‘මිස්ටර් ඕ.අයි.සී. අයෑම් රෝහණ විජේවීර’ | සිළුමිණ

‘මිස්ටර් ඕ.අයි.සී. අයෑම් රෝහණ විජේවීර’

71 මාර්තු 13 අම්පාරේදී විජේවීර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇත්ත කතාව වසර 51කට පසු මෙන්න!

ම්පාරේ නිශ්ශංක යනු පී.එච්. විමලසේන හෙවත් නිශ්ශංක විජේවර්ධනය. වර්තමානයේ ඔහු හඳුන්වන්නේ ලාල් විමලසේන නමිනි. ලියුම්කරුට නිශ්ශංක හමුවූයේ හෝමාගම ඔහුගේ නිවසේදීය. නිශ්ශංකගේ බිරිය කෑගල්ලේ උපන් චන්ද්‍රාය. වැඩිමහල් දියණිය නිවන්තිය. කනිටු දියණිය නිපුනිය; පුතු නිලූෂය; නිශ්ශංක අද මුනුපුරු මිනිබිරියන් සිටින සීයා කෙනෙකි. 

අප්‍රේල් කැරැල්ලෙන් පසු සිය මාමා වන ලියනගේ හරහා යාපනයට පලාගිය නිශ්ශංක පසුව 1971 දෙසැම්බර් මස රජයේ ගුරු පත්වීමක් ලබා ගත්තේය. අනතුරුව මහජන බැංකුවේ යාපනය ශාඛාවේ බැංකු ලිපිකරුවකු ලෙස 1976 දී සේවයට එක්විය. වසර 1976 මහජන බැංකුවේ හෝමාගම ශාඛාවට මාරුවුන නිශ්ශංක 1982 දී විවාහ වූයේ ද එවකට කෑගල්ල මහජන බැංකු ශාකාවේ සිටි චන්ද්‍රා කුරුප්පු සමඟය. වසර 2005 දී බැංකු සේවයෙන් විශ්‍රාම ගත් ඔහු වර්තමානයේ සමාජ ක්‍රියාකාරිකයෙකි.

නිශ්ශංකගේ පියා රබර් රබර් කම්කරුවෙකු වූ එම්.එච්. නෝරිස්ය. පවුලේ දරුවන් සිවුදෙනෙකි. නිශ්ශංක තෙවැන්නාය. නිශ්ශංකගේ මව රොසලින් ඔහු කුඩා කලම නැති විය. එවිට නිශ්ශංකගේ වයස අවුරුදු 5කි. 1965 අපොස විභාගයට පෙනී සිටියේය.

කරන්දෙනියේ උණගස්වෙල උපන් කතරගම බාස් මඟින් ජවිපෙට සම්බන්ධ විය; ඒ 1967 දීය. මූලික සාකච්ඡාව පැවැතියේ උණගස්වෙල ලියනගේ ගේ නිවසේදීය. අක්මීමන ජවිපෙ කඳවුරට 1968 දී සහභාගී විය. එය දින පහේ කඳවුරකි. විජේවීරගේ ඉල්ලීම අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජවිපෙ ප්‍රචලිත කිරීම සඳහා පූර්ණකාලීනව එය බාර ගත්තේය.

කළුතර ඉත්තෑපානේ පදිංචි අම්පාර හාඩි විදුහලේ පදිංචි සුනිල් ගෙබලනගේ සහ උහන මහා විද්‍යාලයේ ගුරුවරයකු වූ එවකට ශ්‍රී ලංකා ගුරු සංගමයේ ශාඛා ලේකම්වරයකු ලෙස කටයුතු කළ සේන ජයකොඩි ද උහන විදුහලේ ගුරුවරයකු වූ සනත් නන්දසිරි ද අම්පාරට ගොස් හමුවූයේ විජේවීරගේ උපදෙස් අනුවය. ඔහු නිශ්ශංකට උදව් කළේය.

