
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ නැගෙනහිර පළාත් කාන්තා සම්මේලනය එක්ව සංවිධානය කළ ලෝක කාන්තා දින සැමරුම් උත්සවය ඉකුත් 28 දා ත්‍රීකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැතිවිණි. මෙම කාන්තා දින සැමරුම් උත්සවයේදී නැගෙනහිර පළාත් හිටපු අමාත්‍යවරියක වු ආරියවතී ගලප්පත්ති මෙම උත්සවයේ සංවිධායකවරුන්ට බැණ වදින හා එහිදී ඇයට පිරිසක් විසින් හූ කියන දර්ශනයක් මේ දිනවල මාධ්‍යයෙහි සැරිසරන අතර එය මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ.
ලෝක කාන්තා දින උත්සවය මාර්තු 08 දිනට යෙදී තිබුණද, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධනා ලැබ සිටි නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඒ සඳහා මාර්තු 28 දා දින නියම කර ගැනීමට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ නැගෙනහිර පළාත් කාන්තා සම්මේලනය කටයුතු කර තිබුණි.
මෙම කාන්තා දින උත්සවය සඳහා නැගෙනහිර ආණුඩුකාරවරිය,නැගෙනහිර පළාත් හිටපු පළාත් සභා ඇමතිනී ආරියවතී ගලප්පත්ති,නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ යන මහතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි ව සිටියහ.
ආණ්ඩුකාරවරිය මේ සඳහා දින වෙන්කර තිබුණ ද, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ආණ්ඩුකාරවරිය වෙනුවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී. මදනායක සහභාගිවී සිටියහ. කෙසේවෙතත් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ නැගෙනහිර කාන්තා සම්මේලනය එක්ව සංවිධානය කර තිබූ මෙම කාන්තා දින සැමරුම් උත්සවය සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් නායකයන් සහභාගීවීමෙන් වැළකී සිට ඇති බව කියවේ. රජයට එරෙහිව දැඩි විරෝධයක් මතුව ඇති තත්ත්වයකදී දේශපාලඥයන්ට මේ උත්සවය සඳහා ආරාධනා කර තිබීම ඊට හේතුවයි. දිවයිනේ නන්දෙසින් පැමිණි කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ උත්සවයේ පළමු කටයුත්ත ලෙස සිදුවූයේ, කාන්තා අයිතීන් ආරක්ෂා කරන ලෙස රජයට බල කෙරෙන කාන්තාවන්ගේ පාගමනයි. මෙම වැඩ සටහන සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර ඇතුළු එහි පළමු පෙළ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටි අතර, පිළිගැනීමේ කතාව සිදුකරන ලද්දේ, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිශාකා රංගනී ය.
අනතුරුව මෙම වැඩ සටහනේ අරමුණ පැහැදිලි කිරීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා වැඩසටහන් සම්බන්ධීකාරිනී ලවීනා හසන්ති සිදු කළ අතර ඇය සිය කතාවේදී කාන්තාවන්ට ඉඩම් අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සහ හමුදාව මහජනයාගේ ඉඩම් තුළ තව දුරටත් රැදී සිටීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් අදහස් දක්වා තිබේ. ඊට පසු කතා කළ බොහෝ දෙනකුද කාන්තාවන්ට ඉඩම් අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සහ හමුදාව මහජනයාගේ ඉඩම් තුළ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් අදහස් දක්වා ඇති අතර, කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කර තිබු කාන්තා දින උත්සවයකදී රජයට, රාජ්‍ය අංශ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට එරෙහිව අදහස් දැක්වීම සම්බන්ධයෙන් තමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මහත් අපහසුතාවට ලක්ව සිටි බව හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියාය.
