
කොවිඩ්-19 වසංගතය ලෝකය මෑතකාලීනව මුහුණ දුන් සංකීර්ණම අර්බුදය බව සමස්ත ලෝකයම පොදුවේ පිළිගන්නා කරුණකි. ලෝක යුද්ධයක්, නැතහොත් න්‍යෂ්ටික යුද්ධයක්, 2004 සුනාමිය වැනි බිහිසුණු ස්වභාවික ව්‍යසනයක් සඳහා ලෝකය දශක ගණනාවක් පුරා සූදානම් වුවද බිහිසුණු වෛරසයක් සමඟ සටන් කිරීමට සිදුවනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කළේ නැත. එහෙත් ලොකු - කුඩා, පොහොසත් - දුප්පත් ආදි කිසිදු භේදයකින් තොරව කොවිඩ් වසංගතය සමස්ත ලෝකයම ගිලත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය පමණක් නොව අසල්වැසි ඉන්දියාව පවා මරණ ලක්ෂ ගණනින් වාර්තා කළ අතර ආර්ථික - දේශපාලන සහ සමාජයීය අර්බුදවලින් තොරක් නැතිව බැටකෑවේය. අද ද බැටකමින් සිටින්නේය.
අර්බුදයේ මුල වටහා ගනිමු
කොවිඩ් වසංගතය හමුවේ සමස්ත ලෝකය පුරා දැකගත හැකි වූ පොදු ලක්ෂණයක් වූයේ වසංගතය විසින් නිර්මාණය කළ අනපේක්ෂිත ආර්ථික අර්බුදය පටු දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගැනීමට විපක්ෂ කණ්ඩායම් විසින් උත්සහා නොගැනීමය. නැතහොත් කොවිඩ් වසංගතය යළි රාජ්‍ය බලය අත්පත්කර ගැනීමට පැමිණි ‘වෙස් වළාගත් ආශිර්වාදයක්’ බවට පත්කර නො ගැනීමය. නමුත් ලංකාවේ සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
කොවිඩ් වසංගතය සහ රුසියන් - යුක්‍රේන් යුද්ධය විසින් නිර්මාණය කර අනපේක්ෂිත ගෝලීය ආර්ථික අර්බුදයේ පහසු ගොදුරක් බවට ලංකාව පත් වූයේ එය ඍජුව විදේශ විනිමය, නැතහොත් ඩොලර් අර්බුදයක් නිර්මාණය කළ නිසාය. ශ්‍රී ලංකාවේ ආනයන අතර ඉහළම කොටසකට හිමිකම් කියන ඛනිජ තෙල්, ගෑස්, සීනි - පරිප්පු, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව මෙරට ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇගලුම් කර්මාන්තයට අවශ්‍ය 100%ක් අන්තර් භාණ්ඩ, (නූල් කෑල්ලේ, ඉදිකට්ටේ සිට මහන මැෂිම දක්වා) ආනයන වියදම විශාල වශයෙන් ඉහළ යාමට මේ අර්බුදයට ඍජුව හේතු කාරක වුණේය. මේ අතර කොවිඩ් එන්නත්, ඇන්ටිජන් පරීක්ෂණ උපකරණ, මුඛ ආවරණ පමණක් නොව සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය තවත් නිෂ්පාදන සිය ගණනක් වෙනුවෙන් ඩොලර් මිලියන දහස් ගණනක් ඉතාම කෙටි කාලයක් තුළ වැය කිරීමට රජයට සිදු වුණේය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ආනයන වියදම අනපේක්ෂිත ලෙස ඉහළ ගිය නමුත් අපට අපගේ අපනයන ආදායම, ඩොලර් ආදායම ආනයන වියදම ඉහළ යාමට සාපේක්ෂව අවම ප්‍රතිශතයකින් හෝ වර්ධනය කර ගැනීමට නොහැකි විය.