විජේවීර දුන් ලිපිනයක් අනුව පරගහකැලේ කරුණාරත්නව හමුවූ අතර ඔහුගේ නිවසේ නවාතැන් ගත්තේය. ඒ 1968 නොවැම්බර් 18 වැනිදාය. කරුණාරත්නට වී මෝලක් ද තිබිණි. පසුව උණගස්වෙල අනුර ද නිශ්ශංකගේ සහායට පැමිණියේය. පරගහකැලේ ප්‍රධාන ඇළ එගොඩ ඉලුක් සෙවිලි කළ කුඩා පැල්පතක් අටවාගෙන ජවිපෙ ප්‍රචලිත කිරීම සඳහා පන්ති පැවැත්වීය. බත් සමඟ ඇ‍ෙළන් ඇල්ලූ මාළු ඔවුන්ගේ තුන්වේලම පිරිමැසුවේය. උණගස්වෙල අනුර ගොවිතැන් කළේය. නිශ්ශංක ද කුලියට ගොවිතැන් කර මුදලක් උපයා ගත් අතර පක්ෂය ප්‍රචලිත කිරීමට දිවා රෑ වෙහෙසීය.

අම්පාරේදී ඔහුට වඩාත් සහාය දුන්නේ මිත්‍රසේන විදානපතිරණය. ජපුර සරසවියේ උපාධිධාරියකු වූ මිත්‍රෙස්න අම්පාර මහජන බැංකුවේ සේවය කළේය. පසුව ජවිපෙ ක්‍රියාකාරිකයන් වශයෙන් හිඟුරාන සීනි කම්හලේ ප්‍රේමරත්න, මිල්ටන් සිල්වා සහ ඔහුගේ සොහොයුරා ටෙනිසන් සිල්වා ද අම්පාර දිස්ත්‍රික්කයේ ජවිපෙ ප්‍රචලිත කිරීමට නිශ්ශංක සමඟ එක්විය. සිල්වා සොහොයුරන් දෙදෙනාම පුහුණු ගුරුවරුන්ය. 

එමෙන්ම හාඩි විදුහලේ සිසුවකු වූ තංගල්ලේ උපන් ඩැනිස්ටර් ගුණසේකර, නාමල්ඔය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ උහන පෑලිස්, විදුලිබල මණ්ඩලයේ පැන්ටිස් ඇතුළු පිරිසක් ජවිපෙ අම්පාරේ ප්‍රචලිත කිරීමට එක්විය. ජවිපෙ පන්ති පැවැත්වූයේ අම්පාර, නාමල් ඔය, බක්කිඇල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකය.

තවත් පූර්ණකාලීන් අවශ්‍ය බැවින් බටපොළින් ලාල් සෝමසිරි ද ගෙන්වා ගත්තේය. අම්පාර හිඟුරාන ආනන්ද, කරන්දෙනියේ සිට පැමිණි සිරිසෝම ද ජවිපෙ ප්‍රචලිත කිරීමට උරදුන් ප්‍රමුඛ සගයන් විය. දෙදෙනාම අප්‍රේල් කැරැල්ලේදී පොලිසියට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පසුබසින විට කොටුවී ඝාතනයට පත්විය.

අම්පාරේ ජවිපෙ වැඩිම ක්‍රියාකාරිකයන් සිටියේ උහන, බක්කිඇල්ල සහ ගෝනගලය 1971 මාර්තු මස වන විට පන්ති 75ක් පමණ කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් පවත්වා තිබිණි. සහභාගි වූ පිරිස 350ක් පමණ විය. අම්පාර දිස්ත්‍රික්කයේ එවක පොලිස් කොට්ඨාස වූයේ අම්පාර, උහන, දමන, දඩයන්තලාව ය.

එම පොලිස් ස්ථානවලින් 71 කැරැල්ලේදී විධිමත් පහරදීමක් සිදුවූයේ උහන පොලිසියට පමණි. උහන පොලිස් ලේකම් ලෙස එවකට සිටියේ බක්කිඇල්ලේ පෑලිස් ය. ඔහු ගොවියෙකි. පියා මියගොස්ය. මව සහ නැඟණිය සමඟ ජීවත් විය. නාමල් ඔය පාරේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවක නිවාසයන්හි පන්ති පැවැත්විණි. 

