හිරකරුවන් නිදහස් කරන ක්‍රමේ මෙන්න | සිළුමිණ

හිරකරුවන් නිදහස් කරන ක්‍රමේ මෙන්න

සිරකරුවෙක් නිදහස් කිරීම සඳහා බලය රටේ විධායක ජනාධිපතිවරයාට හිමි කර එම නියෝග නිකුත් කිරීමේ බලය 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත ලැබී තිබේ. සෑම නිදහස් දිනයකම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ලැබී ඇති බලය යොදා ගනිමින් දඩමුදල් ගෙවා ගත නොහැකිව, සුළු වරද සඳහා බන්ධනාගාරගත වී සිටින සිරකරුවන් දිවයින පුරා ඇති බන්ධනාගාරවලින් නිදහස් කිරීමේ සම්ප්‍රදායක් පවතී.

පසුගිය වසර පහක දත්ත ප්‍රකාරව නිදහස් දිනය වෙනුවෙන් වර්ෂ 2019 දී රැඳවියන් 513ක් ද, වර්ෂ 2020 දී රැඳවියන් 691ක් ද, වර්ෂ 2021 දී රැඳවියන් 183ක් ද, වර්ෂ 2022 දී රැඳවියෝ 193ක් ද නිදහස ලැබූහ. බන්ධනාගාරවල තදබදය අඩු කිරීමේ පරමාර්ථ සහිතව සුළු වැරදි සහිත රැඳවියන් මුදා හැරීමේ විධිමත් ක්‍රමවේදයක් වර්ෂ 2015 සිට ක්‍රියාත්මක වෙමින් තිබූ බැවින් පසුගිය වසර දෙක තුළ මුදාහළ සිරකරුවන් සංඛ්‍යාත්මකව අඩු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ බරපතළ වැරදි සඳහා දීර්ඝකාලීන දණ්ඩනය ලබමින් සිටින පුද්ගලයන්ගේ හැසිරීම හා පුනරුත්ථාපන ප්‍රගතිය පුරෝකථනය කර දණ්ඩන කාලය සම්පූර්ණයෙන් ගෙවා දැමීමට පෙර බන්ධනාගාරයේ අධීක්ෂණ බලපත්‍රයක් යටතේ නිදහස් කිරීමේ ක්‍රමවේදයක් වේ. එය බලපත්‍ර මත නිදහස් කිරීමය.

වර්ෂ 2015 දී පිරිමි සිරකරුවන් 158ක් හා කාන්තා සිරකරුවන් 10ක් ලෙස 168ක්, වර්ෂ 2016 දී පිරිමි සිරකරුවන් 223ක් සහ කාන්තා සිරකරුවන් 7ක් ලෙස 230ක්, වර්ෂ 2017 දී පිරිමි සිරකරුවන් 230ක් සහ කාන්තා සිරකරුවන් 02ක් ලෙස සිරකරුවන් 232ක්, වර්ෂ 2018 දී පිරිමි සිරකරුවන් 164ක් සහ කාන්තා සිරකරුවන් 3ක් ලෙස සිරකරුවන් 167ක්, වර්ෂ 2019 දී පිරිමි සිරකරුවන් 198ක් සහ කාන්තා සිරකරුවන් 2ක් ලෙස 200ක්, වර්ෂ 2021 දී පිරිමි සිරකරුවන් 160ක් සහ කාන්තා සිරකරුවන් 1 ලෙස 161ක් බලපත්‍ර මත නිදහස් කර යවා තිබේ. බලපත්‍ර මත නිදහස් කළ සිරකරුවන් අතරින් වර්ෂ 2016 දී සිරකරුවන් 02ක් සහ වර්ෂ 2018 දී එක් සිරකරුවෙක් පමණක් නැවත බන්ධනාගාරගත වී තිබේ.

සමාජ විශෝධන කාර්යයක් සේ රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීමේ නිත්‍ය ක්‍රමවේදය කුමක්දැයි පැහැදිලි කරගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් විමසුවෙමු. ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් කී කතාව මෙසේය.

