
ජනතා විශ්වාසයක් නොමැතිව ආණ්ඩුවක් පවත්වා ගෙන යාම කළ නොහැකිය. එහෙත් ජනතා විශ්වාසය පළුදු වූ ආණ්ඩුවක් වෙනස් කිරීමට ජනතාවට හැකියාව තිබෙන්නේ මහ මැතිවරණයකදී පමණි. නමුත් විශ්වාසය කැඩුණු ආණ්ඩුවක් බලයෙන් පහ කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවට තිබේ. ඒ විශ්වාසභංගයක් හරහාය. ජනතාවගේ පළුදු වූ විශ්වාසය අනුව රජයක් හෝ මහජන නියෝජිතයෙක් ඉවත් කිරීමේ බලය ඇත්තේ ඒ හරහාය. ජනාධිපතිවරයකු එසේ විශ්වසනීයත්වයෙන් තොර නම් ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයක් හරහාය.
අපට නිදහස ලැබුණු දිනයේ පටන් විශ්වාසභංගයන් ඉදිරිපත්ව තිබේ. එහෙත් මේ විශ්වාසභංගයන්ගෙන් ජයගෙන ඇත්තේ අල්ප සංඛ්‍යාවකි. සෙසු සියල්ල පුස්ස බින්දා හා සමානය.
1948 සිට ඉදිරිපත් වූ විශ්වාසභංග දෙස බලන විට අපට පෙනී යන කරුණක් වන්නේ ආරම්භයේ සිට මෑත දශක දෙක තුනක් පමණ කාලයකට පෙර දක්වාම විශ්වාසභංග ඉදිරිපත් කර ඇත්තේ පවත්නා ආණ්ඩුවලට එරෙහිව බවයි. එහෙත් මේ වන විට බහුතරයක් විශ්වාසභංග ඉදිරිපත් වන්නේ මැති ඇමැතිවරුන්ට විරුද්ධව බව පෙනෙන්නට ඇත.
ශ්‍රී ලංකාවේ පළමුවරට විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ 1949 වසරේදීය. ඩී. එස්. සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ වරදක් සම්බන්ධයෙන් විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ සමස්ත ආණ්ඩුවටමය.
එය ඉදිරිපත් කිරීමේ පුරෝගාමියා වූයේ එවකට විපක්ෂ නායක ආචාර්ය. එන්.එම්. පෙරේරාය. එහෙත් විශ්වාසභංගය ජය ගන්නට නොහැකි විය. කෙසේ හෝ වේවා මෙරට ප්‍රථම වරට පුද්ගලයකුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණේ ප්‍රථම විශ්වාසභංගය ඉදිරිපත් කළ ඇන්.එම්. පෙරේරාටම වීමද සුවිශේෂී ය. එහෙත් ඒ පාර්ලිමේන්තුවේ නොවේ. ඒ ඔහු 1954 වසරේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි අවදියේය. එම විශ්වාසභංගය ජය ගන්නට විපක්ෂය සමත් විය. පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඉන් කලකට පසුව එවකට මෙරට තිබූ එක ම මහ නගර සභාවේ නගරාධිපතිවරයාට එසේ විශ්වාසභංගයක් පැමිණීම බූමරංගයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ සලකති.
ආණ්ඩුවක් වෙනුවෙන්ම ඉදිරිපත් වූ මුල් ම විශ්වාසභංගය දැක ගත හැක්කේ 1968 වසරේදී ය. ඒ විශ්වාසභංගය ඉදිරිපත් වූයේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුවට එරෙහිවය. රජයේ ඉඩම් විශේෂ කල්බදු යටතේ ආණ්ඩුවේ හිතවතුන්ට ලබාදීමට එරෙහිව එය ඉදිරිපත් කෙරිණි. විශ්වාසභංගය ඉදිරිපත් කරන ලද්දේ එවකට විපක්ෂ මන්ත්‍රී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන් විසිනි. එහෙත් එය ද ඡන්ද 33 කින් පරාජයට පත් විය.
විශ්වාසභංග ගැන කතා කිරීමට පෙර පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ කාටද? කුමනාකාරයෙන්ද යන්න විමසා බැලිය යුතුය.
විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ පැහැදිලි නීතිමය තත්ත්වයක් ස්ථාවර නියෝගවල දක්වා නැත. එහෙත් එහි අංක 27 යටතේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැකිය. විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අදාළ සිද්ධිය පැහැදිලිව ඉදිරිපත් කර තම නම හා අත්සනද අනිවාර්යෙන්ම යොදා තිබිය යුතුය.
විශ්වාසභංගයට දින නියම කිරීම
විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේදී අත්සන් කළ යුතු අවම මන්ත්‍රී සංඛ්‍යාවක් ගැනද සඳහනක් නැත. විශ්වාසභංගයේ ගුණාත්මක බව හා වටිනාකම අනුව කථානායකවරයා විසින් එය බාර ගැනීම සිදු කෙරේ. එහෙත් අත්සන් වැඩි ප්‍රමාණයක් ඇත්නම් එහි වටිනාකම වැඩි වේ. කථානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. ස්ථාවර නියෝගවලට අනුකූලව එය ඉදිරිපත් කර ඇත්නම් එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරේ. එයින් රාජකාරි දින 5කට පසුව එය විවාදයට ගත හැකිය. එහෙත් ඊට පෙර පාර්ලිමේන්තු කාරක සභාවේදී ඒ සඳහා දින නියම විය යුතුය. එසේ නොවුවහොත් එය දිගින් දිගටම න්‍යාය පත්‍රයේ තිබී පාර්ලිමේන්තුවේ වාරවසානයේදී ඉවතට යනු ඇත.
පාර්ලිමේන්තු කාරක සභාව කථානායක, නියෝජ්‍ය කථානායක, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්ය.
එහෙත් විශ්වාසභංගයට පෙර අදාළ ඇමැතිවරයා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් විශ්වාසභංගය න්‍යාය පත්‍රයේ තිබුණ ද එය විවාදයට නොගැනේ.
එයට හොඳම උදාහරණයක් වන්නේ 2015 වසරේ යහපාලන ආණ්ඩුවේ ‘මහජන සාමය’ පිළිබඳ අමාත්‍යවරයා වූ ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඉල්ලා අස්වීමය.
විශ්වාසභංගයේ පක්ෂ විපක්ෂ ඡන්ද ගණනය කරනු ලබන්නේ ඡන්දය සිදු වන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හෝ ඡන්දය ලබා දුන් සංඛ්‍යාව සලකා බලමින්ය. විශ්වාසභංග ගෙන ඒමේ හැකියාව ඇති පුද්ගලයන් රාශියකි. ඒ අතර ආණ්ඩුවකට එරෙහි හා අගමැතිවරුන්ට එරෙහි විශ්වාසභංග සුවිශේෂීය.
පක්ෂව ඡන්ද 1යි
පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා 4 කදී අගමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී තිබේ. ඉන් පළමුවැන්න වාර්තා වන්නේ 1957 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට එල්ල වූ විශ්වාසභංගයයි. එහෙත් එයට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. විපක්ෂව ඡන්ද 45ක් ලැබී තිබුණි. දෝෂාභියෝගය ඉදිරිපත් කළ සුන්දරලිංගම් මන්ත්‍රීවරයා පමණක් එසේ ඡන්දය භාවිත කළ අතර ස්ථිර කළ වන්නිසිංහම් මන්ත්‍රීවරයාවත් ඡන්දය ලබා දුන්නේ නැත. එය මෙරට විශ්වාසභංග ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.
ඉන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව 1975 වසරේදී විශ්වාසභංගයක් ඉදිරිපත් විය. එය ඉදිරිපත් කෙළේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ඒ වන විට සමගි පෙරමුණෙන් ඉවත්ව සිටි ආචාර්ය එන්.එම්. පෙරේරාගේ සමසමාජ පක්ෂය ද එක්සත් ජාතික පක්ෂය හා එක්ව විශ්වාසභංගයට පක්ෂ වුවද ඡන්ද 57කින් එය පරාජය කිරීමට මැතිනියගේ ආණ්ඩු පක්ෂය සමත් විය. විශ්වාසභංගයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 43ක් වූ අතර විපක්ෂව ඡන්ද 100ක් හිමි විය.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග දෙකක් 2015 වසරේදී හා 2018 වසරේදී ඉදිරිපත් කරන ලද්දේ යහපාලන සමයේදීය. එහෙත් ඒවා උපක්‍රමශීලීව පරාජය කරන්නට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ සමත් විය.
