කවුද? කියන ප්‍රශ්නයට පිළිතුරක් ලබාදුන්නේ නැත.

ජනපති හා අගමැති අතර සුහද කතාබහක්

මේ සංවාදය ආරංචි වීමෙන් පසු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට "මේ වෙලාවේදී ඔය වගේ තීරණයක් ගන්න එපා. මොකද අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් වුණොත් කැබිනට් මණ්ඩලයම ඉවත් වුණා හා සමාන වෙනවා. එතකොට මුදල් ඇමති නැතුව යනවා. මුදල් ඇමති මේ වෙද්දී IMF එකත් එක්ක සාකච්ඡාවේ ඉන්නේ. “ යනුවෙන් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් රැසක් හමුවිය. එම හමුව සංවිධානය කර තිබුණේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසිනි.

වාසුදේව කළ ඉල්ලීම අගමැතිවරයා එම මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළ අතර "ඔය වාසුදේව මන්ත්‍රීතුමා හරහා එන්නේ මෛත්‍රීලාගේ, විමල්ලාගේ ලණු. ඒවා ඔබතුමා කන්න යන්න එපා." යනුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

දිනේෂ්, රිෂාඩ්ගේ ඉතිහාස දැනුම නිවැරදි කරයි

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අප්‍රේල් 21 පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ ව්‍යවස්ථාමය වෙනස්කම් ගැන විවිධ පක්ෂ ඉදිරිපත් කළ, කෙටුම්පත් පිළිබඳ සකච්ඡා කිරීමටය. රැස්වීම පැවැත්වෙද් දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තමන්ට අදාළ කරුණක් ද මතු කළේය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දුන්නේ යැයි කර ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳවය.

"මට උසාවියෙන් ඇප දුන්නට ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. මම හිතන්න මම තමයි ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරන් රඳවාගත්ත මේ රටේ ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා."

මෙහිදී සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඔහුට ඉතිහාසය කියා දෙමින් කළ ප්‍රකාශයට පක්ෂ නායකයන් කාගේත් අවධානය යොමු විය.

"ඔබතුමාට ලබාදිය හැකි සැම පහසුකමක් ම කථානායකතුමා සහ ආණ්ඩුව ලබාදීලා තියෙනවා. ඒ වුණාට ඔබතුමා දැනගන්න, ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් මේ රටේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබතුමා නෙමෙයි. මගේ ආදරනීය පියාණන් දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා තමයි එහෙම අත්අඩංගුවට ගත් මේ රටේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඒක මේ ත්‍රස්ත නීතිය වගේ නෙමේ, මීට වඩා භයානක බ්‍රිතාන්‍ය මාෂල් ලෝ, හමුදා නීතිය යටතේ වුණේ."

1940 දී අධිරාජ්‍ය විරෝධී අභූත චෝදනා මත පිලිප්, ඇන්.ඇම්, අත්අඩංගුවට ගෙන රඳවාගත් සිද්ධිය මතක් කරමින් දිනේෂ්, නිවැරදි ඉතිහාසය සිහිපත් කිරීමත් සමඟ රිෂාඩ් නිහඬව සිටියේය.

රනිල්ගේ උපදෙසින් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයින් රඹුක්කනට

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පසුගිය බදාදා දැන ගන්නට ලැබුණේ ශෝක ජනක පුවතකි. ඒ ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ රඹුක්කන ජනතාව අතර සිටි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය පුවතය. එම අවස්ථාවේදීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අමතා දැනුම් දුන්නේ වහාම රඹුක්කනට යන ලෙසටය. එ.ජා.ප. නායකයාගේ දැනුම් දීම අනුව රුවන් රඹුක්කන බලා පිටත්වුව ද අතරමඟදී ඔහුට දැන ගන්නට ලැබුණේ ප්‍රදේශයට පොලිස් ඇදරි නීතිය පැනවූ බවය. ඒ අනුව ගමන වෙනස් කළ නියෝජ්‍ය නායකයා රෝගීන් ඇතුළත් කර සිටින කෑගල්ල රෝහලට ගියේය.

මේ දිනවල විදෙස්ගතව සිටින එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංදිත් සමරසිංහ ද නියෝජ්‍ය නායකයා අමතා "නියෝජ්‍ය නායකතුමා මේ ගැන බලන්න. අපට උදව් කළ කෙනෙක් තමයි චමින්ද ලක්ෂාන් කියන්නේ. මේක අතහරින්න එපා." යනුවෙන් ඉල්ලීමක් කළේය.

