
- රජයට දැනට ලැබූණු මුළු වන්දි ප්‍රමාණය - ඇමරිකානු ඩොලර් මිලියන 3.6
- දැනට ගොඩගෙන ඇති බහාලුම් ප්‍රමාණය - 80%
- ගොඩගත් අපද්‍රව්‍ය මලු - 62,231 (ටොන් 1650)
මහ සයුර දෙබෑ කරමින් ඉදිරියට ඇදෙන්නේ MV X Press Pearl බලන්නටය. එහෙත් දැන් එහි බලන්නට කිසිවක් ඉතිරි වී නැත. මුහුද මැද සුන්බුන් ගොඩකි. MV X Press Pearl මුහුදු බත් වී වසරක් ඉක්ම යන්නට තව මාස තුනක් ඇත. මේ මාස නමයකට ආසන්න කාලයේ රටට ඇති කළ ප්‍රශ්න, නැති කළ දෑ බොහෝය. ගිනියම් අහසේ අවු රශ්මිය දැනෙන්නට මහ සයුරින් හමන සුළඟ ඉඩ දෙන්නේ නැත. කොළඹ නාවුක වරායෙන් ගමන් ආරම්භ වූ ගමනට නාවුක සැතපුම් 9 ක දුරක යායුතුය. මහ සයුරේ ගිලුණු MV X Press Pearl වටා මහ සටනක් ආරම්භව ඇති සේය. විදෙස් නාවුක ගැලවීම් යාත්‍රා පැමිණ යුහුසුලුව වෙහෙසෙන්නේ ගිලුණු නැවේ සුන්බුන් ගොඩ ගන්නටය. තවත් පැත්තකින් නැව ගොඩ ගැනීමේ මහ මෙහෙයුමත් දියත්ව ඇත්තේය. මේ සියල්ල නාටකයක් බඳුය.
MV X Press Pearl නොෟකාව මුහුදු බත් වූයේ පසුගිය මැයි මාසයේය. නාවුක අනතුරකදි ක්‍රියාත්මක වන පිළිවෙත් අනුගමනය කරමින් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්ව එදින සිට මේ දක්වාම ක්‍රියාත්මක වූ අතර, එම අධිකාරි පනතේ 24 වැනි වගන්තිය ප්‍රකාරව සිදුවන සමුද්‍ර දූෂණය අවම කිරීමේ අරමුණින් නෞකාව බාරව සිටින තැනැත්තන්ට, අයිතිකරුවන්ට හා අදාළ රක්ෂණ සමාගමට නියෝග නිකුත් කළේය. ඒ අප සමුද්‍ර කලාපයට සිදුවන හානිය වැළැක්වීම හා අවම කිරිම වස් නෞකාව ගැඹුරු මුහුදු කලාපය වෙත ගෙන යාමටය. මැයි මාසයේ 26 වැනිදා බහාලුම් රාශියක් අප සාගර පතුලට එක්කරමින්, පිපිරීම් කිහිපයක් සිදු වෙමින් මහා පරිසර විනාශයකට අත වනා ගිනිගත් නෞකාව අප සාගර කලාපයේම මුහුදු බත් විය. මීගමුව ප්‍රීතිපුර ඇතුළු වෙරළින් ආරම්භ වූ ප්ලාස්ටික් දූෂණය රට පුරා වෙරළ තීරයන් ආක්‍රමණය කළ අතර, මේ වන තෙක් දින 235 ක දිගු කාලයක් කැප කරමින් අපේ වෙරළ පවිත්‍රතා කටයුතු සිදු වූයේ 57,135 ක අධික මිනිස් ශ්‍රමය යොදා ගනිමිනි. ප්ලාස්ටික් කැට, ප්ලාස්ටින් ප්ලේට්ස් ඇතුළු අපද්‍රව්‍ය මලු 62,231 ක් එනම් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1,650 ක තොගයක් මහත් වෙහෙසකර කැපවීමකින් එකතු කරන්නට හැකිවිය.