ඒ අගමැතිවරුන්ට එල්ල වූ විශ්වාසභංග ය. ආචාර්ය ඇන්.එම්. පෙරේරා විසින් ආණ්ඩුවකට එරෙහිව ආරම්භ කළ විශ්වාසභංග චෝදනා ගෙන ඒම යළිත් ඔහු විසින්ම 1959 වසරේද ආරම්භ කළේය. ඔහු 1959 ඔක්තෝබර් 30 වැනිදා විජයානන්ද දහනායකගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි ප්‍රධානම චෝදනාව වූයේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ චූදිතයන් අත්අඩංගුවට ගැනීම අගමැතිවරයා විසින් වළක්වනු ලබන බවයි. එහෙත් ඒ විශ්වාසභංගයද සාර්ථක නොවීය. එම රජයේ අධිකරණ ඇමැති වැලන්ටයින් ජයවික්‍රමට විරුද්ධව 1959 වසරේදී ඉදිරිපත් කළ විශ්වාසභංගයද පරාජයට පත් විය.
යළිත් කැපී පෙනෙන විශ්වාසභංගයක් කරළියට එන්නේ 1975 වසරේදී ය. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයටය. ඒ ආණ්ඩුව සිදු කරන්නා වූ ඉඩම් දූෂණයක් සම්බන්ධයෙනි. එහෙත් රජය විසින් එයද ජය ගන්නා ලදී.
ඊට අමතරව රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ආණ්ඩුව සමයේ 1981 වසරේදී විපක්ෂය විසින් ගොනු කළ විශ්වාසභංගයකට කථානායක බාකිර් මාකර් විසින් ලබා දුන් දිනයක් සම්බන්ධව විරෝධය පළ කරමින් විපක්ෂය සභා ගැබේ නොසිටියෙන් යෝජනාවට පක්ෂව එකදු ඡන්දයක් හෝ නොමැතිව විශ්වාසභංගය පරාජය විය.
එසේම එම සමයේදීම බාකිර් මාකාර් කථානායකවරයා විසින්ම විපක්ෂයේ විශ්වාසභංග යෝජනා දෙකක්ම ප්‍රතික්ෂේප කරන ලද්දේ එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවිය හැකි නිසාය.
විපක්ෂ නායකවරයකුට එරෙහිව ඉදිරිපත් වූ එකම විශ්වාසභංගය ඉදිරිපත්ව ඇත්තේ ඒ. අමිර්තලිංගම්ට එරෙහිවය. ඒ ඔහු විසින් පුවත්පතකට ලබා දුන් ප්‍රකාශයක ඊළාම් රාජ්‍යයක වැදගත්කම සම්බන්ධව කරුණු දැක්වීම නිසාය.
මේ ලෙසින් වරින්වර කරළියට ආ විශ්වාසභංග අතර ඊළඟට කැපී පෙනෙන විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී මහීපාල හේරත්ටය. ඒ මාවනැල්ලේ පල්ලියකට පහරදීමක් සම්බන්ධයෙනි. එහෙත් එයද විවාදයට නොගැනීමට හැකි වන පරිදි කටයුතු යෙදුණේ එම විශ්වාසභංගයෙන් ආණ්ඩුවට අවාසි සහගත තත්ත්වයක් උදා වූ හෙයිනි.
එමෙන්ම තවක්කාල් ගනුදෙනුව ඇතුළු තවත් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් චන්ද්‍රිකා රජයට විශ්වාසභංග පැමිණියද ඒවායෙන් ගැලවෙන්නට එම රජයට හැකි විය.