"යොවුන් පෙරමුණේ හිටපු කෙනෙක් හැටියට මම ලක්ෂාන්ව දන්නවා. ලක්ෂාන්ටත් පවුලේ අයටත් සාධාරණය ඉටු කරන්න පක්ෂයත් මාත් කැප වෙනවා." නියෝජ්‍ය නායකයා සංදිත්ට ප්‍රතිචාර දැක්වූවේ එසේය.

රෝහලට ගිය රුවන් විජේවර්ධන තුවාලකරුවන් හමුවී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමසා සිටියේය. ඔවුන් අකුරක් නෑර වූ දේ රුවන් හමුවේ ප්‍රකාශ කළේය. නියෝජ්‍ය නායකයා රෝහල් අධ්‍යක්ෂවරිය ද හමුවී තුවාලකරුවන්ගේ තත්ත්වය පිළිබඳවද විමසා බැලුවේය. මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් එහි ගත කළ නියෝජ්‍ය නායකයා කොළඹ පැමිණ එ.ජා.ප. නායකයාට සියලු තොරතුරු දැනුම්වත් කළේය.

අගමැතිකම ගැන රනිල් කිව්වේ මොනවාද?

පසුදින නායකයා මෙම කාරණය ගැන පාර්ලිමේන්තුවේදී ද කතා කළ අතර කබීර් හෂීම් මන්ත්‍රීවරයා හමුවී කීවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රීවරයා ලෙස මෙය දිගටම ඉදිරියට ගෙන යන ලෙසය. අනතුරුව රනිල් පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාරට හා ජාතික සංවිධායක සාගල රත්නායකට දැනුම් දුන්නේ නීතිඥයන් ද රැගෙන කෑගල්ලට පිටත්ව යන ලෙසටය.

මහලේකම් රංගේ හා ජාතික සංවිධායක සාගල එහි ගියේ නීතිඥ නිශ්ශංක නානයක්කාර ඇතුළු නීතිඥවරුන් සමඟය. නීතිඥ කණ්ඩායම උසාවිය වෙත යොමු කළ රංගේ හා සාගල ලක්ෂාන්ගේ නිවසට ගියේ ඔහුගේ බිරිඳ හා දරුවන් මුණ ගැසීමටය. එහිදි සාගල හා රංගේ බිරිඳ ඇතුළු දරුවන්ට දැනුම් දුන්නේ ලක්ෂාන්ගේ ඝාතනයට සාධාරණය ඉටු කිරීමට පක්ෂයක් ලෙස කැපවන බවය. එසේම දරුවන්ගේ අනාගත රැකවරණය වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරනා බවට ප්‍රතිඥාවක් ද දුන්නෝය.

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන තරුණ පිරිසේ කණ්ඩායමක් එ.ජා.ප. නායක ඉකුත් සතියේ සඳුදා මුණ ගැසුනේ ඔහුගේ පෞද්ගලික නිවසේදී ය. එහිදි එ.ජා.ප. නායකයා තරුණ අරගලකරුවන්ට සුබ පැතුවේ අරගලයට නව මුහුණුවරක් දීම ගැනය. අවිහිංසාවාදී අරගලය ව්‍යවස්ථානුකූලව කරගෙන යාම සම්බන්ධයෙන් රනිල් පිරිසට උපදෙස් දුන්නේය.

ව්‍යවස්ථාදායකයත්, මේ තරුණ කණ්ඩායම් සියල්ලත් සම්බන්ධ කරන පාලමක් බවට පත් වෙන ලෙස තරුණ කණ්ඩායම් කළ ඉල්ලීම පිළිගත් රනිල් ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම කැපවෙන බව දැනුම් දුන්නේය. එ.ජා.ප. නායකයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යෝජනාවට එය ද ඇතුළත් කිරීමට ඔහු පියවර ගෙන තිබුණි.

ඉකුත් අඟහරුවාදා රනිල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනාවලියට තරුණ කොටස්වල ඉල්ලීම ඇතුළත් කර තිබීම ඔවුන්ගේ පැසසුමට හේතු විය. රටේ අර්බුද විසඳීම වෙනුවෙන් පත් කිරීමට නායකයා යෝජනා කළ පාර්ලිමේන්තු කමිටුවලට මෙම තරුණ කොටස් ද එකතු කර ගන්නා ලෙසට කරුණු ඇතුළත් කර තිබුණි.

එ.ජා.ප. නායකයා ඉකුත් සතියේම පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී වූවේය. එහිදි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද නායකයා වට කර ගත්තේ පවතින දේශපාලන කැලඹීම් ගැන විමසීමටය. නායකයා ද ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පවතින තත්ත්වය ගැන කතා කිරීමට අමතක නොකළේය.

