
කැලණිය වනවාසල දුම්රිය ස්ථානයට ආසන්න දූවවත්ත ග්‍රාමයට පිවිසෙන ගෝඨාභය මාවත දිනපතා විශාල ජනකායක් ගමන් කරනා මාර්ගයකි. වැඩ නිම වෙමින් පවත්නා නව කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට ද පිවිසෙන මාර්ගය වන්නේ එම මාර්ගයයි. කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට යාබදව එම මාර්ගයේ ප්‍රධාන ඇළ මාර්ගය හරහා ඉදිකර ඇති පැරැණි බෝක්කුව මීට වසර කීපයකට පෙර සිටම පුපුරා වෙන්වී ගොස් තිබේ.
එය මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට කිසියම් හෝ මොහොතක මරු කපොල්ලක් වන ආකාරයක් මේ වන විට උදා වී ඇත. දිනපතා සිය ගණනක් දුම්රිය ධාවනය වන කොළඹ - නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයට අඩි දහයක් පමණ දුරින් පිහිටි එම මරු කපොල්ල දුම්රියක් ධාවනය වෙද්දී මෙන්ම බෝක්කුව හරහා මෝටර් රථයක් ගමන් ගනිද්දී ඇතිවන දෙදරීම නිසාවෙන් බෝක්කුව ඇළට කඩා වැටීමේ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.
මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව අදාළ අංශ බාර නිලධාරින් සහ කොට්ඨාස බාර මන්ත්‍රීවරුන් කැඳවමින් ප්‍රදේශවාසීන් පත්ව ඇති අපහසුතාව ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නද මෙතෙක් කිසිදු පිළිතුරක් නොලැබීම සම්බන්ධයෙන් දූවවත්තේ පදිංචිකරුවන් සිය අප්‍රසාදය පළ කරති.
බෝක්කුවෙන් ආවරණය වී ඇති විශාල ඇළ මාර්ගය ද ජලජ ශාඛවලින් වැසී ඉතාම අපිරිසිදු තත්ත්වයට පත්වීම නිසා තවත් පාරිසරික ගැටලුවක්ද මතුව ඇත. ඒ අවට නිවෙස් දහවල් කාලයේදී පවා දැඩි සේ මදුරුවන්ගෙන් පීඩා විඳී. එළැඹෙන වැසි සමයට පෙර මෙම අබලන් වූ බෝක්කුව පිළිසකර කර දෙන්නැයි වනවාසල දූවවත්ත ග්‍රාමයේ පදිංචිකරුවන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති. කාපට් කර සති දෙකෙන් ගැලවී යන කොන්ත්‍රාත්කරුවන්ගේ සහ දේශපාලකයන්ගේ සාක්කුවට කොමිස් මුදල් කුට්ටි පිටින් යන මාර්ග නඩත්තුව මෙන් නොව තාවකාලික පැලැස්තර ඇලවීමකින් තොරව ස්ථීරසාර විසඳුමක් දෙන ආකාරයෙන් මෙම අබලන් වූ බෝක්කුව ඉවත් කර නව බෝක්කුවක් ඉදිකර දෙන ලෙස දූවවත්තේ ජනතාව ඉල්ලා සිටිති.
දයානන්ද විජේසේකර
වනවාසල- කැලණිය