
අකුරැස්ස, මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරාධිපති පූජ්‍ය මලිදුව අමරවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ මල්වතු විහාර මහා සංඝ සභාව මඟින් ‘ප්‍රවචන කීර්ති ශ්‍රී විමලවංශ‘ ගෞරව නාමය සහිතව ගාලු හිනිදුම් පත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබා ඇත.
ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම 30 වැනිදා මහනුවර මල්වතු විහාරස්ථ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී සිදු කෙරේ. සංඝ නායක පදවියෙන් පිදුම් ලබන මලිදුව අමරවංශ හිමියන්ට උපහාර පිදීමේ උත්සවය ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝ රක්ඛිත විජිතසිරි මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සහභාගිත්වයෙන් මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයේදී අප්‍රේල් 04 වැනිදා සවස පැවැත්වේ.
මලිදුව ග්‍රාමයේ උපත ලබා ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයේදී පැවිදි බව ලැබූ අමරවංශ මාහිමිපාණන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු අකුරැස්ස අවට පාසල් කිහිපයකම විදුහල්පතිවරයකු ලෙස සේවය කොට ඉකුත් වසරේ ඉසිඹු ලැබීය.
උන්වහන්සේ ලෝක තරුණ බෞද්ධ සංගමය හා එක්ව රටවල් රැසකම සංචාරය කරමින් පාලි, සංස්කෘත, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් ඔස්සේ ධර්ම ප්‍රචාරයේ නියැළුණ ප්‍රකට යතිවරයාණන් වහන්සේනමකි.