"කාන්තා දින උත්සවයක් සංවිධානය කරලා ඒකට අපිට වගේම රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ආරාධනා කරලා රජය විවේචනය කරන එක ඒ නිලධාරීන්ට කරපු අපහාසයක්. ගෙදරට එන්න කියලා කනට ගහනවා වගේ වැඩක්. ඒකෙන් දේශපාලඥයන් වගේම රජයේ නිලධාරීනුත් දැඩි අපහසුතාවයට ලක් වුණා. කාන්තා දිනයක් නම්, කාන්තාවන් ශක්තිමත් කරන ව්‍යාපෘතියක් කරනවා මිසක රජයේ නිලධාරීන් වේදිකාවේ තියාගෙන රජයයි, රට රැක ගත්තු රණවිරුවොයි විවේචනය කරන එක හරිද?" ආරියවතී ගලප්පත්ති විමසා සිටි. උත්සවය ආරම්භයේ සිටම ආරියවතී ගලප්පත්ති දැඩි නොසන්සුන්තාවකින් යුතුව කටයුතු කළ බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර කියා සිටි. ඔහු කියා සිටින්නේ මෙම උත්සවය ආරම්භයේ සිටම හිටපු ඇමැතිවරිය ඇයට මෙම උත්සවයේ විශේෂ ස්ථානයක් ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් යුතුව කටයුතු කරන බව දක්නට ලැබුණු බවයි.
න්‍යාය පත්‍රයට අනුව මෙම උත්සවයේ ආරාධිත දේශන සඳහා අවස්ථාව වෙන් කර තිබී ඇත්තේ, ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතව සිටි නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ යන අයට පමණි. ඊට අමතරව උතුරු පළාත් කාන්තා සම්මේලනය නියෝජනය කරමින් රවින්ද්‍රප්‍රියා, නැගෙනහිර පළාත් කාන්තා සම්මේලනය නියෝජනය කරමින් සීතා සහ දකුණු පළාත් ජාතික ධීවර කාන්තා සම්මේලනයේ සභාපති නෙළුම්කා වීරක්කොඩි යන අයවලුන්ට ද මෙම කාන්තා දින උත්සවයේ ආරාධිත දේශන සඳහා කාලය වෙන් කර තිබූ බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සඳහන් කර සිටි. ජාතිත ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කාලයක් තිස්සේ නැගෙනහිර පළාතේ කරන ලද සමීක්ෂණයක් මඟින් හෙළිදරව් කරගත් කාරණා සම්බන්ධයෙන් වූ ලියවිල්ලක් 2009 මාර්තු මස 08 දින එවකට හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂකුරෙයි චන්ද්‍රකාන්තන්ට අඩ්ඩාලච්චේනෙයි දී බාර දී ඇති අතර, එය තව දුරටත් බලාත්මක කිරීම සඳහා රජයට බල කර සිටීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මූලික අරමුණ වී තිබී ඇති අතර,එම ලියවිල්ලද මෙහිදී නැවත වරක් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් පී. මදනායක යන රාජ්‍ය නිලධාරීන්ට බාරදීම සිදු කර තිබේ. හිටපු පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්තිටද අනතුරුව මෙහි එක් පිටපතක් ලබාදීමට කටයුතු කළ බව ධීවර සහයෝගිතා ව්‍යාපාරය සඳහන් කර සිටී. කෙසේ නමුත් මේ උත්සවයේ දී ඇයට කතාවක් වෙන් කර නොතිබු නමුත්,ඇය විසින් කළ බව කියන ඉල්ලීමක් මත ඇයටද අවස්ථාවක් ලබාදීමට සිදුවූ බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිශාකා රංගනී කියා සිටි.