“ වර්ෂ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් සතු බලය පාවිච්චි කරලා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ වැනි සුළු වැරදිවලට බන්ධනාගාරගත වුණු අයට අය නිදහස් දිනයේ දී පොදු සමාවක් දුන්න අතීතයක් තිබුණා. නිදහස් දිනය දා රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධව ඒ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අධිකරණ අමාත්‍යාංශයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙ නිර්දේශය මත මෙසේ නිදහස ලබන්නේ දණ්ඩනීති සංග්‍රහයෙ තිබෙන වගන්ති 33 යටතේ ඇති වැරදිවලට දඬුවම් නොලබන රැඳවියන්. මේ රැඳවියන් නිර්දේශ කිරීමේ දී ස්ත්‍රී දූෂණ මංකොල්ල කෑම් නිවාස බිඳීම් වැනි බරපතළ වැරදි අයිති නොවන බව නම් කරලම තමයි එවන්නේ. “නිදහස් දිනයේ දී මෙසේ සුළු වරද සඳහා වැරදිකරුවන් වී සිටි පුද්ගලයින් නිදහස් වී යළි බන්ධනාගාගත වනවාද නැද්ද යන්න පිළිබඳ නිශ්චිත වාර්තා බන්ධනාගාරය සතුව නැත. එහි දත්ත පද්ධතිය තවමත් යාවත්කාලීන වන්නේ සම්ප්‍රදායිකව අතින් සකස් කරන ලිපි ලේඛනවලිනි. අනාගතයේ පරිගණග ගත කළ දත්ත පද්ධතියක් සඳහා සැලසුම් වෙමින් තිබේ. සමහර විට නීති විරෝධී මත්පැන් සම්බන්ධව වැරදිකරුන් වී දඩ මුදල් ගෙවා ගත නොහැකිව සිටින පුද්ගලයින් නිදහස් වූ පසුත් යළි බන්ධනාගාරගත වූ අවස්ථා තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේය.

බලපත්‍ර මත නිදහස් කිරීම සමබන්ධ ක්‍රමවේදය මීට සපුරාම සංකීර්ණය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සම්බන්ධව පැහැදිලි කරන්නේ මෙසේය. “බලපත්‍ර ක්‍රමය මත නිදහස් වෙනවා කියන්නෙ විධිමත් තක්සේරු ක්‍රියාවලියකින් ගනු ලබන තීන්දුවක්.

පුද්ගලයෙක් බන්ධනාගාරය තුළ යම් රැඳවුමකට ඇවිත් ඔහුගේ දඬුවම් කාලය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුතුව පුනරුත්ථාපනය වෙමින් සිටින බව තක්සේරු කළ හැකිනම් දඬුවම් කාලය සම්පූර්ණ කරන්න කලින්, ඉදිරියට ගත කරන්න ඇති කාලය සම්බන්ධව බන්ධනාගාරයේ පූර්ණ අධීක්ෂණයක් සහිතව ඔහුව බලපත්‍ර මත නිදහස් කරනවා. එය පූර්ණ නිදහසක් නොවෙයි. දණ්ඩන කාලය සම්පූර්ණ වනතුරු ඔහු ඉන්නේ නිදහසේ වුණත් බන්ධනාගාර අධීක්ෂණය යටතේයි.

බලපත්‍ර මත නිදහස් වීම සඳහා මූලිකවම බන්ධනාගාර අධිකාරීවරයාගේ නිර්දේශය දෙන්න ඕන. ඔහුට ඒ නිර්දේශය දෙන්නේ ආයතනයේ තිබෙන කර්මාන්ත අංශය, පුනරුත්ථාපන අංශය, විනය අංශය ආදී හැම එකකින්ම නිර්දේශ අරගෙන විශ්ලේෂණය කරලා. ඒ අකාරයෙන් සකස් කරන බන්ධනාගාර අධිකාරීවරයාගේ නිර්දේශය බන්ධනාගාර මූලස්ථානයට යොමු කරනවා. මූලස්ථානයෙන් නිර්දේශ යොමු කරනවා බලපත්‍ර මණ්ඩලයකට. සිරකරුවෙක් බලපත්‍ර මත නිදහස් කිරීමේ තක්සේරු කරන බලපත්‍ර මණ්ඩලයේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. එතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවට වෛද්‍යවරයෙක්, පොලිස් නිලධාරීවරයෙක් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඉන්නවා. මේ සිරකරු පුනරුත්ථාපනය වෙලා ඉන්නවා, පවුල ඔහුව පිළිගන්නවා, එළියට ගිහින් වැඩක් කරන්න ඔහුට පුළුවන්, කියන තහවුරුව බලපත්‍ර මණ්ඩලයට ලැබුණට පස්සේ ඔහුට බලපත්‍රයක් දෙනවා බන්ධනාගාරයෙන් පිටව ගිහින් පවුල සහිත සමාජයත් එක්ක ජීවත් වෙන්න.

ඒ බලපත්‍රය මත ඔහුට පුළුවන් බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ගිහිල්ලා රැකියාවක් කරලා සමාජයේ ජීවත් වෙන්න. බලපත්‍රය අහෝසි වෙලා ඔහුව පූර්ණ නිදහස ලබන්නෙ අධිකරණයෙන් ලබා දුන්න දණ්ඩන කාලය ගෙවුණට පස්සේ. බලපත්‍ර කොන්දේසියක් තමයි සෑම මසකම නිශ්චිත දිනයක තමන් ජීවත්වන ගම් ප්‍රදේශය ආසන්න බන්ධනාගාරයට ඇවිත් පුනරුත්ථාපන නිලධාරියාට වාර්තා කිරීම.