අප කවුරුත් දන්නා පරිදි කොවිඩ් වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය හරහා රටට ගලා ආ ඩොලර් මිලියන 2000ක පමණ විදේශ විනියම ආදායම පහළ ගිය අතර ඍජු විදේශ ආයෝජන ද බරපතළ ලෙස පමා වුණේය.
කොවිඩ් වසංගතය සමඟ වඩාත් බලපෑම් සහගත වූයේ විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද ඩොලර්වලට බව අප කවුරත් දන්නා කරණකි. වසංගතයේ ආරම්භය සමඟ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල සේවය කළ, වඩාත් ඉහළ ඩොලර් ආදායමක් රටට ලබා දුන් ශ්‍රී ලාංකිකයින් දස දහස් ගණනක් ජීවිතාරක්ෂාව පවා යළි මවුබිමට පැමිණියේය. ඒ සමඟ දකුණු කොරියාව, මැද පෙරදිග ඇතුළු රටවල සේවය කළ ශ්‍රමිකයින් ද ලක්ෂ ගණනක් යළි මවුබිමට පැමිණි අතර ඒ සමඟ අදාළ කාල පරිච්ඡේදය තුළ රටට ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන සිය ගණනක් ඉතා කෙටි කාලයක් තුළ අහිමි වුණේය.
මේ අතර බොහෝ දෙනකු විසින් අමතක කරන හෝ නොදන්නා තවත් කරුණක් ද තිබේ. ඒ මෙම කාලය තුළ යුරෝපය ඇතුළු බටහිර රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින්ගේ වැටුප් දැඩි ලෙස කප්පාදුවට ලක්වූ බවයි. නැතහොත් ඔවුන්ගේ අතිකාල ඇතුළු දීමනා දැඩි ලෙස සීමා වූ බවයි. මේ තත්ත්වය ඔවුන්ගේ මාසික ඉපයීම් වෙත ප්‍රබල බලපෑමක් කළේය. නැතහොත් ඔවුන්ගේ මාසික ආදායම විශාල ප්‍රතිශතයකින් අහිමි කළේය.
මේ ගැන සිය අත්දැකීම් පැහැදිලි කළ වසර 20කට ආසන්න කාලයක් යුරෝපයා රටවල් කිහිපයක සේවය කළ මා මිතුරෙක් පැවසුවේ ‘කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මට ලැබුණේ මගේ මූලික වැටුප විතරයි. අතිකාල සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඊටත් වඩා බලපෑමේ අමතර වැඩක් කරලා ගත්ත ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වීම. මම මගේ වැටුපට වඩා වැඩි ආදායමක් මේ අමතර වැඩවලින් උපයා ගත්තා’
අසීරු තත්ත්වයකට
අද විදේශ සංක්‍රමණ ආදායම අඩුවීමට ප්‍රමුඛ හේතුව වන්නේ ඉතාලිය ඇතුළු බටහිර රටවල සේවය කළ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප අඩුවීම සහ අමතර ආදායම් අහිමි වීම බව ඔහුගේ අදහස වුණේය.
‘මේක ඇත්තටම බොහෝ දෙනෙක් කියන්නේ නැහැ. ඒත් අපි දන්නවා අපි ගෙදරට එවන සල්ලි අඩු වුණේ කොහොමද කියලා’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
මේ අතර පසුගිය වසංගත සමයේ විදේශ රැකියාව සඳහා පිටත්ව යාම ද විශාල ලෙස අඩුවූ බව බොහෝ දෙනකු හිතාමතා අමතක කර ඇති බවක් දැකිය හැකිය.
‘කොවිඩ් භීතිය නිසා යළි මවුබිමට පැමිණි පිරිසට සාපේක්ෂව මේ කාලයේ විදේශ රැකියා සඳහා පිටත්ව යාම සිදු වුණේ නැහැ. විශේෂයෙන් දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු ධනවත් රටවලට වගේම මැද පෙරදිග රටවලට සිදු කළ ශ්‍රම සංචරණය විශාල ලෙස අඩු වුණා’ ප්‍රමුඛ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙක් පැවසුවේය.
