අර්ධ රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ටත් දීමනාවක් | සිළුමිණ

අර්ධ රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ටත් දීමනාවක්

මාසික විශ්‍රාම වැටුපත් නොලබන අර්ධ රාජ්‍ය ආයතනයන්හි සේවය කර විශ්‍රාම ලැබූවකු වන මා ජීවත් වන්නේ වසර 35කට ආසන්න කාලයක් නියුතුව සිටි රැකියාවෙන් ලැබුණු සේවක අර්ථසාධක අරමුදල ස්ථිර තැන්පතුවක් ලෙස බැංකුවක තැන්පත් කර එයින් ලැබෙන පොලියෙනි. එම පොලි මුදල ද වසරින් වසර අඩුවන බවක් පෙනෙන්නට ඇත.

මා මෙන්ම අර්ධ රාජ්‍ය ආයතනයන්හි සේවය කර විශ්‍රාම ලබා මේ වන විට ජීවිතයේ සැදෑ සමය ගෙවමින් සිටින බොහෝ දෙනකු බෝ නොවන රෝග ඇතුළු විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටිමි. ඒ වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා විශාල මුදලක් මාස්පතා වැය කිරීමට සිදුව ඇත. ඊට අමතරව පවුලේ එදිනෙදා වියදම්, මාසික දුරකථන, විදුලි, වරිපනම් සහ ජල බිල් වැනි සියලු වියදම් පියවා ගන්නේ මාසිකව ලැබෙන සොච්චම් මුදලෙනි. මෙම තත්ත්වය මට පමණක් උරුම වූවක් නොව මා මෙන්ම අර්ධරාජ්‍ය ආයතනයන්හි සේවය කර විශ්‍රාම ලැබූවන් බොහෝ දෙනකු මුහුණ දෙන තත්ත්වයයි. ජනවාරි මාසයේ සිට රජය මඟින් රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ගෙවීමට කටයුතු කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ද එම දීමනාව ගෙවන ලෙස දැනුම් දී ඇත. එහෙත් අර්ධ රාජ්‍ය ආයතනයන්හි සේවය කර විශ්‍රාම ලැබූ අපට එම දීමනාව හිමි නැතිවා පමණක් නොව අප වෙනුවෙන් පෙනී සිටීමට වෘත්තිය සමිතියක ශක්තියක් හෝ නැත. එබැවින් අර්ධ රාජ්‍ය ආයතනයන්හි සේවය කොට විශ්‍රාම ලැබූ අපට ප්‍රාදේශීය ලේකම්වරයා සහ ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් දැනුම්වත් කොට අපගේ තොරතුරු එක්රැස් කර රජය මඟින් ගෙවන රුපියල් පන්දහසේ දීමනාව හා අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රංජිත් රාජපක්ෂ 
විගඩ- බෙම්මුල්ල

Comments