
නව ඇමැති මණ්ඩලය හිසරදයට කොට්ටා මාරුවක්
ගාසිත චන්දනසිරි වික්‍රමාරච්චි (51)
- රඹුක්කන තැපැල් ස්ථානාධිපති
දැනට පවතින රජයට අපිත් ඡන්දය දුන්නා තමයි. ඒත් පහුගිය දිනවල රටපුරා බුර බුරා නැඟුණු අර්බුද තාම නිමක් නෑ. නව කැබිනට් මණ්ඩලය ගැන අපේ ලොකු මනාපයක් නෑ. හරියට හිසරදයට කොට්ට මාරු කරනවා වගේ. අපි කියන්නේ රජය විසුරුවා හැර කෙටිකාලීන භාරකාර රජයක් පත්කර මාස 6 ක් තුළ ඉක්මනින් ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. නව ඇමැති මණ්ඩලේ ඉන්න සමහරු හිටපු ඇමැතිවරුන්ගේ ලේ ඥාතීන්. අනිත් සමහරු අත්දැකීම් නැති අය. දැනට රට වැටිලා තියන අගාධයෙන් ගොඩ එන්න මේ ඇමැති මණ්ඩලයට හැකිවෙයිද?
චෝදනා තිබුණු ඇමැතිවරු ඉවත්කිරීම මහජන මතයට ගරු කිරීමක්
ශ්‍යාමලී ලියනගේ (59) - දියකලමුල්ල, ව්‍යාපාරිකා
රාජ්‍ය ඇමැතිකම් දරපු අයට කැබිනට් ඇමැතිකම් දීලා. පසු පෙළ මන්ත්‍රීන්ට රාජ්‍ය ඇමැති ධුර ලබාදීලා. හැබැයි ජනතාව කියන්නේ 225 එපා කියලයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට ගෙනියන්න ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සිටිය යුතුයි. පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. මේ වෙලාවෙ රට මුහුණපාලා තියන අර්බුදකාරී තත්ත්වය අනුව මෙවැනි සුළු පිරිසකගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හරි පත් කරලා රට අරාජික නොවී පවත්වාගෙන යන එක යහපත්. දූෂණ චෝදනා තිබුණු ඇමැතිවරු ඉවත්කිරීම මහජන මතයට ගරු කිරීමක්.
මෙය ජනතාව බලාපොරොත්තු වූ සැබෑ වෙනස නොවේ
ගීතානි පෙරේරා (56) - මීගහකොටුව, ව්‍යාපාරිකා
මේක ජනතාව බලාපොරොත්තුවූ සැබෑ වෙනස නම් නෙමෙයි. ලංකාවෙ කටයුතුවල සාර්ථකත්වය රඳා පවතින්නේ ලෝකයේත් විශ්වාසය දිනාගන්නා තරමටයි. ජනතාව බලාගෙන ඉන්නේ ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් පිළිතුරු. ඒ නිසා ජනතා හඬට කන්දීම නවක ඇමැති මණ්ඩලයේ වගේම ජනපති හා අගමැතිගේත් යුතුකමක්.
කොහොම හරි ඇදගෙන යන්න මෙහෙම හරි හොඳයි
කීර්ති හේමන්ත දිසානායක (62) - දණ්ඩගමුව රජයේ විශ්‍රාමික ව්‍යාපෘති කළමනාකරු
රටේ ආර්ථික ගැටලුවලට සමගාමීව පවතින අරගලයට විසඳුමක් දිය යුතුයි. ඒත් මැතිවරණ පවත්වන්න සුදුසු වාතාවරණයක් නැහැ. ඒ නිසා අලුත් කැබිනට්ටුවක් පත් කළත් නව ඇමැති මණ්ඩලය ගැන ලොකු විශ්වාසයක් නෑ. ඒත් මේ ප්‍රශ්නෙට තාවකාලික විසඳුමක් හරි වුවමනා වෙනවනේ. කිසිම කෙනෙක් කිසිදු වගකීමක් භාර නොගෙනම රට අකර්මණ්‍ය වෙලා හිටියේ. අලුතින් පත් කළ සමහර ඇමැතිවරුන්ටත් අත්දැකීම් අඩු තමයි. ඒත් කොහොම හරි ඇඳගෙන යනවනේ. ජනාධිපතිතුමා පොරොන්දු වුණා අඩුපාඩු සකසගෙන හරි මඟ යන්න. ඒත් සැකයක් තියනවා කැබිනට්ටුව නාමික වෙලා ඉහළින් කෙනෙක් ඉඳගෙන පාලනය කරාවිද කියා.
නව තනතුරු දීම ඔළු ගෙඩි මාරු කිරීමක් පමණක්ද?
ධනංජය දසුන් කුමාර (41) - දෙල්වගුර, රියදුරු - ස්වයංරැකියා
නව කැබිනට් මණ්ඩලය ප්‍රමාණාත්මකව අඩු වුණත් තනතුරුවලට ඔළු ගෙඩි මාරු කිරීමක් විතරනේ සිදුවුණේ. සියලුම පක්ෂ එකමුතුවෙන් තාවකාලික රජයක් පත්කිරීම සුදුසුයි. ඒත් ආරාධනාවලට සහාය ලැබුණේ නෑ. ඒ කියන්නේ ජනතාව හැමදෙනා ගැනම කලකිරිලා ඉන්නේ. ඒ නිසා තාවකාලික කැබිනට් මණ්ඩලයක් මේ විදිහට පත් කළා. එක අතකට වෙන වෙන න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන අයගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හැදුවොත් රට තවත් අවුල් වෙයි. පිරිස කුඩා වීමත් හොඳයි. ඒත් ජනතාවගේ පැතුම් තාම ඉටුවෙලා නෑ. හැමදාම ජනතාව ඉවසගෙන ඉන්නෙ නෑ.
නවක ඇමැතිවරුන් විෂය පථය ගැන දැනුම්වත් විය යුතුයි
කේ. සංජීවනී ආරියදාස (34) - කුරුවිට සංවර්ධන නිලධාරි
අද ඇතිවෙලා තියන දේශපාලන අස්ථාවරභාවය, අද ඊයේ ඇතිවූ දෙයක් නොවෙයි. අවුරුදු 70 පමණ සිට ක්‍රම ක්‍රමයෙන් ජනිත වූවක් තමයි දැන් පුපුරා ගිහින් තියෙන්නේ. ඊට විසඳුමක් ලෙස පත්කළ නව ඇමැති මඬුල්ලේ ඇතැමුන්ට විෂය පථය ගැන අමාත්‍යාංශ ගැන දැනුමක් නෑ. දේශපාලනය නොකරනවා වුවත් දැනුම, අවබෝධය තියන කොච්චර පිරිසක් ඉන්නවාද? ඒ පිරිසගේ සහායත් ලබා ගත්ත නම් තමයි වටින්නේ. ඒ වගේ ම ඒ ඒ අමාත්‍යාංශ ප්‍රතිසංවිධානය කළ යුතුයි. නවක ඇමැති මඬුල්ලට නව මුහුණුවරකින් යුත් මහාචාර්ය කථිකාචාර්යවරු බඳවා ගත යුතුයි.