ඉහත සඳහන් කළ සියලු කරුණු ඍජුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වෙත බලපෑම් කරද්දී සිදුවිය යුතු ලෙසම ආනයන සඳහා පමණක් නොව මෙම කාලය තුළ ගෙවා දැමිය යුතු විදේශ ණය සඳහා ද ඍජු බලපෑම් එල්ල වුණේය.
කොවිඩ් අර්බුදයෙන් බැට කෑ ලංකාව තවත් අසීරු අඩියකට පත්කරමින් රුසියා - යුක්ක්‍රේන් යුද්ධය ආරම්භ වුණේය. ඒ සමඟ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිය අතර යළි පුනර්ජීවනය ලබමින් සිටි සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කළේය; කරමින් සිටින්නේය. මෙය තේ අපනයන ආදායමට බලපෑම් කරන හෙයින් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන බව පැහැදිලිය.
ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ප්‍රමුඛ වත්මන් රජය ‘මෙය අප විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවේ’ යැයි කියන්නේ මේ නිසාය.
එපමණක් නොවේ, අද වත්මන් විපක්ෂය 2015-2019 යහපාලනයේ ‘ ස්වර්ණමය යුගයක් ‘ ගැන වහසිබස් දෙඩුව ද යහපාලනය විසින් උරුම - කරුම කළ බොහෝ දේවලට වත්මන් පාලනයට කර ගැසීමට සිදු වූ බව අප අමතක නොකළ යුතුය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම සිදු වූයේ යහපාලනයේ අභ්‍යන්තර අර්බුද සහ නොසැලකිල්ල නිසා සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමඟය. එසේම වත්මන් රජය පුනපුනා ප්‍රකාශ කරන පරිදි යහපාලන සමයේ ජාතික විදුලිබල අවශ්‍යතාව වෙනුවෙන් එක පස් පිඩැල්ලක් පවා කැපීමක් සිදු නොවීය. මේ තත්ත්වය තුළ වත්මන් ආර්ථික අර්බුදයේ පීතෘත්වයට කොවිඩ් වසංගතය සේම 2015-19 යහපාලනයේ සැලසුමක් නැති පාලනය ද හරි හරියට වගකිව යුතුය.
’19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ කාලය වසර පහක් දක්වා කෙටි නොකර යහපාලන ආණ්ඩුව අවුරුදු හයම තිබුණා නම් අපිට බලා ගන්න තිබුණා කොවිඩ් වසංගතයත් එක්ක 2020 දී රටට මුහුණ දෙන්න වෙන ව්‍යසනයයේ තරම’ යහපාලන යුගය ගැන මනා තක්සේරුවක් ඇති ප්‍රකට දේශපාලන විචාරකයෙක් පසුගියදා පැවසුවේය.
අර්බුදයට තිරසර විසඳුමක්
රජයේ පාලනයෙන් බැහැරව සිදු වුණ, නමුත් වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇති අර්බුදයට තිරසර විසඳුමක් ලබාදීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ තවත් දිගුවක් ලෙස වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නියෝජනය අපේක්ෂා කළ ‘සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවීමට ජනපතිවරයා පියවර ගත්තේ මේ අතරය. මෙහි ආරම්භය ජනපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පසුගියදා සිදු වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
සර්ව පාක්ෂික සමුළුව
සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනපතිවරයා ගත් තීරණය සමඟ එයට පක්ෂව හා සුපුරුදු ලෙස විපක්ෂව දහසකුත් එකක් අදහස් හා විවේචන ඉදිරිපත් වුව ද මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වූයේ එය කාලීන මෙන්ම ජනපතිවරයා විසින් ගත් සාධනීය ප්‍රවේශයක් බවය.
ජනපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් වත්මන් අර්බුදය කළමනාකරණය කිරීම කෙරෙහි රජයේ ඇති අභිලාෂය සහ දැක්ම ප්‍රකාශ කළේය. ඒ සමඟ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම අදාළ පියවර තවදුරටත් ඵලදායී කිරීමට මෙන්ම ඊට ජවයක් එක් කිරීමක්ද වේ. ඊට හේතුව වන්නේ මේ වන විට වත්මන් ගැටලුවලට විසඳුම් සෙවීමට පත්කර ඇති ජාතික ආර්ථික සභාවේ කටයුතුවලට සමගාමී දේශපාලන වැඩපිළිවෙළක් ද ඉදිරියට යාම අතිශය වැදගත් වීමය. ආර්ථික හා දේශපාලන යන ප්‍රවේශයන් දෙකම එකවර ක්‍රියාත්මක වීම මේ අවස්ථාවේදී ඉතා වැදගත්.
මේ තත්ත්වය තුළ පසුගිය 23 වැනිදා කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු නියෝජිතයන් පිරිසක්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක ආර්. සම්පන්දන්, එම්. ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් සහ ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ද සමුළුවට සහභාගී අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඇතිකරගත් එකඟතාවට අනුව එම කණ්ඩායම නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා මහාචාර්ය තිස්ස විතාරණ සමුළුවට සහභාගි වී සිටි අතර පක්ෂ 11 නියෝජනය කරන මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න වෙනම සමුළුවට සහභාගී විය.
සමුළුව වර්ජනය කර අයට පිළිතුරක්
අපේක්ෂා කළ පරිදිම වත්මන් අර්බුදයට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ නොහැකිව හුදු ඝෝෂාවක් පමණක් කරමින්, ජනතාව කුපිත කරමින් රට තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීමට කැසකවන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනබලවේගය සමුළුව වර්ජනය කළ ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ සහ ඒ සන්ධානයේ ප්‍රබලයකු වන සුමන්තිරන්ගේ සහභාගීත්වය සමුළුවට ශක්තියක් එක් කළ අතර එම සහභාගීත්වය සර්ව පාක්ෂික සමුළුවේ සුජාතභාවයට සහ ජාත්‍යන්තර පිළිගැනීම වර්ධනය කිරීමට ප්‍රබල රුකුලක් විය.
සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ පොදු අදහස වුණේ රජය අර්බුදයට අවංක විසඳුමක් ලබාදීම වෙනුවට ‘හුදු මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා තමන් ඊට සහභාගී නොවන බවයි. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කළ ‘සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම හරහා කරන්න උත්සාහ කරන්නේ මාධ්‍ය සන්දර්ශනයක් පැවැත්වීමට සහ තවදුරටත් ජනතාව හා රට රැවටීමට කියන කාරණය ගැන තමා අපේ අවධානය යොමුවුණේ. ඒ අනුව අවසාන වශයෙන් පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළා මේකට සහභාගී නොවීමට’ යන ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වේ.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වී ඔවුන්ගේ විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කළ ද එය සිදු නොවීම ජනතාව තුළ කනස්සල්ලක් ඇති නොකළේ ඔවුන්ගේ ද පැටකිරිය ජනතාව විසින් මනාව වටහා ගෙන ඇති නිසාය. මේ අතර ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස ද පහසුවෙන් බැහැර කළ නොහැකිය.
"රජය ප්‍රකාශයට පත් කළා, සර්ව පාක්ෂික සමුළුවක් වෙත සියලුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ පක්ෂවලට පැමිණිලා තමන්ගේ විසඳුම්, ආර්ථිකමය වශයෙන් තමන්ට තිබෙන විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම.