"හිටපු පළාත් ඇමතිනියට ඇත්තටම මේකෙ කතාවක් වෙන් කරලා තිබුණේ නැහැ. නමුත් ඇය සමඟ සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් මට ඇවිත් කිව්වා මැඩම්ට කතාවක් ඉල්ලනවා කියලා. ඉතින් කටින්ම එහෙම කතාවක් ඉල්ලපුවහම නොදී බැරි නිසා සංවිධායක මණ්ඩලයෙන් අවසර අරගෙන එතුමියට කතාවක් ලබා දුන්නා. එතුමිය එහිදී අපිට දිගින් දිගටම දෝෂාරෝපණය කළත් අපි එතුමියට බාධා කළේ නැහැ. ඇයගේ කතාව අවසන් වෙනකම්ම අපි ඇයට ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථා සැලසුවා. හැබැයි එ්ක ඉල්ලලා අරගත්තු කතාවක් බව පැහැදිලිව කියන්න ඕනේ.. "
කෙසේ නමුත් තමා බලහත්කාරයෙන් කතාවක් ඉල්ලා ගත් බව කියන කතාව ආරියවතී ගලප්පත්ති මැතිනිය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඇය කියන්නේ, කිසිදු ඉල්ලීමකින් තොරව විශේෂ ආරාධිතයකු ලෙස තමාට එම අවස්ථාව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය අවස්ථාව ලබා දී තිබු බවයි.
කෙසේ නමුත්, මෙහිදී දකුණු පළාත් ජාතික ධීවර කාන්තා සම්මේලනයේ සභාපති නෙළුම්කා වීරක්කොඩි මහත්මිය විසින් වර්තමානයේ කාන්තාවන් පත්ව ඇති තත්වය සහ කාන්තාවන්ට ඉඩම් අයිතිය ලබා ගැනීම , හමුදාව තව දුරටත් ඉඩම්වල රැඳී සිටීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් දක්වා තිබේ. එසේම කාන්තාවන් අරඹයා රජය මෙතෙක් අතපසු කර තිබු කටයුතු සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇත. මෙම කතාවෙන් කෝපයට පත් ආරියවතී ගලප්පත්ති තමා අසල සිටි නැගෙනහිර පළාත් ලේකම් තුසිත පී වනිගසිංහට කියා ඇත්තේ, මේ සඳහා පිළිතුරු සපයන ලෙසයි.
තුසිත පී වනිගසිංහගේ කතාවේදී කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා රජය මෙතෙක් සිදුකර ඇති දෑ සම්බන්ධයෙන් කතා නොකර, අඩුපාඩු ගැන පමණක් කතා කිරීම සුදුසු නැති බව සඳහන් කර තිබේ. ආරියවතී ගලප්පත්ති සිය කතාවේදී මෙම කාන්තා දින උත්සවය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ අතර,රාජ්‍ය නොවන සංවිධාන විසින් විදේශීය ඩොලර් වෙනුවෙන් කාන්තාවන් විකිණීම නතර කරන ලෙස කියා සිටියාය. තවද කාන්තාවන්ට ඉඩම් අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඇයගේ අකමැත්ත දැඩි ලෙස අවධාරණය කළ අතර, කාන්තාවන්ට ඉඩම් හිමිවිය යුත්තේ තම සැමියාගෙන් බව පෙන්වා දුන්නාය.
ඇයගේ කතාවට පිළිතුරු දීමට මෙහිදී ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර වහා කටයුතු කළ අතර ඔහු කියා සිටියේ, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය රාජ්‍ය නොවන සංවිධානයක් හා රටට ඩොලර් ගෙන එන බව සත්‍ය බවත්ය. එහෙත් මේ විදේශ රටවලින් ගෙනෙන ඩොලර් තම සංවිධානය භාවිත කරනුයේ මෙරට ජනතාවගේ එකතුවීම් සහ අයිතීන් වෙනුවෙන් මිස පුද්ගලික කටයුතුවලට නොවන බවයි.
හර්මන් කුමාරගේ එම ප්‍රකාශයත් සමඟ නැඟී සිටි ආරියවතී ගලප්පත්ති සභාවේ සිටි පිරිසට දෝෂාරෝපණය කරමින් සහ ඇයගේ ගමේම සිටි කාන්තාවන් කිහිප දෙනෙකුට සභාවෙන් පිටව යන ලෙස තර්ජනය කළ ද,කිසිවකුත් ඇයගේ නියෝගය පිළිපදින බවක් දක්නට නොලැබුණි.
එතකින් නොනැවතුණු ආරියවතී ගලප්පත්ති මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.
මංගලනාත් ලියනආරච්චි, ත්‍රීකුණාමලය