කල්මුණේ සහ මඩකලපුවේ රජයේ සිංහල සේවකයන් ද අම්පාරේ වැඩ කටයුතුවලට එක්ව තිබිණි. 71 මාර්තු වන විට ජවිපෙට අර්ධකාලීන ක්‍රියාකාරිකයන් 25ක් පමණ විය. ඒ අතර ප්‍රේමරත්න, ටෙනිසන්, මිල්ටන්, ගුණසේකර, ආනන්ද, ආරියරත්න ඇතුළු පිරිසක් විය. පූර්ණකාලීන ක්‍රියාකාරිකයින් පිරිස අතර නිශ්ශංක, අනුර, ලාල් සෝමසිරි, සිරිසෝම ඇතුළු පිරිසක් විය.

වසර 1971 මාර්තු 12 වැනිදා නිශ්ශංක පොළොන්නරුවට ගියේය. ඒ රෝහණ විජේවීරගෙන් ලැබුණු පණිවිඩයක් අනුවය. අප්‍රේල් ප්‍රහාරයට සූදානම් වීමට විජේවීර දිස්ත්‍රික් මට්ටමින් සංචාරය කරමින් ක්‍රියාකාරිකයන් හමුවෙමින් තිබිණි.

පොළොන්නරුව හමුවෙන් පසු අම්පාර බලා ඒමට විජේවීර සමඟ නිශ්ශංක හිඟුරක්ගොඩට පැමිණියේය. කෙලී සේනානායක ද විජේවීර සමඟ විය. දුම්රිය තිබුණේ පසුදා අලුයම 3.30ටය. කාල වේලාව වැඩි බැවින් කාලය ගෙවා ගැනීම සඳහා විජේවීර සහ නිශ්ශංක හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවෙන් චිත්‍රපටියක් ද බැලීය. ඒ සඳහා කෙලී, පොලොන්නරුවේ සුසිල්, පොලොන්නරුව පොලිසිය ගමගේ, සිසු ගුරුවරයකු වූ ගුණරත්න ද සිටියේය.

සමූපකාර සිනමා ශාලාවේදී චිත්‍රපටිය ඇරැඹුණේ රාත්‍රී 9.30ට ය. ඒ කිංස්ලිගේ රාජපක්ෂගේ කලණ මිතුරෝ චිත්‍රපටයයි. වික්‍රම බෝගොඩ, තිස්ස, නීලා ලියනගෙදර වැනි නළු නිළි පිරිසක් සිටියා මතකය. ගැලරිය සඳහා එක් අයෙකු ගෙවන ලද්දේ සත 75කි. රාත්‍රී 12.00ට පමණ චිත්‍රපටිය නිමවීමෙන් පසු ඔවුහු හිඟුරක්ගොඩ දුම්රියපොළට ගියේය. 

දුම්රිය පැමිණියේ අලුයම 3.30ට පමණය. එය මඩකලපුවට යන තැපැල් දුම්රියකි. සුසිල් ගුණරත්න සහ ගමගේ හිඟුරක්ගොඩින් සමුගත් අතර විජේවීර, කෙළී සහ නිශ්ශංක මඩකලපුවට යාමට දුම්රියට ගොඩවිය. දුම්රිය මගීන්ගෙන් පිරී තිබිණි. දුම්රිය ආපන ශාලාවේ වාඩිවී තිදෙනා ස්ටවුඩ් බියරයක් තොල ගෑවේය. විජේවීර එයට එක්නොවීය. ඒ ආපන ශාලාවේ වාඩිවීමට අවසර ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. 