“2021 මැයි 26 වැනිදා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආසන්නයේ සිට තමයි අප කතා කරන්නේ. එදා ගින්නෙන් නැවේ විශාල බහාලුම් ඇතුළු බොහෝ දේ සාගර පතුලට එකතු වුණා. අවසානයේ X Press Pearl මුහුදු බත් වුණා. මේ නෞකාව අයත් වූයේ Resolve marine රක්ෂණ සමාගමට. මෙම බහාලුම් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ඔවුන් විසින් සිදු කරමින් පවතිනවා. ඒ බහාලුම් ඉවත් කිරීම මේ වන විට 80% ක ප්‍රමාණයක් අවසන් වී තියෙනවා. ගිලුණු නෞකාව ඉවත් කිරිම Shanghai salvage නැමැති ආයතනය විසින් මේ වන විට ඉවත් කිරීමේ මුලික කටයුතු සිදු කරමින් පවතිනවා. ගිලුණු නැව මුහුදු මතුපිටට ගන්නට මේ අය ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරනවා. ඔවුන් ඒ සඳහා ගෙනෙන ලද නෞකා කිහිපයක් මේ වටා රඳවා තියෙනවා. ඒ අනුව නැව ඉවත් කිරීමේ මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. නොබෝ දිනකින් ගිලුණු නෞකාව මේ ස්ථානයෙන් ඉවත්කිරීමට හැකි වෙතැයි විස්වාස කරනවා.......“ ඒ මේ සංචාරයේදී අදහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකරය.
මේ වන විට නැවේ බහාලුම් ඉවත් කිරීමේ කටයුත්තේ නියැළී සිටින Resolve marine රක්ෂණ සමාගම පවසන්නේ මේ බහාලුම්වල විශාල ප්‍රමාණයක් අපද්‍රව්‍ය ලෙස ඇත්තේ යකඩ බවයි. මේ වන විට ඔවුන් විසින් ඉවත් කළ බහාලුම් කොළඹ වරායට ප්‍රවාහනය කරන අතර අනතුරුව වරාය හරහා වත්තල ඇති කන්ටේනර් ගබඩා කරන අංගණයට යැවෙන්නේ ඒවා සුරක්ෂිතව ගබඩා කරන්නටය. නෞකාව ගිනි ගැනීමත් සමඟ මේ නැවේ තිබූ තෙල් යම් ප්‍රමාණයක් ගින්නට හසුවිය. මැයි 26 දා සිට අද දක්වාම ගිනිගත් නැවේ තෙල් විසිරීම් දිගටම සිදුවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අදහසයි. නෞකාවේ ගබඩා වූ තෙල් යම් ප්‍රමාණයක් ගින්නට හසු වුවද, නැවේ අභ්‍යන්තරයේ වූ තෙල් ටැංකි පරීක්ෂා කළ Shanghai salvage සමාගම් පවසන්නේ තවත් විශාල ප්‍රමාණයක් තෙල් ඉතිරිව ඇති බවකි. ඒ සමාගම අපිට සහතික වී ඇත්තේ තව දුරටත් නැවෙන් තෙල් විසිරීමක් සිදු නොවන බවකි. සාගරයට, පරිසරයට එකතු වූ බහාලුම් හා අපද්‍රව්‍ය මුහුදු පතුල ගවේෂණයේදී 300 ක පමණ ප්‍රමාණයක් Resolve marine සමාගම විසින් සොයා ගෙන ඇත. එසේ සොයාගත් බාහලුම් ඇතුළු 80% ක ප්‍රමාණයක් මේ වන විටත් ඔවුහු අප සාගර පතුලෙන් ඉවත් කර ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන අන්දමට පිරිසිදු කිරීමට තවත් ඉතිරිව ඇත්තේ නෞකාවේ සිට කිලෝ මීටර් 1 ක් පමණ දුරක ප්‍රදේශය හා මේ වන තෙක් ගවේෂණය සිදු කර නොමැති හා ඉදිරියට ගවේෂණය කළ යුතු බහාලුම් එකතු වූ මීටර් 10 කට වඩා අඩු වෙරළ ආසන්න කලාපයේයි.