"ඔබතුමා අන්තර්කාලින ආණ්ඩුවේ අගමැතිකම ගන්න සුදානම් වන බවට අයෙත් කතා බහ වෙනවා. ඔබට තිබෙන ඉල්ලීම තවම අඩු වෙලා නෑ වගේ." ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු විමසා සිටියේය.

"මම කලිනුත් කිව්වානේ මම එක්කෙනයි. මට 113 ක් නෑ. ඔබතුමාලා සහාය දුන්නත් තීන්දු තීරණ ගන්න යද්දී සහාය දුන් අය ඉවත් වුණොත් මොකද කරන්නේ. ඔයත් ගියොත්." නායකයා විමසද්දි එහි සිටි සැමට සිනහව සඟවා ගත නොහැකි වූහ.

"විපක්ෂයට දැන් කණ්ඩායම් එනවා. ආණ්ඩුවේ 113 නැති වුනොත් මොකද කරන්නේ. කවුද ආණ්ඩු කරන්නේ." තවත් මන්ත්‍රීවරයෙක් විමසා සිටියේය.

"මට නම් ඒ ගැන කියන්න බෑ." නායකයා කීවේ ඇගට නොදැනීය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැන ධනාත්මක පිළිතුරක් ලැබිලා තියෙනවා නේද" විපක්ෂ මන්ත්‍රීවරයෙකු නායකයාගෙන් විමසා සිටියේය.

"ඔව් එයාලා කියලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්නේ කොහොම ද කියලා යෝජනාවක් දෙන්න කියලා. මීට කලින් අයි.එම්.එෆ්. එක තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන යෝජනා දෙන්නේ. නමුත් මෙවර අපෙන් ඉල්ලලා තියෙනවා. එය ප්‍රශ්නයක්." නායකයා පිළිතුරු දුන්නේ බැරෑරුම්වය.

ආණ්ඩුව භාර නොගන්නා හේතුව සජිත් කියයි

පසුගිය 18 වෙනිදා "ජනතා බලය" සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සජිත්ව හමුවිය. 

"මේ වෙලාවේ රට අර්බුදයකට පත් වෙලා තියෙන්නෙ. ඇයි ඔබතුමා පුළුවන්කම තියෙද්දිත් මේ වෙලාවේ අන්තර්කාලීන ආණ්ඩුවක් භාර ගන්නෙ නැත්තෙ?" නියෝජිතයෙක් සජිත්ගෙන් ඇසුවේය.

"අපි 113 හදන්න ඕනේ පොහොට්ටුවේ අයත් අරගෙන. ඔතන ඉන්න විශාල පිරිසක් අන්ත ජාතිවාදී අය.බරපතල චෝදනා තියන අය. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මීට අවුරුදු දෙකකට කලින් මේ රටේ ජනතාව 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. අපි කියන්නේ මෙච්චරයි. සියලු රාජපක්ෂවරු ඉල්ලා අස් වෙන්න ඕන. ඊට පස්සේ කෙටිකාලීන ආණ්ඩුවක් හැදුවාම තනතුරු බාර නොගෙන ඒ ආණ්ඩුවට අපි වැඩපිළිවෙළක් දෙනවා. ඒ වැඩපිළිවළ ක්‍රියාත්මක කරන්න ඕන. ඊට පස්සේ අපි ද ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනවරමක් ‍ෙදන්න පුළුවන්."

සජිත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරද්දී බොහෝ නියෝජිතයින් සජිත්ගේ ස්ථාවරය පිළිබඳව ඉතා පැහැදීමෙන් කතා කළේය.

"අපි මේ අර්බුදය ගන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත් කරලා දෙන්න."

මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.

"ඇත්තටම මේ වෙලාවේ අර්බුදය හරි අතට අරගෙන නිල අල්ලලා ආණ්ඩුවට ගහන්නේ අපි, විපක්ෂ නායකතුමා හරියටම වැඩේ කරනවා." ගයන්ත කරුණාතිලක කීවේය.

අරගලයේ නියම පියවරුන් කවුද?

"ඒක හැමෝටම පේනවා. කොන්දේසි විරහිතව රාජපක්ෂලාට අයින් වෙලා යන්න කියල කියන්නෙ විපක්ෂ නායකතුමා. එළියෙ අරගල කරන තරුණයින්ට මුලින්ම ධෛර්යය දුන්නේ අපි. සමහර පක්ෂ ඒ අරගලයට එයාල සම්බන්ධ නෑ කියල ස්ටේට්මන්ට් පවා දුන්නා. එහෙම අරගලය පාවා දුන්න අය දැන් අරගලයේ පිතෘවරු වෙන්න හදනවා." රාජිත කීවේය.