දුම්රිය මඩකලපුවට ළඟාවන විට උදෑසන 5.30 පසුවී තිබිණි. ලංගම බස් රථ දුම්රිය ස්ථානයේ සිට අම්පාරට දමා තිබිණි. ඔවුහු අම්පාරෙන් බැස බක්කිඇල්ල බස් රථයක ගොස් උහනට ගියේය. අම්පාරේදී ප්‍රේමරත්න ද ඔවුනට එක්විය. උහනට යෑමේදී මිල්ටන් ද එක්විය. බස් රථයේ අසුන් ගත්තේ ද වෙන වෙනම ආසනවලය.

උහන නගරයේ ජනපදයක ජවිපෙ සාකච්ඡාව සූදානම් කර තිබිණි. සංවිධායක පෑලිස්ය. සාකච්ඡාවට 25 ක් පමණ එක්ව සිටියහ. කාමරය පිරී තිබිණි. එය ඇරැඹුණේ 10.30ටය. සාකච්ඡාව නිමා වූයේ පස්වරු 5.30ට පමණය. ඒ අතරතුර දිවා ආහාරය ද එතනම විය. බත් සමඟ හරක් මස් හා පරිප්පු දිවා ආහාරයට සූදානම් කර තිබිණි. 

සාකච්ඡාවෙන් පසු උහන සිට අම්පාරට යාමට ඔවුනට අවශ්‍ය විය. එහෙත් බස් ගමනාගමනය අඩාළව පැවතිණි. කුලී රථයක් උහන සිට අම්පාරට යාමට සොයාගෙන ආවේ නිශ්ශංකය. එහි කතාකර ගත් ගාස්තුව රුපියල් 45කට ආසන්නය. රථයේ රියදුරු අසුනට යාබදව විජේවීරය. පිටුපස සිටියේ නිශ්ශංක, කෙලී සහ ප්‍රේමරත්නය. අම්පාර ප්‍රේමරත්නගේ නිවසට අසලට එන විට පස්වරු 7.00ට ආසන්න විය.

ප්‍රේමරත්නගේ නිවෙස පෙනි පෙනී තිබියදී පොලිසිය කුලී රථය නතර කළේය. ප්‍රේමරත්නගේ නිවස අසල ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ලොකු වැඩපළක් ද විය. එහි වැඩවර්ජනයක් ද එම දිනවල පැවතිණි. පොලිසිය පැමිණ තිබුණේ කම්හලේ ආරක්ෂාවටය. 

පොලිසිය දුටු රියදුරු බය වී රථය පාර අයිනට ගත්තේය. පොලිස් ට්‍රක් රථයක් සහ ජීප් රථ දෙකක් ද එම ස්ථානයේ නතර කර තිබිණි. පොලිස් භටයින් 11ක් පමණ අවට සිටියහ. පොලිසිය රථය නතර කර විජේවීර ඇතුළු පිරිස කාර් රථයේ සිටියදීම ප්‍රශ්න කළේය. ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා සිටියේ මිතුරකු හමුවීමට පැමිණි බවය. එහෙත් උත්තර එකිනෙකට පරස්පරය.

සියලුදෙනාම පොලිසියට ගෙනයාමට තීරණය විය. අතරමඟ හමුවූ ජවිපෙ අම්පාර ක්‍රියාකාරිකයන් වූ ලාල් සෝමසිරි සහ ප්‍රේමසේන ද පොලිස් රථයටම නංවා ගන්නා ලදී. සියලුදෙනාම පොලිසියට රැගෙන පැමිණියේය. කුලී රථයේ රියදුරා ද වාහනය සමඟින් පොලිසියට රැගෙන එන ලදී. 

පොලිස් ස්ථානයෙන් වාහනය නතර කර බැස්ස විට උත්තර දෙන විදිය විජේවීර විසින් කෙලීට සහ ප්‍රේමරත්නට කෙටියෙන් පවසන ලදී. මොනවද කුටු කුටු ගගා කතා කරන්නේ කියූ පොලිස් භටයෙක් විජේවීරගේ කණට වේගවත් පහරක් ගැසීය.