2001 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රජයේ අධිකරණ ඇමැති ධුරය දැරූ මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් ජනවාර්ගික අර්බුදය විසඳීම උදෙසා හඳුන්වා දුන් ‘පැකේජය‘ යෝජනා මාලාව හරහා විශ්වාසභංගයක් කරළියට පැමිණියේය.
පසුව ඇති වූ අර්බුදකාරී තත්ත්වයක් මත එවකට අභ්‍යන්තර හා අන්තර් ජාතික වෙෙළද සහ නාවික කටයුතු අමාත්‍ය රාවුෆ් හකීම් ජනාධිපතිනිය විසින් ඇමතිධුරයෙන් ඉවත් කරනු ලැබුවාය.
එහි ප්‍රතිඵලය වූයේ රාවුෆ් හකීම් නායකත්වය දැරූ මුස්ලිම් කොන්ග්‍රස් පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විපක්‍ෂයට යාමයි. එයින් රජයේ බහුතරය අහිමි වී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීන් 109 ක්ද විපක්‍ෂයේ මන්ත්‍රීන් 115 දෙනෙකු ලෙසද සටහන් විය. ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගත් විපක්‍ෂය රජයට එරෙහි විශ්වාසභංගයක් මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව 2001 ජූලි 10 වැනිදා කථානායක අනුර බණ්ඩාරනායකට බාර දෙන ලදී. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ජූලි මස 18 වැනිදා එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු බවය. බහුතරය නොමැති වීමේ අනතුර දුටු ජනාධිපතිනිය එදිනම පාර්ලිමේන්තු සැසිවාරය නිමා කර නැවත රැස්වන දිනය සැප්තැම්බර් හත්වැනිදා ලෙස ප්‍රකාශයට පත් කළාය. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණය අගෝස්තු 21 වැනිදාට නියම කළාය. දින කීපයකට පසු එනම් අගෝස්තු 07 වැනිදා පෙරකී ජනමත විචාරණය ඔක්තෝබර් 18 වැනිදා තෙක් කල් දැමීමට ජනාධිපතිනිය නියෝග කළාය. එහෙත් තත්ත්වය භයානක බව දැනගත් ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.
පසුව පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ද වරින්වර විශ්වාසභංග එල්ල වූ අතර, පසුව බලයට ආ මහින්ද රාජපක්ෂයන්ගේ රජයට ද විශ්වාසභංග ඉදිරිපත් කෙරිණි. කෙසේවුවත් 2010 වසරෙන් පසුව මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූයේ විශ්වාසභංග 3 ක් පමණි. ඉන් පළමුවැන්න 2010 දී එවකට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස්ට එරෙහිවය. දෙවැන්න 2013 වසරේදී විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව වූ අතර 2014 වසරේ සමස්ත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරිණි. ඒ සියලු විශ්වාසභංග ආණ්ඩුව ජයග්‍රහණය කරන ලදී.
යහපාලන රජයට විශ්වාසභංග 11ක්
වැඩිම විශ්වාසභංග සංඛ්‍යාවක් ඉදිරිපත් වූයේ යහපාලන රජය සමයේය. යහපාලන ආණ්ඩුවට සහ එහි ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග 11 ක් ඉදිරිපත් වීම විශේෂිතය.
යහපාලන ආණ්ඩුවට එරෙහි පළමු විශ්වාසභංගය ඉදිරිපත් වන්නේ, දින සියයේ භාරකාර ආණ්ඩුව පැවති කාලයේදීය. ඒ මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගටය. එයට පාදක වූ සිදුවීම වන්නේ ඇමැතිවරයා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුට ප්‍රසිද්ධියේ පහරදී මහජන සාමය කඩකිරීමයි.
එහෙත් ඔහු ඇමති ධුරයෙන් ඉවත්වීම නිසා විශ්වාසභංගය විවාදයට නොගැනිණි. එම වසරේදීම තවත් විශ්වාසභංග දෙකකට මුහුණ දෙන්නට සිදුවිය. ඉන් එකක් ඉදිරිපත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිවය. අනෙක මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිවය. කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය න්‍යාය පත්‍රයටවත් ඇතුළත් කෙරුණේ නැත. රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ‘අයවැය සෑදීමේ දී කරන ලද වංචනික කටයුතු’ හේතු වූ අතර ඒ වන විටත් ‘අයවැය සම්මත වී අවසන් ව තිබු බැවින්’ එම විශ්වාසභංගයද විවාදයට නොගෙනම අත්හැර දමන ලදී.