ඒ වගේම පුනරුත්ථාපන නිලධාරියා මාසෙකට සැරයක් ගෙදරට ගිහින් බලනවා යහපත් කල්කිරියාවෙන් ඉන්නව ද කියලා. යම් කිසිකෙනෙක් එහෙම හිටියෙ නැතිනම් අත්අඩංගුවට අරන් බන්ධනාගාරයට ගේනවා. බලපත්‍රය අහෝස් කරලා ඉතිරි දණ්ඩන කාලය පුරාම බන්ධනාගාරයේ රඳවනවා. “

කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කර දෙන්නේ බලපත්‍රයක් මත නිදහස් කිරීම හෝ නොකිරීම තීරණය කරන්නේ බලපත්‍ර මණ්ඩලය විසින් බවය. මින් පෙර ස්ත්‍රී දූෂණය සම්බන්ධ වැරදි සඳහා බලපත්‍ර මණ්ඩලය වෙත වැරදිකරුවන් යොමු නොකළ බවත් මේ වනවිට ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව වැරදිවලට දඬුවම් ලබන පුද්ගලයින් බලපත්‍ර මණ්ඩලය වෙත යොමු නොකරන බවත් ඔහු කියන්නේය. 

සුළු වරදවලට ජනාධිපති සමාව මත නිදහස ලැබීම හා බලපත්‍ර මත නිදහස ලැබීමේ ප්‍රවේශ දෙකට අමතරව සිරකරුවන් පුනරුත්ථාපනයේ දී නිවාස නිවාඩු ලෙස හැඳින්වෙන තාවකාලික මුදා හැරීමක් සිදු කරනු ලබයි. දීර්ඝ කාලීන සිදඬුවම් විඳින සිරකරුවකුගේ යහපත් හැසිරීම පිළිබඳ හා පුනරුත්ථාපනයට අනුගතවීම පිළිබඳ කරුණු සලකා බලා උපරිමය සති දෙකකට යටත්ව හය මසකට වරක් බන්ධනාගාරයෙන් තාවකාලිකව මුදා හැරීම නිවාස නිවාඩුය.

“ රැඳවියකුට නිවාස නිවාඩු ලබා දෙන්නේ මණ්ඩලයක් මඟින්. ඒකට කියන්නෙ නිවාස නිවාඩු මණ්ඩලය කියලා. රැඳවියෙක් යහපත් කල්කිරියාවෙන් ඉඳලා හොඳ ප්‍රගතියක් පෙන්නුවාම මුලින්ම දවස් හතක නිවාඩුවක් දෙනවා නිවසට ගිහින් එන්න. සෑම මාස හයකටම වරක් මේ නිවාඩුව ලැබෙනවා. මුල් වරට සතියයි. දෙවන මාස හයේ දවස් දහයයි. තුන්වන මාස හයේ දවස් දාහතරයි. ලබාදෙන උපරිම කාලය දවස් දාහතරයි. මේ මුදා හැරීම සිද්ධ වෙන්නෙ පූර්ණ අධීක්ෂණයක් යටතේ. මේ ගෙදර යැවීමෙන් ඔහු නිදහස්ව ගිය පසු සමාජයේ ජීවත් වෙන්න පුළුවන් මූලික සමාජ පරිසරය හැදෙනවා. නිවාස නිවාඩු යන රැඳවියෙක් බලපත්‍ර මත නිදහස් කිරීම සඳහා යෝජනා වුණාම ඔහු ලබපු නිවාස නිවාඩු ප්‍රමාණය බලපත්‍රය ලබා දීම සඳහා අතිරේක සුදුසුකමක් ලෙස සලකනවා.“බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය කියන්නේ එසේය. අපරාධ නීතිය සහ ඒ සම්බන්ධ බැඳුණු සමාජ විද්‍යාත්මක දෘෂ්ටිය ලෝකයේ ශීඝ්‍ර මානුෂික පරිවර්තනයකට ලක් වෙමින් තිබේ. බන්ධනාගාර විශෝධන මධ්‍යස්ථාන ලෙස රූපාන්තරණය වෙමින් ඇති දියුණු ලෝකයේ ගමනට එක්වීමට දෘෂ්ටිමය සහ ආර්ථිකමය දුගී භාවයක් සහිත අපට ඒ තරම් පහසු නැත.

Comments