සියලුදෙනාම ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ කාමරයට ගෙන එන ලදී. තමා ඉදිරියේ සිටින්නේ කවුදැයි පොලිසියේ කිසිවකු දැන සිටියේ ද නැත. විජේවීර සිය කටහඬ අවදි කළේ මෙලෙසය. “මිස්ටර් ඕ.අයි.සී. අයෑම් රෝහණ විජේවීර.“

අම්පාර පොලිසියේ ප්‍රධානියා ප්‍රකාශයත් සමඟ තැති ගත්තේය. විජේවීරට පසුව ඔහු ආමන්ත්‍රණය කළේ සර්, කියා ඉතා ගරුසරුවය. මෙතෙක් මේසයට ඉදිරිපට සිටගෙන සිටි විජේවීරට වාඩි වන්නැයි කියා පුටුවක් ද ලබා දුන්නේය. කලින් කීවා නම් යන්න දෙන බවද පොලිස් ප්‍රධානියා විජේවීරට ප්‍රකාශ කළේය.

කොළඹට ඔහු අත්අඩංගුවට ගත් පුවත දැනුම් දුන්නේය. එවිට වේලාව පස්වරු 8.30ට පමණ විය. සෙසු පස්දෙනා පොලිස් කූඩුවට දැමුවද විජේවීරට පොලිසියේ පුටුවක වාඩිවීමට ඉඩ සැලසිණි. හයදෙනාටම හොඳ බත් පාර්සල් ලැබිණි. පොලිසියම කලබල ස්වරූපයක් ඉසිලීය.

කොළඹින් ලැබුණු පොලිස් උපදෙස් වලට අනුව හයදෙනාම වෙන් කරන ලදී. උදෑසන ආහාරය සඳහා ඉඳිආප්ප සමඟින් පරිප්පු සහ පොල්සම්බෝල පාර්සල් ලැබිණි. ජවිපෙ ක්‍රියාකාරිකයන් බව ඔවුහු පොලිසියට ප්‍රකාශ කළහ.

මාර්තු 14 වැනිදා සවස හයදෙනාම ජීප් රථවල නංවාගෙන කල්මුණේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලදී. අම්පාරට හා කල්මුණේට එකල හැතැප්ම 19ක් පමණ විය. අම්පාරට උසාවි පහසුකම් ද එකල නොතිබිණි. මඩකලපුව බන්ධනාගාරයට එදිනම රාත්‍රී ගෙන ගොස් දමන ලදී. පාළුවට තිබුණු මැදිරියක් සුද්ද කර ඔවුහු වෙන් වෙන්ව දමන ලදි.

එහි රෑ නිදාගෙන සිටින විට අවදි කර හයදෙනාම ට්‍රක් රථයක පටවා කොළඹට ගෙන එන ලදි. කිසිවකුට මාංචු දැමීමක් සිදු නොවීය. ඉදිරිපස සහ පසුපස පොලිස් ආරක්ෂාව ඇතිව රැගෙන යාම සිදුවූ අතර පොලිස් කොට්ඨාසයෙන් කොට්ඨාසයට පොලිසිය පෙරගමන් රථය බාර ගත්තේය.

ඉන්පසු සිදුවූයේ කුමක්ද? විජේවීර සමඟ එකට අත්අඩංගුවට ගත් කරන්දෙනියේ නිශ්ශංක ප්‍රේමරත්න, බටපොළ ලාල් සෝමසිරි, ලාල් සෝමසිරි, කරන්දෙනියේ ප්‍රේමසේන, අම්පාරේ ප්‍රේමරත්න ඒ පිළිබඳ කිසිදා නොකියූ කතාව සොයා ඔවුන්ගේ නිවසට ලියුම්කරු ගියේය. විජේවීරගේ අම්පාර අත්අඩංගුවට ගැනීම සහ ඉන්පසුව සිදුවූ සිදුවීම් ජාලය ලබන සතියේ සිට කොටස් වශයෙන් සිළුමිණේ පළවේ.

එපමණක් නොව විජේවීර උහනේ සිට අම්පාරට ආ කුලී රථයේ රියදුරාගේ කතාව ද එයට ඇතුළත්ය.


Comments