2016 වසරේදී, යහපාලන ආණ්ඩුවේ අකටයුතු සඳහා අනුබල දෙන්නේ යැයි චෝදනා මත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායකට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරිණි. එමඟින් මහලේකම්වරයාට චෝදනා නඟා තිබුණේ, ආණ්ඩුව ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 55ක් සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවකට අදාළ ඡන්ද විමසීමේ දී ඡන්ද ගණන්ගැනීමේ දී ‘වරදක්’ සිදුකළ බවටය. එම විශ්වාසභංගයද විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලද්දේ, කථානායකවරයාගේ මැදිහත්වීමෙන් ඒ පිළිබඳ කරුණු සොයාබැලීමකදී ඡන්ද ගණන් ගැනීමේදී වරදක් නොවුණු බව ප්‍රකාශ කරමිනි.
රවිට විශ්වාසභංග 3ක්
එම වසරේදී ම ‘අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ ආර්ථිකය විනාශ කරන්නේ’ යැයි, චෝදනා පත්‍රයක් යටතේ පදනම්ව විපක්ෂය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි දෙවන වරටද විශ්වාසභංගයක් ඉදිරිපත් කළ අතර එය විවාදයට ගැනිණි. එහෙත් ආණ්ඩුව ඉන් ජයගත්තේය.
ඉන්පසු 2017 දී, එවකට සෞඛ්‍ය ඇමතිවරයා වූ රාජිත සේනාරත්නට එරෙහිවද විශ්වාසභංගයක් ගෙන ආ අතර එය විවාදයට නොගැනුණේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙමින් පැවැතීම නිසාය. මුදල් ඇමැතිවරයා වූ රවී කරුණානායකට එරෙහිව තුන්වැනිවරටද යහපාලන සමයේදී විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණේ මහ බැංකු වංචාව සම්බන්ධයෙනි. එහෙත් ඒ වන විට ඔහු විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කෙළේය. එයද සාර්ථක නොවුණේ ඔහු ඉල්ලා අස්වීම නිසාය.
ඉන් අනතුරුව 2018 වසරේදී දෙවන වතාවට, අගමැති රනිල් වික්‍රමසිංහයන්ට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර, එයින් චෝදනා 14ක් අගමැතිවරයාට එල්ල කර තිබුණේ, මහබැංකු වංචාවට වගකිවයුතු වූවන් ආරක්ෂා කිරීම ආදී කරුණු ඉස්මතු කරමිනි. එය වැඩි ඡන්ද 46 කින් ජයගැනීමට අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවිය.
2018 වසරේ පත් වූ දින 52 ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වූ විපක්ෂය චෝදනා කෙළේ එම ආණ්ඩුවේ පත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. එහෙයින් නව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘හඬ අනුව’ යමින් එය සම්මත වූ බව ප්‍රකාශ කළේය. එය විශ්වාසභංග ඉතිහාසයේ ජයගත් ප්‍රබල අවස්ථාවකි. ඉන්පසුව පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදයට සහ වහබ්වාදයට අනුබල දුන් බව පවසමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලදී. ඊට මුහුණ නොදෙමින්, ඔහුත් සමඟ ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් ඇමතිවරුන් සියලුදෙනාම ඉල්ලා අස්වූ අතර එම විශ්වාසභංගයද විවාදයට නොගෙන ම විසි වී ගියේ ය.
පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගෙන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පවසා යහපාලන ආණ්ඩුවටම ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ 2019 වසරේදීමය. ආණ්ඩුව එයින් ද ජයගන්නා ලදී.
වත්මන් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ආණ්ඩුවේ උදය ගම්මන්පිල ඇමැතිවරයාට විරුද්ධවද විශ්වාසභංගයක් ගෙන ආ නමුත් එයද භංග වී ගියේය.