සජිත් එහෙම කියන විට මන්ත්‍රී කණ්ඩායම එය අනුමත කළේය.

"අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. 20 ආපහු හරවන්න ඕන. සංවරණ තුලන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන්න ඕන. ස්වාධීන කොමිෂන් සභා ටික නැවත ස්ථාපිත කරන්න ඕන. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් දෝෂාභියෝගයක් ගේන්න ඕන." සජිත්ගේ ස්ථාවරය දැනුම් දුන්නේය.

සජිත්ගෙන් බරපතළ චෝදනා

"මේක ජන ඝාතක ත්‍රස්තවාදී ආණ්ඩුවක්." සජිත් කතාව ආරම්භ කළේ එහෙමය.

කරදගස්තැන්න - නාරම්බැද්ද - හිරිවඩුන්න, රඹුක්කන ජීවත් වුණු කේ.ඩී. චමින්ද ලක්ෂාන් දරුවන් දෙදෙනකුගේ පියෙක්. නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරපු, තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය, තමන්ගේ කතා කිරීමේ නිදහස උද්ඝෝෂණ කිරීමේ නිදහස ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වුණු පුද්ගලයෙක්. අපි පැහැදිලිවම කියන්නට කැමැති මේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වගකියන්නට ඕනේ රාජපක්ෂ රජයේ ම්ලේච්ඡත්වය සහ රාජ්‍ය ත්‍රස්තවාදය බව" සජිත් දැඩි ප්‍රහාරාත්මක කතාවක් කළේය.

"මම අහන්න කැමැති වෙඩි තියන එක, මිනීමරණ එක අවම බලය ද? ම්ලේච්ඡත්වය අවම බලය ද, රාජ්‍ය ත්‍රස්තවාදය අවම බලයද කියලා මම අහන්න කැමති. කවුද වෙඩි තියන්න බලය දුන්න එස්.එස්.පී. මොකක්ද එස්.එස්.පීගේ නම. එස්.එස්.පී. කාගේ කවුද? මොකක් ද එස්.එස්.පී.ගේ සම්බන්ධතාව. මේවා ගැන කරුණාකරලා එළිදරවු කරන්න." සජිත් කීවේය.

වජිර හා ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර හමුවක්

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සභාපති වජිර අබේවර්ධන අභාවප්‍රාප්ත විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සී. වී. රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර තිබූ බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පසුගිය සඳුදා පැමිණියහ. රනිල් වික්‍රමසිංහ එම ස්ථානයට පැමිණීමට විනාඩි 15 කට පමණ පෙරාතුව වජිර එහි පැමිණි අතර ඒ වනවිටත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් රාජපක්ෂ දේහයට ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය ඇමති සාරතී දුෂ්මන්ත යන ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මහජන නියෝජිතයින් සමඟ වජිර අබේවර්ධන දීර්ඝ සාකච්ඡාවකට මුලපුරා සිටියදී රනිල් වික්‍රමසිංහ එම ස්ථානයට පැමිණියේය.

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු රනිල් සහ වජිර විශ්‍රාමික විනිසුරු සී.වී. රාජපක්ෂ ගේ පුතුණුවන් වන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික යොවුන් පෙරමුණේ හිටපු භාණ්ඩාගාරික නීතීඥ රාජපක්ෂ සහ එම පවුලේ ඥාතීන් මුණ ගැසී ඔවුන්ට ශෝකය පළ කරමින් අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මහජන නියෝජිතයින් සමඟ සුහද කතා බහක නියැළිමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

මේ අතර රට මුහුණ පා ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ නීතීඥ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්විණි.

රටත් ජනතාවත් මුහුණ පා ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා එක්සත් ජාතික පක්ෂය සතු වැඩපිළිවෙළ කුමක්ද යන්න මෙහිදී සාකච්ඡා කළ අතර නීතීඥයින් ද ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය. වත්මන් තත්ත්වය අනුව යහපාලනය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවට අන්‍යෝන්‍ය සහය අවශ්‍ය බවත් ඒ සඳහා 43 සහ 148 වගන්ති ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එහි බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් වජිර අබේවර්ධන මෙහිදී පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තුළ ක්ෂණික ක්‍රියාමාර්ග වෙත යෑමේ අවශ්‍යතාවය පසුගිය 19 වෙනිදා රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත්කළ බවත් එහි ප්‍රධාන කරුණු 09 ක් ඇතුළත් වෙන බවත් මෙහිදී වජිර අනාවරණය කළේය.

Comments