බාබකියු උදුනෙන් උණුසුම සොයා පරලොව ගිය අඹුසැමියෝ | සිළුමිණ

බාබකියු උදුනෙන් උණුසුම සොයා පරලොව ගිය අඹුසැමියෝ

නුවරඑළිය කැලේගාල ප්‍රදේශයේ නවාතැන්පොළක කාමරයක් තුළ අඹුසැමි යුවළක් මියගොස් සිටින බවට පොලීසියට දුරකතන මගින් තොරතුරක් ලැබුණේ පසුගිය 27 දින පෙරවරුවේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ අඹුසැමි යුවළ ඔවුන් නිදා සිටි ඇඳ මතම අවසන් හුස්ම හෙළා ඇති බවයි. මරණයට හේතුව කුමක්ද යන්න සම්බන්ධව කාටත් ප්‍රශ්නයක් විය. දරුවන් සමඟ කාබී විනෝද වී මෙම යුවළ නින්දට ගොස් තිබෙන්නේ රාත්‍රි 2.00 ට පමණය. පසුදින පෙරවරු 9.00 පමණ වනතුරුත් ඔවුන් දෙදෙනා අවදි නොවීම නිසා වසා තිබුණු කාමරයේ දොර නවාතැන්පොළේ තිබූ අමතර යතුරක් යොදා ගනිමින් දරුවන් විසින් විවෘත කරනු ලැබ තිබේ. අධික සීතල නිසා මව හා පියා සුව නින්දේ පසුවන්නේ යැයි සිතා දරුවන් සිතුවත් සිදුව තිබුණේ ඔවුන් හීනෙකින්වත් නොසිතූ දෙයකි. 

අපි උදේ ඇහැරලා සෑහෙන වෙලාවක් ගියත් අම්මයි තාත්තයි නැගිට්ටේ නැහැ. සාමාන්‍යයෙන් එයාලා උදේම නැගිටිනවා. ගමන් මහන්සියයයි, සීතලයි නිසා එයාලට ටිකක් වැඩිපුර නින්ද යන්න ඇති කියලා අපි හිතුවා. දොර වහලා තියෙද්දි අපි කතා කළා. සද්දයක් නැති නිසා නැවතිලා හිටිය තැන තිබුණු අමතර යතුරක් අරන් එයාලගේ කාමරේ විවෘත කළා. දෙන්නම ඇඳේ හිටියා. ඇඟ හොඳටම සීතල වෙලා. අපි අතපය රත්වෙන්න පිරිමැද්දා. ඒත් අම්මයි තාත්තයි කතා කළේ නැහැ. මියගිය යුවළගේ දරු තිදෙනා එක පෙළට මෙසේ පැවසුවේ පොලීසි ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඔයාලා කලින් දවසේ හවස ගත කළේ කොහොමද යන්න පොලීසිය ඇසූ ඊළඟ පැනයයි. කතරගම ඉඳලා අපි නුවරඑළියට එනකොට රෑ 7.30 විතර වුණා. නවාතැන්පොළට ඇවිත් වොෂ් එකක් දාගෙන අපි හැමෝම BBQ එකක් දැම්මා. ඒකට ඕන කරන උදුන නවාතැන්පොළේ තිබුණා. රෑ 1.00 ත් පහුවෙන තුරු අපි විනෝද වුණා. ඊට පස්සේ තමයි නිදා ගන්න ගියේ.නැවතිලා හිටපු තැන කාමර තුනක් තිබුණා. අම්මයි තාත්තයි වෙනම කාමරයක නිදා ගත්තේ. උදේ එයාලගේ කාමරය ඇරලා බැලුවම BBQ උදුන ඒකේ තිබුණා.

නුවරඑළියේ කාමර තුළ මේ ආකාරයට සිදුවන මරණ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති පොලිස් නිලධාරීන් මෙම මරණ කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාහණය වීමෙන් සිදුවන්නට ඇති බවට අනුමාන කළේ පෙර අත්දැකීම් ද උපයෝගි කරගනිමිනි. පසුගිය වසර පහක පමණ කාලයේදී නුවරඑළියේ මේ ආකාර මරණ 06 ක් පමණ සිදුව ඇත. ඒවා සියල්ලම සිදුව තිබුණේ BBQ ආකාරයට මස් පුළුස්සා ආහාරයට ගැනීමෙන් පසු අඩක් දැවුණු අඟුරු සහිත උඳුන කාමරය තුළ තබා ගැනීම මඟින් ඉන් නිකුත්වන කාබන් මොනොක්සයිඩ් වායුව ශරීරගතවීමෙනි. මෙම මරණවලටද එය හේතුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කළේය.