ඒ අනුව පක්ෂ රාශියක් අද තමන්ගේ විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා රැස්වෙලා තිබෙන බව අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. නමුත් වගකිය යුතු දේශපාලන පක්ෂ තමන්ගේ විසඳුම් ඉදිරිපත් කරන්න අවශ්‍ය මොහොතකදී සමහරු ඒවා කර ඇරීමෙන් අපිට පෙන්නුම් කරනවා තමන්ට විසඳුමක් ඇත්ත වශයෙන්ම ශබ්ද නඟන ප්‍රමාණයට නොමැති බව. රජයක් විදිහට අද මුහුණ දෙන එක කරුණක් තමයි රාජ්‍ය ණය බරිතතාවය. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධුරය වගකීම භාරගන්න අවස්ථාවේදී එතුමා රුපියල් බිලියන 226.7 ක ණය බරක් බාර ගත්තා. යහපාලන ආණ්ඩුව 2019 වන විට ලංකාවේ ණය බරිතතාවය මධ්‍යම රජයේ රුපියල් බිලියන 13031.5 යි. ඒ විශාල ණය බරිතතාවකට රට ලක් කරලා ඔවුන් රටට අත්පත් කරලා දුන්න වාසිය කුමක්ද ? පහුගිය ජනවාරි 18 වෙනිදා අප රජයට සිදු වුණා ඩොලර් මිලියන 500 ක ණය බරිතතාවයක් ස්වෛරි බැදුම්කර ගෙවා දැමීමට සිදු වුණා. මේ ඩෝලර් මිලියන 500 ක ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ලබා ගත්ත ණය ප්‍රමාණයක් ද කියලා අපි විමසනවා. එතුමාගේ කාලයේ ස්වෛරි බැදුම්කර එක රුපියලයක්වත් නිකුත් කළේ නැති බව කියන්න ඕන. එම නිසා එතුමා මේ ණයබරිතාවය පිළිබඳව අරගලයේදි වගඋත්තර කරුවා කියන්න හදනවා නම් මෙය නොකළ වරදකට අපරාධමය වගකීමක් ඔහු වෙත පැවරීම සඳහා විපක්ෂය ගෙනෙන මේ හුදු අවලාදයකි. ඒ පිළිබඳව මේ ජාතිය දැනුවත් විය යුතුයි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ඩොලර් අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන්නේ සහේතුවකයි. නමුත් අපි මේ ගැටලුවේදී පලා යන්නේ නෑ. මේ සඳහා විසඳුම් ගරු මුදල් අමාත්‍යතුමා රජයට යෝජනා කරනවා. "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (මාර්තු 23) පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ප්‍රකාශ කළේය.වසන්ත යාපා බණ්ඩාරගේ මේ ප්‍රකාශය ආණ්ඩුව නියෝජනය කරන බහුතරයකගේ පොදු අදහස වශයෙන් සැලකිය හැකිය.
උපයෝගීතාව ගැන ගැටලුවක්
මේ අතර අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඇතිව ඇති පෝලිම්වලදී ප්‍රකාශ වන මහජන විරෝධය සැබෑම ආණ්ඩු විරෝධයක් ලෙස සැලීමට ඇතැම් දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයින් සූදානම් නැත. ඔවුන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් වන ජනතා විරෝධය ‘ක්ෂණික උපයෝගීතාව ගැටලුවක් පමණක් බවයි.
‘අද ගෑස් මිල ඉහළ යාම, කිරිපිටි මිල ඉහළ යාම හෝ ඉන්ධන මිල ඉහළ යාම ජනතාවට බරපතළ ගැටලුවක් නොවෙයි. ඔවුන් විරෝධය දක්වන්නේ මේ එම භාණ්ඩවල හිඟය ගැන පමණයි. ගෑස් සිලින්ඩරය අතට ගත්ත ගමන්, ඉන්ධන ටැංකිය පුරවා ගත්ත ගමන් මේ කෝපය අවසන් වෙනවා. ඒ නිසා මේ ක්ෂණික ජනතා ආවේගය ඉදිරි ජාතික මැතිවරණ දක්වා රැක ගන්න එක, පෝෂණය කරන එක විපක්ෂය හිතන තරම් පහසු නැහැ. මොකද මේ මිල ඉහළ යාම හමුවේ බොහෝ දෙනෙක් තම වියදම පියවා ගන්නවා’ යැයි මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයින් කිහිප දෙනකුම මෙම ලියුම්කරු සමඟ පැවසුවේය.