දැන් යළිත් විශ්වාසභංග මාතෘකාව කරළියට පැමිණ ඇත්තේ සමස්ත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය විසින් කටයුතු කර තිබීම නිසාය.
ඒ අනුව මේ වන විට ආණ්ඩුවලට විරුද්ධව විශ්වාසභංග 24ක් ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග 14ක් අගමැතිවරුන්ට විරුද්ධව 04ක් කථානායකවරුන්ට විරුද්ධව 4ක් නියෝජ්‍ය කථානායකවරුන්ට විරුද්ධව එක් විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයකුට විරුද්ධව එක් විශ්වාසභංගයක් හා විපක්ෂ නායකයකුට විරුද්ධව විශ්වාසභංගයක් වශයෙන් විශ්වාසභංග 50කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.
දෝෂාභියෝගය
ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය වූයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයයි. එයට මුල් වී කටයුතු කෙළේ ප්‍රේමදාස රජයේ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර ඇමැතිවරුන්ය. 1991 අගෝස්තු 28දා කථානායක ඇම්. එච්. මොහමඩ්ට බාරදීමෙන් ආණ්ඩුවම විශාල අර්බුදයකට මුහුණ දුන්නේය.
ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව බරපතළ චෝදනා රැසක් ඉදිරිපත් කර තිබුණි. ජනාධිපතිවරයා ගත් ප්‍රථම පියවර වූයේ පාර්ලිමේන්තු සැසි වාරය අහෝසි කර රැස්වීම් කල් දැමීමයි. එයින් දෝෂාභියෝගය අහෝසි වී ගියේය.
දෝෂාභියෝගයට සහාය දීමේ චෝදනාවට ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරි අතර ඔවුන්ගේ මන්ත්‍රීධුරද අහිමි විය. ඔවුහු ‘රාජාලියා’ ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා ගත් අතර රණසිංහ ප්‍රේමදාස පාලනයට එරෙහිව ප්‍රබල විරෝධයක් ඒකරාශී කිරීමට ඔවුන් සමත් වූහ. එමෙන්ම හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට විරුද්ධව ද දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණු අතර එම දෝෂාභියෝගය ඡන්ද 106කින් ආණ්ඩු පක්ෂය ජයගනු ලැබීය.
විශ්වාසභංගයේ අරමුණු
විශ්වාසභංග හා දෝෂාභියෝග ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ ඒවා ජයග්‍රහණය කිරීමේ අරමුණින්ම ඉදිරිපත් කර නොමැති බවයි. එක් අතකින් මහජන අවධානය දිනා ගැනීම හෝ මහජන අප්‍රසාදය විශ්වාසභංගයට ලක් වන්නා පත් කිරීම හෝ මෙහි අරමුණක් වනවා විය හැකිය.
කෙසේ වෙතත් විශ්වාසභංග හරහා සිදු වූ පක්ෂයන්ගේ විනාශ ගැනද අපට අවධානය යොමු කළ හැකිය. 1975 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක රජයට ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඇය ජය ගත්තද 1977 වසරේදී ඇයගේ ආණ්ඩුව අන්ත පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයට 5/6ක බලයක් අත් කර දෙමිනි.
එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එල්ල කළ දෝෂාභියෝගයේ අවසන් ප්‍රතිඵලය වූයේ පක්ෂය එතැන් සිට දෙකඩ වීමයි. එතැන් සිට පක්ෂයේ මත ගැටුම් ඇති වීම අද දක්වා පැමිණ අද එක්සත් ජාතික පක්ෂයට එක් අසුනක් හිමි වීම දක්වා පහතට බැස ඇත. එසේම විශ්වාසභංග එල්ල කළ මැති ඇමැතිවරුන් රැසක්ද අද අවලංගු කාසි බවට පත්ව ඇත. ඔවුන් බහුතරයකට මහජන ඡන්දයක් හිමිව නැත.
ඒ අනුව විශ්වාසභංගය හෝ දෝෂාභියෝගයක් අනාගත බල පෙරළියකට එල්ල කරන ප්‍රහාරයක් වීමට ද ඉඩ තිබේ.