සිද්ධියෙන් මියගොස් සිටියේ අජිත් කුමාර හේරත් නැමැති පනස්නව හැවිරිදි ව්‍යාපාරිකයකු සහ ඔහුගේ බිරිය වන මාලනී නන්දා මොලගොඩ නැමැති පනස් අට හැවිරිදි ආයුර්වේද හෙද නිලධාරිනියකි. පාසල් අධ්‍යාපනය හමාර කළ දියණියන් දෙදෙනකුගේ සහ පුතකුගේ දෙමව්පියන් වන ඔවුන් සති අන්තයේ නුවරඑළියට පැමිණ තිබුණේ රුහුණු කතරගම දේවාලයද වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. මවගේ නැඟණිය හා තවත් දෙදෙනෙකු ද මෙම ගමනට ඔවුන් හා එක්ව ඇත.

අපි BBQ දමා නිදා ගන්න යනකොට උදුන සාලයේ තිබුණේ. මේ උදුන අම්මයි තාත්තයි එයාලගේ කාමරේට ගන්න ඇති. මොකද ඒක ඒ වෙලාවේ තිබුණේ කාමරේ. මියගිය යුවළගේ දරුවෝ පැවසුවේ පොලීසියේ සැකය තව දුරටත් තහවුරු කරමිනි. කාමරය තුළ තිබූ BBQ උඳුන නවාතැන්පොළේ හිමිකරු විසින් කාමරයෙන් පිටතට ගෙන තිබෙන බව පසුව අනාවරණය විය.

මෙම සිදුවීමට අදාළව සාක්කි ලබා ගැනීම සිදුකරනු ලැබුවේ නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උඩුගමසූරියගේ උපදෙස් මත නුවරඑළිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 55768 චමින්ද වික්‍රමසිංහ විසිනි. මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.කේ රාජගුරු විසින් සිදුකරනු ලැබීය. එහිදී ඔහු මෙම මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් මෘත දේහවලින් ලබා ගන්නා ලද රුධිර සාම්පල හා ශරීර කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබාගන්නා ලෙස පොලීසියට උපදෙස් දුන්නේය. මෙම මරණ වලට හේතුව කුමක්ද යන්න ස්ථිරව ප්‍රකාශ කළ හැකි වන්නේ එම වාර්තා ලැබීමෙන් පසුවය. එසේ වුවත් නුවරඑළිය ආශ්‍රිතව පසුගිය වසර කිහිපය තුළ සිදුවූ මේ ආකාර මරණ සැලකීමේදී අඩක් දැවුණු අඟුරු සහිත BBQ උඳුන් කාමර ඇතුළත තබා ගැනීම මරණයට අතවැනීමක් බව අමුතුවෙන් කිවයුතු නොවන්නේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු පැවසුවේ මෙවැන්නකි.

‘අඩක් දැවුණු චාකෝල් උදුනක් සංවෘත කාමරයක තිබියදී සිදුවන විද්‍යාත්මක සංසිද්ධිය මෙසේ විස්තර කළේය. ජනෙල් දොරවල් ඇරලා තිබුණොත් මේ වගේ වෙලාවක ප්‍රශ්නයක් ඇති වෙන්න තිබෙන ඉඩ හරිම අඩුයි. සංවෘත කාමරයක අර්ධ දහනයක් සිදුවන විට කාබන්මොනොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා.චාකෝල් දැවීමට කාමරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය පාවිච්චි වෙනවා.අසම්පූර්ණ දහනය මඟින් කාබන්ඩයෝකසයිඩ් වෙනුවට කාබන් මොනොක්සයිඩ් නිපදවෙනවා. කාබන්මොනොක්සයිඩ් ශරීරයට අහිතකරයි. සම්පූර්ණ දහනයකදී ජලය සහ කාබන්ඩයොක්සයිඩ් තමයි නිපදවෙන්නේ. මෙතනදී අසම්පූර්ණ දහනයක් නිසා කාබන්මොනොක්සයිඩ් නිපදවෙන්නේ. අපි දුම් පරීක්ෂාවකට ගියාම ඒ අය බලන්නේ වාහනයෙන් පිටවන කාබන්මොනොක්සයිඩ් ප්‍රමාණයයි. ඒක පරිසරයට අහිතකර නිසා තමයි මැනලා බලන්නේ. කාබන්මොනොක්සයිඩ් රුධිරයේ ඇති හිමොග්ලොබින් සමඟ බැඳෙනවා. ඔක්සිජන්වලට වඩා ඉක්මනින් කාබන්මොනොක්සයිඩ් හිමොග්ලොබින් හා බැඳෙනවා.කාබන්මොනොක්සයිඩ් වල ගඳක් සුවඳක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට ආස්වාස කරන අවස්ථාවේ ලොකු අපහසුතාවක් ඇතිවෙන්නේ නැහැ. මේ නිසා කාබන්මොනොක්සයිඩ් ශරීරගත වීමෙන් පුද්ගලයකු නින්දේදීම මරණයට පත්වීමේ අවධානමක් තිබෙනවා.මෙවන් අවස්ථාවක මරණයට හේතුව ස්ථිරව දැක්විය හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇතුළු වැඩිදුර පරීක්ෂණ මගිනුයි‘