මේ වන විට මහ මුහුදින් බැහරව තවත් සටනක් සිදු වන්නේය. ඒ මෙතෙක් අපට වූ හානියට වන්දි අය කර ගැනීමේ භාරදූර කර්තව්‍යය.
“MV X Press Pearl සිදුවු පරිසර හානිය තක්සේරු කිරිම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත්කර නෞකාවෙන් සිදුවූ හානිය හඳුනා ගැනීම හා ඒ පිළිබඳ වාර්තා සැකසීම මේ වන විටත් සිදු කරමින් යනවා. එහි පළමු වාර්තාව මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දී තියෙනවා. මෙම නෞකා අනතුරින් අපවිත්‍ර වූ වෙරළ තීරයේ පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙන් වැය වූ සියලු මුදල් නෞකා රක්ෂණ සමාගමෙන් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ වන විට නෞකා අනතුර හේතුවෙන් රජයට ලැබුණු මුළු වන්දි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක් වෙනවා. ඉතිරි වන්දි අය කර ගැනීම් දිගින් දිගටම සිදු වෙනවා.“ ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳුපුරය.
වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය හරහා පළමුව වන්දි ලෙස ලැබී ඇත්තේ වෙරළ කලාපයේ සුද්ධ පවිත්‍ර කිරිම සඳහා පමණක් වැය වූ මුදලින් කොටසකි. ලංකා රජය ලෙස නැවේ ගින්න නිවීමට, වෙරළ තීරණය පිරිසුදු කිරීමට වැය වූ මුදල්ද අය කර ගැනීමේ කටයුතු සිදුවෙයි. සමුද්‍ර පරිසරයට,ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට වූ හානිද තවත් පැත්තකින් ඇත. වාර්තා වන අන්දමට මේ වන විට 350 කට වැඩි කැස්බෑ සිරුරු බස්නාහිර, නැඟෙනහිර, වයඹ හා උතුරු පළාත් වෙරළ සීමාවෙන් හමු වී ඇත. විවිධාකාරයේ ඩොල්ෆින් වර්ග 41 කට ආසන්න සිරුරුද හමු වී ඇත.
අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි, වරාය හා නාවුක ඇමති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන කංචන විජේසේකර, මොහාන් සිල්වා යන අය පසුගියදා MV -X Press Pearl නෞකාවේ තත්ත්වය සොයා බැලීමට අදාළ ස්ථානයට ගියහ.
“ සියලු දේ මනා කළමනාකරණයකින් හා වගකීමෙන් සිදු කළ යුතුයි. ඒ සඳහා වු වන්දි වශයෙන් රුපියල් බිලියනයක පමණ මුදලක් මේ වන විට ලැබී තියෙනවා. අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේවන විටත් කටයුතු කරමින් සිටිනවා. නැව ගිලී ඇති ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු පරිසරයට හානියක් සිදු නොවන ආකාරයට සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව අදාළ නිලධාරීන් හා නැව ඉවත් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති සමාගම්වල නියෝජිතයින් සමඟ සාකච්ඡා කළා. සිදු වූ හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීමේ ඉදිරි කටයුතු පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමඟ කටයුතු කරමින් සිටිනවා..........“ ඒ අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ අලි සබ්රිය.
අදටත් විදෙස් මාධ්‍ය හුවා දක්වන්නේ ලොව සිදුවූ දරුණු ප්ලාස්ටික් දූෂණය මෙය බවකි. අපේ පරිසර විශේෂඥයන් පවසන ආකාරයට මෙය දරුණුතම පරිසරය හානියක්ද වෙයි. එය අපේ පුංචි රටට කෙසේ දරා ගැනීමට හැකිවේදි යන්න ප්රශ්නකාරීය. තවමත් මෙය අවසන් යැයි අපට සිත හදා ගැනීමට නොහැකිය.
සේයාරූ- රුක්මාල් ගමගේ