විමල් - ගම්මන්පිල
මේ සමස්ත ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සමඟ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ගෙන යන දේශපාලන වැඩපිළිවෙළ ගැන ද කෙටි නිරීක්ෂණයක් සිදුකළ යුතුය. විමල් - උදය විසින් ඇති කළ ක්ෂණික දේශපාලන කලබැගෑනිය මේ වන වින ‘ඇට්ටකුණා වී ඇති’ බව බොහෝ දෙනකුගේ අදහසය. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ අදාළ ගැටලුව කළමනාකරණයට ජනපතිවරයා ගත් ප්‍රවේශය සහ විමල් - ගම්මන්පිල කල්ලියේ නිමක් නැති නින්දා අපහාස හමුවේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් දක්වන ප්‍රතිචාරයයි.
ඒ සමඟ විමල් - ගම්මන්පිල සමඟ සිට ගැනීමට විපක්ෂය හෝ අවම වශයෙන් වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ 11 මේ දක්වා ක්‍රියා නොකිරීම තුළ මේ ඊනියා කැරැල්ල ලත් තැනම ලොප් වී මේ කල්ලිය දේශපාලන අනාථයින් වනු ඇති බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහසයි.
මේ තත්ත්වය නිර්මාණය වීමට බලපෑ හේතු පැහැදිලිව හඳුනා ගත හැකිය. ඒ අතර ප්‍රධාන වන්නේ ආණ්ඩුවෙන් කැඩී යන කල්ලියකට හෝ කිහිප දෙනකුට ස්වකීය විරෝධය අඛණ්ඩව පවත්වා ගෙන ගොස් එය ජනමතයක් දක්වා ගෙන යාමට ඇති නොහැකියාවයි.
අනෙක් අතින් මවු පක්ෂයෙන් කැඩී ගොස් දේශපාලන සාර්ථකත්වය ලබා ගෙන ආණ්ඩු බලය හිමිකර පක්ෂය ලෙස ඉතිහාස ගත වන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණකි. මේ දේශපාලන යථාර්ථ ද කිසිවකුට පහසුවෙන් බැහැර කළ නොහැකිය.
සිහින බොඳ වන හැටි
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන භූමිකාව සහ ඒ ඇසුරින් නිර්මාණය වෙමින් පවතින සජබ අභ්‍යන්තර අර්බුදය ඉදිරියේදී තවත් තීව්‍රර වනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.
පසුගියදා පැවැති රැලියේ දී පක්ෂ නායකයින්ට ජනතාව ඇමතීමට අවස්ථාවක් නොලැබීම පමණක් නොව විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ ක්‍රිය කරන අඳබාල ස්වභාවය, විශේෂයෙන් අර්බුද අවස්ථාවේ දක්වන දේශපාලන අවස්ථාවාදය පාක්ෂිකයින් අතර ද බරපතළ විරෝධයක් වර්ධනය කිරීමට හේතු වී ඇත.
මේ තත්ත්වය තුළ පසුගිය 23 වැනිදා කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළ ආකාරයට සජබ තුළ කඩිනම් නාය යාමක් අපට අපේක්ෂා කළ හැකිය.
අවසාන වශයෙන් ජවිපෙ විසින් අවුළවමින් තිබෙන ජනතා විරෝධය ගැන ද පැහැදිලි නිරීක්ෂණයක් සටහන් කළ යුතුය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන සිහින දකින ජවිපෙට අවධාරණය කළ යුත්තේ ඔවුන් සතු 3-5% අතර ජාතික ඡන්ද පදනම 50.1% දක්වා සියයට 1500%ක් වර්ධනය කර ගැනීමට කිසිම දේශපාලන ශක්තියක් ලංකාව තුළ නොමැති බවයි.
ජනතාව කෙටිකාලීනව මුහුණ දී සිටින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවසන් වූ වහාම ජවිපෙ ජනපති සිහින පමණක් නොවන සජිත් ප්‍රේමදාස මහතාගේ ද ජනපති සිහිනය සිහිනයක්ම වනු ඇති බව බොහෝ දෙනකුගේ අදහසයි.