නුවරඑළිය නගරයේ හෝටලයේදී 2017 වසරේ ජනවාරි මස 14 දින මේ ආකාරයට පුද්ගලයකු මරණයට පත්වූ බව පොලීසිය පවසයි. බාගෙට දැවුණු අඟුරු සහිත චාකෝල් උඳුන කාමරය තුළ තබාගෙන නින්දට ගිය තරුණයකු මියගිය අතර රස පරීක්ෂක වාර්තා මගින් එය කාබන්මොනොක්සයිඩ් ශරීරගතව සිදුවූ මරණයක් බවට තහවුරු විය. මේ ආකාර මරණ හයක් පමණ පසුගිය වසර පහක පමණ කාලයේදී නුවරඑළියේ සිදුවූ බව පොලිස් වාර්තා මඟින් හෙළි වේ.

මේ සම්බන්ධව නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති, නුවරඑළිය හෝටල් සංගමයේ හිටපු සභාපති මහින්ද දොඩම්පේගමගේ මෙසේ පැවසුවේය.

‘මේ ආකාර මරණ කිහිපයක්ම නුවරඑළියෙන් වාර්තා වුණා. සංචාරක ආකර්ෂණය තිබෙන නුවරඑළියේ ගෙයක් ගෙයක් ගානේ කාමර මුදලට ලබා දෙනවා.මේවා කිසිම ආකාරයකින් නියාමනයකට ලක්වෙන්නේ නැහැ. හෝටල් හා නවාතැන් පොළවල් 2000 කට වඩා නුවරඑළියේ තිබෙනවා. මේ අතරින් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ඒවා තිබෙන්නේ 30 ක් පමණයි.නගර සභාවේ බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ සීයකටත් අඩු සංඛ්‍යාවක්. මෙම නවාතැන්පොළවල් නියාමනය කිරීම සඳහා මම නගරාධිපති ලෙස සිටියදී අතුරු ව්‍යවස්ථාවක් හැදුවා. ඒක තාමත් ක්‍රියාමක වුණේ නැහැ‘

නුවරඑළිය හඳුන්වන්නේ පුංචි එංගලන්තය නමිනි. ඒ එහි දිවාකාලයේ පවා පවතින අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙනි. රාත්‍රී කාලයේදී මෙම සීත තත්ත්වය තවත් ඉහළ යයි. මේ සීතල නිසාම නුවරඑළියේ කාමර සකස්කර තිබෙන්නේ පිටතින් සුළං පොදක් හෝ ඇතුළට නොඑන පරිදිය.සීතල විඳිමින් BBQ දමන්නට පෙලඹෙන අය නින්දට යනවිට උදුන කාමරය වෙත රැගෙන යන්නේ එමඟින් යම් උණුසුමක් ලබා ගැනීමේ අරමුණෙනි.අඩක් දැවුණු චාකෝල් වලින් නික්මෙන කාබන්මොනොක්සයිඩ් තමන්ව මරු වෙත කැඳවාගෙන යතැයි කිසිවකුත් නොසිතති. මේවන විට නුවරඑළියේ මේ ආකාරයට සිදුවූ මරණ සංඛ්‍යාව 06 කි. එසේ සිදුව තිබියදීත් BBQ උඳුන් කාමර තුළට නොගන්නා ලෙස කිසිදු දැනුම්දීමක් සංචාරකයන් වෙත කරන්නට හෝටල් හා නවාතැන් ලබාදෙන ස්ථාන හිමිකරුවෝ කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

අසේල කුරුළුවංශ, මහනුවර 
ඡායාරූප - රුවන් මීගම්මන

Comments